2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ටයිපින් වත්තේ හොර සහතික කන්තෝරුව

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 259

බොරැල්ල වෝඩ් පෙදෙසේ ව්‍යාපාරික ස්ථාන රාශියක් ඇතත් පරිගණක අකුරු ඇමිණීම, ග්‍රැෆික් ඩිසයින්, ඡායා පිටපත් ලබා ගැනීම, රබර් සීල් සැකසීම යන කටයුතු සඳහා නමගිය ස්ථානයකි. කාලයක් පුරා පවත්වාගෙන ගිය ව්‍යාපාර කටයුතු නිසා අදාළ ස්ථානය ටයිපින් වත්ත ලෙස ප්‍රසිද්ධය. ටයපින් වත්තේ කෙළවරක කුලී කාමරයක් තුළ පවත්වාගෙන ගිය හොර කච්චේරියක් වටලා පිටරට රැකියා හා විදේශ අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලුම ආකාරයේ ව්‍යාජ සහතික හා ඒවා නිර්මාණය සඳහා යොදාගත් උපකරණ කීපයක් සමඟ එම ජාවාරම්කරු අත්අඩංගුවට ගන්නට කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය පසුගියදා සමත් විය.

කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට ලැබුණු තොරතුරක් අනුව කොළඹ දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙරට රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක ව්‍යාජ නිල මුද්‍රා, ලේඛන හා විදේශීය රැකියා හා විදේශ අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලුම ලේඛන හා විභාග සහතික පත්‍ර තොගයක් ද අත්අඩංගුවට පත්විය.

ඉකුත් 18 වැනිදා වැටලීම සිදු කරන්නට මත්තෙන් ලලිත් පතිනායක මහතා විසින් කොළඹ දිසා දූෂණ මර්දන ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කැළුම් සෝමරත්න මහතාට තොරතුරක් ලබා දී තිබුණි. ඒ අනුව ඔහු පෞද්ගලිකවත් සිය නිලධාරීන් දෙදෙනකු සමඟත් අවස්ථා කීපයකදී අදාළ ස්ථානයට ගොස් ආවේෂණ රාජකාරියේ නිරතව සිට ඇත. 

පසුගිය 17 වැනිදා පෞද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් උප පොලිස් පරීක්ෂක කැළුම්ට දුරකථන ඇමතුමක් ලැබී තිබුණි. එමඟින් කියා තිබුණේ ටයිපින් වත්තේ සැකකාර පුද්ගලයා පැමිණ සිටින බවත් එහි රාජකාරි කටයුතු සිදු කරමින් ඉන්නා බවත්ය. ඒත් සමඟම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂකවරයා සිය නිලධාරීන් පිරිසක් සමඟ සිවිල් ඇඳුමෙන් සැරසී ටයිපින් වත්තට ගියේය. සැකකරැ ඉදිරියේ අධිකරණ නියෝගය පෙන්වා ප්‍රශ්න කරනවාත් සමඟම ඔහු සිය වරද පිළිගෙන තිබූ අතර මට චාන්ස් එකක් දෙන්න සර්... මම සර්ලට උදව් කරන්නම් යැයි පවසා තිබුණි.

නිලධාරීන් සැකකරුගෙන් ප්‍රශ්න කර සිදුකළ විමර්ශනයේදී අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කරන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සහතික පත්‍ර, කැලණිය, කොළඹ, මොරටුව, පේරාදෙණිය ඇතුළු විශ්ව විද්‍යාල මඟින් නිකුත් කරන උපාධි සහතික අතර කෘෂි, වාණිජවේදී සහ තොරතුරු තාක්ෂණ උපාධි සහතික තිබී ඇත. එසේම ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය නිකුත් කරන සහතික නොයෙක් පාසල්වල අස්වීමේ සහතික, ශිෂ්‍ය කාර්ය දර්ශක, ජාත්‍යන්තර රියදුරැ බලපත්‍ර තාවකාලික රියදුරු බලපත්‍ර ද හමුවී තිබුණි.

