
අවසාන ටැම්පිට විහාරය ඉදිකළ වර්ෂ 1886 මැයි 2 දාට පසුව අලුතින් අප රටේ ඉදිවූ ටැම්පිට විහාරයක් විවෘත කිරීමේ ඓතිහාසික අවස්ථාවක් මෑතකදී දික්වෙල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමයේ සිදුකෙරිණි. මෙම උත්සවයේ තවත් විශේෂත්වයක් වූයේ මහනායක ස්වාමීන් වහන්සේලා සහ දායක කාරකාදීන් හැරුණුවිට දේශපාලනඥයන් සහභාගි නොවීමය.
දික්වෙල ශ්‍රී විසුද්ධාරාමය පුත්තලම් දිස්ත්‍රික්කයේ කොණක පිහිටි කුරුණෑගල දිස්ත්‍රික්කයට යාබද විහාරයකි. මීගමුවේ සිට පන්නල පාරේ කි.මී. 20ක් දුරින් එය පිහිටා තිබේ. පොල් වගාවෙන් සහ කුඹුරු වගාවෙන්ද සරුසාර මේ ප්‍රදේශයේ සිංහල බෞද්ධයන් මෙන්ම අතරින් පතර කතෝලික බැතිමතුන්ද වාසය කරති.
විහාරයේ විහාරාධිපතිත්වය දරන්නේ ගුණවෘද්ධ හිමිනමක් වශයෙන් ප්‍රකට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍යාය තොලබෝවත්තේ විමලනාග නාහිමියෝ වෙති. උන්වහන්සේගේ උපදෙස් හා අනුශාසනා මත ටැම්පිට විහාරය ඉදිකිරීමේ භාරදූර කාර්යයට අතගැසුවේ විහාරවාසී කළුගල ධම්මසිරි හිමියෝ වෙති.

“අපේ පන්සල මෑත ඉතිහාසයේ ආරම්භ කරපු එකක්. 1905 දී තමයි ආරම්භ කර තිබෙන්නේ. මුල්ම නායක හාමුදුරුවෝ වශයෙන් සැලකෙන්නේ තබ්බෝවේ ධම්මවිජය හාමුදුරුවෝ. අපේ විහාරයට නුදුරින් සිංගක්කුලිය අයියනායක දේවාලය තිබුණා. ඒක පුරාණ ටැම්පිට දේවාලයක් විදිහට තිබුණේ. නමුත් පසුගිය කාලයේ ඒ දේවාලය ටැම්පිට ස්වභාවය විනාශ කරලා අලුත් විදිහට හැදුවා. ඇතුළේ තිබූ ලෑලි මත කොන්ක්‍රීට් අතුරලා ටයිල් කළා. පුත්තලම දිස්ත්‍රික්කයේ ටැම්පිට විහාර නෑ. ඔය අතර තමයි මට ‘ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර’ කියන පොත කියවන්න ලැබුණේ. ඊට පසු අපේ රටේ නැතිවෙලා යන සම්ප්‍රදාය නැවත ඇතිකිරීමට උනන්දුවක් සිතේ ඇතිවුණා. ටැම්පිට විහාර ගැන පුරාවිද්‍යා උපදෙස් ලබාගෙන පුරාණ ක්‍රමයට අනුව අලුතෙන්ම ටැම්පිට විහාරයක් ඉදිකිරීම පටන් ගත්තා. අපට දායකයන් බොහෝ දෙනාගේ ආශිර්වාද, උපකාර ලැබුණා. ඒ නිසා ටැම්පිට විහාරය සාර්ථකව ඉදිකර පසුගියදා විවෘත කළා.”ධම්මසිරි හිමියෝ අපට පැවසූහ.
යෝගියාන අවට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ටැම්පිට විහාර කිහිපයක්ම පවතී. වේරහැර, පන්නල, තලම්මැහැර ප්‍රදේශවලයි. ටැම්පිට විහාර සම්ප්‍රදාය මහනුවර රාජධානි සමයේදී, එනම් 17 වැනි සියවසේදී ආරම්භව 19 වැනි සියවසේ අවසානය දක්වාම පැවති පූජනීය ගොඩනැගිලි විශේෂයකි. විහාරවලට මෙන්ම කලාතුරකින් දේවාල සඳහාද මේ සම්ප්‍රදාය යොදාගෙන තිබේ. 20 වැනි සියවසේ ආරම්භයත් සමඟ මේ පුරාණ විහාර ඉදිකිරීමේ තාක්ෂණය අහෝසි වී කොන්ක්‍රීට් විහාර ඉදිකිරීම ආරම්භ කෙරිණි. කනගාටුවට කරුණ නම් සමහර පුරාණ ටැම්පිට විහාර පැවති පන්සල්වල පවා ඒවා දිරාපත්වීම දඩමීමා කරගෙන ගලවා දමා අලුතෙන් ගඩොල් හා කොන්ක්‍රීට්වලින් විශාල විහාර මන්දිර ඉදිකිරීමයි. තවත් සමහර ටැම්පිට විහාර ඇතුළත දැව තට්ටු වෙනුවට කොන්ක්‍රීට් යොදා ටයිල් ඇතිරීම සිදුකර තිබේ.

අපේ උරුමයට පයින් ගසන මෙවන් වකවානුවක අලුතින්ම ටැම්පිට විහාරයක් ඉදිකිරීමේ අභියෝගය බාරගත්තේ කළුගල ධම්මසිරි හිමියෝ වෙති. ඒ ගැන තම අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ. ‘අපේ නැතිවෙලා යන මේ පුරාණ සම්ප්‍රදාය ගැන දුකක් ඇතිවුණා. අද හැමෝම ආසියාවේ ලොකුම බුද්ධ ප්‍රතිමාව, ලොකුම ධර්ම ශාලාව, ලොකුම දාගැබ හදන්න මහන්සි වෙනවා. නමුත් අපට ඉතිහාසයේ උරුම වූ මේ පුරාණ සම්ප්‍රදාය විනාශයට පත්වෙනවා. ඒක ගැන අපේ වර්තමාන පරපුරට අවබෝධයක් ලබාදීමට තමයි මම උත්සාහ කළේ.”
උඩරට රාජධානි සමයේ ටැම්පිට විහාර ඉදිකළේ විශාල විහාර ඉදිකිරීමට තරම් ධන සම්පත් හා රාජ්‍ය අනුග්‍රහය නොලැබුණු විටය. රජවරුන්ට අමතරව ප්‍රාදේශීය ප්‍රභූවරු මේ විහාර සඳහා අනුග්‍රහය දැක්වූහ. ටැම්පිට විහාර පිහිටි විහාරස්ථානවල පසුව වෙනත් විහාර මන්දිරද ඉදිකළ අවස්ථා හමුවේ. අද දැකගත හැකි පැරණිම ටැම්පිට විහාරය වශයෙන් ලිඛිත සාධක පවතින්නේ මහනුවර මැදවල ටැම්පිට විහාරයටයි. මැදවල තඹ සන්නසට අනුව 14 වැනි සියවසේදී දෙමහල් විහාරයක්ව පැවති එය ටැම්පිට විහාරයක් ලෙස පරිවර්තනය කර නැවත ඉදිකරවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) රජුගේ අනුග්‍රහයෙන් 1755 දීය. 19 වැනි සියවසේදී තැනූ ටැම්පිට විහාර කිහිපයක්ම පවතී. මාතෙහෙල්වල අභයරාජ විහාරය 1855 දී තනා ඇති අතර, ගම්පහ පහළගම යටවත්ත විහාරය ඉදිකර ඇත්තේ 1861 දීය. කෑගල්ල මිනුවන්ගමුව ටැම්පිට විහාරය 1866 මැයි 2 දා විවෘත කළ බවට ලිඛිත සාධක පවතී.
වයඹ සබරගමුව සහ බස්නාහිර පළාත්වල ටැම්පිට විහාරවල ඉහළ ඝනත්වයක් දැකිය හැකිය. මේ අතරින් වැඩිම ටැම්පිට විහාර සංඛ්‍යාවක් දැකගත හැක්කේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එයට 48 කි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවන ටැම්පිට විහාර සංඛ්‍යාව 28 කි. මහනුවර (15), මාතලේ (11), ගම්පහ (10), රත්නපුර (8) ආදී වශයෙන් වැඩිපුර පිහිටි දිස්ත්‍රික්ක නම්කළ හැකිය. මේ වනවිට ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර 204ක් හඳුනාගෙන තිබෙන අතර ඒ අතරින් ස්ථාන 85ක් ප්‍රමුඛතාව මත සංරක්ෂණය කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ටැම්පිට විහාර ඉදිකරන ලද්දේ පොළොව සමතලා කොට පාදමක් ඉදිකර හෝ නොමැතිව ගල්ටැම් සිටුවීමෙන් පසුවයි. ගල්කණු මත දිගට සහ හරහට දැව බාල්ක යොදා එම සැකිල්ල මත ඝනකම් ලෑලි අතුරා සකස් කරගත් වේදිකාවක් මත බිත්ති බැඳගනී. පුරාණයේ ඒ සඳහා වරිච්චි බිත්ති යොදාගත්ත ද යෝගියාන විහාරයට ගඩොල් බිත්ති ඉදිකර තිබේ. මෙම විහාරය අඩි එකහමාරක් උස කළුගල් කණු 13ක් මත තනා තිබේ. විහාර ගොඩනැගිල්ල දිගින් අඩි 12ක්ද, පළලින් අඩි 10 අඟල් 6ක්ද වේ. විහාර මන්දිරය වටා යන සේ බීරළු වැටකින් සැදි ප්‍රදක්ෂිණා පථයකි. පෙති උළු සෙවිලි කළ පියස්ස වටා යන සේ පුරාණ සම්ප්‍රදායට අනුව වඩිම්බු උළු සෙවිලි කර තිබේ. අලංකාර පෙනුමකින් යුක්ත මේ විහාරය නවීන නරඹන්නා තුළ අතීත උරුමය පිළිබඳ සිතුවිලි ජනිත කිරීමට සමත්ය. විහාරය වටා යන සේ ප්‍රදක්ෂිණා පථය වටා ඉදිකර ඇති දැව කුලුනු එකිනෙකට වෙනස් කැටයම්වලින් යුක්තය. එහි මුදුන පේකඩ කැටයමින් සරසා තිබේ. පෞරාණික ස්වභාවය මතුවන සේ මේ කැටයම් නිමාකර ඇත්තේ පස්යාලේ අනුර ශිල්පියා විසිනි.
සම්ප්‍රදායික උඩරට සිතුවම් කලාවට අනුරූපවන සේ ඇඳි සිතුවම් විහාරයට ආකර්ශනයක් ගෙනේ. පුරාණ තාක්ෂණික ශිල්ප ක්‍රමවලට අනුව මෙම සිතුවම් නිමාකර තිබෙන්නේ කිරිඳිවැල දියවැල සුනිල් ශාන්ත සිත්තරාය. ඒ ගැන ඔහු අපට මෙලෙස පැවසුවේය. “පුරාණ ටැම්පිට විහාරවල චිත්‍ර මුලින්ම අධ්‍යයනය කළා. ඊට පසුව හල්දුම්මල සහ දොරණ තෙල් මිශ්‍රණය අල්ලියාදුවලට මිශ්‍රකරලා බිත්තියේ ගානවා. හල්දුම්මල හා දොරණ තෙල්වලට අල්ලියාදු බිත්තියට බදා අල්ලාගන්නවා. ඊට පසු අපි ඩිමයි කඩදාසියක බිත්තියේ ප්‍රමාණයටම චිත්‍රය ඇඳගෙන ඒක පසුව බිත්තියට පිටපත් කරනවා. එහි අඩුපාඩු සකස් කරගෙන වර්ණ ආලේපය පටන්ගන්නවා. දැනට වෙළෙඳපොළේ තිබෙන කුඩු සායම්වලට වලිත්ති මිශ්‍රකර තමයි චිත්‍ර ඇන්දේ. අන්තිමට සියුම් රේඛා මතුකරගෙන චිත්‍රය නිමාකළා. මේ චිත්‍ර අවුරුද්දක් විතර පරණ වුණාම ඒ මත හල්දුම්මල මිශ්‍රණය ආලේප කළ යුතුයි. එවිට චිත්‍ර ලැමිනේටින් කළා වගේ දිගු කලක් ආරක්ෂා වෙනවා.”
මාර පරාජය, සත් සතිය, නෙළුම් මල් වියන සහ මකර තොරණ යන සිත්තම් මෙහි නිර්මාණය කර තිබේ.
අද පුරාණ විහාරාරාම පවා කෘත්‍රිම තීන්ත ආලේපයෙන් අදක්ෂ සිත්තරුන් ලවා අලුත්වැඩියාව නිසා විනාශවනු අපට සුලබව දක්නට ලැබේ. එවන් යුගයක පෞරාණිකත්වය ප්‍රතිනිර්මාණය කිරීමට ගත් මේ උත්සාහය අපගේ ඇගැයුමට ලක්විය යුතුය.
►සටහන සේයාරූ - කුසුම්සිරි විජයවර්ධන