2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

පාසල් තුළටත් රහසේ රිංගවන කුඩු

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 394

පාසල් දරුවන් යනු රටේ අනාගත වත්කමය. ඒ නිසා රටට බුද්ධිමත්, නිරෝගිමත් දරු පරපුරක් සැකසීම වැඩිහිටි සියලු දෙනාගෙන්ම විය යුතු යුතුකමකි. එමෙන්ම වගකීමකි. අධ්‍යාපනය පමණක් නොව පාසලෙන් බාහිර සමාජයේ ජීවිත පැවැත්ම ගැනද වැඩිහිටියන් දරුවන්ට පහදා දිය යුතුය. එපමණක් නොව අවධානයෙන් සිටිය යුතුය.

එහෙත් අද වන විට ඇතැම් පාසල් දරුවෝ විවිධ ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව සිටිති. එක් පැත්‍තකින් ලිංගික අසහනකාරයන්ගෙන්ය. එයට හොඳම උදාහරණය මෑතක අත්අඩංගුවට ගත් මොණරාගල පෞද්ගලික පන්ති පැවැත්වූ ගුරුවරයා සිදුකළ අපචාර ක්‍රියාය. නව යෞවනය පසු කරන ඕනෑම අයෙකු විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වීම විද්‍යාත්මක නියතයක් නිසා නව යෞවනය පසු කරන තරැණියන් බොහෝ විට ලිංගික අසහනකාරයන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානම වැඩිය. ඒ නිසා මවුපියන් අවධානයෙන් සිටිය යුතු සේම සමාජයේ වැඩිහිටියන් එය දුටු තැන සිය විරෝධය පා දරුවන්ගේ ජීවිත බේරා ගතයුතුව ඇත.

ලිංගික අසහනකරුවන්ට පසුව අද වනවිට සමාජයේ සිටින අනෙක් වර්ගය වන්නේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරැවන්ය. එය ලිංගික අසහනකරුවන්ට වඩා භයානක පිරිසකි. මොවුන් නිසා මව්පියන්ද දරුවන් පමණක් නොව අනාගතයට බුද්ධිමත්, ශක්තිමත් ප්‍රජාවක් ද අහිමි කරනු ඇත. මේ නිසාම අප මේ පිළිබඳව කරුණු හෙළි කරන්නේ දෙමාපියන්ට තම දරුවා බේර ගැනීමට පමණක් නොව සමාජය තුළ සිදුවන්නට යන මහා ව්‍යසනය හෙළි කිරීමේ අරමුණු ඇතිවය.

ඔබට මතක නම් පසුගිය කාලයේ අවස්ථා දෙකකදී පාසල් දෙකක දරුවන් මත් කුඩුවලට ඇබ්බැහි වී ඇති ප්‍රවෘත්ති කිහිපයක් පළවුණි. එපමණක් නොව පාසල් කිහිපයක විදුහල්පතිවරැන්ට එය පාලනය කර ගැනීමට නොහැකිව ඉවත් වූ අවස්ථා ද දකින්නට අසන්නට ලැබිණි. මෙහි සත්‍යයක් තිබේද? අප සොයා බැලුවෙමු.

එය ඇත්තය. මේ වනට විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පාසල් දරුවන් මත් ද්‍රව්‍යවලට යොදවා ගැනීමේ ඉතාමත් රහසිගත මෙහෙයුමක් සිදුකරගෙන යති. එය පාසල තුළ මෙන්ම ඉන් බාහිර සමාජය තුළ ද ක්‍රියාත්මක වන්නේ විවිධ ස්වරූපවලිනි.
මෙම මෙහෙයුම ප්‍රථමයෙන් ආරම්භ වන්නේ පිටින්ය. විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් සමාජ ජාලාවල සැරිසරමින් කටයුතු කරන අතර ඔවුන් එක් අවස්ථාවක රහසිගතව උත්සවයක් සූදානම් කරන්නේ මුහුණ පොතේ සිටින තරුණ තරුණියන්ටය. එම උත්සවයට සහභාගී වන තරුණයන්ට කාත්තාවන් සමඟ අනඟ රැඟුම් ද මත් පැන්ද, ගංජාද, පෙතිද, පැණිද ඇතැයි කියති. එසේම කන පුපුරන ඒ සංගීත ශබ්දයට එළිවෙනතෙක් නැටිය හැකි බවත් කියති.

ඒ අනුව අදාළ දිනයට තරැණ තරුණියන් රහසිගත නිවසකට හෝ උත්සව ශාලාවකට කැඳවා උත්සවය ආරම්භ කරයි. රැපියල් 2000කට ලබාගන්නා ටිකට් පතකට කෑමත් අරක්කුත් ලබාදෙන බව කියති. ඒ අනුව පළමුව අරක්කු වීදුරු දෙකක් දී මේ පාසල් වයසේ තරැණ තරුණියන් යම් දුරකට මත් කරනු ලබයි. යම් තරමක මත් ගතියක සිටින පිරිස් වෙත තව තවත් මත් වීම සඳහා පෙති, පැණි, ගංජා පමණක් නොව කුඩු ද ලබාදෙනු ලබයි. ජීවිතයට මත්කුඩු නොබිව්ව උන් එදාට මත්කුඩුවලට පළමු ආරම්භය තබති.

ඒ අනුව එතැනදී එකතුවන මත් ජාවාරම්කරුවන් සමඟ මිත්‍රකම ආරම්භ කරන අතර එතැන් පසු ඕනෑම අවස්ථාවක ඔවුන්ට අවශ්‍ය මත් ද්‍රව්‍ය ලබාදීමට ජාවරම්කරුවෝ පුරුදුව සිටිති.

ඇතැම් තරුණයන් පාසල් තුළ තමන්ට ඇති හයිය, චණ්ඩිකම පෙන්වීම සඳහා මෙම ජාවාරම්කරුවන් යොදාගන්න අවස්ථා ද අනන්ත අප්‍රමාණව ඇතැයි පොලීසිය පවසයි. පාසලේ දෙපිරිසක් අතර ඇතිවන ගැටලු පවා විසඳීමට ඇතැම් ජාවාරම්කරුවන් මැදිහත් වන බව සඳහන් වේ.

කෙසේ වෙතත් ඇතැම් පාසල් ශිෂ්‍යන් සමඟ ජාවාරම්කරුවන් ඇතිකරගන්නා ගනුදෙනු ක්‍රමයෙන් පාසල් පද්ධතියට ඇතුළු වන්නේ ගුරුවරුන්ටවත් නොදැනෙන්නටය. එයට හොඳම පරිසරය සැකසෙන්නේ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සහ පාසල් අතර පැවැත්වෙන සුහද ක්‍රිකට් ක්‍රීඩා තරගවලදී බව පොලීසිය පවසයි.

එම උත්සවවලදී බොහෝ විට තරුණ තරුණියන් සැරිසරන්නේ කූඩුවෙන් මුදාහල කුරුල්ලන් ලෙසය. ඇතැම් අය පාසල් යන එන වෙලාවක් නැත. පාගමන් හැමතැනමය. එකී අවස්ථාවල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාසලේ ඇතැම් ශිෂ්‍යයන්ට මත්ද්‍රව්‍ය ලබාදෙන්නේ ඔවුන්ගේ වචනයෙන් ෆන් එකක් ගැනීම සඳහාය. බොහෝ සිසුන් හට අතින් අත යන මත්කුඩු, මත් පෙති, ගංජා ඇතුළු මත් ද්‍රව්‍ය නිසා ගොඩක් දෙනෙක් සිටින්නේ වෙන ලෝකවලය. ඔවුන්ගේ භාෂාවෙන් එක්කෝ දිව්‍ය ලෝකයේය, නැතිනම් හඳේය. ෆන් එක කෙසේ වෙතත් ක්‍රියාකාරි සිසුවන් එක් තැනකට ගාල් කොට ඇස් චූටි වී බලාගත් අත බලානිමින් සිටින්නේ වෙනම ලෝකයකය. ඒ මෙකී මත් ද්‍රව්‍යවල විපාකය.

ඉහත කී කාලවලදී ජාවරම්කරුවන් මත් ද්‍රව්‍යවලට කෙසේ හෝ පාසල් ළමුන් පුරුදු කරන්නේ ඔවුන් සමීපයේ ගැවසෙමිනි. අතේ පයේ රත්තරන් පුරෝගෙන මල්ලිලා වෙනුවෙන් පණ දෙන්නට සිටින මේ අයියලාට මල්ලිලා ඉක්මනින් හසුවන්නේ බලා සිටියදීමය. මේ නිසා පෙත්තක්, කුඩු ටිකක් නිතර මල්ලිලාට ලබා දීමට මේ අයියලා පුරුදු වී සිටිති. එය අතටම සලස්සවන්නට ද මෙකී අයියලා ඕනෑම වෙලාවක සූදානම්ය.

