2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

වර්ජන රතු එළි මැද වැඩිවෙන දුම්රිය ගාස්තුව

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

වැටුප් විෂමතා හේතුවෙන් වැඩවර්ජන, රතුඑළි දල්වන දුම්රිය දෙපාර්තමේන්තුව ඊළඟට තබන පියවර ගැන දැන් ආරංචි පළවෙමින් තිබේ. &දුම්රිය ගාස්තු 15%කින් වැඩිවීම ලෙස දුම්රිය මගීන් වෙනුවෙන්ම නිර්මාණය වන මෙම ශෝකාන්තයසැප්තැම්බරයේ පළමු වැනිදා සිට රටට දැකබලාගැනීමට හැකිවනු ඇතැයි කියයි. 

මේ සම්බන්ධව දැනට කිසිවකුත් කලබල විය යුතු නැත. මන්ද, සැප්තැම්බර් 01 දා සෙනසුරාදාවක් නිසාවෙනි. දුම්රියේ මගියෝ මෙම නව තත්ත්වයේ පීඩනය විඳින්නේ සැප්තැම්බර් 03 වැනි සඳුදා ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ප්‍රවේශ පත්‍රයත්, වාර ප්‍රවේශ පත්‍රයත් ලබාගන්නට ගිය විටය. 

ගාස්තු වැඩිවන කතාව කනින් කොණින් ආරංචි වුවත් තවමත් දුම්රිය මගීන් අතර ඒ පිළිබඳව සංවාදයක් නැති බව පෙනේ. ඇතැම්විට වසර කිහිපයකට පසු සිදුවන්නට යන ගාස්තු වැඩිවීම මහ ලොකු දෙයක් ලෙස ඔවුන් නොසලකනවා විය හැකිය. රටේ ආර්ථිකයේ දිශානතියත්, අඩු පඩි ලබන දුම්රිය සේවකයනුත්, දුම්රිය දෙපාර්තමේන්තුව මගීන් වෙත සලසා දී ඇති පහසුකම් මතත් දුම්රිය මගියකුට නව ගාස්තු වැඩිවීම පිළිබඳ මුනිවත රකිනවා විනා වෙනත් කළ හැක්කක් නොමැත. කෙසේ වෙතත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රත්නායක මහතා ගාස්තු වැඩිවීමේ ගැසට් පත්‍රය සැප්තැම්බර් පළමු වැනිදා නිකුත් වන බවත් එය එදින සිටම ක්‍රියාත්මක වන බවත් අප කළ විමසීමේදී තහවුරු කළේය.

දැනට තහවුරු වී ඇති පරිදි ගාස්තු වැඩිවීම පිළිබඳ මගීන්ගේ හා රටවැසියන්ගේ සිත නොරිදෙන පරිදි පවසන්නට ඇති තොරතුරු මෙසේය. ගාස්තු වැඩිවන්නේ කලාප අනුව සිදුකරන ලද වර්ගීකරණයකට අනුවය. ඒ අනුව පළවැනි කලාපයේ මීටර් බින්දුවේ සිට කිලෝමීටර් දහය දක්වා පළවැනි පන්තියේ ගාස්තු මගී කිලෝමීටරයකට රුපියල් 4යි ශත 20ක්ද දෙවැනි පන්තියේ නම් රැපියල් 2යි ශත 30ක්ද තුන්වැනි පන්තියේ නම් රුපියල් 1යි ශත 30කින්ද ගාස්තු වැඩිවේ. මෙලෙස දුම්රිය ගාස්තු වැඩිවීමේදී ආසන්න අගයන්ට මිල ගණන් වැඩිවීම කරනු ඇත. මෙලෙස සිදුවන සංශෝධනයේ ඉදිරි තොරතුරු හෙට අනිද්දාට පැහැදිලිවම සැමට දැන කියාගන්නට ලැබෙනු ඇත. පසුගිය කාලයේ රටේ බොහෝ දෑ ගණන් ගිය පරිදි මේ රුපියල් ශතවලින් ඉහළ යන දුම්රිය ගාස්තුව ඇඟට පතට කොතරම් දැනෙනු ඇතිදැයි කිව නොහැක. එහෙත් වාර ප්‍රවේශ පත්‍රය එකවිටම වැඩිවෙන විට දුම්රියේ නිතර යන එන කාර්යාල සේවකයන්ට මෙය දැනෙන්නේ කෙලෙසදැයි වටහාගැනීමට ලබන මාසයේ වැටුප් දිනය ළංවන විට කාර්යාල දුම්රියේ ගමනක් යා යුතුය.

සත්‍ය වශයෙන්ම දුම්රිය ගාස්තු වැඩිවීම දැනෙන්නේ කෙලෙසදැයි අසා අපි දුම්රිය මගීන් කිහිපදෙනෙක් සමඟ සංවාදයක යෙදුණෙමු. කොළඹින් දුර පළාත් සඳහා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී හැරුණුකොට නිතර යන එන අතිමහත් බහුතර පිරිස නම් කොළඹ අවට හා තදාසන්න නගරවල දෛනික රාජකාරි සිදුකරන කාර්යාල සේවක පිරිසය. විකල්ප නොමැති නිසා ගමනාගමනය ලාභදායීම හා පහසුම ක්‍රමය ලෙස දුම්රිය තෝරාගත්තද බොහෝ දෙනාට දුම්රිය සේවය පිළිබඳ විශ්වාසයක් නොමැත. වසරකට තුන් හතර වතාවක් දුම්රිය ප්‍රමාදවීම සාමාන්‍ය සංසිද්ධියකි. සිග්නල් නැතිව මුහුදුබඩ මාර්ගයේ මෙන්ම ප්‍රධාන මාර්ගයේද උදේට සහ සවසට දුම්රිය පමාවෙයි. ඒ අතර පෙරුම්පුරාගෙන ආ සංසාරේ පැතුම සුණුවිසුණු වී යාමෙන් දුම්රිය මොහොතක් නතර කරන ඇතැමුන් නිසාද බොහෝ පමාවන් සිදුවෙයි. මේ හේතුවෙන් ෂෝට් ලීව්, හාෆ් ඩේ නිවාඩු කපාගන්නට බොහෝ දෙනාට සිදුවන බව පවසන දුම්රිය මගියෙක් ගාස්තු වැඩිවෙනවා නම් පහසුකම් වැඩිකළ යුතු බවද කීය.

මේ අතර දුම්රියේ වසර හය හතක් යන එන තරැණ මගියෙක් අපූරු කතාවක් අපට කියයි. ඔහු නමින් ප්‍රණීත් මිලින්දය.

අපි දුම්රියේ යන්න පටන් ගත්ත කාලේ ඉඳන් දුම්රියේ කිසිම පහසුකමක් වැඩිවුණේ නෑ. එන්න එන්න තිබ්බ දේවල් අඩුවුණා. තිබ්බ ෆෑන් ටික කැඩුණා. අලුතින් දාපුවා ඊට වඩා අවුල් වුණා. සෙනග වැඩිවුණා. උදේට එන්නෙ කට්ටිය කරේ. ජනෙල් ටික කැඩිලා වැස්සට යන්න බෑ. දැන් ගාස්තුත් වැඩිවෙනවා. පහසුකමුත් නෑ. එහෙම බැලුවම අපිට වෙන පාඩුව ඩබල්.

දුම්රියේ නිතර ගමන් බිමන් යන බොහෝ දෙනා දරන්නේ මෙයට සමාන අදහස්ය. දුම්රිය මගීන්ට යම් සහනයක් ලබාදී ගාස්තු වැඩිකිරීමක් සිදුකිරීමට තිබු‍ණේ නම් නව තීරණයේ යම් සාධාරණයක් තිබේ යැයි අපට කිව හැකිය.

දුම්රිය ගාස්තු වැඩිකිරීමේ තීරණය පිළිබඳ දුම්රිය වෘත්තීය සමිති පාර්ශ්වයෙන් කුමක් පවසනවා ඇද්දැයි දැනගැනීමට අපි දුම්රිය සේවා ඒකාබද්ධතා පෙරමුණේ ලේකම් සම්පත් රාජිත මහතාගෙන් ගාස්තු කතාව පිළිබඳ මතය විමසුවෙමු. ඒ මහතාට අනුව මෙම තීරණය මේ මොහොතට නුසුදුසු තීරණයකි. දුම්රිය සේවාව පිළිබඳව මගීන් කනස්සල්ලෙන් හා කලකිරීමෙන් සිටින මෙවන් මොහොතක ගාස්තු වැඩිකිරීම අසාධාරණ බව ඔහු පෙන්වා දෙයි. තවත් පසෙකින් හිටි හැටියේ මගීන් අපහසුතාවයට පත්කළ වෘත්තීය ක්‍රියාමාර්ග නුසුදුසු බව පෙන්වාදෙන ඒ මහතා දුම්රිය සේවාවක් බවත් පෙන්වා දෙයි.

අකාර්යක්ෂම දුම්රිය සේවාව හේතුවෙන් කලකිරීමෙන් සිටින මගීන් පසුගිය වර්ජන සමයේ පැවසූ පොදු වචනයක් විය. මේ මඟුල ප්‍රයිවට් කළා නම් එකක්* යනු එයයි. එහෙත් දුම්රිය මගීන්ද දැනගත යුතු අනෙක් කරැණ නම් මගී ටිකට්පත්වල මුදල් මෙම සේවාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන බවයි. මහා භාණ්ඩාගාරයෙන් යැපෙන මෙම සේවාව පෞද්ගලිකකරණය කළහොත් වාර ප්‍රවේශපත්‍ර ගාස්තුද ඉතා ඉහළ යනු ඇත. අනෙක් අතට දුම්රිය සේවාවේ බොහෝ දෙනාට එතුළින් රැකියා අහිමිවනු ඇත. පමණට වඩා සේවකයෝ දුම්රිය සේවාවේ යෙදී සිටිති. පසුගිය සමයේ කාන්තාවන් බොහෝ දෙනකුට රැකියා ලබාදීම් සිදුවී ඇති අතර අද වන විට ඔවුන් බොහෝ දෙනා කාර්යාලවල වැඩ නැතිව නිකරුණේ කාලය ගෙවා දමන බවටද තොරතුරු ඇත. එහෙත් තාක්ෂණික, මාර්ග කම්කරු ආදී ක්ෂේත්‍රවල පුරප්පාඩු පවතී. දුම්රිය සේවාවේ අර්බුද ගැන ලියතොත් තව බොහෝ දේ ලියන්නට සිදුවනු ඇත.

 චමිඳු නිසල් ද සිල්වා