2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

ඉම්රාන් ඛාන්ගේ “යහ” පාලනේ

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

පාකිස්ථානයේ නව අගමැති ලෙස පත්වූ ඉම්රාන් ඛාන් අගමැති ලෙස පැවැත්වූ කතාව ලෝකයේම අවධානය දිනාගත්තේය. බොහෝ විචාරකයෝ මේ පිළිබඳව විවිධ අදහස් පළකළහ. ඇතැම් විචාරකයෝ මේ සම්බන්ධව සුභවාදී අදහස් පළකළහ. තවත් සමහරු මෙය හුදෙක් කළනොහැකි, වචනවලට පමණක් සීමා වියහැකි අනාගත සැලසුම් වියහැකි බවට මත ඉදිරිපත් කළහ. 

මේ වනවිට පාකිස්ථානයේ ණය බර ට්‍රිලියන විසිඅටකි. මේ සම්බන්ධව නව අගමැති ඉම්රාන් ඛාන්ගේ අවධානය යොමු විය. පාකිස්ථානය මෙසේ මුහුණ දී තිබෙන ණය බරෙන් නිදහස් වීම අරමුණු කරගනිමින් නව අගමැති විවිධ සැලසුම් කිහිපයක් තම මංගල කතාව ඔස්සේ ඉදිරිපත් කළේය. එමෙන්ම ඉතා දිගු ඉතිහාසයක් තිස්සේ දේශපාලන අරගල තුළදී තමන් සමඟ නොවෙනස්ව එකසේ සිටි තම ජයග්‍රහණය උදෙසා කැපවුණු ජනතාව වෙනුවෙන් ස්තූති කිරීමට ද නව අගමැතිවරයා අමතක නොකළේය.

ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් තමන් දේශපාලනයට පිවිසියේ වෘත්තියක් වශයෙන් නොව පාකිස්ථානයේ පියා වූ මොහොමඩ් අලි ජින්නා සහ අලාමා මොහොමඩ් ඉක්බාල් යන්නන්ගේ දැක්ම අනුව පාකිස්ථානය නඟා සිටුවීමට බව ඉම්රාන් ඛාන් පැවසීය.

මංගල කතාවේදී ඔහු පාකිස්ථානයේ මානව සංවර්ධනය පිළිබඳ ජගත් සංවිධානයේ වාර්තාව ද ඉදිරිපත් කළේය. ඒ අනුව ලෝකයේ ළදරු මරණ සිදුවන රටවල්වලින් පස්වන තැන දිනාගත් අවාසනාවන්ත රට ලෙස පාකිස්ථානය පත්ව ඇති අතර එයට ප්‍රධාන හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ පාකිස්ථානයේ වැඩිපුරම භාවිතා කෙරෙන්නේ අපිරිසිදු ජලය බවය. එමෙන්ම මාතෘ මරණ අනුපාතය ඉහළම රටක් වන්නේ පාකිස්ථානය බවත් මේ සම්බන්ධව රටක් ලෙස මීට වඩා අවධානයක් යොමු කළ යුතු බවත් දන්වා සිටියේය. ළමා මරණ අනුපාතය මෙන්ම පාකිස්ථාන දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධව ද ඔහු තම කතාවට ඉඩක් වෙන්කළේය. පාකිස්ථානයේ බොහෝ දරුවන් මන්දපෝෂණ තත්ත්වයෙන් පීඩා විඳින බවත් එය පාකිස්ථාන අනාගතයට විශාල අභියෝගයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙලෙස බොහෝ පිරිසක් ඉතා අමාරු ජීවිතයක් ගතකළද ඇතැමුන් විවිධ වරප්‍රසාද ගෙන ඉතා සැපපහසු ජීවිත රටාවක් ගතකරන බවත් දිනකට දෙවතාවක්වත් කෑම කන්න බැරි ජනතාව ඕනෑතරම් පාකිස්ථානයේ ජීවත් වෙද්දී ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමට තමන් කිසිසේත් සූදානම් නොවන බවත් ඔහු තම මංගල කතාවේදී ප්‍රකාහ කළේය.

පාකිස්ථානයේ ඉතා විශාල ණය කන්දරාවක් මෙලෙස පැවැතෙන යුගයක පාකිස්ථානයේ අගමැති සඳහා සේවය කිරීමට පන්සිය විසි හතරක් සිටීම කිසිසේත් තමන් අනුමත නොකරන අතර අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩලයේ සිටින සේවකයන් පන්සිය විසිහතර දෙනා වෙනුවට සේවකයන් දෙදෙනෙකුගේ තමන්ට සෑහීමට පත්විය හැකිබව නව අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේය. එමෙන්ම අගමැති වෙනුවෙන් වෙන්වූ වෙඩි නොවදින කාර් තිස්තුන තමන්ට කිසිසේත්ම අවශ්‍ය නොවන බව පැවසූ ඉම්රාන් ඛාන් තමා සියලු වෙඩි නොවදින වාහන වෙන්දේසි දැමීමට තමන් තීරණය කර ඇති බව ප්‍රකාශ කරමින් ඒවා පැමිණ මිලදී ගන්නට පාකිස්ථානයේ වෙසෙන ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය. එම වාහනවලින් ලැබෙන මුදල් පාකිස්ථානයේ රාජ්‍ය භාණ්ඩාගාරයේ තැන්පත් කිරීමට ද ඔහු පොරොන්දු විය.

මෙතෙක් පාකිස්ථානයේ අගමැති කෙනකු සඳහා කාර් රථ තිස්තුනක් වෙන්කරලීය. නමුත් එයද ප්‍රමාණයෙන් ඉක්ම වූ රථ සංඛ්‍යාවක් බවත්, තමන් එයින් පරිහරණය සඳහා යොදාගනු ලබන්නේ මොටර් රථ දෙකක් පමණක් බවත් ඔහු පැවසූවේය.

අගමැති නිල නිවාසය සම්බන්ධව ද ඉම්රාන් ඛාන් තම අදහස ඉදිරිපත් කළේය. මේ වනවිට පාකිස්ථානයේ අගමැතිවරයකු සඳහා ඉතා සුඛෝපභෝගී නිල නිවාසයක් වෙන්කර තිබුණි. නමුත් තම මංගල කතාවේදී ඉම්රාන් ඛාන් පැවැසුවේ එම සුඛෝපභෝගී නිල නිවස විශ්වවිද්‍යාලයක් බවට පත්කරලීමට තීරණය කළ බවත් ඒ වෙනුවට හමුදා ලේකම් නිල නිවෙස ලෙස පැවැති කාමර තුනේ නිවෙස අගමැති නිල නිවෙස ලෙස පරිහරණය කරන බවත් සඳහන් කළේය.

පාකිස්ථානයේ වෙසෙන අසරණ දුප්පත් ජනතාව වෙනුවෙන් වැඩි අවධානයක් ඔහු යොමු කළේය. කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථිකයේ කොඳු නාරටිය බව සඳහන් කළ අගමැති ඉම්රාන් ඛාන් විදෙස් රටවල්වල ඇති පාකිස්ථාන මුදල් නැවත පාකිස්ථානයට ගෙන්වා පාකිස්ථානයේ ජීවත් වන දුප්පත් ජනතාව නඟාසිටුවිය යුතු බවත් ඒ සඳහා පාකිස්ථානයේ ජීවත් වන ධනවත් ජනතාවගේ උදව් ලැබිය යුතු බවත් දැනුම් දුන්නේය. රට පුරා පැවැති අනවශ්‍ය වියදම් පිළිබඳව සොයාබලා ඒ සම්බන්ධව කටයුතු කිරීමට ද නව අගමැති විශේෂ කමිටුවක් පත්කරලීමට ද තීරණය කළේය. එය ඉතා ඉක්මනින් ඉදිරියේදී ක්‍රියාවට නඟන බවද ඔහු දැනුම් දුන්නේය.

