
ඇතැම් රූපවාහිනී නාළිකා සිය ප්‍රේක්ෂකයාට පුංචි මෝටර් රථ තෑගි දීම ඇරඹුවේ කාලයකට පෙරය. මුදල් හා වෙනත් භාණ්ඩ තෑගි දුන් මේ නාළිකා මෝටර් රථ තෑගි දෙන්නේ අන් කිසිවක් නිසා නොව මධ්‍යම පාන්තික ප්‍රේක්ෂක ජනතාවගේ සිතුම් පැතුම් පිළිබඳ ඔවුන්ට ඇති අවබෝධය නිසාය. පහළ පාන්තික ජනතාව පාරිභෝගික සමාජය තුළ දකින සිහින රැසකි. ඒ අතරේ ඇති සුපිරි සිහිනයක් වන්නේ තමන්ට කියා වාහනයකි. මෝටර් රථයට එහි මුල් තැනක් හිමිවෙයි.
වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට එන්නේ ජනතාවට පොරොන්දු රැසක් ලබා දෙමිනි. ඔවුන් එසේ පැවසූ ආකාරයට යහපාලනය ආරම්භ වී දින සියයේ වැඩපිළිවෙළ තුළ ද පුංචි කාර්වල මිල අඩු කරනු ලැබීය. පෙට්‍රල්, ඩීසල් මිල අඩු කළේය. ඒත් සමඟම පුංචි කාර් මෙරටට ගෙන්වීම ප්‍රතිශතය දෙගුණයක් පමණ ඉහළ ගියේය. නමුත් ජනතාව තුළ මෙම සතුට වැඩිකල් රැඳුණේ නැත. පුංචි කාර්වල මිල යළිත් ඉහළ ගියේය.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ එන්ජින් ධාරිතාව 660 වාහන මිල ගණන් රැපියල් දෙලක්ෂ හැටදහසකි. පමණ ඉහළ ගොස් ඇති බවය. එමෙන්ම මෙරට මෑත කාලයේ ජනතාව අතර මහත් ජනප්‍රියතාවයට පත් වැගන් ආර් රථයක මිල රුපියල් ලක්ෂ හතරහමාරකින් පමණ ඉහළ ගොස් තිබේ. එන්ජින් ධාරිතාව 100ට අඩු මෝටර් රථ සඳහා අය කරන නිෂ්පාදන බද්ද පසුගිය 01 වැනිදා සිට ඉහළ නැංවීම මේ තත්ත්වයට හේතු විය. ජනතාවගේ බලාපොරොත්තු මෙමඟින් සඵල වූ අතර පාරිභෝගිකයන් වාහන මිලදී ගැනීම අඩුවී ඇති බැවින් වාහන අපනයනකරැවෝ ද මෙමඟින් කබලෙන් ලිපට වැටී සිටිති.
කුඩා මෝටර් රථ සඳහා පැනවූ අලුත් බද්ද පමණක් නොව බදු යළි පහළ යනු ඇති බවට අගමැතිවරයා කළ ඉඟිය ද වාහන අලෙවිය නතර කිරීමට බලපා ඇතැයි මේ සංගමය පැවසීය.
මෙම ගැටලුවේ පැති ගණනාවක්ම ඇත. අපේ රටේ ජනතාව අතුරින් බොහෝදෙනකු බලන්නේ තමන්ගේ රටට වෙන සේවය නොව රටෙන් තමන්ට වන වාසිය කුමක්ද යන්න පමණි. මේ සියල්ල නිසාවෙන් අන්තිමේදී අසරණභාවයට පත්වෙන්නේ මහජනතාවමය. බදු ඉහළ ගොස් පුංචි කාර්වල මිල වැඩිවීම හේතුවෙන් ඕනෑම කෙනකු වාහනයක් අලුතින් මිලදී ගැනීමට පෙර දැන් නැවත වරක් සිතා බලන අතර වාහන අලෙවිය පහත වැටී ඇත්තේ එබැවින් යැයි බොහෝ වාහන ආනයනකරුවන්ගේ මතයයි. කෙසේ වෙතත් ඔවුන් මුහුණ පා ඇති මෙම අර්බුදය සම්බන්ධයෙන් තවමත් කිසිවකු අදහස් දැක්වීමක් ද කර නැත.
මෙම සිදුවීම පිළිබඳව අපි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතාගෙන් ද විමසීමක් කළෙමු.
