
බැංගලෝරය ඉන්දියාවේ ඉතාම දර්ශනීය නගරයකි. එය ඉන්දියානු කර්නාටක ප්‍රාන්තයේ අගනුවර වෙයි. මිලියන දහයකට අධික ජනගහණයක් ජීවත්වෙන බැංගලෝරය ඉන්දියාවේ ප්‍රධානතම අග නගරයක් වන අතර, රටේ තෙවන ප්‍රධාන ජනාකීර්ණ නගරය බවට පත්ව ඇත. බැංගලෝරය දකුණු ඉන්දියාවේ ඩිකෑන් ප්ලේටියු (Decan Plateau) කඳු වළල්ලේ, මුහුදු මට්ටමේ සිට මීටර් 900ක් (අඩි 3000) ඉහළින් පිහිටා තිබේ.
දැඩි උණුසුමෙන් යුක්ත දකුණු ඉන්දියාවේ තමිල්නාඩු, චෙන්නායි යන නගර සමඟ සංසන්දනය කරන විට මේ නගරය එකම රටක් තුළ ඇති දේශගුණික විෂමතා මනාව නිරූපණය කරයි. මුළු දවස පුරාම ඉතාම අඩු උණුසුම් කාලගුණයක් දක්නට ලැබෙන අතර රාත්‍රිය වනවිට අපේ රටේ නුවරඑළිය මෙන් දැඩි සීතලක් මෝදු වේ. වෘක්ෂලතා සීතලට ඔරොත්තු දෙන ලෙස ඝන පත්‍රවලින් යුක්ත වන අතර ඒවායේ අතු ඉති පිහිටා ඇති ආකාරය ඉතාම කලාත්මක රටාවක් ගනී. එසේම අපේ රටේ සීත ප්‍රදේශවල වැවෙන මල්වර්ගවලට බොහෝ සේ සමානත්වයක් දක්වන මල්වලින් මුළු නගරයම පාරාදීසයක් බවට පත්ව ඇත. දැඩි කහපාටින් යුතු දහස්පෙතියා මල මෙම ප්‍රදේශවල ප්‍රධානතම මල්වර්ගය වන අතර ආගමික සිද්ධස්ථානවල පුද පූජා පැවැත්වීම සඳහා විශාල වශයෙන් මේවා යොදාගන්නා බව එම ස්ථානවල කරන ලද සංචාරයේදී අපට දැකගත හැකි විය. විශාල මල් කඳුවලින් පූජ්‍ය ස්ථානවල දේව ප්‍රතිමා වසා ඇති අයුරු දිස්විය.
මයිසූර් රාජමාළිගය බැංගලෝරයට පැමිණෙන සංචාරකයන්ගේ පාරාදීසය වී තිබේ. පැමිණෙන බොහෝ දෙනා මාළිගාව නැරඹීමට මෙන්ම එහි ඡායාරූප ගැනීමටද දැඩි රුචියක් දැක්වූ බවක් පෙනෙන්නට තිබිණ. අපේ රටේ මෙන් ඡායාරූප ගැනීමට තහනම් කර නොමැති අතර එහි ඇති ප්‍රතිමා අල්ලන්නට හෝ හානි කරන්නට එපායැයි දැන්වීම් අලවා නොතිබීම විශේෂත්වයකි. මෙම ප්රතිමාවල චමත්කාරය නරඹන දෙස් විදෙස් සංචාරකයන් කිසිදු විටෙක අප රටේ මෙන් ඒවා අපවිත්‍ර කිරීමට හෝ කොටස් ගැලවීමට තැත් කිරීමක් සිදු නොවන බව අපට අවබෝධ කරගත හැකි විය. නරඹන්නන් ස්වයං විනයකින් යුක්තව අත්වලින් නොව ඇස්වලින් පමණක් රසය උකහා ගන්නට උත්සාහ කිරීම අගය කළ යුත්තකි.
14 වැනි සියවසේදී කර්නාටක ප්‍රාන්තයේ රාජකීයන් මෙහි ජීවත්ව සිට ඇති අතර 1630 දී Ranadhira Kantheerava Narasraja Wodeyar නමැති රාජ වංශිකයකුගේ අනුග්‍රහයෙන් මෙය යළි ප්‍රති නිර්මාණය කිරීමට සිදුව ඇත්තේ හෙණ වැදීමෙන් මෙහි කොටසක් විනාශයට පත්වූ නිසාය.