රටේ ජීවත්වෙන පාකිස්ථානු තරුණයන් පිළිබඳව ද ඔහුගේ අවධානය යොමුවිය. පොලී රහිත ණය මුදල් ලබාදෙමින් තරුණයන්ට පාකිස්ථානයේ රැකියා ඇතිකරලීමට ඉඩකඩ ලබාදීමටත් විශාල නිවාස ව්‍යාපෘතියක් පාකිස්ථානු තරුණයන් වෙනුවෙන් ආරම්භ කිරීමටත් අගමැති තීරණය කර ඇත.

පාකිස්ථානු තරුණයන් සම්බන්ධව අවධානයක් යොමු කළ පාකිස්ථානු නව අගමැති පාකිස්ථානු කාන්තාවන් සම්බන්ධව ද තම කතාවේ ඉඩක් වෙන්කරලීමට අමතක කළේ නැත. විශේෂයෙන් පාකිස්ථානයේ ජීවත් වෙන වැන්දඹු කාන්තාවන් මෙන්ම සියලු කාන්තාවන් මුහුණ පා සිටින දේපල ආරවුල් නඩුහබවලදී දිගින් දිගටම කල්යාමෙන් ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටින පාකිස්ථානු කාන්තාවන් පිළිබඳව මීට වඩා අවධානය යොමුකරන ලෙස ඔහු පාකිස්ථානු අගවිනිසුරුගෙන් ඉල්ලීමක් ද කළේය. මීට අමතරව පාකිස්ථාන අධිකරණයේ ඉතා දිගු කාලයක් නඩු බොහෝමයක් ගොඩනැගී ඇති බවත් අගවිනිසුරුතුමන් හා කතාබහකොට එම නඩු සියල්ලටම ඉතා ඉක්මනින් සාධාරණ විසඳුමක් ලබාදීමට ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් එක් නඩුවක් වසරක කාලයක් තුළදී විභාගකොට අවසන් කිරීමට උත්සාහ ගන්නා බවත් දැනුම් දුන්නේය. මීට අමතරව පංච විධි න්‍යාය පත්‍රයක්ද ඔහු ඉදිරිපත් කළේය. එහි පළමු න්‍යාය වන්නේ නීතියේ ආධිපත්‍යයයි. නීතිය සැමවිටම සමාන වියයුතු බව ඔහුගේ මතය වේ.

දෙවැන්න ලෙස අගමැති හඳුන්වා දෙන ලද්දේ සකාත් ක්‍රමයයි. එනම් ප්‍රගතිගාමි බදු ක්‍රමයයි. රටේ ජීවත්වෙන ධනවතුන් රටේ ජීවත් වෙන දුප්පතුන් වෙනුවෙන් වැඩි බදු ගෙවීමක් කළයුතු බව එම න්‍යාය වේ. මෙමගින් රට තුළ ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් මෙන්ම හොඳ අධ්‍යාපනයක් ද උදාවේ. විශේෂයෙන් රටේ ජීවත් වෙන ආබාධිතයන්, වැන්දඹුවන් සහ අනාථයන් වෙනුවෙන් යහපතක් සිදුවන අතර රටටම මෙයින් යුක්තිය ඉටුවනු ඇතැයි ඔහු බලාපොරොත්තු වෙයි.

බොහෝ බටහිර රටවල්වල ජීවත්වෙන මිනිසුන් සතුන් වෙනුවෙන් දක්වන්නේ පුදුමාකාර ලෙන්ගතුකමකි. ඔවුන් සතුන් ඉතා හොඳින් රැකබලා ගන්නා අතර බොහෝ සතුන්ට ද ගෙවල් පවා තිබීමෙන් බටහිර රටවල ජීවත් වෙන සතුන් පාකිස්ථානු වැසියන්ට වඩා හොඳින් ජීවත් වන බවට මතයක් වේ. මේ පිළිබඳව සැලකිලිමත් වූ නව අගමැති ඉම්රාන් ඛාන් තම පංචවිධි න්‍යාය පත්‍රයේ තුන්වැන්න ලෙස ඉදිරිපත් කරඇත්තේ සානුකම්පිත බවයි.

