කැබිනට් ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකුගේ මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි දෙමහල් නිවසේ කේරළ ගංජා සඟවා තිබෙන බවට ඔත්තුවක් ලැබෙන්නේ මහනුවර විශේෂ පොලිස් බුද්ධි අංශයක් වෙතය. විශේෂ පොලිස් බුද්ධි අංශය වෙත ලැබුණු මේ ඔත්තුව පිළිබඳව එම බුද්ධි අංශයේ නිලධාරීහු උසස් පොලිස් නිලධාරීන් දැනුම්වත් කළහ. ඉන් පසු මහනුවර සහ මාතලේ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර මහතාගේ උපදෙස් මත ඒ නිවෙස වටලා සෝදිසි කිරීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විමලතිස්ස මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් පිටත් කර යැවීමට තීරණය කෙරිණි.
නිවස වැටලීමට යාමට කලින් මත්ද්‍රව්‍ය සෙවීම සඳහා විශේෂයෙන් පුහුණු කර ඇති පොලිස් නිල සුනඛයකුගේ ද සහාය ලබාගැනීමට පියවර ගනු ලැබීය. ඒ අනුව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ පොලිස් අධිකාරි ලාල් සෙනවිරත්න මහතාට කතාකර අවශ්‍යතාවය සඳහන් කෙරිණි.
පොලිස් නිල සුනඛ ලියෝ යොදා ගත්තේ ඒ අනුවය. පොලිස් අධිකාරි ලාල් සෙනවිරත්න මහතාගේ උපදෙස් මත පොලිස් නිල සුනඛයා මෙහෙයවනු ලැබුවේ පොලිස් කොස්තාපල් රුක්මන් (81826) මහතාය.
පොලිස් කණ්ඩායම වැටලීමට යද්දී මහනුවර නගරය තිබුණේ මීදුමෙන් වැසී ගොස් සීතලෙන් ගැහෙමින්ය. වැටලීම සිදුකළේ පසුගිය 21 වැනිදා අලුයම් කාලයේය.
දෙමහල් නිවෙස පොලිසිය මඟින් වටලද්දී දෙදෙනෙක් පලා ගියහ. පසුව හඳුනාගත්තේ පලා ගියේ නිවසේ හිමිකාරයා වන ඇමැති සම්බන්ධීකරණ ලේකම් බව කියන පුද්ගලයා සහ ඔහුගේ පුත‍්‍රයා යැයි කියාය. නිවෙසේ ඒ අවස්ථාවේ රැඳී සිටි තරුණයෝ 6 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූහ. එයින් පස් දෙනෙක් සිංහල ජාතිකයන් වන අතර අනෙකා දෙමළ ජාතකයෙකි.
පොලිස් නිල සුනඛ ලියෝද සහාය කර ගනිමින් පොලිස් කණ්ඩායම දෙමහල් නිවසේ අස්සක් මුල්ලක් නෑර පරීක්‍ෂා කරද්දී සොයා ගැනීමට හැකිවූයේ ගංජා ස්වල්පයක් පමණි. එහෙත් ගංජා සොයා ගිය පොලිස් කණ්ඩායමට කිසිසේත් බලාපොරොත්තු නොවූ දේවල් නිවසේ සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවිණි. ඒ වෙන මොනවත් නොව ගිනි අවි, උණ්ඩ, කඩු, ව්‍යාජ අංක තහඩු හා මාංචු කුට්ටමක්ය. මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, ගිනි අවියක්, උණ්ඩ 37 ක් හා කඩු වගයක්, මුගුරක් ද මාංචු කුට්ටමක් ද පොලීසියට අසුවිය.
මයික්‍රෝ වර්ගයේ පිස්තෝලය පොලිස් කණ්ඩායම විසින් පරීක්‍ෂා කර බැලීමේදී එහි තමිල් විඩුගලෙයි පුලිගල් (විමුක්ති කොටි) යනුවෙන් දෙමළ භාෂාවෙන් සටහන් කර තිබෙන අයුරු දැක ගැනීමට ලැබී ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ වකවානුවේ එම සංවිධානයේ නායක මට්ටමේ පුද්ගලයන් පරිහරණය කළේ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලය. මේ සොයාගනු ලැබූ පිස්තෝලය ද එල්.ටී.ටී.ඊ නායක මට්ටමේ කෙනෙක් පරිහරණය කළ එකක් බවට පොලීසියේ විශ්වාසයයි. එල්.ටී.ටී.ඊ නායක මට්ටමේ අය එකල භාවිතා කළ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයා අතට පත්වූයේ කෙසේද යන්න සොයා ගැනීමට පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත. ඒ රහස හෙළිකරගත හැකිවනුයේ ඒ ලේකම්වරයා අත්අඩංගුවට ගත් පසුවය.
