
කලින් ගෝල්ඩ් කෝස්ට් ලෙස හැඳින්වූ ඝානා රටේ නම ලෝක ප්‍රසිද්ධ වූයේ එක්තරා කළු ජාතික හාදයකු හේතුකොටගනය. ඔහුගේ නම ඔහු ඉපදෙන්නටත් කලින් ප්‍රසිද්ධව තිබුණේ අපූරු කතා පොතක චරිතයක් නිසාය. ඒ කතාව රොබින්සන් කෘසෝය. එය කියැවූ අයට කෘසෝගේ දූපත්වාසී ගෝත්‍රික මිත්‍රයා කිසිදා අමතක නොවේ. සිකුරාදාවක හමුවූ ඔහුගේ නම සිකුරාදාය. 1938 අප්‍රේල් 8දා ද සිකුරාදාවකි. ඝානා රටේ නම ලෝකයටම ගෙන ගිය අපේ කතානායකයා උපන්නේ එදාය. මේ නිසා ඝානාවේ අෂාන්ටේ ගෝත්‍රිකයන්ගෙ බස වූ අකාන් බසින් ඔහුට නම දුන්නෙ සිකුරාදා උපන් තැනැත්තා හෙවත් “කොෆී” ලෙසටය. කොෆි නම ලෝකයම දැනගත්තෙ ඔහු ලොව ප්‍රබලතම ආයතනය වන එක්සත් ජාතීන්ගෙ මහපුටුවට හත්වැනියා ලෙස පත්වීමත් සමඟය. වාර දෙකක්ම පිට පිට එක්සත් ජාතීන්ගෙ මහලේකම් ධූරය හෙබැවූ කොෆී අනන් 2001 වසරේ නොබෙල් ත්‍යාගයද ලබාගත්තේය.
ගෝත්‍රික වර්ගවාදය පැතිර තිබූ ඝානාවේ ප්‍රධාන ගෝත්‍ර දෙකම නියෝජනය කරන නැදෑ පරපුරකට හිමිකම් කී කොෆි අනන්ගේ පියා අෂාන්ටේ පළාතේ ප්‍රාදේශීය ආණ්ඩුකාරයාය. ඉහළ මට්ටමේ ආර්ථීක විද්‍යා උපාධියක් හිමිකරගත් අනන් 1962 දී එක්සත් ජාතීන් වෙත බැඳී 1996 දී එහි මහලේකම් ධූරයට පත්විය. මේ මහලේකම් ධූරය එහිම නිලධරයකුට හිමිවූ මුල්ම අවස්ථාව මෙයයි. එසේම අප්‍රිකානු ජාතිකයෙක් එම තනතුරට පත්වූ මුල් අවස්ථාව ද මෙයයි. ආයතනික ව්‍යූහය සහ ක්‍රියාකාරීත්වය ගැන තිබූ දශක තුනකට ආසන්න මනා වැටහීම නිසාදෝ කොෆි අනන් මුල්පුටුවට පත්වූ විගස එහි නිලධාරිවාදය උඩුයටිකුරු කළේය.
ඔහු සිය මව්බස අකාන් ඇතුළු අප්‍රිකානු භාෂා කිහිපයක්ද ඉංග්‍රිසි, ප්‍රංශ, භාෂාද උගත්තෙකි. ඉතා චාම් සරල මහත්මයකු ලෙස සුවිශේෂී ඇවතුම් පැවතුම්වලින් යුත් අනන් සිය ධූර කාලය තුළ ඒඩ්ස් තුරන් කිරීමටත් ලෝක ත්‍රස්තවාදයට එරෙහිවත් ලොකු සටනක් ගෙන ගියේය. එක්සත් ජාතීන් නව ලෝකයට සුදුසු ලෙස වෙස්ගන්වන්නට ක්‍රියා කළේ ඔහුය. නමුත් එයින් ඉවත් වූ පසු අනන් ස්වීට්සර්ලන්තයේ ගම්බද පළාතකට වී සැහැල්ලු දිවියක් ගත කළේය. සරල ගැමියෙක් හැටියටය. ඔහුගෙ නමින්ම වූ පදනම් ආතනයේත් ලෝක සමාජ සේවා ආයතනවලත් ක්‍රියාකාරිකයකු වූ නමුත් ඔහු ඒ නිසා බැබලීමට ගිය ඔලුව ඉදිමුණ හාදයෙක් නොවීය. බොහෝ දෙනා ඔහු හොලිවුඩ් නළුවකු හා පටලා ගත්තේය. මේ නිසා ඔහු නිතර අකරතැබ්බවලට මුහුණපෑවේය. කොෆි අනන් පිළිබඳ එක් රස කතාවක් ප්‍රසිද්ධය. ඒ වසර 2012 දිනයකි. මේ සිද්ධිය වන විට ඔහු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තනතුරෙන් ඉවත්ව වසර 06 කි. ඉතාලියෙ සිය මිතුරෙකුගෙ නිවසක අප්‍රසිද්ධ ලෙස නැවතී සිටි කාලයකි. මේ කියන දවසේ තමන්ගෙ දෙවැනි කසාදයෙ බිරිය නෙනේ සමඟ අනන් කඩපළකට ගොඩ වැදුණේය. බිරිය බඩු තෝරන අතර අනන් ජනේලයෙන් පිටත ඉතාලි සුන්දරත්වය විඳගනිමින් උන්නේය. පදිකයේ ගමන් ගත් එකා දෙන්නා මේ දැක පුරුදු හාදයා කවුදැයි කුතුහලයෙන් යුතුව ඔහු අසලින් පියමන් කර ගියේ මඳ සිනා පාමිනි. කොෆි අනන් සිතුවේ මේ අය තමා කවුදැයි හඳුනාගන සිනාපාන බවය. ඉතින් කටපුරා සිනාසෙමින් හරිබරි ගැසුණු ඔහුට හදිසියේම දක්නට ලැබුණේ තමන් දිහාට ඇදී එන කල්ලියකි. රටක් රාජ්ජයක් අත්වූවාක් සේ කෑකෝ ගසමින් ආ පිරිස සැණෙකින් අනන් වටකරගන කොළ කැබලි සමරු පොත් සමඟ පෑන් පැන්සල්ද දික්කරන්නට වූහ. “ඕ මෝර්ගන් ඉතාලියට සාදරයෙන් පිළිගන්නවා!” යි, කෑ ගැසූ අය අතර සිටි තරුණයෙක් අන් අය පෙරළා ඉදිරියට ආවේ “මෝර්ගන් ෆ්‍රිමන්, ඔබ තමා මගේ ප්‍රියතම කළු නළුවා. කාටත් ඉස්සර මේක අස්සන් කරන්න”යැයි මොර දුන්නේය. මේ සිද්ධිය නිසා අන්ද මන්ද වී ගියත් අනන් කළේ කටපුරා සිනාසෙමින් හිස නමමින් මොර්ගන් ෆ්‍රිමන් ලෙස කොළවල කුරුටු ගා මේ අලකලංචියෙන් අන්දමන්දව ළඟට ආ බිරියද සමඟ එතැනින් හෙමිහිට ලිස්සා යාමය.

අනන් මුල සිටම කටයුතු කළේ සාමය සුරුකීමේ වැඩ කටයුතුවලය. ඔහු 92 වසරේ එක්සත් ජාතීන්ගෙ දෙවැනියා බවට පත්වෙයි. ඒ සමයේ මහලේකම් ධූරය දැරූ බුට්‍රොස් ගාලී ගුවන් ගමනක යෙදි සිටි අවස්ථාවක බොස්නියාවට ප්‍රහාර එල්ලකිරීම සම්බන්ධව ඔහු ගත් තනි නිර්භීත තීන්දුවක් නිසා අමෙරිකාවේ හිත දිනාගත් අනන්, ගාලී වෙනුවට වඩාත් සුදුසු පුද්ගලයා බවට පත්වන්නේය. ප්‍රධාන තනතුර ලද වහාම ඔහු ආයතනය මුළුමනින්ම නවීකරණයට ලක් කළේය. සේවයෙන් ඉවත් වූ පසුද ලෝක සාම කටයුතු සඳහා රාජ්‍යතාන්ත්‍රික මෙහෙවරට ඔහු යොදාගන්නා ලදී. සිරියාවෙ විශේෂ සාම නියෝජිතයකු ලෙසද මෑතකාලීනව රොහින්ගියාවේ ගැටලුව නිරීක්ෂකයකු ලෙසද ඔහු පත් කරන ලදී.
කොෆි අනන් දෙවරක් විවාහ විය. ටිටි අලාකිජා මුල් බිරිය මියගිය පසු නෙනේ ලැගර්ග්‍රෙන් සමඟ 1984 දී විවාහ විය. මුල් විවාහයෙන් දරුවන් දෙදෙනෙකි. පසු විවාහයෙ ස්විස් ජාතික බිරියට ඇගේ මුල් විවාහයෙන් ලද දරුවෙකි. 2004 වසරේ පත්‍ර වාර්තාවකින් මඩ ගැසුවේ අනන්ගෙ පුතා කොජෝ, ස්වීස් කොම්පැණියකට කොන්ත්‍රාත්තුවක් ලබාදීමට මුදල් ලබාගත් බවටය. අනන්ගේ නමද මෙයට ඈඳා තිබුණි. අනන් වහා ස්වාධීන කමිටුවක් පත්කළ අතර අනාවරණය වුණේ චෝදනා අසත්‍ය බවය. ලෝක ප්‍රකට සන්ඩේ ටයිම්ස් පත්‍රය වරද පිළිගෙන වන්දියක්ද ගෙවීමට කටයුතු කළේය. අනන් ස්වීට්සර්ලන්තයෙ බර්න්වල අවසන් මොහොත තෙක් සක්‍රියව ගත කළේය. සුළු අසනීප තත්ත්වයකින් මියයන විට 80 හැවිරිදි වියේ පසුවිය. වත්මන් මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරේස් සඳහන් කළේ අනන් යහපත සඳහා මඟපෙන්වන බලවේගය ලෙසටය. කොෆි අනන් සාමයේ සූරුවිරුවා නැතිනම් චැම්පියන් ලෙසද ගුටරේස් පෙන්වා දී තිබුණි. එය ඇත්තකි. ඔහු සාමය උදෙසා වැඩියෙන්ම කැපවූ රාජ්‍යතාන්ත්‍රිකයාය. ඔහු ජීවිතයෙන් නික්ම ගියේද සාමකාමීවය.
♦ සුගත් පී. කුලතුංග ආරච්චි