
කරදිය සුවඳ හමන වෙරළ ඉමේ සිට ඈත දියඹ දෙස බලාසිටින විට තෙරක් නොපෙනන මහා සාගරය කොතරම් නම් අපූරුදැයි සිහිවෙයි. අප නෙතට පෙනෙන ඈත ක්ෂිතිජයෙන් එපිටට ගොඩබිමක් නොපෙනෙන ඉම ඇති හුදකලාව, රළ බිදෙන විට පමණක් බිදෙන නිහඬ බව, විටක හිමින් සීරුවේ හමන සුළඟ තවත් විටක චන්ඩව නැගෙන මහා කුණාටු, සඳ තරු පමණක් එළිය කරන රාත්‍රීය. ඈත මෑත නොපෙනෙන ඝන අඳුර, අත්විඳින්නට ඇත්නම් එය මිනිසකු කෙලෙස දැනෙණු ඇද්ද? අපි එය අත්විදි දැනුදු අත්විඳිමින් සිටින මිනිසුන් පිරිසක් සොයාගියෙමු. ඔහු තම ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් මහ මුහුද මැද ගෙවාදමති. ගොඩබිමෙන් දියඹට ඇදෙන ඔවුන් බොහෝ විට නැවත එන්නේ මාසයක් දෙකක් ඉකුත් වූ පසුය. ඇතැම් විට ඊට මාස තුනකට වඩා වැඩි කාලයක් ගතවිය හැක. නැවත එන්නට ගියත් මේ ගමන යළි නොඑන ගමනක් වීමට ද ඉඩකඩ නැතිවා නොවේ. මේ ගමන් එතරම් භයානකය. අවදානම්ය.
මේ ඔවුන්ගේ බහුදින ධීවර යාන්ත්‍රාවක නැගී කරදිය වළලලේ ඒ මේ අත යාත්‍රා කරන ධීවර යාත්‍රිකයන්ගේ ජීවිතයේ අවදානම් බවත් අපූර්වත්වයත් අපි ඔබට දැන් කියමු. දුක් සෝ සුසුම් කඳුළු හසරැල් පමණක් නොව ත්‍රාසය, නීතිය පිරුණු ඒ කතාවේ දිගහැරුව මෙලෙසින් ලියා තබමු.
ධීවර වාරායේ ජැටියට පැමිණ උදෑසනක හෝ සැදෑවක බලා සිටින විට නෙත ගැටෙන අපූරු දසුනක් වන්නේ වරායේ කඩමත්ත පනින බහුදින ධීවර යාත්‍රාය. මහා සයුරේ මත්ස්‍ය අස්වැන්න සොයායන ධීවරයෝ කඩමත්ත පනින විට දෑත එක්කර ගොඩබිමටත් යාත්‍රාවටත් වදිති. ඉන්පසු ඔවුන් සුරතින් යාත්‍රාවට තට්ටු කරන්නේ චරිත්‍රයකට මෙනි. දහසක් පැතුම් පොදි බැද අඹුදරුවන් නිවසේ තනිකොට යන ගමන එක් අතකින් දිවි සටන ජයගන්නට යන සප්ත මහා සාගරයේ වීර චාරිකාවකි. මේ ගමනේ පස් හය දෙනෙකුගෙන් සැදුම්ලත් යාත්‍රාවේ සගයන්ගේ නායකයා බවට පත්වන්නේ යාත්‍රාවේ ස්කිපර් හෙවත් කැප්ටන්ය. ස්කිපර් මුහුදු ගමනේ පළපුරුදු ඇති ජවය ශක්තිය සපිරි වැඩිහිටියෙක් වෙයි. ඔහුගේ කාර්යශූරත්වය යාත්‍රාව ජය ටැඹ කරා ගෙනයාමට හේතුවන බව යාත්‍රා සගයන් පමණක් නොව යාත්‍රා හිමියා ද දැනසිටී.

බහුදින ධීවර යාත්‍රා විවිධ හේතූන් මත පිහිටා වර්ග කිරීමට හැකිය. යන ගමන් අනුව මෙම යාත්‍රා දෙවර්ගයකි. ඒ අනුව “දූපත්” යන බෝට්ටු සහ “කෝස්” බෝට්ටු යනු ඒ වර්ග දෙකයි. මෙම ගමන් දෙක පිළිබඳ වෙන් වෙන්ම පහදන්නට නම් දීර්ඝ සටහනක් ලියන්නට වනු ඇත. එනමුත් සරලව ඔබ වෙනුවෙන් පහදන්නෙත් “දූපත්” ගමන මෙරට මුහුදු සීමාවෙන් බොහෝ එපිටට යන මාස දෙක තුනක් ගතවෙන දීර්ඝ චාරිකාවකි. “කෝස්” බෝට්ටුවේ ගමන සති දෙකතුනකට සීමාවන දීර්ඝ නොවන ගමනකි. සාමාන්‍යය බහුදින ධීවර යාත්‍රාවක් පිටත් කිරීමට වැයවන්නේ සුළුපටු වියදමක් නොවේ. බෝට්ටුවල වෙනස්කම් දැකිය හැකිය. යම් බෝට්ටුවක දැල් සියක් ඇති නම් එය තරමක් විශාල ප්‍රමාණයකි.
මහ මුහුද සමඟ ඔට්ටු විම ලෙහෙසි පහසු දෙයක් නොවේ. ජීවිතයෙන් අඩකට වඩා මුහුදු රස්සාව කළ අත්දැකීම් රාශියක් සමඟ කරදිය සුළඟින් පන්නරය ලැබූ අපූරැ මිනිසෙකු අපට හමුවිය. නමින් ඔහු දේව අනුර ද සිල්වායි. ධීවර වරායේ හා ධීවර මිතුරෝ ඔහු හඳුන්වන්නේ රාළ අයියා හා අදරණීය ගෞරව නාමයකිනි. වයස අවුරුදු 19යේදී මුහුදු රස්සාව අරඹා ඇති අනුර මහතා වසර 33ක් ඇවෑමෙන් අද වනවිට බහුදින යාත්‍රා හිමියෙක් බවට පත්ව සිටී. මුහුදු ජීවිතය පිළිබඳ ඔහු සන්තකයේ බොහෝ රසබර මෙන්ම හරසාර තොරතුරු ද ඇත. දැනට මේ මුහුදු ජීවිතය හඳුනාගන්නට ඔබට අවැසි තොරතුරු කිහිපයක් පමණක් අපි ඔබට හෙළිකරමු.
“දූපත් යද්දී හැම රටකටම වගේ අපි යනවා. ඕස්ට්‍රේලියාව, ඉන්දියන් මුහුදේ අන්දමන් දූපත්. කිට්ටුවට මැඩගස්කර කිට්ටුවටත් යනවා. හැබැයි අපි එහෙම ගියාට පන්න කරන්නේ ජාත්‍යන්තර මුහුදේ.”
අනුර මහතා කතාවට මුල පුරයි
ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුද මැද ඔවුන් කෙලෙස රාත්‍රිය පහන් කරනවා ඇද්ද? අද වනවිට සෑම බහුදින යාත්‍රාවකම LED රූපවාහිනියක්, DVD ප්ලේයර් එකක් තිබේ. දෙමළ, හින්දි, ඉංග්‍රීසි පමණක් නොව තව තව DVD වර්ග ද ඔවුහු මේ ගමනේදී රැගෙන යති. රාත්‍රිය ගෙවෙන්නේ කතාබහ කරමින් චිත්‍රපට නරඹමිනි. දූපත් ගමනට බොහෝ විට එකතුවෙන්නේ පස් දෙනෙක් පමණි. මේ නිසාවෙන් හතර දෙනකු බෝට්ටුව ඇතුළත තිබෙන තට්ටු ඇදන්වල නිදන අතර එක් අයෙක් මාරුවෙන් මාරුවට බෝට්ටුව මුරකරයි. නිතර ඒ මේ අත සෙලවෙන යාත්‍රාවක සුව නින්දක් ඔවුන් ලබයි ද? මුහුදු රළ උදම් වනවිට කුණාටු පැමිණෙන විට මුහුද මැද ගෙවාදමන රාත්‍රියන් කොතරම් බිහිසුණු වන්නට ඇද්ද? අප ඔබට ඒ පිළිබඳව පසුව කියමු.

තමන්ට අයිති යාත්‍රාවේ අද ද මුහුදු රස්සාවේ යන අනුර මහතා අපට හෙළිකරන තවත් කරුණක් නම් යාත්‍රාවක් වරායෙන් මුහුදු යාමට යන වියදමයි.
තෙල්, අයිස්, බඩුමුට්ටු පැටවීමට යන මුදල ඒ ඒ ගමන් අනුව වෙනස් වන බව ඔහු පවසයි. කෝස් බෝට්ටුවක් පිටත් කිරීමට ලක්ෂ 3ක් පමණ ප්‍රමාණවත් වන නමුත් දූපත් යන බෝට්ටුවක් පිටත් කිරීමට රුපියල් ලක්ෂ 07ක් පමණ ඇතැම් විට වැයවෙයි. තමන්ගේ අරමුණ ඉටුවන තුරු මහ මුහුද මැද නොබියව ඒ මේ අත කරක් ගසන දූපත් යන බහුදින යාත්‍රා ඇතැම් විට මාස තුනක් පමණ කාලයක් මහ මුහුදේ රැඳී සිටියි. ඒ හේතුවෙන් අවශ්‍ය ප්‍රමාණයට ඇති පමණ බඩු මුට්ටු රැගෙන යා යුතුය.
මෙවන් ගමන් තම ජීවිත පවා පරදුවට තබා තම අඹුදරුවන් රැකගැනීම වෙනුවෙන් යන ධීවරයන්ට පඩි නඩි ලැබෙන්නේ කෙලෙස ද දැයි දැනගත යුතුය. මුහුදු ගමනේ පංගු බෙදීම ගැනද අපිට කීවේ අනුර මහතාය. ගමනේ ලාභය රුපියල් ලක්ෂ 27 වුවහොත් ගමන පිටත් කිරීමට මූලිකව වැය වූ ලක්ෂ 7ක මුදල වියදමක් ලෙස ඉවත් කරයි. පසුව ඉතිරි කොටස දෙකට බෙදෙයි. ඒ අනුව ලක්ෂ 10ක් යාත්‍රා හිමියාටත් ස්කීපර් ඇතුළු ධීවරයන්ට 10ක් වන ලෙසත් මෙම මුදල බෙදීයයි. මුහුද ගමනේ ගණන් හිලව් බේරීම පිළිබඳවත් තවත් කතා තිබේ.
මහ මුහුද මැද ගෙවන දිවියේ අනේක විධ දුක් කම්කටළු මෙන්ම රසබර තැන් ද තව බොහෝ තිබේ. දිගින් අඩි 55ක් හෝ ඊට අඩු යාත්‍රාවක නැඟී යන මේ ගමන ඇත්තෙන්ම අපූරුය. වර්තමානයේ විවිධ පහසුකම් ඔවුන්ට තිබුණ ද අතීතයේ එසේ නොවුණි. මුහුදු ගමනේ පරණ කතා සහ අලුත් කතා අතර වෙනසක් ඇති බවද කිව යුතුය. මහ මුහුද මැද යාත්‍රාවල ඇන්ජින් නතරවී සිදුවුණු ඇබැද්දි ද ඒ අතරවෙයි. මුහුදේ දී හමුවන තවද නැව් බෝට්ටු හා ඇති සහෝදරත්වය උපකාර හුවමාරු මෙන්ම ගැටුම් පිළිබඳව රසබර කතා තිබේ. මේ සියල්ල ඉදිරියේ දී දිගහැරීමේ බලාපොරොත්තුවෙන් ක්ෂිතිජයටත් ඔබ්බෙන් ද වන ධීවර කතාවට අද දිනයේ විරාමයක් දෙමු.
තවත් පියවරක් ඊළඟ සතියේ
(බේරුවල සංචාරයකින් පසු)
►චමිදු නිසල් ද සිල්වා