කෙසේ වුවද 1897 දී මයිසූර් මාළිගය ඉවත්කර එහි ඓතිහාසික අගය නොවෙනස්වන පරිදි පැරැණි මාළිගයේ පදනම මත එම ප්‍රමාණයටම අලුතින් මාළිගයක් ගොඩනැගීමට මහාරානි වනිවිලාසා සන්නිද්ධන Maharani Vanivilasa Sannidhana යන වාස්තු විද්‍යාඥයා තීරණය කර ඇති අතර 1897 ඔක්තෝබර්වල ඇරඹි මෙම කාර්යය 1912 වසරේදී සම්පූර්ණකොට නිම කෙරිණ. මේ සඳහා අඩු වියදම් ක්‍රමයක් උපයෝගී කරගත් අතර හැකි තරම් දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කිරීමට උත්සුක වී ඇත. එසේම නව ආකර්ෂණය සැලසුමකට අනුව ඉදිකිරීම් සිදුකර ඇති අතර හෙණ නොවැදීමට හා ගිනි නොගැනීමට නවීන තාක්ෂණික උපක්‍රම භාවිත කර තිබේ. මේ ඉදිකිරීම සඳහා වැයකර ඇති මුදල රුපියල් 41,47,913ක් බව සඳහන්ය.
ප්‍රධාන ගොඩනැගිල්ල “ග්‍රේ” පාට ග්රේනයිඩ්වලින් නිමකර ඇති අතර එහි මුල් කොටස ප්‍රධාන මාල තුනකින් සමන්විත වේ. මෙම කොටසට පාවිච්චි කර ඇති තීන්ත වර්ග නිසා ආලෝකයක් නොමැති වුවද සියලුම බිත්ති දිලිසෙන සුළු තත්ත්වයෙන් පවතින අතර එයින් විශාල එළියක් විහිදෙන බව දැකගත හැකිවිය. මෙම ගොඩනැගිල්ල ඉදිරිය මාල පහකින් සමන්විත අඩි 145ක් උස විශාල කුළුණකින් යුක්තය. එහි උසම තැන මයිසූරයේ ඓතිහාසික රන් කොඩියද ළෙලදෙනු දැකගත හැකිය. උස පිල්, විශාල ආරුක්කු (Arches) හතකින් හා කුඩා ආරුක්කු දෙකකින් සමන්විතය. මාළිගය තුළ විශාල විවෘත පෙදෙසක් (Court yard) දක්නට ඇති අතර ආකාසයට විවෘතව ඇති එය “Thotti” යනුවෙන් හැඳින්වේ.
ප්‍රධානතම ශාලාව (Durbar Hall) මීටර් 86 (අඩි 282.2) දිග හා මීටර් 39 (අඩි 129) පළලකින් යුතුය. දෙවන මහලේ කාමර කිහිපයක්ද දෙපස තවත් විශාල ශාලා දෙකකින් සමන්විතය. මෙම ගොඩනැගිල්ලේ බොහෝ දැව නිර්මාණ තේක්ක ලී වන අතර පාරදෘශ්‍ය වීදුරු සීලිම නිසා මන්දිරය වඩාත් අලංකාර වී තිබේ.
දහස් සංඛ්‍යාත විදුලි බුබුළුවලින් ආලෝකමත් වන මාළිගයේ ප්‍රධානතම ආකර්ෂණීය භාණ්ඩය වන්නේ රාජකීය රත්රන් සිංහාසනයයි. (Golden Throne) මෙය මයිසූර් රාජකීය පවුලේ පරම්පරා ගණනාවක් පාවිච්චි කළ සිංහාසනය වන අතර ශතවර්ෂ 1 ½ක පමණ කාලයක් රජ පරම්පරාවේ ආසනය වී තිබේ. මයිසූර් මාළිගය පැවැති කොටුව 1524 දී විශාල කර ඇති අතර මේ සීමාවේ ආගමික සිද්ධස්ථාන (පන්සල්) අටක් පිහිටා තිබීමද විශේෂයකි.

මයිසූර් රාජ පරම්පරාව මේ වනවිටද මාළිගයට මායිම්වන ප්‍රදේශයක ජීවත්වන අතර, ඔවුන් නඩත්තු කරනු ලබන්නේ ආණ්ඩුව විසිනි. දැනට මයිසූරය පාලනය වෙන්නේ ජනතාව විසින් ප්‍රජාතාන්ත්‍රිකව තෝරාගත් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් මගින් වන අතර රාජකීය පවුලට අවශ්‍ය ගරු බුහුමන් ඇතිව ජීවත්වීමට වාතාවරණය සකස් කර තිබෙන බවද දැනගන්නට ලැබිණ. එංගලන්තයේ රජපවුල සේම මෙම රාජකීයන්ද මුළු රටවැසියාගේ ගරුත්වයට ලක්ව ඇති අතර ඔවුන් පරිහරණය කළ සියලු භාණ්ඩ ඒ අසල වූ කෞතුකාගාරයක තැන්පත් කර තිබේ. එසේම මයිසූර් මාළිගය තුළින් ඔවුන් එකල ගතකළ ජීවිතයේ විවිධ අවස්ථා මනාව නිරෑපණය වේ.
බැංගලෝරයේ ශ්‍රී රවිශංකර් ආයතනයෙන් ජනතාවට සිදුවෙන සේවය පිළිබඳ යම් අගැයීමට ලක්කිරීමක් නොකළහොත් එය අඩුපාඩුවක් වනවා ඇත. මෙම ආයතනය සියයට සියයක්ම ආගමික පසුබිමක් තුළ පවත්වාගෙන එන සම්පූර්ණයෙන්ම පෞද්ගලික පාලක මණ්ඩලයකින් පාලනය වන්නකි. මේ සඳහා විදේශ රටවලින්ද විවිධ ආධාර ලැබෙන බව එහි පාලනාධිකාරිය අප සමග පැවසීය. මෙමගින් ජීවත්වීමේ කලාව Art of Living යන තේමාවක් හඳුන්වා දී ඇති අතර විවිධ ක්ෂේත්රවල නිපුණතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ. යෝග පාඨමාලා පිළිබඳ ප්‍රමුඛත්වය දෙන අතර, රටේ පරිසරයට ඔබින ආකාරයේ අධ්‍යාපන සැලසුමක් මෙමගින් ක්‍රියාත්මක වේ.
සමස්තයක් වශයෙන් ගත් කල ඉන්දියාවේ උසස් අධ්‍යාපනයට නැඹුරුවන සංඛ්‍යාව අල්ප වන අතර බොහෝ දෙනා පාරම්පරික වෘත්තීන්හි නිරත වෙති. එසේ වුවද විවිධ ගැටලු අභිබවා අධ්‍යාපනයට යොමුවන ශිෂ්‍යයන් ඉහළම ස්ථානයකට ගෙන ඒමට කටයුතු කෙරේ.
බැංගලෝර් නගරයේ ස්ථාපිත කර ඇති ප්‍රාන්ත පාර්ලිමේන්තුව මුළු ලොවටම ආදර්ශයක් යැයි මට හැඟේ. එයට පිවිසෙන ස්ථානයේ නිර්මාණය කර ඇති මහත්මා ගාන්ධි ප්‍රතිමාව ඇත්තවශයෙන්ම විශ්වකර්ම නිර්මාණයකි. එක්තරා ලෝහ විශේෂයකින් නිර්මාණය කර ඇති ගාන්ධිතුමාගේ පිළිරුව එතුමාගේ සජීවී අවිහිංසාවාදී ලක්ෂණ නිරූපණය කෙරෙන අයුරු අඹා තිබීම සුවිශේෂ වෙයි. එම ප්‍රතිමාවේ මුහුණේ ඉරියව් ඉතාම ජීවමාන ස්වරූපයෙන් නිර්මාණය කර තිබෙනු දැකගත හැකිය. නළලේ රැළි පමණක් නොව එහි සියුම් ලේ නහර පවා එලෙසින්ම ජීවමාන ස්වරූපයෙන් නිර්මාණය කර ඇත. මෙවැනි නිර්මාණයක් කිරීමට දක්ෂ ප්‍රතිමා ශිල්පියෙකු ඉන්දියාවේ සිටීමද ඉතාම විස්මයජනක වන අතර, අපේ රටේ විවිධ ස්ථානවල නිර්මාණය කර ඇති ජාතික වීරයන්ගේ ප්‍රතිමා සමඟ සංසන්දනය කරනවිට අපේ ප්‍රතිමා මෙවැනි නිර්මාණවලට අලගු තැබීමටවත් නොසෑහෙන බව කිව යුතුව ඇත. පාර්ලිමේන්තුවේ කතානායකවරයා අප සමඟ පැවසුවේ පාර්ලිමේන්තුවට ප්රවිශ්ඨ වන ස්ථානයේ මෙවැනි අයෝමය ප්‍රතිමාවක් ඉදිකර ඇත්තේ මහත්මා ගාන්ධි දර්ශනය අනුව මහජන නියෝජිතයන් කටයුතු කළ යුතු බව සපථ කිරීමට බවය.
මෙම පාර්ලිමේන්තු සභා ගර්භය මෙන්ම කාර්යාල සංකීර්ණය තුළින්ද අපට ගත හැකි ආදර්ශ එමටය. පාර්ලිමේන්තු සභා ගර්භය අතිවිශාල නොවන අතර, එහි ආසනද ඉතාම පිරිමැසුම්දායක සහ අඩු ඉඩකඩ ප්‍රමාණයකට සරිලන සේ නිර්මාණය කර තිබීම විශේෂය. කථානායක ආසනය අවශේෂ නිලධාරි ආසනද බොහෝ සේ සරල ලෙස නිර්මාණය වී තිබේ. අපේ රටේ පළාත් සභාවලට පවා ලක්ෂ 6-7 වටිනා පුටු පිටරටින් ගෙන්වන වාතාවරණයක මෙම පාර්ලිමේන්තුවේ ආසන මුළුමනින්ම ස්වදේශ ලී වලින් නිෂ්පාදනය කර ඇති බව එහි නිලධාරියකු පැවසීය. එසේම විදුලි ආලෝක උපකරණ හා තාක්ෂණික මෙවලම්ද සීමාසහිතය.
සභා ගර්භය වටා ඇත්තේ ඇමැතිවරුන්ගේ කාර්යාලයි. එම අමාත්‍යවරුන්ගේ කාර්යාල ඉතා කුඩා අතර ඒ තුළ ඔහුගේ කාර්ය මණ්ඩලයටද පහසුකම් සලසා ඇත. ඇමැතිවරයාගේ පටන් කාර්යාලයේ සියලු ලී බඩු හා උපකරණ ඉතාම අඩු වියදමක් යන සේ තනා ඇත. එසේම ඇමැතිවරයාගේ නම, නිලධාරීන්ගේ නම් සහ තනතුරු ආදිය දැක්වෙන නාමපුවරු සෑම කාර්යාල කුටියකම සවිකර ඇත්තේ ඒකාකාරී ස්වරූපයටය. ඉතාම කුඩා ලී පුවරුවක සමාන අකුරින් හින්දි සහ ඉංගිරිසි භාෂාවලින් ලියා සෑම කාර්යාලයකම එකම ලෙසට සවිකර ඇත. ඇමැති කාර්යාලය හා නිලධාරීන් සහ වෙන්කර ඇති ඉඩ ප්‍රමාණය ඉතාම සුළු අතර අපේ රටේ ඇමැතිවරුන් සහ නිලධාරීන් කාර්යාල නඩත්තු කරන සුඛෝපභෝගී රටාව සහ සංසන්දනය කිරීමේදී ඉන්දියාවේ දියුණුවේ රහස අනාවරණය කර ගැනීම අපහසු නොවේ.
එසේම පැවසිය යුතු විශේෂ දෙයක් වන්නේ එරට දේශපාලනඥයන් සහ උසස් නිලධාරීන් සෑම දෙනාම පාහේ තම රටේ නිෂ්පාදිත වාහන පාවිච්චි කිරීමය. ඉන්ධන පිරිමැසෙන වැඩි සුඛෝපභෝගීත්වයෙන් තොර සරල වාහන පාවිච්චි කිරීමේදී එම දේශපාලනඥයන් සහ උසස් නිලධාරීන් ලොවටම ආදර්ශයක් දී ඇති බව පැවසිය යුතුය.
එසේම අප කර්නාටක ප්‍රාන්තයේ ගත කළ දින පහ තුළදී එහි මහා මාර්ගවල ධාවනය වූ සියලුම මෝටර් රථ හා වාහන ඉන්දියාවේම නිෂ්පාදනය කළ ඒවා බව දැකගත හැකි විය. මහත් උනන්දුවකින් නිරීක්ෂණය කළද ජපානයෙන් ආනයනය කළ වාහන කිහිපයකට වඩා හමුවූයේ නැත.
►යසවර්ධන රුද්‍රිගු