2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

දළදා පෙරහරේ නැට්ටුවො තෝරන්නත් වෛද්‍ය පරීක්ෂණ

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 314

සිරිලක බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට උපහාර පුදන කන්ද උඩරට මහා සංස්කෘතික මංගල්‍යය සෙංකඩගල ඇසළ මහ උළෙල ඊයේ (25) අවසන් විය. පුරාණ චාරිත්‍රානුකූලව ආරම්භ වූ හෙළ සංස්කෘතියේ අභිමානය විදහාපාන පෙරහර මංගල්‍යයට ලෝකයේම අවධානය යොමුවෙද්දී ඉතිහාසයේ කිසිම දිනෙක නොවූ අයුරින් සියලුම නර්තන හා බෙර වාදන ශිල්පීන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කොට පෙරහර මංගල්‍යයට සම්බන්ධ කිරීමට පියවර ගැනීම මෙවර විශේෂිත විය.

පාරම්පරික හා ප්‍රවීණ මෙන්ම නවක ශිල්පීන්ගේද සුබසාධනයට ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය මට්ටම පරීක්ෂාවකට ලක්කර මනා යෝග්‍යතාවයකින් යුතුව පෙරහර සඳහා යොමුකිරීම මෙහි අරමුණ වී තිබිණි. වෙනත් පෙරහර මංගල්‍යයන් පැවැත්වෙන අවස්ථාවලදී කලා ශිල්පීන් සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂාවකට ලක්කෙරුණද මෙකී විශේෂ පරීක්ෂාවේදී ඔවුන්ගේ නිදන්ගත රෝග තත්ත්වයන් පිළිබඳ පැහැදිලි වාර්තාවක් ලබාගැනීම, ඔවුන් දැනුම්වත් කිරීම හා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමද සිදුව තිබේ. පෙරහර සඳහා සහභාගිවන දරුවන් පරීක්ෂාවට භාජනය කිරීමේදී රුධිර පීඩනය, දියවැඩියාව, ඇස් පෙනීමේ දුර්වලතාවය වැනි රෝගාබාධවලින් පෙළෙන අයවලුන් හඳුනාගැනීමට හැකිවූ බවද හෙළිවිය.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වූ මේ වැඩපිළිවෙළ නිසා කලා ශිල්පීන් පෙරහරට දායකවීමට සුදුසු මට්ටමක පසුවන්නේද හෝ ඔවුන්ට අවදානම් සෞඛ්‍ය තත්ත්වයක් පවතින්නේද යන්න පරීක්ෂාවට ලක්වීම විශේෂය. එමෙන්ම ඔවුන් එකිනෙකාගේ නමට අදාළව සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දත්ත වාර්තාවක් පෙරහර සංවිධාන කමිටුවේ පරිගණක පද්ධතියේ ගබඩා කර තැබීමටද පියවර ගනු  ලැබීය.

මෙහිදී කලා ශිල්පීන්ගේ ජීවදත්ත තොරතුරු පදනම් කරගෙන තිබෙන අතර ඔවුන්ට විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීමටද පියවර ගෙන තිබේ. මෙම නව ක්‍රමවේදය සහිත වැඩසටහන ක්‍රියාත්මකව තිබියදී යම් අවස්ථාවක කලා ශිල්පියෙක් රෝගී තත්ත්වයට පත්වුවහොත් ඔහුගේ මූලික රෝගී තත්ත්වයන් පිළිබඳ වාර්තා සංවිධායක කමිටුව සතුව තිබීම හරහා ක්ෂණයකින් ඒවා වෛද්‍ය කණ්ඩායම් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතී. එහිදී ඔවුන්ගේ නිදන්ගත රෝග, ලේ වර්ගය, සිදුකර ඇති ශල්‍යකර්ම, භාවිත කර ඇති ඖෂධ වර්ග පිළිබඳව ක්ෂණිකව තොරතුරු ලබාගත හැකිය. මේ ක්‍රමය හරහා සිදුවන සේවාව කලා ශිල්පීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සිදුකෙරෙන කාලෝචිත ආයෝජනයකි.

2005 වර්ෂයේ පටන් ශ්‍රී දළදා මාලිගයේ පෙරහර මංගල්‍ය සඳහා ශිල්පීන් තෝරාගැනීමේදී විශේෂිත පෙරහුරු පරීක්ෂණ කිහිපයක් ක්‍රියාත්මක කොට ඇති අතර මෙවරත් එය එසේ සිදුකරන්නට පෙරහර සංවිධායක කමිටුව පියවර ගෙන තිබුණි. මහනුවර ඇසළ පෙරහරේ ප්‍රධාන කොටස් කිහිපයකි. එහි පළමුව වීථි සංචාරය කරන්නේ ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරය. ඒ පසුපස සතර මහා දේවාලවල නර්තන හා වාදන ශිල්පීහු ගමන් කරති. ඊට විෂ්ණු, නාථ, කතරගම හා පත්තිනි දේවාල ඇතුළත්ය. එක පෙළට පෙරහර ගමන් කළද ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කොටස කසකරුවන්ගේ සිට දියවඩන නිලමේ ගමන් කිරීම දක්වා අයත්ය. ඒ අතර අයත්වන නර්තන ශිල්පීන් හා වාදන ශිල්පීන් ඉහත කී ප්‍රායෝගික පරීක්ෂාවකට ලක්කරමින් තෝරාගැනීම සිදුකර තිබේ.

