
මේ අලි ඇතුන්ගේ වටිනාකම රටටම දැනෙන පෙරහර සමයයි. මහනුවර දළදා මාලිගය ඇතුළු රට පුරා ප්‍රධාන බෞද්ධ පූජනීය ස්ථානවල ගජගා වන්නම් තාලයට පා තබමින් කරඬුවත් රැගෙන සාධුකාර මැදින් යන අලි ඇතුන්ගේ දර්ශනය පසුගිය දින කිහිපයේම අපට දක්නට ලැබුණි. ඒ අතර රටේම ප්‍රකට දේවාලයක් වන දෙවිනුවර විෂ්ණු දේවාලයෙන් වාර්තා වූයේ අලියකුට කුඩම්මාගේ සැලකිල්ල දක්වමින් හිංසනයට පත්කර ඇති අන්දමයි. දේවාලයේ පෙරහරට වෙනත් අලි සම්බන්ධ කරගත්තද මෙම අලියා දිවා රෑ එකම තැනක අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් දුක් විඳින අන්දම ප්‍රසිද්ධ රහසක්ව පැවතුණි.
ප්‍රදේශවාසීන් මෙන්ම පරිසරවේදීන්ද පසුගිය කාලයේ ‘කළණ’ නම් මෙම අලියාගේ දුක්බර ජීවිතය ගැන බලධාරීන්ට පැවසුවද ඔවුහු සුපුරුදු පරිදි මුනිවත ආරක්ෂා කළහ. පසුගිය සතියේ වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මේ අලියා ගැන සොයා බැලීමට ගිය පසු බලධාරීහු හදිසියේ නින්දෙන් අවදි වී විවිධ හේතු කියන්නට වූහ. එහිදී හෙළිවූයේ වර්ෂ 2015 සිට මේ අලියා ගසක් යට හුදෙකලාවේ පරිසරයට නිරාවරණය වෙමින් සිටින බවයි. ඌට නිසි සෞඛ්‍ය පහසුකම් හෝ ආහාර පවා නොලැබෙන බව එහිදී ප්‍රදේශවාසීහු පැවසූහ.
අලියාගේ යකඩ දම්වැල නිසි පරිදි මාරු නොකිරීම නිසා කකුල දරුණු ලෙස තුවාල වී දම්වැල මසට කාවැදී තිබුණි. ආහාර සහ ප්‍රතිකාර නිසිලෙස ලබානොදීම හේතුවෙන් ඌ දුර්වල සෞඛ්‍ය හා මානසික තත්ත්වයක සිටියේය.
“මේ අලියා අවුරුදු තුනක් එකතැනම ගැටගහලා ඉන්නේ. ඒ නිසා ඌ මුරණ්ඩු වෙලා. ඉන්න තැන හරියට පිරිසුදු කරලාවත් නෑ. නාවලා නැහැ. බේත් ලබාදීලත් නෑ. යකඩ දම්වැල මාරු කරලා නෑ. මේ සතා මැරුණොත් එහි වගකීම බස්නායක නිලමේවරයා සහ ඔහුගේ ලේකම්වරයා බාරගත යුතුයි. ඔවුන්ට එරෙහිව සත්ව හිංසා නීතිය යටතේ පොලීසිය පියවර ගත යුතුයි. මේ අලියා අධිකරණය නියෝගයක් ලබාගෙන රැගෙන යන්නත් අපි බලාපොරොත්තු වෙනවා.” නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේගේ ලේකම් එස්. කොළඹගේ පැවසුවේ නිතරම මඳ කිපිලා සිටින නිසා කළණ හරි මුරණ්ඩු බවයි. “ඌ කාටවත් ළංවෙන්න දෙන්නෙ නැහැ. ආහාරයට අවශ්‍ය ගොක්අතු හා කිතුල් අපි ගෙනත් දානවා. අවුරුදු ගාණක් ලියාපදිංචි නොකර සිටි මේ අලියා ළඟදී ලියාපදිංචි කළේ අපේ බස්නායක නිලමේයි. ඌට ඉන්න තැනකුත් හදමින් තිබෙන්නේ. අඩුපාඩු හදාගෙන ඌ රැකබලාගන්න සූදානම්.” ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

කළණ දෙවුන්දර දේවාලයට සන්නසක් මගින් පරිත්‍යාග කර තිබෙන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය. ඒ 1989 නොවැම්බර් 5දා ය. ඌ මුලදී දේවාලයේ උත්සව අවස්ථාවලට එක්වුවද පසුව කොන්කර පැත්තකට දමා සිටි සතෙකි. ඌ දේවාලයට පැවරීමට අදාළ ලිපිලේඛන, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා ද අතුරුදන් වී ඇත. “දෙවිනුවර ඇතා ගැන අපි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට මාස පහකට පෙර පැමිණිලි කළා. ඔවුන් ඒ අවස්ථාවේ අපේ පැමිණිල්ල ගණන්ගත්තේවත් ඒ ගැන සොයාබැලුවේවත් නැහැ. ඔවුන් කීවේ ඒ අලියා කාගෙද කියා දන්නෙ නැති බවයි. පසුව පීඩනය වැඩිවුණාම දැන් හොයන්න පටන් අරන්.” සුරකිමු ලංකා සංවිධානයේ ජාතික ලේකම් පරිසරවේදී නයනක රන්වැල්ල අපට පැවසුවේය.
කළණ පිළිබඳව වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්රමුඛ නිලධාරීහු ගන්දර පොලීසියට 27දා පැමිණිල්ලක් කළහ. ඒ අනුව පොලීසිය විසින් දේවාලයේ ලේකම්වරයා සහ ඇත්ගොව්වා අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී මාතර මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ එක් අයකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙසය. ඒ අතරම කළණගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද ඇය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
රටේ සිටින්නේ හීලෑ අලි ඇතුන් 115ක් පමණි. පරිසරය රැකීමට ප්‍රතිඥා දෙමින් කුමන ආණ්ඩු බලයට පැමිණියද මේ සතුන්ගේ ඉරණම නම් හැමදාම එක වගේමය. මේ අලි පරපුර දිනෙන් දින ක්ෂය වෙමින් යති. කළණ පමණක් නොව තවත් අලි ඇතුන් රාශියක් විවිධ දුක්පීඩාවලට ලක්ව දුර්වලව සිටිති.
“දැනට අලි ඇතුන් 20ක් පමණ විවිධ දුර්වලතාවලින් තුවාලවලින් පෙළෙමින් ඉන්නේ. දළදා මාලිගයේ කාවේරිරාජාත් තුවාල නිසා අසනීප වෙලා. තව අලි ඇතුන් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. හබරණ සෆාරිවලට යොදාගන්නා අලි පවා දුර්වල වෙලා. රටේ ඉන්න හීලෑ අලින්ගෙන් 80%ක් පමණ විවිධ අසාත්මිකතා, මන්දපෝෂණය, තුවාල ආදියෙන් දුක් විඳිනවා. මේ අලින්ට නිසි සැලකීමක් ලැබෙන්නෙ නෑ. උන් ස්වභාවිකව වැඩි කාලයක් ජලය සමඟ ගතකරන සතුන්. නමුත් පෞද්ගලික තැන්වල ඉන්න විට එහෙම අවස්ථාව ලැබෙන්නෙ නැහැ. එකම කෑම වර්ග තමයි ආහාරයට ලැබෙන්නෙ. අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය ලැබෙන්නෙ නෑ. මේ නිසා දුර්වල වෙනවා.
බලපත්‍රයේ තිබෙන්නේ අලි සංස්කෘතික කටයුතුවලට පමණක් යොදාගත හැකි බවයි. නමුත් උන්ගෙන් 90%ක් වාණිජ අරමුණුවලට යොදාගන්නවා. පන්සල්වල ඉන්න අලි හාමුදුරුවරු වෙනත් අයට කුලියට දෙනවා. තවත් පිරිසක් හබරණ සෆාරිවලට යොදවලා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට තමයි මේ අලි අයත් වන්නේ. නමුත් ඔවුන් අලි ගැන සොයා බලන්නෙ නැහැ. ඔවුන් ළඟ තිබූ අලි පිළිබඳ ලේඛන පවා අතුරුදන් වෙලා.% පරිසරවේදී නයනක පැවසුවේය.
බුදුදහම හා අහිංසාව ගැන බණ කියන බොහෝ පන්සල්වලදී දේවාලවලදී අලි ඇතුන්ට හිමිව ඇත්තේ කනගාටුදායක ඉරණමකි. දේශපාලනඥයන් පසුපස ගොස් පින්නවල උපදින අලිපැටවුන් ලබාගන්නා භික්ෂූන් වහන්සේ ඉන් පසු උන් මුදල් ඉපයීම පිණිස කාට හෝ ලබාදෙති. අලියාට අත්වන ඉරණම ගැන බොහෝ බුද්ධ පුත්‍රයන්ට සංවේදීතාවයක් නැත. පසුගිය කාලයේ රාගම පන්සලක සිටි අලියෙක් මරණයට පත්වූයේ පෝෂණ ඌණතා නිසාය. තවත් තැනකදී අනාරක්ෂිතව බැඳසිටි අලි අකුණුසැර වැදීමෙන් මරණයට පත්වූහ.
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් අපට පැවසුවේ මෙවන් අදහසකි.
“අපි යෝජනා කළා පින්නවලින් විහාර පෙරහරවලට අලි සංචිතයක් ඇතිකර ලබාදෙන්නට කියලා. නැවත උන් එම සංචිතයටම බාරදිය යුතුයි. ඒ යෝජනාව ක්‍රියාත්මක වුණේ නැහැ. සමහර සන්නස්වලින් ලබාදී තිබෙන දළ මුදලට විකුණා තිබෙන බවයි අපට හෙළිවුණේ. පෙරහර කාලයෙන් පසු උන් සෆාරිවලට යොදවනවා. වෙනත් පෙරහරවලට ලක්ෂ එකහමාරකට කුලියට දෙනවා. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ හීලෑ අලි ඇතුන්ගේ ආරක්ෂාව ගැන විශේෂ වගන්ති තිබෙනවා. නමුත් අලි ගැන නියාමනයක් වන්නේ නැහැ.”
►කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I අන්තර්ජාලයෙනි