2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ජනපතිවරණ වේදිකාවට අලුතින් කඩා වදින සිවිල් සංවිධාන බලවේගය

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

2015 ජනවාරි 08 වැනි දින සිදුවූ දේදුණු විප්ලවය ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ඒ පිටුපස සිටගත්තෝ අතිවිශාලය. ඒ සියලු දෙනාම රාජපක්ෂ පාලනය පෙරළා දමා අලුත් සිස්ටම් එකක් එහෙමත් නැතිනම් සිස්ටම් චේන්ජ් එකක් සිදුකිරීමේ අරමුණින් සිටගත් අය වූහ.

මේ සඳහා ප්‍රධාන පක්ෂය වුණු එක්සත් ජාතික පක්ෂය සමඟ අත්වැල් බැඳගත් පක්ෂ  සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව අති විශාලය. එම සංවිධාන පොදු අපේක්ෂකයා සමඟ ඇති කරගත් වාචික ලිඛිත ගිවිසුම් බොහොමයක් විය. ඒ සෑම දෙයක්ම අලුත් වෙනසක් ඇති කිරීමේ අරමුණින් ගොඩනැගූ ගනුදෙනුය.

එහෙත් වසරක් යන්නට මත්තෙන් පළමුවෙන්ම මෙකී ආණ්ඩුව පිළිබඳ කළකිරුණු යහපාලනයේ නියමුවකු වූ මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රසිද්ධියේ කීවේ මේ ආණ්ඩුව සිය බලාපොරොත්තු සුන්කළ බවය. උන්වහන්සේගෙන් පසුව සිවිල් සංවිධාන රැසක් සිය විරෝධය සෘජුවත් වක්‍රවත් එල්ල කළේය. ඉන් නොනැවතී අද වන විට ආණ්ඩුවේ මැති ඇමැතිවරැන් පවා යහපාලනයක් නැති බවත් ජනතා බලාපොරොත්තු ඉටු නොකළ බවත් ප්‍රසිද්ධියේ කියන්නට පටන් ගෙන ඇත. අවසානයේ ජනාධිපතිවරයා ද එය සපථ කළේය. ඒ ආණ්ඩුවේ බොහොමයකට දෙහි කපමිනි.

කෙසේ වෙතත් පසුගියදා මෙලෙස කලකිරී සිටින පිරිසක් විසින් සිදුකිරීමට යන අලුත් සංවිධානයක් පිළිබඳව අපට තොරතුරු ලැබුණේය. එසේ ලැබුණු තොරතුරු අප පසුගිය දේශය පුවත්පතේ ප්‍රවෘත්තියක් ලෙස පළ කළෙමු. එහෙත් මේ සංවිධානය පිටුපස සිටින්නේ කින්ද මන්ද කවුද යන්න හෙළිවූයේ නැත. අප මේ ගැන වැඩි දුරටත් සොයා බැලිමේදී  මේ සංවිධානයේ නියමුවා අනාවරණය විය. ඔහු නව සිහළ උරුමයේ නායක සනත් මන්මේන්ද්‍රය. අප ඔහුගෙන්ම මේ කතාව අසා සිටියෙමු.
“ඇත්තටම යහපාලනය සහ යපාලන රජය ගැන ජනතාව විශාල කලකිරීමක ඉන්නේ. මේ යහපාලන ආණ්ඩුව පිහිටුවන්න දරදිය ඇද්ද අපි පවා ඉන්නේ කලකිරීමෙන්. හේතුව මේ ආණ්ඩුව ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ඨ කළේ නෑ. ඒ වෙනුවට ජීවන බර වැඩි කරලා ජනතාවට ජීවත් වෙන්න බැරි තැනට පත් කළා. එහෙම කරලා මහ බැංකුව මහ දවාලේ කොල්ල කෑවා. මේ ඔක්කොම ඉවසලා තමයි අපි මේ සංවිධානය පිහිටුවන්න තීරණය කළේ. මේක දැවැන්ත ව්‍යාපරයක්"

ඔහු කියන පරිදි මේ සංවිධානයේ සිටින්නේ යහපාලන රජය පිහිටුවීමට උදව් උපකාර කළ පක්ෂ, සිවිල් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානය. දැනට පක්ෂ අටක්, සිවිල් සංවිධාන 14ක්, රාජ්‍ය නොවන සංවිධාන හතරක් මීට සම්බන්ධ වී ඇත.
ඔවුන් මෙම සංවිධානය සකසා සිදුකිරීමට යන පෙරළිය කුමක්දැයි අප විමසුවෙමු. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ට බලපෑම් සිදුකිරීමය. එය සිදුකරන ආකාරය ඔහු මෙලෙස පැහැදිලි කළේය.

“අපි මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ දානවා හතරදෙනෙක්. ඒ අපේක්ෂකයෝ හතර දෙනා ජනවර්ග සහ ආගම් නියෝජනය කරලා තමයි නම් කරන්නේ. ඒ අය තමන්ගේ ජනවර්ගයට සිදුවන අසාධාරණය වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ. සාමාන්‍යයෙන් ව්‍යවස්ථානුකුලව දිනන අපේක්ෂකයා 50% ඉක්මවන ඡන්ද සංඛ්‍යාවක් ගන්න ඕනේ. ඒත් මේ අය ඉදිරිපත් කළාම ඒ දිනන අපේක්ෂකයාට 50ඉක්මවා ගන්න අසීරු වෙනවා. අපේ අරමුණ එකවර 50% ඉක්මවීම කඩන එක. ඊට පස්සේ දෙවැනි වර ගණනයකට යන්න ඕනේ අන්න එතනදී අපිට දිනන අපේක්ෂයට බලපෑමක් කරන්න පුළුවන්"

ඔහු කියන ආකාරයට දිනන අපේක්ෂකයා හට 50%ට වඩා ඡන්ද ලබාගැනීමේ හැකියාව අහිරීම මේ සංවිධානයේ ප්‍රධාන අරමුණ වී ඇත. ඒ අනුව උතුරට උතුරේ ජනතාව නියෝජන කරමින් දෙමළ පුද්ගලයකුද, නැගෙනහිර ජනතාව නියෝජනය කරමින් මුස්ලිම් මව්ලවිවරයකුද, වතුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරමින් දෙමළ කම්කරුවකුද සමස්ත දකුණ නියෝජනය කරමින් හිමිනමක්ද, ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. කෙසේ වෙතත් මේ නියෝජිතයන් තමන්ගේ ජනවර්ගයේ ප්‍රශ්න ගැටලු වෙනුවෙන් පෙනී සිටීම ප්‍රධාන අරමුණ වනු ඇත.

සාමාන්‍යයෙන් සංවිධාන බිහිවන්නේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන ප්‍රධාන අපේක්ෂකයන්ට සහය දැක්වීම සඳහාය. මෙම සංවිධානයට ද එවැනි අරමුණක් ඇත්දැයි අපි විමසුවෙමු. එපමණක් නොව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සමඟ ගිවිසුම්ගත වෙන්නේ දැයි ද විමසුවෙමු.

“අපේ කිසිම අපේක්ෂාවක් නෑ අපේක්ෂකයන්ට සහය දක්වන්න. හැබැයි එක දෙයක් තියෙනවා. අපි ඉදිරිපත් කරන දේශපාලන ප්‍රතිපත්තියට යම් අපේක්ෂකයෙක් එකඟ වෙනවා නම් අපි ඔහුත් එක ගිවිසුමකට යනවා. හැබැයි ඒ ගිවිසුම ජනතාව ඉස්සරහා අස්සන් කරලා පොරොන්දු වෙන්න ඕනේ. මෙච්චරකල් අපේක්ෂකයෝ බොරු පොරොන්දු දීලා ජනතාව රැවැට්ටුවා. හැබැයි මේ පාර එවැනි දේවල් කරන්න බෑ. අපි ඒ ගැන අවධානයෙන් ඉන්නේ. අපි මේ හදන්නේ බලවේගයක්"

ඔහු කියන ආකාරයට මෙම සංවිධානය පුළුල් වැඩ පිළිවෙළකට අනුගතව ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. එහෙත් මෙරට දේශපාලනය තුළ මෙවැනි සංවිධාන බලවේග අනන්ත අප්‍රමාණ බිහිව ඇත. එම සංවිධාන අවසානයේ එක් අපේක්ෂකයකු ජයග්‍රහණය කොට විශ්‍රාම යන්නේ ජනතාවට දුන් පොරොන්දු ද අමතක කරමිනි. එනිසා තවත් එක් සංවිධානයක් නොවී ජනතාවගේ පැතුම් මල්ඵල ගන්වන පොරොන්දු ඉටුකරන තැනට අපේක්ෂකයන් තල්ලු කරන බලවේගයක් වේවායැයි පතන්නෙමු.

  
♦ ගයාන් ගාල්ලගේ