ඇත්තටම දැන් පහුගිය කාලයේ කුඩා මෝටර් රථ සඳහා බදු වැඩි කරනු ලැබුවා. පහුගිය නොවැම්බර් අයවැයෙන් ගහපු බදු එක්ක සාමාන්‍යයෙන් වැගන් ආර් වගේ 600ක් ලක්ෂ 13ක් තිබ්බ එක 8.35 දක්වා අඩු වුණා. ඒ තියන වාසිය එක්ක අතිවිශාල ප්‍රමාණයක් ලංකාවට වාහන ආවා. ඒ වාසියෙන් ඇත්තටම සීයට තිහක්, හතළිහක් විතර ජපානේ මිල වැඩි වුණා. අනිත් 70 විතර ලංකාවේ මිල අඩු වුණා. ඒ වාසිය එක්ක තමයි ලංකාවට වාහන අසීමිත ලෙස එන්න ගත්තේ. සාමාන්‍යයෙන් තුන් හාරදාහක් එන වාහන දහදාහක් විතර ගෙන්වන තරමට වැඩි වුණා. ඒත් එක්කම ඒ තියන අඩුපාඩු හදන්න පසුගිය 01 වැනිදා නැවතත් ඒ එංජින් ධාරිතාව 1000ට අඩු වාහන සඳහා බදු වැඩි කරනු ලැබුවා. ඒ තත්ත්වය තුළ වැගන් ආර් වගේ රථයක් ලක්ෂ 04කින් පමණ ගණන් ගියා. ඒ නිසා පහුගිය කාලයේ පමණට වඩා වාහන ප්‍රමාණයක් මෙරටට ගෙන්නපු නිසා වෙළඳපොළේ පොඩි අස්ථාවරභාවයක් එක්ක වාහන පාඩුවටත් වික්කා. ඉතිං මේ අලුත් මිලත් එක්ක නෙවෙයි විකුණන්න ගත්තේ. සාමාන්‍ය විකුණපු මිලත් එක්ක විකුණුවේ. එහෙම වුණාම ලක්ෂ එකහමාරක, දෙකක යම්කිසි වැඩිවීමක් සිදුවුණා පසුගිය කාලයේ පැනවූ බද්දත් එක්කම. ඉතිං එතුළ පාරිභෝගිකයන් වාහන ගැනීම මේ වනවිට අඩුවෙලා තියනවා. ඒක තමයි මේ විදිහට වාහන අලවිය පහත වැටීම සිදුවුණේ. සාමාන්‍යයෙන් මම හිතන්නේ ඕක කියන්න ඕන අඩු වුණා කියලා නෙවෙයි. සාමාන්‍යයෙන් පරණ තියන වෙළඳපොළ තත්ත්වය එක්ක මේක වෙනස් වුණා.
පසුගිය 07 වැනිදා සිරිකොතහි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් සී. පෙරේරා මහතා මෙසේ කියා තිබිණි.
පුංචි කාර් සඳහා බදු වැඩි කළා කියලා ආණ්ඩුව වෙත සමාජයෙන් විවේචනය එල්ල වී තිබෙනවා. අපි මේ බදු වැඩි කළේ ඇයි කියන කාරණය ගැන මෙහිදී අවධානය යොමු කළ යුතුයි. අපේ රටේ මධ්‍යම පාන්තිකයන්ගේ පළමු බලාපොරොත්තුව වන්නේ තමන්ගේම මෝටර් රථයක් මිලදී ගැනීමයි. එසේ වාහනයක් ගැනීමට යන වියදම වැඩි වෙනවා කියන්නෙ ඔවුන්ගේ බලාපොරොත්තුවලට බාධාවක් ඇතිවීමයි. 2015දී වත්මන් රාජ්‍ය බලයට පත්වී මෝටර් රථවලට පනවා තිබූ බදු අඩු කළා. මෙසේ බදු අඩු කිරීම නිසා සාමාන්‍යයෙන් වසරකට මේ රටට ගෙන්වන මෝටර් රථ සංඛ්‍යාව විශාල ලෙස වැඩි වුණා. ඒ වසරේ මෝටර් රථ එක් ලක්ෂ හතළිස් දහසක් ගෙන්වා තිබෙනවා. මේ විදිහට මෝටර් රථ ගෙන්වීම කියන්නේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ගලා යනවා කියන එක.
මෙලෙස වාහන මිල ගණන් ඉහළ දැමීමෙන් රජය බලාපොරොත්තු වන්නේ රට තුළට ඇදී එන වාහන සංඛ්‍යාව අඩුවීමක්. ඒ මඟින් පිටරටට ඇදී යන අපේ රටේ මුදල් ඉතිරි කර ගැනීමත්ය. එහි වරදක් දැකිය නොහැක. නමුත් නිවැරදි ආර්ථික දැක්මක් ඇතිව මුල සිටම කටයුතු කළා නම් රජය මෙවැනි අපහසුතාවයකට හෝ මෙවැනි ආර්ථික පීඩනයකට මුහුණ නොදෙන බව කිව යුතුය. නමුත් දැන් මොවුන් මේ සිදු කරන ලද මිල ගණන් ඉහළ පහළ යෑමෙන් ජනතාව පමණක් නොව වාහන අලෙවිකරැවෝ ද අසරණභාවයට පත්වී සිටිති.
I හසිත් අංජන