
එක පුංචි තෙල් කුප්පියකින් ලෙඩ රෝග ගණනාවක් සනීප කරන්න පුළුවන්. ඒක මහ විශ්මකර්ම වැඩක්, ඒකට එච්චර සල්ලියන්නෙත් නැහැ. ඒ හින්දා මිනිස්සු වැඩි වැඩියෙන් ඒ කෝකටත් තෛලය කුප්පිය සල්ලි දීලා ගන්නවා. දත්කැක්කුමට, හිසරුදාවට, බඩේ අමාරුවට, හෙම්බිරිස්සාවට කියාපු නොකියාපු හැම ලෙඩේටම මේ එක තෙල් බින්දුවක් පාවිච්චි කළාම නිට්ටාවට සනීප කරන්ඩ පුළුවන්. අත්දුටුවයි. සත්තයි.
ඉස්පිරිතාල, බස්පොළවල්, ගමේ සුමානපොළ වගේ තැන්වල ගැවසෙන කෙනා තමයි තෙල් බෙහෙත් වෙළෙන්දා. වෙළෙන්දෙක් කිව්වට එයා ලොකු මුදලාලි කෙනෙක් නෙමෙයි. එයාට කඩයක්වත් නැහැ. එක තැනක නොහිටලා තැන් තැන්වල ගිහිල්ලා වෙළෙඳාම් කරන එක තමයි මිනිහගෙ රස්සාව. අද එක තැනක හෙට තවත් දිහාවක මිනිහා වෙළඳාම් කරනවා. එයා ඇඳං ඉන්නෙත් වෙද්දු අඳින සුදු රෙද්දයි සුදු කෝට් එකයි. මුහුණේ ගාම්භීර පෙනුමකුත් තියනවා.
කොහොම වුණත් දවල් දොළහට ආණ්ඩුවෙ ඉස්පිටිතාලෙ ගේට්ටුව ඇරෙන තුරු මිනිස්සු බලං ඉන්නෙ තමුන්ගෙ ලෙඩා බලන්න ඉඩ ලැබෙන කල්. දුර පළාත්වල ඉඳලා එන පිටිසර ඈයෝ උදේ දහය වෙනකොටත් ගේට්ටුව ගාව. ටිකෙන් ටික එකතු වෙන සෙනග දවල් එකොළහ විතර වෙනකොට වැඩිවෙනවා. මෙන්න මේ වෙලාවට තමයි කෝකටත් තෛලය වෙළෙඳ පොළට දාන්නේ.
“මහානුභාව සම්පන්න මේ තෙල් කුප්පිය ඔය කාටත් නිතර හැදෙන පොඩි පොඩි අමාරු කෝකටත් හොඳයි. ඉස්සර රජ කාලෙ ඉඳලා වෙද පරම්පරාවකින් එන එලාරිස් වෙද රාළහාමිගෙ පරම්පරාවෙන් තමා අපි පැවැතගෙන එන්නේ. ගුරු මුස්ටි තියාගන්නෙ නැතුව බේත් වට්ටෝරුව ලැබිලා තියෙන හන්දා මේක එසේ මෙසේ තෙලක් නෙවෙයි. දිවිය අවුසදයක් මේක. රස්සාවට කරන බිස්නස් එකක් නෙමෙයි. ලෙඩ රෝගවලින් දුක් විඳින තමුන්නාන්සේලා වගේ අසරණ අය ගැන හිතලයි මං මේ වැඩේට බැස්සේ.”
මෙහෙම ටික වෙලාවක් කතා කරලා ළඟපාත ඉන්න අයගේ අවධානය ගත්තට පස්සෙයි. මිනිහා වැඩේට බහින්නෙ. කෝකටත් තෛලය ගැන ආරලු - බූරලු - විච්චූරණ දාල කතා කළාට පස්සෙ ළඟපාත සිටින ඈයෝ දැහැනකට සමවැදුන වගේ තමන්ට වශී වෙන වග වෙළෙන්දා දන්නවා. මිනිස්සුන්ට හිතෙන්නෙ මේ තමන් ලෙඩ රෝගවලින් ගලවාගන්න දිවිය ලෝකෙන් පාත් වෙච්ච ජීවකයෙක් කියලයි. ඒ විදියට දිගටම කියෝල කියෝලා බලා ඉන්න අය දපනෙ දාගත්තට පස්සේ තමයි ඊළඟ පියවරට යන්නෙ. මේ වෙනකොට මුලින් හිටිය කීපදෙනා දෙනෝදහක් බවට පත්වෙලා.

“මං කාගෙන්වත් සල්ලි ගන්නෙ නැහැ. දැන් මෙතන ඉන්නවද හිස රුදාව, දත් කැක්කුම, බඩේ අමාරු තියෙන කෙනෙක්. බය නැතුව ඉස්සරහට එනවලා. සතයක්වත් අය කරන්නෙ නැහැ. මේක අපේ දෙමවුපියන්ට පිං සිද්ධ වෙන්ඩ කරන පිංකමක්. කෝ කෝ ලෙඩ තියෙන අය ඉස්සරහට එන්ඩ. එක තෙල් බින්දුවකින් සත්ත බලන්න පුළුවන්.”
