2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

මැෂින් නැති අමුතුම GYM එක

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 167

සමහරු කළු පාට බෝලයක් කරේ තියාගෙන දුවනවා. තවත් අය නිකම්ම ඒ අය පස්සෙන් දුවනවා. මේ හැමෝම පේමන්ට් එකේ යන එන මිනිස්සු අතරෙන් දුවන්නේ. වාහනවල යන එන අයත් පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා. තවත් කට්ටියක් පේමන්ට් එක අයිනෙ තියෙන ලොකු පෙට්ටි වගයක් උඩට නැගලා පනිනවා. සමහරැ යකඩ බටවල එල්ලෙනවා. එතන හරි වෙනස්... මැෂින් නැති ජිම් එකක්

උදේටත් හවසටත් දැඩි රථවාහන තදබදයක් ඇති බොරැල්ල කාසල් වීදියේ පිහිටි වෙනස් ආකාරයේ ශරීර සුවතා මධ්‍යස්ථානය පිළිබඳව දුටුවන් පවසන්නේ එසේය. දිනපතා අලුයම පහේ සිට පෙරවරැ නවය දක්වාත් සවස පහේ සිට රාත්‍රී නවය දක්වාත් මේ වෙනස් ආකාරයට ශරීර සුවතා මධ්‍යස්ථානයේ කටයුතු දකින්නට හැකිය.

කාලයේ තාලයට වෙනස්වන ජීවන රටාව නිසා කවුරුත් කාර්යබහුලය. කාර්යාලයේ, ව්‍යාපාරික ස්ථානයේ හෝ රැකියා ස්ථානයේදී අවිවේකී ජීවිතයක් ගත කරන කාටත් නිදහසේ හුස්මක් ගන්නට හෝ සතුටින් ගමනක් යන්නට වේලාවක් නැත. ඒකාකාරී ජීවිතයකට කොටුවී ගෙවන අක්‍රමවත් ජීවන රටාව ලෙඩ ගොඩකට මඟ කියන වර්තමානයේ ශරීර සුවතා මධ්‍යස්ථානවලින් සිදුවන්නේ මහඟු මෙහෙයකි. එබැවින් කාසල් වීදියේ පවත්වාගෙන යන වෙනස් ආකාරයේ අත්දැකීම් ලබාදෙන ශරීර සුවතා මධ්‍යස්ථානයට අපි ගොඩවැදුණෙමු.

ආයුර්වේද හන්දිය පසුකරමින් කාසල් වීදියේ මඳ දුරක් යද්දී දකුණුපසින් පිහිටි ගොඩනැගිල්ලක බිම්මහලේ පිහිටා ඇති මෙකී ශරීර සුවතා මධ්‍යස්ථානය දුටු පමණින්ම සෙසු ඒවාට වඩා වෙනස්ය. ශරීර සුවතාව පිණිස ක්‍රීඩාවේ යෙදෙන්නට පැමිණි අයගේත් කාර්ය මණ්ඩලයේ පිරිසගේත් සුහදත්වය නිසාම සැහැල්ලුවෙන් ව්‍යායාමවල නිරතවීමට අවස්ථාව හිමිය. රබර් පාපිසිවලින් ආවරණය කළ බිම ලිස්සීමෙන් තොරය. වයස් භේදයකින් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව එකම පරිශ්‍රයක සුහදත්වයෙන් ක්‍රීඩාවේ නිරතවීමට එහි ප්‍රියමනාප පරිසරයක් පවතී. එකිනෙකා අතර අදහස් හුවමාරු කරගනිමින් සහ පුහුණුකරුවන්ගේ උපදෙස් අනුගමනය කරමින් ක්‍රීඩාවේ නිරතවීම දකින අයටත් ප්‍රසන්නය.

මේ අපූරු ශරීර සුවතා මධ්‍යස්ථානයේ කිසිදු නවීන උපකරණයක් නැත. ඇත්තේ යකඩ කණු, බාර්, ලී පෙට්ටි හා බර ඉසිලීම සඳහා භාවිත කරන උපකරණ සහ තවත් අදාළ මෙවලම් පමණය. ව්‍යායාමය පහසු කරන නවීන උපාංග කිසිවක් නොමැතිය. එබැවින් කවුරුත් ගත වෙහෙසා ව්‍යායාමවල නිරතවන බව දකින්නට හැකිය. මෙම ශරීර සුවතා මධ්‍යස්ථානයට පැමි‍ණෙන ඕනෑම අයකුට තමුන්ට පහසු ගැලපෙන ආකාරයට ව්‍යායාම හඳුන්වාදීමටත් එමගින් ශරීරයේ අධික බර, මහත අඩුකරගෙන නියමිත ස්වරූපයට ගෙන එන්නට උපදෙස් ලබාදීමත් සිදුකෙරෙයි.

මේ සම්බන්ධයෙන් අපට අදහස් දැක්වූයේ එහි හිමිකරු තරිඳු වීරසිංහයි.

අපේ ආයතනයේ වැඩසටහන Crossfit කියලා තමයි යන්නේ. ඒ නම හරියට බ්‍රෑන්ඩ් නේම් එකක් වගේ. මෙතනදී ඔලිම්පික්, ජිම්නාස්ටික්, මාර්ෂල් ආර්ට් වගේ සෑම ක්‍රීඩාවකම අංග පුහුණු කිරීම කරනවා. ඒ තුළදී සෑම ක්‍රීඩාවකම සංකලනයක් දකින්න ලැබෙනවා. එතනදී අදහස් වෙන්නේ පුද්ගලයෙක් ඕනම ක්‍රීඩාවකට සූදානම් කිරීමයි. බර ඉසිලීම, දිවීම, පිහිනීම, රගර් මේ ආදී වශයෙන් ඕනෑම ක්‍රීඩාවකට මානසික හා ශාරීරික යෝග්‍යතාවය ලබාගන්න පුළුවන්. අපේ රටේ ප්‍රසිද්ධ ක්‍රීඩකයන් පවා බොහෝ අවස්ථාවලදී රෝගාබාධවලට ලක්වෙනවා. හේතුව ශරීර ශක්තිය මදිකමයි. අන්න එවැනි අවස්ථා වැළැක්වීමට අපි මේ හරහා උපදෙස් දෙනවා. ඊට සුදුසු මූලික පදනම ලබාදීම අපි සිදුකරනවා. මෙතනට සහභාගිවෙන පිරිසට ඕනෑම අවස්ථාවකදී වුණත් ඔහුගේ උපරිම ශක්තිය ලබාදීමට හැකියාව තියෙනවා. ඔහු කියයි.

2015 වසරේදී ආරම්භ කර තිබෙන මෙම ආයතනය 2000 වර්ෂයේදී ඇමරිකාවේදී ආරම්භ වූ Croofit ක්‍රියාවලිය පදනම් කොටගෙන පිහිටු වූවකි. මෙහි හිමිකරු විදේශගතව සිටියදී ලද අත්දැකීම මත ලංකාවට පැමිණීමෙන් පසුව ඇතිවූ අදහසක් මත මෙකී ආයතනය ආරම්භ කර තිබේ.

Crossfit වලට ලංකාවේ ආරම්භ කළ පළමුවැනි ජිම් එක තමයි මේක. මෙය ලංකාවට අලුත් අත්දැකීමක්. ඒ නිසා මට මේ සඳහා සුදුසු කෙනෙක් හොයද්දි නිරාෂ් පෙරේරා හමුවුණා. ඔහු බර ඉසිලීම කරන කෙනෙක්. මෙයා වසර 12ක් බර ඉසිලීමේ ක්‍රීඩාව හදාරපු කෙනෙක්. නිරා‍ෂ් සමඟ එකතුවෙලා ආයතනය ආරම්භ කළා. තරිඳු වීරසිංහ කියයි.

මෙම ශරීර සුවතා මධ්‍යස්ථානයේ ප්‍රධාන පුහුණු උපදේශක නිරාෂ් පෙරේරා මෙසේ අදහස් දැක්වීය.