සාමාන්‍යයෙන් පාසලක පාසල් ශිෂ්‍යයන් සැරිසරන්නේ කණ්ඩායම් ලෙසටය. සම අදහස් ඇත්තෝ එක තැනකට එක්වෙන්නා මෙන් පාසල් තුළ ද එවැනි කණ්ඩායම් බිහිව ඇත. මත් වීම සඳහා පුරුදු වී සිටින එක් කණ්ඩායමක එක් අයකුට යම් හෙයකින් හොරෝයින් පුරුදු කළහොත් ඔහු නියත වශයෙන් ඇබ්බැහි වී කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ට ද අත්හදා බලන්නට පුරුදු කරනු ඇත. පසුව එය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ට ද පැතිර ගොස් වේගයෙන් ඇතැම් සිසුන් කරා පැතිර යන්නේ කාටත් නොදැනෙන්නටය.

මෙය ලියූ විට සමහර පුද්ගලයන්ට අප සමඟ තරහක් එනු ඇත. එහෙත් ඇත්ත සිද්ධිය නම් එලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පාසල් බොහොමයක ගුරුවරුන්ගේ මුදල් සොරාගත් අවස්ථා අනන්ත අප්‍රමාණ හෙළිවීමය. ඇතැම් සිද්ධි පොලීසියට ගියත් ඇතැම් ඒවා විසඳන්නේ පාසලෙනි.

දැනට පාසල් ළමුන් අතරේ බෙදාහරින විවිධ මත් ද්‍රව්‍ය අතර පැන්සලක පෙනුම ඇති මත් ද්‍රව්‍යයක් ඇත. එය කටින් කඩා හෝ කටේ තබා ගෙන සිටීමෙන් මත් විය හැක. අනෙක මුද්දරය. එල්. එස්. ඩී මුද්දරයක් දිව මත තබා ගැනීමෙන් ඔවුන්ගේ භාෂාවෙන් සුර ලොව යා හැක. සුරලොව ලෙස ඔවුන් හඳුන්වන්නේ මානසික විකෘත්තියටය. අනෙක් මත්ද්‍රව්‍ය නම් ඩාන්සින් පෙත්තය. එය විශාල මුදලක්වැය කළ යුතු අතර ඒ සඳහා කණ්ඩයමක් එක්ව මුදල් වැයකරනු ලබයි. මේ සියල්ල අභිබවමින් දැන් හෙරොයින් ද ඇතැම් පාසල් තුළට ඇතුළු වී ඇත.

කෙසේ වෙතත් මෙම මත්ද්‍රව්‍ය නිසා සමාජයට තියා තමන්ටවත් සෙතක් නැත. සම්පූර්ණයෙන් පෙනුම විකෘති වීම පමණක් සිදුවන අතර මතකය හීන වී යයි. එපමණක් නොව ඇබ්බැහි වීම තුළ තව තවත් මෙම මත්ද්‍රව්‍ය අවශ්‍යතාවය ඉහළ යන අතර එවිට හොරකම් කිරීමට පාසල් සමයේ පටන් ඇබ්බැහි වේ. ඒ නිසා මෙය සෙල්ලමට ගතයුතු දෙයක් නොවන්නේය. දුටු තැන මර්දනය කරනවා විනා පස්සේ දවසක බලන අපේක්ෂාවක සිටියහොත් අනාගත පරපුරක් ගන්නට දෙයක් නැති වනු ඇත.

බුද්ධි අංශ වාර්තා කරන ආකාරයට මේ වන විට පාසල් කිහිපයකම මත් උවදුර පැතිර ගොස් ඇති අතර එය මර්දනය සඳහා පාසල් මට්ටමින් ද කටයුතු ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් අපට කියන්නට ඇත්තේ එක දෙයකි. පාසල් දරුවන් පාසලට භාර දුන් පසු දරුවා සම්බන්ධ වගකීම ගුරැවරැන්ට පමණක් සීමා වන්නේ නැත. එය තවදුරත් මාපියන් සතුවේ. එසේම පාසල් දරැවෙක් වැරැද්දක් සිදුකරන විට එය මාපියන්ගේ වරද යයි කියා වැඩිහිටියන්ට අත් පිසදා ගත නොහැක. මේ අපේ අනාගතයයි. ඔබෙන් අපෙන් පසුව රටේ අනාගතය බාරගන්නා පරපුරය. ඒ නිසා නිතර ඔබේ පසුපස සිටින දරුවන් කෙරෙහි අවධානය යොමු කරන්න යැයි අප සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමු.

 ගයාන් ගාල්ලගේ