නිදන්ගත රෝග, ලේ වර්ගය, සිදුකර ඇති ශල්‍යකර්ම, භාවිත කර ඇති ඖෂධ හැමදේ ගැනම තොරතුරු මොහොතකින්

පෙර සඳහන් කළ වෛද්‍ය පරීක්ෂණ සිදුකෙරුණේද එම ශිල්පීන් වෙනුවෙනි. නර්තන ශිල්පීන් හා වාදන ශිල්පීන් මාලිගාවේ පෙරහර සඳහා තෝරාගැනීමට පෙරහුරු පරීක්ෂාවක් සිදුකර තිබුණි. එහිදී නර්තන කණ්ඩායම් හා ශිල්පීන් ප්‍රවීණද? කුසලතා පූර්ණද? බාලකද? නැගී එන පිරිස්ද? වශයෙන් කාණ්ඩ කරමින් තෝරාගනු ලැබීය. එහිදී සුදුස්සන්ට සුදුසු ස්ථානය පිරිනැමීමට හා පෙරහර අවසානයේ සම්මාන ප්‍රදානය කිරීමටට සියලු කටයුතු සූදානම් කෙරිණි.

මෙහිදී ඇතැම් නර්තන ශිල්පීන් හා වාදන ශිල්පීන් ඉවත් කිරීමට සිදුව තිබුණේ ඔවුන්ගේ නිසි කුසලතා පූර්ණත්වයක් නොමැතිවීම හේතුවෙන් බවද ඔහු පෙන්වා දුන්නේය. මෙහිදී උඩරට සම්ප්‍රදායේ ඇති වෙස් නර්තනය, උඩැක්කි, පන්තේරු, රබන්, නයියන්ඩි සහ හේවිසි ශිල්පීන්ගෙන් සමන්විත කණ්ඩායම් තෝරාගෙන තිබේ. එසේම උඩරට සම්ප්‍රදාය ගුරුකොටගත් කොතල පදය, බුලත් පදය නැටුම් කණ්ඩායම්ද තරමක වෙනස්කමකට ලක්කරමින් කළ නව නිර්මාණාත්මක පොල්මල් නැටුම හා තම්මැට්ටම් කණ්ඩායමද සහභාගී කරගෙන තිබේ. මෙසේ සකස් කරගත් කණ්ඩායම්වල ශිල්පීන්ට පෙරහරට දින ගණනාවක් තිබියදී කැඳවා පෙරහුරුව පවත්වා තිබුණේ ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේදීය. එහිදී යම් අඩුපාඩුවක් හඳුනාගත්තේ නම් ඒවා සකස් කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදුකර ඇත. මෙහිදී ශිල්පීන්ගේ ඇඳුම් ආයිත්තම්වල අඩුපාඩු සකස් කර ගැනීම සඳහා මුදල් ලබාදීමද සිදුවිය. ඇතැම් නර්තන කණ්ඩායම්වල සම්පූර්ණ ඇඳුම් සඳහා වියදම ලබාදී තිබෙන අතර මහාචාර්ය මුදියන්සේ දිසානායක, ධනපාල ඕවිටිගෙදර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රූපසිංහ, ආචාර්ය රාජපක්ෂ මහත්වරුන් ගෙන්වා රංග වස්ත්‍රාභරණ පිළිබඳ තත්ත්වය පරීක්ෂාවට ලක්කර නියමිත ප්‍රමිතියට නිර්මාණය කිරීමටද පියවර ගෙන තිබුණි.

මේ ආකාරයට සිදුකළ නව ක්‍රමවේදය මත ඇතැම් පිරිස් දෙවැනි වතාවටත් වෛද්‍ය පරීක්ෂණවලට යොමුකිරීමට සිදුව තිබුණි. කෙසේ වෙතත් කලා ශිල්පීන් කිහිපදෙනකු හැර බහුතරය නිරෝගිමත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට අනාවරණය වීම සතුටට කරුණකි. මේ පිරිස දළදා මාලිගාවේ පෙරහරට සම්බන්ධ වී සිටින කාලය, ලැබ ඇති සම්මාන ගණන, අධ්‍යාපන සුදුසුකම් ඇතුළු බොහෝ විස්තර ඔවුන්ගේ දත්ත ගබඩාවට ඇතුළත් කිරීමද සිදුකෙරිණි. මෙවර දළදා මාලිගාවේ පෙරහරට පමණක් නර්තන ශිල්පීන් දහසක් පමණ සහභාගි වී සිටි බව සඳහන්ය. ඒ අතර නර්තන කණ්ඩායම් 24ක් ඇතුළත්ව ඇත්තේ පෙරහරේ ගුණාත්මක බව රඳවාගැනීම සඳහා සිදුකළ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙසය.

කලක් මේ පෙරහරේ තිබූ ගොයම් නැටුම මෙවර දකින්නට ලැබෙන්නේ නැත. හේතුව ලෙස එය 1952 වර්ෂයේදී එක්වූවක් සහ එය පැරණි උඩරට සම්ප්‍රදායේ එන නර්තනයක් නොවීමය. අනෙක් නර්තනය වේවැල් කණ්ඩායමයි. එය මෙතෙක් මේ පෙරහරේ අංගයක් වුවද සූක්ෂම අධ්‍යයනයේදී පෙනීගොස් ඇත්තේ එහි පාද චලනය පහතරට නර්තනයට අනුකූල බවය. මේ හේතු මත උද්වේගකර නර්තනයක් වුවද එයත් ඉවත් කිරීමට සිදුව තිබුණි. මේ නව ක්‍රමවේදය තුළින් කන්ද උඩරට සංස්කෘතික ප්‍රසංගයක් පුණ්‍ය උත්සවයක් ආශ්වාදජනක ලෙස නැරඹීමට අවස්ථාව උදාවී තිබේ.

(දළදා මාලිගාවේ සංස්කෘතික ලේකම් බෞද්ධ කටයුතු හා සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගල මහතාට අපගේ ස්තූතිය)

►සමන්ත ප්‍රදීප් විල්තෙර