
අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ආධාරකරුවන්යැයි කියමින් පැමිණි හොර මත්පැන් ව්‍යාපාරයේ යෙදෙන පිරිසක් 2018.08.18 වැනි දින රාත්‍රී දහයට පමණ ආණමඩුව ආඬිගම නගරයේ පිහිටි වෙළෙඳසලකට පහර දී අලාභ හානි සිදුකර ඇති බවට වූ පුවත ලැව්ගින්නක් සේ පැතිරී යමින් තිබුණි.
දිවයින පුරා වරින් වර සිදුවන පාතාල හා මැර ක්‍රියාකාරකම් පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල නිරන්තරයෙන් වාර්තා වෙද්දී පුත්තලම දිස්ත්‍රික්කයේ සිටින ප්‍රබලම දේශපාලනඥයකු වන ආණමඩුව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක වාරිමාර්ග හා ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයාගේ ආධාරකරුවන් පිරිසක් සිදුකළ බව කියන මෙම පහරදීම පිළිබඳ ජනතාව තුළ කතාබහට ලක්වූයේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම තුළ සිදුවූ ප්‍රහාරයක් ලෙසයි.
යතුරුපැදියකින් පැමිණි සිව්දෙනකු තමන්ට සහ තම බිරිඳට පහරදී හෝටලයේ දේපළවලට හානිකර තමන් සතුව තිබූ මුදල්ද කොල්ලකා පලාගිය බව හිමිකරු පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
කලක් තිස්සේ හෝටලයෙන් ආහාර ලබා ගැනීමෙන් වූ ණය මුදලක් ඉල්ලීමෙන් උරණ වූ පිරිස මෙම පහරදීම සිදුකර රුපියල් මිලියන දෙකහමාරක පමණ පාඩුවක් කළ බව පහරකෑමට ලක්වූ බව කියන හෝටලයේ හිමිකරු මාධ්‍ය හමුවේ පවසා ඇත.

කඩු, පොලු, ලී, මුගුරු, තියුණු ආයුධ රැගෙන සිව්දෙනකු පැමිණ සිදුකර ඇති ප්‍රහාරය සිදු කර ඇති ප්‍රධාන සැකකරු නම් දැරූ කසිප්පු ජාවාරම්කරුවකු බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් සිටියදී සිද්ධියට පසු දින අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී ඇත.
විවිධ මාධ්‍යවල සිද්ධිය ගැන විවිධාකාරයෙන් පළවන පුවත් පිළිබඳ විමසීම සඳහා හෝටලයේ හිමිකරුගේ ජංගම දුරකතනයට පසුගියදා ඇමතුමක් ලබා ගතිමි.
“මම දේශය පත්තරෙන්... ලබන ඉරිදා පත්තරේට ඔබගේ හෝටලයට සිදුවුණු පහරදීම පිළිබඳ වැඩි යමක් තිබෙනවා නම් ප්‍රකාශයක් ගන්න කතා කළේ.?”
“දැන් බැහැ මම වැඩක ඉන්නෙ.”
“වැඩි වේලාවක් යන්නේ නැහැ. පොඩි ප්‍රකාශයක් ඔහොමම දෙන්න?“
“ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න ඇවිත් ඉන්නවා. ඒවාට අවශ්‍ය රිසිට් වාගයක් ගන්න යන්න තිබෙනවා. මම පස්සෙ කතා කරන්නම්.”

“කොයි වෙලාවටද? අද හවස් වෙලා කතා කරන්නම්.” එසේ කියමින් දුරකතනය විසන්ධි කිරීමෙන් පසු ඔහු කතා කළහොත් එය සඳහන් කරන අදහසින් සිද්ධියට අදාළව නම කියැවෙන ආණමඩුව ආසන සංවිධායකවරයා වන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් ජංගම දුරකතනයෙන් විමසීමි. ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා,
ආඬිගම හෝටලයට පහරදීමට ඔබේ සම්බන්ධය මොකක්ද?
“ඔය සිද්ධිය මම දැනගත්තේ මාධ්‍යවේදීන් මගෙන් ඇහුවට පස්සෙ. මම ඒ පිළිබඳ ආණමඩුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට කතා කරලා ඇහුවා. එහෙම එකක් පොලීසියේ පැමිණිලිවල නැහැ කියලා කිව්වා.”
“ඇයි එහෙනම් ඔබගේ නම ගෑවිලා තිබෙන්නේ?”
“මගේ නම ගෑවුණේ නැතත් සමහර අය ගාවන්න හදනවා. රටේ වගේම ආණමඩුවේ සංවර්ධන කටයුතු සීඝ්‍රයෙන් සිදුවෙනකොට බලාගෙන ඉන්න බැරි අය අපිව වට්ටන්න විවිධ දේවල් කරනවා. හැබැයි වැටෙන්නෙ ඒ අය කියලා දන්නේ නැහැ.”
“ඔබගේ ප්‍රබල ආධාරකරුවෙක් කියලා චෝදනා එල්ලවෙනවනෙ?”
“මම පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ගත්ත කෙනා. මට ඡන්දය දුන්න හැමකෙනාම මගේ ආධාරකරුවො තමයි. ප්‍රබල, දුබල කියලා මට නැහැ. මම කාටවත් තේ එකක්වත් අරන් දීලා ඡන්දෙ අරගෙන නැහැ. කවුරුත් ඒක හොඳට දන්නවා. අධිකරණ පද්ධතියෙ, පූජ්‍ය පක්ෂයේ, ආරක්ෂක අංශයේ, ඉඳලා යාචකයා දක්වා මගේ ඡන්ද ගොඩට එකතු වෙනවා. මට ඡන්දය දුන්න 65,000 වැඩි ජනතාවක් ඉන්නවා. ඉතින් ඒ අතරින් කවුරුහරි වැරදි වැඩක් කළාම රංගේ බණ්ඩාරගෙ නම ගාවනවා. හැබැයි අපි ගම්මාන හදනවා, විදුලිය දෙනවා, පාරවල්, පාලම් හදනවා, ජනතාව ආගමික වන්දනා ගමන් එක්ක යනවා. ඇයි ඒවාට මගේ නම ගාවන්න ඔච්චර උනන්දු නැත්තේ.”

“ඔබගේ නම අපි ගාවලා නෙවෙයිනෙ. එල්ලවන චෝදනාව පිළිබඳ ඇහැව්වෙ?”
“මම කිව්වේ පොදුවේ සමහර වෙලාවට නිව්ස් එකක් විකුණගන්න සමහර මාධ්‍යවේදීන් මගේ නම ගාවනවා. ඒකට කමක් නැහැ. කරන සංවර්ධන කටයුතුවලටත් ඔය වගේ මාධ්‍ය තුළ ඉඩක් ලැබෙනවා නම් වටිනවා.”
“ඉතින් ඔබගේ නම භාවිත කරලා පහරදීම සිදුකළා කියලා හෝටලයේ හිමිකරු මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබෙනවානේ. ඒක ඔබට කැළලක් නේද? මොකක්ද ඒකට ගත්ත පියවර?”
“ඔය පිළිබඳ මාධ්‍ය මගෙන් ඇහුවා. මම කිව්වේ එහෙම කවුරුහරි මගේ හෝ වෙනත් ප්‍රභුවරයකුගේ නමක් භාවිත කරලා වැරදි කරලා බේරෙන්න හදනවා නම් ඒකට වෙනම පරීක්ෂණයක් කරන්න කියලා. හැබැයි එහෙම කරන්න මාධ්‍ය තුළ පළවුණාට මදි. පොලීසියේ පැමිණිල්ලක් තිබෙන්න ඕනෙ. එහෙම එකක් කරලා නැහැ කියලා පොලීසිය කියනවා. අනික අවුරුද්දක් තිස්සේ මේ කඩෙන් කාලා සල්ලි දුන්නේ නැතිනම් පොලීසියට පැමිණිලි කරන්න වෙළෙඳසල් හිමියට තිබුණා. එයාලගේ පෞද්ගලික අමනාපකම්වලට ගහගෙන මගේ නම ගාවලා මට අපකීර්තියක් කරන්න හදනවා.”
“ඔබ පොලීසියට එහෙම බලපෑම් කළාද?”
“මම මේ ගැන කිසිම පොලීසියකට කතා කරලා නැහැ. ආණමඩුව පොලීසියට කතා කරලා ඇහැව්වෙත් මගේ නම ගාවලා පැමිණිල්ලක් තිබෙනවද කියලා විතරයි.”
මේ පිළිබඳ පුත්තලම කොට්ඨාස බාර පොලිස් අධිකාරී ජේ.ඒ. ඡන්ද්‍රසේන මහතාගෙන් විමසීමක් කළෙමු.
“ජගත් අබේසිරි ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ උපදෙස් ලැබුණා ඒ අනුව පරීක්ෂණ ඉක්මන් කරන්න කියලා. ඒ අනුව ආණමඩුව පොලීසියට උපදෙස් දුන්නා. ආණමඩුව පොලීසියට ලැබුණු සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කරලා ආණමඩුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපාලි රත්නමළල ඇතුළු පරීක්ෂණ කණ්ඩායම පැය විසි හතරක් යන්නට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගත්තා.”

රංගේ බණ්ඩාර අමාත්‍යවරයාගේ ආධාරකරුවෝ කියලා කියනවා. අමාත්‍යවරයා එහෙම කතා කළාද?”
“පොලීසියට එහෙම පැමිණිල්ලක් ඇවිල්ලත් නැහැ. කතා කළෙත් නැහැ. දේශපාලන අධිකාරියේ කිසිම කෙනෙක්ගෙන් පරීක්ෂණවලට බාධාවෙන පරිදි දුරකතන ඇමැතුමක්වත් ලැබුණේ නැහැ. තිබෙන සාක්ෂිත් එක්ක පොලීසිය රාජකාරී කළා.
සැකකරුවන් හතර දෙනා 20 වැනි දා ආණමඩුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පස්සෙ සැප්තැම්බර් 03 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඉදිරි පරීක්ෂණ කරන්න ආණමඩුව පොලීසියට උපදෙස් දීලා තිබෙනවා.”
ප්‍රධාන සැකකරු කසිප්පු ජාවාරම්කරුවකු බවට එල්ලවන චෝදනාව පිළිබඳ ආණමඩුව පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමේදී පැවසුවේ මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ආණමඩුව, පල්ලම, නවගත්තේගම පොලීසිවල පෙර වැරදි තිබෙන බවයි.
සමාජ විරෝධී දේවල් කරමින් සමාජය වනසන කසිප්පු නිෂ්පාදනය කරමින් සමාජය දූෂණයට ලක් කරන මෙවන් ජවාරම්කරැවන් දුක් මහන්සියෙන් වෙහෙස මහන්සි වී හම්බකරන අහිංසක හෝටල්කරැවකුගෙන් ණයට ආහාර ගෙන ණය මුදල් ඉල්ලූ පසු මෙවන් මැරප්‍රහාරයක් එල්ල කිරීම තුළින් සමාජගත වන්නේ රටේ සිදුවන අපරාධවලට මත්ද්‍රව්‍ය සහ මත්පැන්, කසිප්පු ප්‍රධාන හේතුවක් බවයි. පොලීසි කිහිපයක කසිප්පු පෙරා අසුවී පෙර වැරදි ඇති කසිප්පු ජාවාරම්කරුවකු බව පොලීසිය තහවුරු කරන මොහු ඉදිරියේදීත් මෙම ක්‍රියාවලියේ නිරතවේද යන්න ගැන අවධානයෙන් පසුවීම අවශ්‍යය.
රෝවන් පෙරේරා - පුත්තලම