ඕනම මට්ටමක කෙනෙකුට මේක කරන්න හදාරන්න පුළුවන් කියන විශ්වාසය අපි දෙනවා. ඒකට සුදුසු ශාරීරික හා මානසික පුහුණුව අපි දෙනවා. මේක කරන්න බෑ කියලා කිසිම කෙනෙක් එළියට යන්නේ නෑ. පාසල් දරුවන්ගේ ඉඳලා වයස් භේදයකින් තොරව විශාල පිරිසක් මෙතනට එනවා. වයස අවුරුදු 8ක දරුවකුත් මෙතනට එනවා. හැමෝටම එකම පුහුණුව නෙවේ එක එක්කෙනාගේ ශරීර මට්ටම බලලා අපි නිර්දේශ කරන ව්‍යායාම ටික තමයි කරන්නේ. දිනපතාම සිදුකරන ක්‍රීඩා විලාසය වෙනස් කරනවා. ඒක විශේෂ දෙයක්. මෙතන කිසිම මැෂින් භාවිතයක් නෑ. පුද්ගලයාගේ සාමාන්‍ය ස්වරූපය බලලා ඔහුට සුදුසු විදිහටයි අපි උපදෙස් දෙන්නේ. හැම දවසකම හැමෝගෙම මුළු ඇඟම වෙහෙසෙන විදිහට තමයි මෙතන ව්‍යායාම කරන්නේ. මෙතනදි අත්, කකුල්, පපුව හැමතැනම නිසි ක්‍රමයට හැදෙන එක සිදුවෙනවා. කෙනෙකුට අපි උපරිම කාලය පැයකට සීමා කරනවා. ඒ නිසා දවසට ක්ලාස් 7ක් කරනවා. සෑම අවස්ථාවකම අපේ උපදේශකවරුන් තුන්දෙනෙක් සේවය ලබාදෙනවා.

දිවීම ව්‍යායාමයේ කොටසකි. ඒ සඳහා පිරිස එළිමහනේ දිවීමට එක්වෙති. ශරීර සුවතා මධ්‍යස්ථානයෙන් පිටතට එන පිරිස් කාසල් වීදියේ සිට කොටා පාර ඔස්සේ බොරැල්ල දෙසට මීටර් 200ක් පමණ දුවවිත් යළිත් පැමින ව්‍යායාම්වල නිරත වෙති. මෙය සාමාන්‍ය ව්‍යායාම් මධ්‍යස්ථානවලට වඩා වෙනස් ක්‍රියාවකි. එය මෙම ආයතනයේ ප්‍රසිද්ධියට බලපා තිබෙන ක්‍රියාවකි. එමෙන්ම ආයතනය ආසන්නයේ ඇති උද්‍යානයට ගොස් ක්‍රීඩා කිරීමත් ඇතැම් දිනෙක ගල්කිස්ස වෙරළ තීරයට ගොස් ක්‍රීඩාවේ නිරතවීමත් වෙනස් අත්දැකීමකි. මේ අයුරින් නිතිපතා වෙනස් වන ආකාරයට විවිධ ඉසව් හඳුන්වාදීමට ඔවුහු ක්‍රියාකරති. දිනපතා රුකියාව සඳහා කොළඹ නගරයට එන අය මෙන්ම සංචාරය සඳහා ලංකාවට පැමිණෙන විදේශිකයෝද මෙම ශරීර සුවතා මධ්‍යස්ථානයට පැමිණෙති.

GRIT නමින් පවත්වාගෙන යන මෙම ශරීර සුවතා මධ්‍යස්ථානයේ ජේම්ස් පුවනේන්ද්‍රන් සහාය උපදේශක වශයෙනුත් භෞත චිකිත්සක වශයෙන් චම්පික ත්‍රිමාල් මහතාත් කටයුතු කරති.

GRIT ආයතනයේ අරමුණ කෙනෙකුගේ මස් පිඬු පිම්බීම නොවේ. ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් ක්‍රීඩාවට සූදානම් කිරීම පළමු අරමුණය. එහිදී විශේෂිත ආහාර පාන සඳහා නියෝග නැත. එකම අවවාදය කෘත්‍රිම ආහාරපාන වලින් මිදීමත් ස්වභාවික ආහාරවලට හුරැවීමත් පමණි. සීනි සහ පිටි ආහාරවලින් වැළකෙන ලෙසටද අවවාද කෙරේ. එසේම ජංගම දුරකතනයට හා සමාජ මාධ්‍ය භාවිතාවට අනවශ්‍ය ලෙස යොමුවෙමින් සිටින පිරිසගෙන් GRIT ආයතනයේ උපදේශකවරුන් ඉල්ලා සිටින්නේ කාලය නාස්තිවන ක්‍රියාවන්ගෙන් මිදී ක්‍රීඩාවට යොමුවන ලෙසය. එතුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මගපාදා ගන්නා ලෙසය.

කතාව/ සේයාරූ
සමන්ත ප්‍රදීප් විල්තෙර