වෙදාගෙ කටේ සද්දෙත් දැන් ඉහළයි.
මෙහෙම කිව්වාම එතන ඉන්න ගොඩාක් දෙනා වෙද මහත්තයා ගාවට ටිකෙන් ටික කිට්ටු කරනවා. බොහොම දෙනකුට වෙදා කියපු ලෙඩ තියෙනවා. වැඩි දෙනාම ලෙඩ්ඩු. සමහර අයට ලෙඩක් නැති වුණත් නිකං දෙනවයි කියපුවාම ඉස්සරහට පනිනවා. තමුං ඉදිරියට ආපු හැම දෙනාටම කිසිම ලෝබකමක් නැතුව තෙල් බින්දුව ගානෙ අත්වලට හලාගෙන යනවා. ඊළඟට ඒගොල්ලො වෙදා දිහා බලං ඉන්නවා දැන් මොකද කරන්නේ කියලා.
“දැන් ඔය තෙල් ගත්ත ඔක්කොමලා තෙල් බිංදුව ගැන විශ්වාස තියලා තමුන්ගෙ අමාරුව තියෙන තැන ඕක ගා ගන්නවලා. ඔළුව කැක්කුම තියෙන කෙනා නළලෙ අතුල්ලනවා, දත් කැක්කුම තියෙන අයට දතට තියා ගන්න කියලා පුළුන් කෑල්ලකුත් දෙනවා. කන් කැක්කුම තියෙනවනං කන ඇතුළෙ ගාගන්ඩ ඕනෑ. ලෙඩ්ඩු කට්ටිය ප්‍රතිකාර ගත්තට පස්සෙ ඔන්න වෙදරාළ ගුණසැප අහනවා. පොදිකන සෙනඟ අතරෙන් ඉන්න තෝරගත්තු එක එක්කෙනා ඉස්සරහට කැඳෝලා ප්‍රශ්න කරනවා දැන් තමුන්ගේ ලෙඩේ සනීපද කියලා. මෙහෙම පුදුමයක්. එහෙම කතා කරලා ඉස්සරහට ගත්ත හැමෝම කියන්නෙ තමුන්ට ඒ සැනෙන්ම සනීපයි කියලා. මේක නම් දිවිය අවුසදයක්. මුලදිම වෙදාගෙ කතාවට වසී වෙලා වෙදා තමුන්ගෙ ගැලවුම්කාරයයි කියලා හිතාගෙන ඉන්න හින්දා තමයි ඒ අයගෙ ලෙඩේ එසැනෙන්ම සනීප වෙනවා ඇත්තෙ.”
ඊළඟට තමයි තුන්වෙනි වටේට එන්නේ.
“මේක බොහොම පුංචි ලාබයක් තියාගෙන මම ඉගෙන ගත්ත සාත්තරේ ඉස්සරහට ගෙනියන්න ඕනෑ හින්දා කරන දෙයක්. කුප්පි බොහොම ටිකයි මා ගාව තියෙන්නෙ. කුප්පිය සත විසිපහ ගාණේ ඉස්සෙල්ලම ඉල්ලපු අයට දෙනවා. ඔන්න ආයි පස්සෙන් පහුවෙලා දොස් කියනව නම් නෙමෙයි.”
වෙදා මෙච්චර වෙලා බිම තියලා තිබ්බ පුංචි සුට්කේස් එක ඇරලා අනිත් අය තදකරගෙන ඉස්සරහට එන අයට සත විසිපහ ගාණේ කෝකටත් තෛලය කුප්පි විකුණනවා. තමුන් ළඟ සීමාසහිත ගාණක් තියෙනව කියල කිව්වට ඉල්ලන ඕනෑ කෙනෙකුට දෙන්න පුළුවන් තරමට බඩු මිනිහා ගාව තියෙන වගයි පේන්නෙ.
ගෙනාපු කුප්පි ටික විකිණිලා හමාර වෙන කොටම වාගේ ඉස්පිටිතාලෙ ගේට්ටුව ඇරෙනවා. මිනිස්සු ආතක් පාතක් නැතුව කූඹි ගුල වගේ තදවෙලා ඇතුළට රිංගන්නෙ තමුන්ගෙ ලෙඩාගෙ ඇඳගාවට යන්නයි. නමුත් එදා ඉස්පිටිතාලේ ගේට්ටුව ගාවදී ගත්ත තෙල් කොහොඹ තෙල් වාගේ බාල තෙල් වර්ගයක් බව තේරෙන්නෙ ලෙඩවලට ඒවා ගාලා ගුණයක් දැක්කෙ නැති කොටයි.
►යසවර්ධන