මේ අතර බැංකු කිහිපයකට අයත් ගිණුම් වාර්තා ලේඛන, බැංකු පොත් හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය නිකුත් කරන සහතික මෙන්ම ජාතික හැඳුනුම්පත මුද්‍රණය කරන කඩදාසි ද හමුව තිබේ. එසේම විවිධ මාදිලියේ රබර් සීල්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ මුද්‍රාව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ මුද්‍රාව ව්‍යාජ ලෙස සකසා තිබියදී සොයාගෙන ඇත. මේ ආකාරයේ ඉතා වැදගත් වන සීල් 7ක් සකසා තිබී ඇති අතර පරිගණකයක් හා ප්‍රින්ටර් දෙකක් ද අත්අඩංගුව ගනු ලැබ තිබිණි. එහි එක් ප්‍රින්ටරයක් ලේසරය සහිත එකකි.

පරිගණකයට භාවිතා කරන අමතර දත්ත ගබඩාවක තිබියදී විශ්ව විද්‍යාල උප කුලපතිවරැ, ලේඛකාධිකාරීවරැ, බැංකු කළමනාකරැවන් මෙන්ම පෞද්ගලික ආයතන කීපයක හා ප්‍රසිද්ධ හෝටල් කීපයක ලිපි ලේඛන මෙන්ම පාසල් විශාල ප්‍රමාණයක විදුහල්පතිවරැන්ගේ අත්සන් ගබඩා කරගෙන තිබී ඇත. මේ අතර ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්වරැ, උප්පැන්න හා මරණ හා විවාහ රෙජිස්ටාර්වරැන්ගේ, පොලිස් ස්ථානාධිපති සහ නීතිඥවරැන්ගේ ද අත්සන් ද හා තොරතුරැ ගබඩාකර තිබී ඇත.

මේ අතර ඇතැම් එම්බෝස් සීල් කීපයක් ද අයර්ලන්ත ජාතික විශ්ව විද්‍යාලයේ සහතිකයක්, ජාතික නිවාස දෙපාර්තමේන්තුවේ සහතික පත්‍ර ද සකසා තිබියදී සොයාගෙන ඇත. මේ සියල්ල නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ ලේඛන හා අත්සන් ප්‍රමාණය දහසකට අධිකය.

වයිබර් තාක්ෂණය ඔස්සේ විදෙස්ගතව සිටින්නන්ගෙන් ලබාගන්නා තොරතුරු අනුව සහතික නිර්මාණය කරන මොහු යටතේ පුද්ගලයන් සිව්දෙනකු සේවය කරමින් සිට ඇත. වයිබර් මඟින් ලබාගන්නා තොරතුරුවලට සකසන සහතික පත්‍ර මොහු විසින් ජපානයට හා තවත් රටවල් කීපයකට තැපැල් මඟින් යවා තිබෙන බවද හෙළි වී ඇත.

කුලියට ලබාගත් කාමරයක සිට වසර ගණනාවක් මෙකී ජාවාරමේ නිරතව සිටි සැකකරු 48 හැවිරිදිය. කොළඹ පදිංචිකරැවෙක් වන ඔහු විවාහකයෙකි. ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්ව කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට ඇතුළත්ව අධ්‍යාපනය හදාරා ඇති සැකකරැ පරිඝණක ග්‍රැෆික් නිර්මාණයේ දක්ෂයෙකි. ඉංග්‍රීසි භාෂාවේ චතුරයෙක් වන ඔහු කොමියුනිකේෂන් ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ජාවාරම සිදුකර තිබේ.

කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ, කොළඹ දිසා දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පද්මලාල්, වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කැළුම් සෝමරත්න, සැරයන් 26019 දයාසේන, සැරයන් 27327 ප්‍රසන්න, කොස්තාපල්වරුන් වන 65063 විතාන, 60892 පැතුම්, 67592 කුලරත්න, 76229 බාලසූරිය, 77945 සම්පත්, 82730 කුමාර, 83764 වීරසිංහ, 16320 අමිල, කොස්තාපල්වරියන් වන 9555 ප්‍රදීපා, 9723 මහේෂිකා යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර