2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

කන්ටෑක් තියෙනවානම් මොනවද බැරි...

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

එන්න මිස් එන්න, එන්න එන්න සර් මොකක්ද වාහනයක්ද බලන්නේ? එන්න එන්න මිස් එන්න සර්... අපි අඩුවට යනවා ඕනම තැනකට කැමති ගාණක් කියන්න අනිත් ඒවගෙනුත් අහල බලන්න. අපි තමයි අඩුවට යන්නේ. බඩු ඕන එකක් අපි දාගෙන යනවා බලන්න දෙයක් නෑ එන්න... එන්න.... දුක් විඳලනේ එන්නේ. යමු අඩුවට. යමු අපි ළඟ ගණන් අඩුයි.... ඕන තැනකින් අහල බලලා එන්නකෝ.

මේ දෙබස් මාලාව ලියුම්කරුගේ කන වැකුණේ පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගිය අවස්ථාවකදීය.

විදේශගතව සිට මෙරටට පැමිණෙන බොහෝ දෙනකුට ඉතාමත් ආදරයෙන් කථා කරන මෙම විනීත රියදුරන් එවැනි ස්ථානයක සිටීම ගැන ලියුම්කරැද පුදුම විය. ඒ තරම්ම සෙනෙහසක් කරැණාවක් ඔවුන් තුළින් දිස් වූ අයුරැ දැකගත හැකිවිය.

ගුවන්යානයක් පැමිණෙන වෙලාවට මොවුන්ගේ හැසිරීම්ද ඉතාමත් ඉක්මන්ය. මේ පිළිබඳ සොයා බැලීමට ලියුම්කරුට සිත්වූයේ එබැවිනි.

පැයක් එකහමාරක වගේ කාලයක් මෙම සිදුවීම බලා සිටි ලියුම්කරු මෙවැනි අයකු සමග කථාවක් ආරම්භ කිරීමට මග බලමින් සිටියදී ලියුම්කරැද නොදැනුවත්ව එම සිදුවීම සම්බන්ධව කථා කිරීමට කෙනෙකු හමුවිය.

මොකද අයියා මේ ෆ්ලයිට් එකක් ආපු ගමන් සෙට් එකක් දුවන්නේ රට ඉඳලා එන අය හොයාගෙන.

ඒක අපේ බිස්නස් එකනේ මල්ලි වැඩිපුර මහන්සි වෙන තරමට තමයි හවසට සැපේ ඉන්න පුළුවන් වෙන්නේ.

ඒ කිව්වේ මට තේරැණේ නැහැ?

එක්කෝ සාමාන්‍යයෙන් ළඟ හයර් දෙක තුනක් කපාගන්න ඕන. එහෙම නැත්තම් ලෝන්ග් ට්‍රිප් එකක් වදින්න ඕන.... කැපිල්ල හොයාගන්න තමයි මේ හැමෝම ට්‍රයි කරන්නේ.

ඒ වුණා ඔයාලා ලියාපදිංචි වෙලා ඉන්නව නම් අවුලක් නෑනේ?

අපි ඇතුළේ ලියාපදිංචිවෙලා නෙවෙයි ඉන්නේ. ඒක ලියාපදිංචි වුණොත් මාසෙකට ගාණක් දෙන්න ඕන. අනික එයාල කියන ගාණට තමයි අපි යන්න ඕන. මේකේ එහෙම නැහැනේ. වාහනේ පාර්ක් එකෙන් ගැහුවා. ටිකට් එකක් දාගත්තා. මෙතනට වෙලා සෙට් කර ගත්තා. ඇතුළට නිකන් බොරැවට සල්ලි දීලා වදයක් වෙන්න ඕන නෑනේ බොසා... අපි දන්නවා එනකොටම ඒ එන්නේ රට ගිහින් අමාරුවේ වැටිලද සල්ලි කීයක් හරි තියනවද කියලා. අපි ඒ ලයින් එක දන්නවා. මේ සිද්ධියෙම කට්ට කාපු නිසා.... අනික ඉතින් රට ගිහින් එන අය අතේ සල්ලි නැතිවෙන්න විදියක් නැහැනේ. අනිවා සල්ලි තියනවා. ඒක අපි දන්නවා. එහෙම දළයෙක් කියලා දැනුණොත් ගලවනවා. නැත්තම් ඉතින් ඇතුළේ තියෙන ගාණට වඩා ගාණක් තියාගෙන කථා කරනවා. කොහොමත් එහෙම එළියට එන කවුරුවත් ආයේ වාහන බුක් කරන්න යන්නේ නැහැනේ. අනික ඔය ගෙවල් වල ඉඳලා තමන්ගේ දුව පුතා එක්කන් යන්න දුර ඉඳන් බස්වල ආපු අය ඉන්නවා. එහෙම දැක්ක ගමන් ඩයල් එක මොනවගේද කියලා අපිට කියන්න පුළුවන්. එහෙම කවුරැ හරි කෙනෙක් ළඟට ගිහින් ටෝක් කරලා අපි සෙට් කර ගන්නවා. කොහොමත් තමන්ගේ අම්ම තාත්ත කිව්වට පස්සේ බැහැ කියන්නේ නැහැනෙ කවුරැ වුණත්... අපි දන්නවා ලයින් එක අහලා වැඩේ ගොඩ දාගන්න. රට ඉඳන් එන එකේ අපිත් කීයක් හරි හොයාගත්තට කමක් නෑනේ මල්ලි ඇතුළෙන් කරා කියලා වෙන්නේ පොඩි ගාණක් අඩුවෙන එක විතරයි. අපෙන් කරොත් ගාණ වැඩි වුණත් මිනිස්සු යනවා. මොකද අපි දැන් ඒ විදියට මිනිස්සු අල්ලගෙන තියෙන්නේ.

පාර්ක් එකේ වාහන එච්චරවෙලා නවත්තලා තියන්න බැහැනේ?

ඒවට තමයි කන්ටෑක් තියෙන්නේ. කන්ටෑක් තියනවනම් මොනවද කරන්න බැරි. ඕනම දෙයක් කරන්න පුළුවන්නේ මල්ලි. අනික ඇතුලේ රෙජිස්ටර් වෙනවට වඩා හොඳ නැද්ද වාහනේ ළඟම තියාගෙන රැපියල් 250 ක් දීලා ගේම ගහන්න පුළුවන්නේ.... ලොකු ලොක්කන්ට හොරා කන්න පුළුවන් නම් අපි මේ වගේ දෙයක් කරාට අවුලක් නැහැනේ මල්ලි. අනික සමහරැ ඇතුළෙන් බඩු ගේනවා එළියට විකුණන්න. අපි තමයි ඉතින් ඒ වගෙත් ගේම ගහල විකුණන්නේ පොඩි සම්තිං එකක් තියාගෙන.

ටුවරිස් හයර් කරන්නේ නැද්ද?

ටුවරිස්ලා අපිට කරන්න බෑ. එක්කෝ ඒ අය හොටෙල්වලින් එක්කගෙන යන්න වාහනයක් එනවා. නැත්තම් ඇතුලේ රෙජිස්ටර් වුණාම තමයි ඒක කරගෙන යන්න පුළුවන්. සුද්දන්ට වඩා අපි දැන් මේ අල්ලන් යන ලයින් එක හොඳයි. සුපිරියි.

ඒ වුණාට එහෙම ලොකු ගණන් වලට හයර් යන එක හරි නෑ නේද?

රට ඉඳන් කවුරුත් අනාත වෙලා එන්නේ නැහැ. අපි දන්නවා කොහොමද එන්නේ කියලා. ඒ නිසා ඒ ගැන අපිට වඩා දන්න කවුරුත් නැහැ...

දුප්පත්කම නිසා බොහෝ දෙනකු මෙරටින් පිටව යන්නේ දුක්මහන්සි වී තම අනාගතය සපල කර ගැනීමට වුවද මෙවැනි වංචාකරැවන්ට ඒ පිළිබඳව වගේ වගක්වත් නැත. ඔවුනට අවශ්‍ය වන්නේ බල්ලන් මරා හෝ මුදල් ඉපැයීම පමණි. ලෝකයේ කොහේ හිටියද? මෙවැනි අවස්ථාවලදී සොයාබලා ආරක්ෂා වීම ජනතාව සතු වගකීමකි.

 හසිත් අංජන