බොහෝ රටවල මෙන්ම පාකිස්ථානයේ බොහෝ පාලකයෝ බලයේ සිටියදී අසාමන්‍ය ලෙසින් ධනවත් වෙති. නමුත් මේ ධනවත් වීම පිටුපස ඇත්තේ බොහෝ විට වංක බව සහ අසාමන්‍ය තණ්හාවයි. මේ නිසා අගමැති ඉම්රාන් ඛාන්ගේ පංචවිධි න්‍යාය පත්‍රයේ සිව්වැනි කාරණය වන්නේ විපාක ලැබීමයි බොහෝ බටහිර රටවල මෙන් පාකිස්ථාන පාලකයන් සඳහා ද නීති පැනවිය යුතු බවත් පාලකයන් සැමවිටම සත්‍යවාදී, වගකීම් ඉටුකරන, අවංක පුද්ගලයන් වියයුතු බවත් ඔහු සඳහන් කළේය.

ඔහුගේ පංචවිධ න්‍යාය පත්‍රයේ අවසාන කරුණ වන්නේ පාකිස්ථානයේ අධ්‍යාපනයයි. ශුද්ධ වූ මහම්මුද්තුමා බාදර් හි සටනෙන් පසුව පාකිස්ථානු ජනතාවට අධ්‍යාපනය ලබාගන්නා ලෙස පැවසුවද එම උපදෙස් පිළිනොගත් නිසාවෙන් වර්තමානයේ පාකිස්ථානුවෝ අධ්‍යාපනයේත් මංමුලා වෙලා සිටිති. මේ නිසා අගමැති නයාය පත්‍රයේ අධ්‍යාපනයට ද විශේෂ තැනක් හිමිව ඇත.

පාකිස්ථාන නව අගමැති ඉම්රාන් ඛාන් පැවැත් වූ සිය මංගල කතාවේ සඳහන් බොහෝ කරුණු සම්බන්ධව විචාරකයන් විවිධ අදහස් පළකළ ද යම් හෙයකින් ඒ ආකාරයෙන් නව අගමැති ක්‍රියාකළහොත් බොහෝ රටවල අගමැති ධුරයන්ට එය කදිම ආදර්ශයක් වනවාට කිසිදු සැකයක් නැත. නමුත් අගමැති ධූරය වැනි ප්‍රබල තනතුරු දරන බොහෝ දෙනකු සිය මංගල කතාවේදී මෙලෙස පොරොන්දු සහ ප්‍රතිඥා දුන්නද ඒවායින් ඉටුකරන්නේ ඉතා අල්පයකි. මේ නිසා නව අගමැති ඉම්රාන් ඛාන් දුන් පොරොන්දු දෙස පාකිස්ථානුවන් පමණක් නොව බොහෝ රටවල් බලාසිටී.

මේ අතර ඉම්රාන් ඛාන් පසුගියදා පැවැත් වූ සිය කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් වූයේ පාකිස්ථානයේ අගමැති හෝ ජනාධිපති ගුවන් ගමන්වලදී සාමාන්‍ය පන්තියේ යායුතු බවය. සියලුම ඉහළ නිලධාරීන්ට ද එය බලපැවැත්වෙන අතර වෙනම ගුවන් යානා වෙන්කිරීමක්ද මින්පසුව සිදුනොකරනු ඇත. මෙය ඉම්රාන් ඛාන් සිය ප්‍රතිපත්ති ඉක්මනින්ම ක්‍රියාවේ යෙදවීමක් වශයෙන් සැලකේ.

►දිශානි ජයමාලි කරුණාරත්න