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයකු බවට පැවසෙන පුද්ගලයා ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ දේශපාලනඥයක් ගණනාවක් සමඟ කිට්ටු සම්බන්ධකම් පවත්වන බවට තොරතුරු ද පොලිසියට ලැබී ඇති බව දැනගැනීමට තිබේ.
මොහු පසුගිය රජය සමයේ මහත් ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකටම සම්බන්ධ වූ හිටපු අමාත්‍යවරයකුගේ සමීපතම මිතුරකු බවද කියති. හිටපු අමාත්‍යවරයා මහනුවර ප‍්‍රදේශයට පැමිණි අවස්ථාවල නවාතැන් ගන්නේ ද අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාට අයත් මෙම නිවසේ යැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
මෙකී පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකුට පහරදීමක් මීට වසර ගණනාවකට ඉහතදී පැවැති සාදයකදී පහර දී ඇතැයි ද පසුව පොලීසියේදී එම සිද්ධිය සමතයකට පත් වී ඇතැයි ද කියති.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් හය දෙනා දින හතක කාලයක් සඳහා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග පොලීසිය ලබාගත්තේ මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයෙක් යැයි කියන පුද්ගලයා කාලයක් තිස්සේ සිට නිවාස ඉඩකඩම් සහ වාහනවල ලියකියවිලි ඇපයට තබාගෙන රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් පොලියට ලබාදෙන අයෙක් බව පරීක්‍ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇත. මුදල් දීම මඟහැර සිටින පුද්ගලයන් සෙයාගොස් ඔවුන්ට ගිනි අවි පෙන්වා මරණීය තර්ජන කර අදාළ පොලී මුදල් ලබා ගැනීම, සහ ඇපයට තැබූ වාහන අත්පත් කර ගැනීමට ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයා සැකකාර තරුණයන් හය දෙනා යොදවා ගෙන ඇති බවද පොලිසිය කියයි. ඒ වෙනුවෙන් ඔහු තරුණයන්ට වැටුපක් ගෙවා තිබේ.
මෙසේ පොලී මුදල් ගෙවීම දිගින් දිගටම පැහැර හැර සිටින අයගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට සැලකෙන ඩබල් කැබ් රථයක්, කාර් රථ දෙකක් සහ අධි ධාරිතාවයකින් යුතු යතුරු පැදි 02ක් ද පොලිස් බාරයට ගෙන ඇත්තේ ඇමති සම්බන්ධීකරණ ලේකම්ගේ ගෙවත්තේ ගාල්කර තිබියදීය. පොලී මුදල් නොදෙන අයට මේ විදියට වදහිංසා කර තලා පෙලා දැමීම තරම් ලොකු හයියක් ඇත්තේ මොහුට ඇති දේශපාලන හයිය හා බල පුළුවන්කාරකම් නිසා විය යුතුය.
පොලිසිය මෙම පුද්ගලයාගේ දේශපාලන බලපෑම තුට්ටුවකටවත් මායිම් නොකර නිවස වටලා සෝදිසි කළේය. එසේ නොකරන්නට අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා තව දුරටත් සුපුරුදු ලෙස පොලී මුදල් නොගෙවා මගහැර සිටින පුද්ගලයන් සොයා ගොස් ගෝල බාලයන් ලවා ඔවුන් වෙත ප‍්‍රචණ්ඩත්වය මුදා හරිනු ඇත.
පොලී මුදල් නොගෙවා මඟහැර සිටින සමහර පුද්ගලයන් මාංචු දමා පැහැරගෙන අමාත්‍ය ලේකම්වරයාගේ නිවසට ගෙනැවිත් පහරදීමට වධකාගාරයක් ද යොදාගෙන ඇති බවට පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.
මධ්‍යම පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික‍්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ මහනුවර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ඩී. ආර්. එල්. රණවීර මහතාගේ විශේෂ උපදෙස් මත මහනුවර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ධර්මදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විමලතිස්ස මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
♦ ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය