2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ඇතුළෙ රත්රන් වුණත් වැඩක් තියෙනවද එළියෙ ජරාව නම්

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

- ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

පසුගිය අගෝස්තු 16දා ලංකාවේ ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියකින් කියැවුණේ ජාතික සංහිඳියාව සහ ඒකාබද්ධතා කාර්යාලයෙන් (ONUR) ජාතික සමගියට සහයෝගය දැක්වීම සඳහා ගුවන්විදුලි නාට්‍ය මාලාවක් නිෂ්පාදනය කර ඇති බවයි. මේ ප්‍රවෘත්තිය කියැවූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ට එහි යම් අමුත්තක් ඉව වැටුණි. උන්වහන්සේ ඒ ගැන තම අදහස් මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා පැවසූහ. පසුව අපගේ ඇමතුමට පිළිතුරු දුන් සෝභිත හිමියෝ මෙසේ විස්තර කළහ.

ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීමට නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළ බව එහි සඳහන් වෙනවා. නාට්‍යවල චරිත සඳහා ප්‍රකට ගුවන්විදුලි ශිල්පීන් සහභාගි වී තිබෙනවා. නමුත් මේ නාට්‍යවල නාමයන් යෙදීමේදී අපට පෙනෙන්නේ ඒවායින් බුදුදහමේ ප්‍රකට පාඨ වෙනස්කර අපහාසාත්මක ලෙස ඉදිරිපත් කර ඇති බවයි.

එක නාට්‍යයක නම තරැවන් සරණයි. ඒක තෙරුවන් සරණයි කියන බෞද්ධ  ආශීර්වාදය උපහාසයට ලක්කර සකස් කිරීමක්. තවත් නමක් තමයි නිහෝන් සැප ලැබේවා. කවුරුත් දන්නවා නිවන් සැප ලැබේවා කියන සංවේදී ප්‍රාර්ථනාව අපහාසයට ලක්කර යොදා ගැනීමක් බව. මෙහි නිහොන් කියන එකේ අර්ථය ජපානය යන්නයි. තව නාට්‍යයක නම නිර්වස්ත්‍රං පරමං සුඛං (නිර්වාණං පරමං සුඛං කියන පාඨය වෙනස් කර හදාගත් ඒ වචනයේ අරැත නිරැවත්ව සිටීම පරම සැපත බවයි) මේක ඉතා සාපරාධී ලෙස නියම අරුත විකෘත කිරීමකි.

මේවායින් අපට පේන්නේ ජාතීන් අතර සමගිය නෙවෙයි අසමගිය අසහනය ඇති කරන වැඩපිළිවෙළක් බව. මේකෙන් බුද්ධාගම නිග්‍රහයට ලක්කිරීම වගේම සමාජයේ පවත්නා උත්තරීතර සාරධර්ම විනාශයට පත් කිරීමක් වන බව පේනවා. රාජ්‍ය මාධ්‍ය යොදාගැනීම මගින් කිරීමට උත්සාහ කරන්නේ දැනට ජනතාව අතර පවත්නා සමගිය සංහිඳියාව විනාශ කිරීමේ වැඩපිළිවෙළක් බව පේනවා. විදේශීය කුමන්ත්‍රණකාරී ජාතිභ්‍රෂ්ඨ අරමුණක බළල් අතක් බවට මේ සංවිධානය පත්වී ඇති බවයි අපට පේන්නේ. මේ ප්‍රවෘත්තිය ඉංග්‍රීසියෙන් පමණක් පළවීමටත් ඒක එක් හේතුවක් වන්න ඇති.

රාජ්‍ය ආයතනයකින් යම්කිසි කාර්යයක් කරන විට එය ජාතික මට්ටමින් සිතා බලා කළ යුතුය. එහෙත් ජාතික සංහිඳියාව සහ ඒකාබද්ධතා කාර්යාලයෙන් මහජනතාව අතරට නව පණිවුඩය ගෙනයාම සඳහා තබා ඇත්තේ සංවේදී ස්ථානයකට පොරෝ පහරක් එල්ල කිරීම වැනි වැඩකි. එනම් බුදුදහමේ ප්‍රචලිත ආශීර්වාද පාඨ අපහාසාත්මක ලෙස නිග්‍රහයට ලක් කිරීමය. අප රටේ මෙන්ම ලෝකයේදී ජාතිකත්ව ප්‍රශ්නය බොහෝ අවස්ථාවල මතුවන්නේ ආගමද මුල්කර ගනිමිනි. යුරෝපීය රටවල ඇතිවූ කුරුස යුද්ධ ගැන අපි ඉතිහාසයෙන් ඉගෙන ගනිමු. 1915 සිංහල මුස්ලිම් කෝලාහලය මෙන්ම පසුගිය මෑත අතීතයේ ඇතිවූ සිංහල මුස්ලිම් කලබලවලටත් පල්ලි හා පන්සල් අසලදී සිදුවූ අනවශ්‍ය සිද්ධි හේතු වූ බව රහසක් නොවේ. එවන් අතීතයක් ඇති රටකට මෙවන් නාමයන් සහිත සන්නිවේදන වැඩසටහනක් දියත් කිරීමම අනුවණ ක්‍රියාවකි. අද දිනෙන් දින පිරිහෙමින් පවතින ජාතික සමගිය වර්ධනය සඳහා විවිධ ව්‍යාපෘති රැසක් ජාතික සංහිඳියාව සහ ඒකාබද්ධතා කාර්යාලයෙන් ක්‍රියාත්මක කරයි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්යාලය මගින් පාසල් ළමුන් දැනුම්වත් කිරීම, නාට්‍ය, වැඩමුළු, සම්මන්ත්‍රණ ආදී පියවර රුසක් ගෙන ඇති අතර රේඩියෝ නාට්‍ය මාලාව එහි නවතම ව්‍යාපෘතියයි. එය නම්කර ඇත්තේ කනට පහරක් යනුවෙනි. සෑම සෙනසුරාම රාත්‍රී 9.00 ට ITN එෆ් එම් (93.5 සහ 93.7) ඔස්සේ මෙම නාට්‍ය විකාශයට නියමිතය. ඊට අමතරව සංගත තැටිවලට නංවා ජනතාවට බෙදාහැරීමටත් යූ ටියුබ් ඔස්සේ බාත කර ගැනීමට පහසුකම් සැලසීමටත් බලාපොරොත්තු වේ. ගුවන් විදුලි නාට්‍ය අධ්‍යක්ෂණය කර ඇත්තේ සම්මානනීය තිර රචකයකු සහ අධ්‍යක්ෂවරයකු වන මාලක දේවප්‍රිය විසිනි.

කනට පහරක් ගුවන්විදුලි නාට්‍ය මාලාව කථාංග 15කින් යුක්තය. ඉන් දෙකක් නිෂ්පාදනය කර ඇත්තේ දෙමළ බසිනි. තරුවන් සරණයි, නිහොන් සැප ලැබේවා, ආලයක දමනය, නිරබිශේකාන, නිර්වස්ත්‍රං පරමං සුඛං, හන්සලක්, රෝම රූපන, සුවදෙන අග්නි, රඟදෙන කපුවෝ, නාඩන් පටාචාරා, නවනාථ දහම, ඉන්ද්‍රජාලික මඟුල් සැණකෙළි, අලුත්ම ආටිකල් එක, එකතැන කැරකුම ආදී නාට්‍ය ඒ අතර වේ. මේ නාට්‍යවලට හඬ සපයා ඇත්තේ ප්‍රවීණ ගුවන්විදුලි සහ නාට්‍ය ශිල්පී ශිල්පිනියන් විසිනි.
අපි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් විදිහට සංස්කෘතික හා උසස් අධ්‍යාපන ඇමැති විජේදාස රාජපක්ෂ මැතිතුමා ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඔහු පවසා තිබෙනවා මෙම නාට්‍ය විකාශය කිරීම වහාම නවත්වන බවට. අපි මේ ගැන බුද්ධශාසන අමාත්‍යංශයට සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාටත් දැනුම් දී තිබෙනවා සෝභිත හිමියෝ අදහස් දැක්වූහ.

මේ නාට්‍යවල ගැටලුව පැනනැගී ඇත්තේ ඒවායේ මාතෘකා අනුව මිස අභ්‍යන්තරය කුමක්දැයි දැනගෙන නොවේ. ඒ ගැන පැවසූ ඕමල්පේ සෝභිත හිමියෝ, 

ඇතුළෙ රත්තරන් තිබුණත් වැඩක් නෑ පිටින් ගහලා තියෙන්නෙ අසූචි නම්. අපි පොතක් වුණත් පිටකවරයෙන් හැඟීමක් ඇතිකර ගන්නවනේ ඇතුළ ගැන. බිස්කට් එකක් ගත්තත් අපි දවටනය ගැන උනන්දු වෙනවනේ. අපි පුද්ගලයකුට වුණත් නමක් තබන විට කොච්චර උනන්දු වෙනවද? ජනමාධ්‍ය හරහා යන නාට්‍යයකට ජන ආකර්ෂණය එන ලෙස නමක් තබන්නේ ඒක අභ්‍යන්තරයේ ඇති දර්ශනය පැහැදිලි වන විදිහටනේ. ඒක නිසා අපට අභ්‍යන්තරය ගැන දැනගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. නමෙන්ම පේනවා මේක රටේ බහුතරය වන බෞද්ධ ජනතාවගේ සිත් රිදවන කම්පාවට පත් කරන දෙයක් බව. බෞද්ධ පමණක් නොවේ කතෝලික, මුස්ලිම් ආගමික නාම පවා දැමීමට අපි කැමැති නෑනේ. ක්‍රිස්තියානි ලෝකේ, මුස්ලිම් ලෝකේ ආගමික මතවලට පහර ගහන්න ඉඩක් නෑ. අපි ඉතින් ඇල්වතුරත් නිවලා බොන සංහිඳියාවෙන් ඉන්න නිසා අපට ගාණක් නෑ. හුඟ දෙනෙක් සංවේදී නෑ. මධ්‍යස්ථ බෞද්ධ ජනතාව මේ වගේ දේවල් ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. මෙම විරුද්ධ ජාතික සමගියට හා පොදු පිළිගැනීම්වලට විරැද්ධ බලවේග ජාත්‍යන්තර විනාශකාරී සංවිධාන හරහා අපේ මිනිසුන් බළල් අත් බවට පත් කරගෙන ක්‍රියාත්මක වෙනවා.

මේ අතර ගුවන් විදුලි නාට්‍ය අවුල ගැන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර ඉන් පැවසෙන්නේ කථාංගවල නාමයන් වෙනත් යෙදුම් සමඟ සමපාත වන බවක් හැඟෙන්නේ නම් ඒ පිළිබඳව බලවත් කනගාටුව ප්‍රකාශ කරන බවත්, විවාදාත්මක කථාංග නාමයන් වෙනස් කිරීමට කටයුතු කරන බවත්ය.

නාට්‍යවල නාමයන් වෙනස් කරනවා

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරණතුංගගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) බුදු දහමට නිගා කළා යැයි ප්‍රචාරය වන සාවද්‍ය පුවත් වාර්තාවන් සහ නොදැනුවත්කමින් සිදුකර ඇති ප්‍රකාශ ගැන අපගේ අවධානය යොමුව ඇත.

මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ තිර පටපත් අනුව එහි අන්තර්ගත මගින් ගුණධර්ම මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය අමතක කිරීම නිසා සමාජයේ දක්නට ලැබෙන පිරිහීමත් ඇතුළුව සමාජයට අවශ්‍ය බොහෝ දෑ ගැන විචාරශීලීව හා ප්‍රායෝගික ලෙසින් කථිකාවකට භාජනය කරන නිසා කාර්යාංශය මගින් මෙය විකාශය සඳහා අනුග්‍රහය දැක්වීමට එකඟතාව පළකරන ලදී..

බුදුදහමේ හරයන් සහ වටිනාකම් විකෘති වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් අනුමත කිරීමට තරම් අප වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙසින් කිසිවිටෙක අමනෝඥ නොවන බව තරයේ අවධාරණය කරනු කැමැත්තෙමු.

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ අවධානය සහ ක්‍රියාකාරකම් තුළින් ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, ජාතික එකමුතුව ගොඩනගමින් බුදු දහමට ව්‍යවස්ථානුකූලව හිමි ප්‍රමුඛස්ථානය ලබාදෙමින් සියලු ජනකොටස් හා ආගම්වලට ලබාදෙමින් සියලු ජනකොටස් හා ආගම්වලට ගරු කරන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනගන මෙවන් අවස්ථාවක එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් තම පෞද්ගලික දේශපාලන සම්බන්ධතා සහ පුද්ගලික න්‍යාය පත්‍ර අනුව මෙලෙස සාවද්‍ය පුවත් ප්‍රචාරය කිරීමක් පිළිගත් ජනමාධ්‍ය සදාචාර අනුව ඒ පිළිබඳව අප කාර්යාංශයෙන් පැහැදිලි කිරීමක් හෝ නොවිමසා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු පොදු මහජනතාව නොමග යැවීමටත් ගන්නා උත්සාහය තරයේ හෙළා දකිමු.

සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂකවරයා විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ශ්‍රී ලංකාවේ ප්‍රවීන කලාකරැවන් රුසකගේ දායකත්වයෙන් ප්‍රචාරය වන මෙම නාට්‍ය මාලාවට සවන් දී ඒ පිළිබඳව සාමකාමී හරවත් සංවාදයකට කැමැති ඕනෑම කෙනකු හා සම්බන්ධවීමට අප කාර්යාංශය සූදානම් බවද මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමු. 

මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ කථාංගවල නාමයන් පමණක් රූපිකව ගෙන බැලූ විට ඊට ශබ්දාර්ථයෙන් සමාන වෙනත් යෙදුම් සමග සමපාත බවක් කිසිවකුට හෝ හැඟෙන්නේ නම් ඒ පිළිබඳ අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර එමගින් යමෙකුට සිත්තැවුලක් ඇති නොවිය යුතු නිසා විවාදාත්මක කථාංග නාමයන් කිහිපය වෙනස් කිරීමට කටයුතු කරන්නෙමු.                                                                                                                                        

 රෙහාන් රාසික්