2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

මත්පෙති මතු වූ ගල්කිස්ස වෙරළේ ෆේස්බුක් සාජ්ජේ

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

සෙබෙස්තියන් ලෙජර්ගේ බූකා බූකා ඩී.ජේ. ප්‍රසංගය ගල්කිස්ස වෙරළ තීරයේ සංචාරක හෝටලයේදී පැවැත්වෙන බවට ෆේස්බුක් සමාජ ජාලය තුළ දින ගණනාවක් ප්‍රචාරණය වෙමින් තිබුණි.

අන්තර්ජාලයේ www.444.lk වෙබ් අඩවිය තුළින් ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර කල්වේලා ඇතුව වෙන් කිරීමේ පහසුවත් එදින දොරටුවේදී මිලදී ගතහැකි බවත් දක්වා තිබුණි. සියල්ල අතර ප්‍රසංගයට අනුග්‍රාහකත්වය සපයන ආයතන කිහිපයක ලාංඡන ද දක්වා තිබුණි.

ඩී.ජේ. සංගීත ශිල්පීන් අතර ප්‍රසිද්ධ ස්වීඩනයේ සෙබෙස්තියන් ලෙජර්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බූකා බූකා සංගීත ප්‍රසංගය ගෙවුණු සති අන්තයේ ඉරිදාවක පස්වරුවේ පැවැත්වීමට කටයුතු සූදානම්ව පැවතිණ.

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ මේ ආකාරයටම ප්‍රචාරණය කරමින් සංවිධානය කර පැවැත්වූ ඩී.ජේ. සංගීත ප්‍රසංගය අතරතුර රෝගාතුර වූ පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වීමට හේතුව තවමත් සොයාගෙන නැත. ඒ මීට සති තුනකට පමණ ඉහතදී වාද්දුවේ සංචාරක හෝටලයක පැවැත්වුණා සාදයක තත්ත්වයයි. මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටි අයෙක් ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන අංශය වෙත තොරතුරක් ලබාදුන්නේය.

ඔත්තුකරු වැඩිදුරටත් දන්වා තිබුණේ ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1500 – 2000 අතර මිලකට අලෙවි කරන බවත් කාන්තාවක් කැටුව යන පිරිමින්ට ප්‍රවේශ පත්‍ර නොමිලේ හිමිවන බවත්ය. එසේම සියලුම වර්ගවල මත් ද්‍රව්‍ය අලෙවි කිරීමට නියමිත බවත් මත් පෙත්තක් රුපියල් 3500ක මිලකට අලෙවි කිරීමට නියමිතව ඇති බවත්ය. එම ඔත්තුවත් සමඟ අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරණ කටයුතු කරමින් නීති විරෝධී ලෙස පවත්වන්නට සූදානම් වන සෙබෙස්තියන් ලෙජර් ඩී.ජේ. ප්‍රසංග භූමිය වැටලීමට ගල්කිස්ස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාත කෝරාළ මහතා ඇතුළු නිලධාරීහු සූදානම් වූහ.

පසුගිය 19 වැනිදා පස්වරු 2 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වීමට නියමිත ප්‍රසංගය සම්බන්ධයෙන් ඔත්තුකරු ලබාදුන් තොරතුරට අනුව ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක මාත කෝරාල ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් ගල්කිස්ස සේරම් පාරේ වෙරළට ආසන්නව පිහිටි ප්‍රසිද්ධ හෝටල් පරිශ්‍රයක එළිමහනේ පැවැත්වෙන සාදය වැටලීමට පියවර ගත්හ. හෝටල් පරිශ්‍රයේ පිවිසුම සිටම තරුණයන්ගෙන් පිරී ගොසිනි. එක් ස්ථානයක පිහිටි ප්‍රවේශ පත්‍ර අලෙවි කුටියකි. එහි අලෙවි වන්නේ අත් පළඳනා කීපයකි. ඒවා වර්ණ කීපයකට අයත්ය. වැය කරන මුදලේ ප්‍රමාණය අනුව අත් පළඳනා ලබා දීමට එහි සේවකයෝ ක්‍රියා කරමින් සිටියහ.

සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන් සාදයට සහභාගී වන අයුරෙන් ඇතුළුවන විටත් එහි තුන්සීයකට අධික පිරිසක් රැස් වී සිටියෝය. සංචාරක හෝටලයේ වෙරළ ආසන්නයට පිහිටි නාන තටාකය ආසන්නයේ වෙන් කරන ලද පරිශ්‍රයක ඩී.ජේ. සාජ්ජය පැවැත්වෙමින් තිබී ඇත. තාප්ප මගින් වටකර තිබූ භූමිය නිසා අනවසරයෙන් කෙනකුට ඇතුළුවීමේ අවස්ථාවක් නොවීය.

සෙබෙස්තියන් ලෙජර් සහභාගී වන බූකා බූකා ඩී.ජේ. ප්‍රසංගය මුවාවෙන් මත්පෙති, අයිස්, හෙරොයින්, ගංජා, දුම්වැටි ඇතුළු විවිධාකාර මත්ද්‍රව්‍ය රැසක් එහි අලෙවි කරමින් සිට ඇත. මෙහි මත් පෙත්තක් අලෙවි කර ඇත්තේ රුපියල් 3500ක මිලකටය. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසකගේ ද සහාය ඇතිව සිදු කළ වැටලීමේදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 30 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු 28ක් ගොනු කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මේ පිරිස අතරට කාන්තාවන් දෙදෙනකු ද අයත් වන අතර ඔවුන් මත්පැන් ළඟ තබා ගැනීම හා ගණිකා සේවය සැපයීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී පුද්ගලයන් 15 දෙනකු ගංජා ළඟ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගත්තවුන්ය. සෙසු පිරිස මෝදක හා මනෝවර්තක වරද යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය. ඔවුන් පිළිබඳ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සැකකරුවන් පිරිස මහා අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.

සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පොලිස් නිලධාරීන් ඉදිරියේම වයස අවුරුදු 18ක් වන පාසල් දරුවන් තිදෙනෙක් ද ප්‍රසංගය සඳහා යාමට පැමිණ සිටියහ. නිලධාරීන් ඔවුන් වළක්වා කරුණු පහදා දීමෙන් අනතුරුව ඔවුන්ගේ මවුපියන් ගෙන්වා එම දරුවන් තිදෙනා බාර දී ඇත. මේ අනුව පොලීසිය පවසන්නේ ඇතැම් ව්‍යාපාරිකයන් නීත්‍යානුකූල බලපත්‍ර ලබාගෙන ප්‍රසංග සංවිධානය කළද ඒවා ඇතුළේ නීති විරෝධී කටයුතු රැසක් සිදු කෙරෙනා බවය.

මේවාට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන ප්‍රචාරණය සමඟ සමාජයේ සීඝ්‍රයෙන් වර්ධනය වන තත්ත්වයක් උද්ගත වී තිබේ. එබැවින් අන්තර්ජාලය භාවිතා කරන තරුණ දරුවන් සිටින මවුපියන් හා වැඩිහිටියන් දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව පොලීසිය දන්වා සිටී. මෙම ප්‍රසංගය පානදුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවක විසින් සංවිධානය කළ එකක් බවත් පොලීසියේ මැදිහත්වීම නිසා ප්‍රසංගය අසාර්ථක රුපියල් ලක්ෂ දහයක පමණ අලාභයක් සිදුව ඇතැයි පවසන බවත් කියති.

සහකාර පොලිස් අධිකාරී සමන් විජේසේකර, ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාත කෝරාළ මහතා ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කළහ. අනිල් මාත කෝරාළ මහතා එම ඒකකයේ වැඩ බාරගෙන දින 10ක් තුළදී වැටලීම සිදු කිරීම විශේෂිතය.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර