
“බැච් එකේ ෆිට් එක වඩවන කැම්පස් එකේ රැග් එක සුන්දරය, බිහිසුණුය, දේශපාලනිකය, මරු කැඳවන සුළුය.” නවකවදය පිළිබඳ සංවාදය පසුගිය සතියක දෙකක කාලය තුළ මෙවැනි සමාජ දේශපාලනික සංවාදයක් ගොඩනගා තිබේ. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කලක් නිහඬව පැවතුණු නවකවදය පිළිබඳ සංවාදය මෙවර කරළියට ගෙන ඒමේ පුරෝගාමියා විය. නයිවල උසස් තාක්ෂණ ආයතනයේ සිදුවූ නවකවදය සම්බන්ධ සිදුවීමක්ද රට තුළ නවක වදය පිළිබඳ සංවාදය ගොඩනැගීමට හේතු වූ බව කිව යුතුය. කෙසේ නමුත් අද වන විට ගොඩනැගී ඇති සංවාදය හරහා සරසවිය තුළ ක්‍රියාත්මක පීඩාකාරී නක වදය ගැටලුවට පිළියමක් ලැබෙන්නේ නම් යහපත්ය. මේ සටහන අප ලියන්නේ ද ඒ අරමුණ පෙරදැරිව බව කිව මනාය.
ඇරඹුමේදීම ලංකාවේ සරසවි බොහොමයක වසංගතයක් ලෙස අඩු වැඩි වශයෙන් පැතිර ඇති ප්‍රචණ්ඩ නවකවද “සංස්කෘතියේ” ඉතිහාසය සැකෙවින් හෝ සටහන් කිරීම වටී. මහා විහාර, අභයගිරි සම්ප්‍රදායවල පටන් මෙරට උසස් අධ්‍යාපන ක්‍රමයක් තිබුණු බවට සාක්ෂි වෙතත් නවකවදයක් තිබුණු බවට ඉතිහාසගත තොරතුරු අපට හමුනොවේ. ආගන්තුකයන්ට සත්කාර කළා මිස අතීතයේ මිනිසුන් ආගන්තුකයන්ට වද දුන්නේ නැත. ලෝක ඉතිහාසය පිරික්සීමේදී අතීතයේ ග්‍රීක ක්‍රීඩා සමාජවල නවකයන්ට සරදම් කිරීම, සමච්චල් කිරීම ආදිය තිබුණු වග කියැවේ. හමුදා පුහුණුවේද මෙවන් තත්ත්වයක් පැවැති අතර පළමු ලෝක යුද්ධයෙන් පසු හමුදා සෙබළුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමත් සමඟ ලොව පුරා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ නවකවදය පැතිර යන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙරටද අධිරාජ්‍යවාදීන් පාලනය කළ සමයේ හමුදා සහ ඉංග්‍රීසි පාසල් තුළ නවකවදය තිබුණු බවත් නිදහසෙන් පසුව ක්‍රමිකව එය ව්‍යාප්ත වන්නට ඇති බවටත් මත පළවේ.
පසුගිය දිනක උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින නවකවදය පිළිබඳ අනාවරණයක් කරයි. ඒ මහතාට අනුව ඉතිහාසය පුරා මෙරට නවකවදය හේතුවෙන් සිසුන් 14 දෙනකු මියගොස් තිබේ. පෙරටුගාමීන්ගේ නවක වදය ඉවසන්නට බැරිව 2015 සහ 2016 වසරවල සිසුන් 1352ක් සරසවි හැරගොස් ඇත. විශ්වවිද්‍යාල පද්ධතියේ සිටින සිසුන් 91,600ක් පමණ වන ශිෂ්‍ය ප්‍රජාව නවකවදය හේතුවෙන් පීඩා විඳිති. 1988 අංක 20 දරන නවකවද පනතට අනුව නවකවදය ලබාදෙන පිරිස්වලට වසර 10ක් දක්වා දඬුවම් නියම කළ හැකි බැවින් එය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම්ව සිටී. මේ අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලබන කතාවයි. ලාංකික විශ්වවිද්‍යාලවල නවකවදය සම්බන්ධ යථාර්ථය අප හෙළිකරමු.

විවිධ සමාජ කණ්ඩායම් හා ආයතනික ව්‍යුහයන් අතර ලෝකය පුරා ප්‍රධාන සංස්කෘතීන්ට බැහැරවූ උප සංස්කෘතීන් පවතී. සරසවිය තුළ ප්‍රබල උප සංස්කෘතීයක් පවතින බව අවබෝධ කරගත යුතුව ඇත. නවකවදය යනු පද්ධතියට ඇතුළත් වන නවකයන්ට සංස්කෘතිය පවරාදීමක් බව ශිෂ්‍ය ප්‍රජාව අතර විශ්වාසයක් පවතී. ඒ අනුව කියවෙන කාරණා කිහිපයකුත් හෙළිකරමු.
විශ්වවිද්‍යාල පද්ධතියට නවකයන් පැමිණෙන්නේ විවිධ පවුල් සංස්කෘතීන්, පාසල් සංස්කෘතීන් හා ග්‍රාමීය හා නාගරික සංස්කෘතීන් තුළ සිට ඒවායේ ගති ලක්ෂණ පෙරදැරිවය. එවිට ඔවුන් සරසවි උප සංස්කෘතියට ක්‍රමිකව හුරුකරන්නේ පළමු වසරේ සිසුන්ට නවකවදය ලැබෙන කාලසීමාව තුළය. “රුග් සීසන්” එක නමින් හඳුන්වන මෙම කාලසීමාව තුළ සිදුවන නවකවදය දෙයාකාරය. වදය වදයක්ව වී විටක මරැ කැඳවන සුළු පිටත සමාජය තුළ භීතිකාවක් ඇතිකර ඇති නවකවදය එකකි. පීඩාකාරී නමුදු සරසවියේ සොඳුරු මතකයන් ලෙස පසු කාලෙක උපාධිධාරීන් සිහිකරන නවකවදය තවත් එකකි. ලංකාවේ බොහෝ සරසවි සිසුන් නවකවදයට විරුද්ධ බවට නිතර පාලකයන් කීවද එහි විරෝධය පවතින්නේ අපරාධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වන නවකවදයට බව හඳුනාගත යුතුව තිබේ.
මීළඟට නවකවදය හා සරසවි ශිෂ්‍ය දේශපාලනය අතර පවතින සම්බන්ධය පැහැදිලි කරගත යුතුව තිබේ. නවකවදය පිටුපස අන්තරේ සිටීද? පෙරටුගාමීන් සිටීද? මේ සියල්ල පිළිබඳ සරසවියෙන් පිටත සමාජයට ඇත්තේ කුහුලකි. අප ඍජුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකරගෙන් මේ ගැන විමසුවෙමු. ඒ අනුව විශ්වවිද්‍යාලය තුළ යම් සංස්කෘතික පසුගාමී බවක් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පවතින බව ඔහු පිළිගනී. යම් ප්‍රජාවක් සතුව පවතින සංස්කෘතික පසුගාමී බව නීති යොදා පාලනය කළ නොහැකිය. ඒ සඳහා සරසවි ආචාර්යවරුන්, ශිෂ්‍ය සංගම් ඇතුළු පිරිස් තුළ ගොඩනැගෙන කතිකාවතක අවශ්‍යතාවය පවතී. අන්තරේ අනුදැනුම සහිතව සරසවි තුළ ප්‍රචණ්ඩත්වය ක්‍රියාවේ යොදවන බවට නැගෙන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කරන අතර අන්තරය පළමු වසර හා දෙවැනි වසර කණ්ඩායම්වලට මෙහි බරපතළ බව පිළිබඳව නිශ්චිත උපදෙස් දී තිබෙන බවද කියයි. මෙවැනි දෑ තුළින් අන්තරයට සිදුවන්නේ පාඩුවක් බවද පවසන ළහිරු වීරසේකර ඉදිරියේදී වඩාත් පුළුල් මැදිහත්වීමක් නවක වදය නමින් ක්‍රියාත්මක ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට සිදුකරන බවද සඳහන් කරයි.
ඒ කෙසේ වුවත් සත්‍ය වශයෙන්ම නවකවදය හරහා ශිෂ්‍ය සංගම්වලට වාසියක් තිබේද? ඊට ඇති පිළිතුර සංකීර්ණය. සරලව පැවසුවහොත් පළමු වසරේ රැග් සීසන් එක අවසන් වන විට අතිබහුතරය තුළ සාමූහික බැඳීමක් හා උප සංස්කෘතිය පිළිබඳ හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ පොඩි උණක් ඇතිවේ. එවිට සිය අරගලවලට ඔවුන් ඈඳාගැනීමේ හැකියාව ශිෂ්‍ය සංගම්වලට උදාවේ. බොහෝවිට කඳුළු ගෑස්, ජල ප්‍රහාරවල පහස ලබන්නේ පළමු වසර, දෙවැනි වසර සිසුහුය. සරසවි අභ්‍යන්තරයේ බොහෝ සිසුන් මේ තතු හෙළිකරන්නට බියවන්නේ එවිට තම ප්‍රජාව තුළ ‘අපතයකු’ වීමට ඇති අකැමැත්ත හේතුවෙනි. පොදු ශිෂ්‍ය සංගම්වලට අයත් ‘පොද්දකු’ගෙන් ‘කැම්පස් එකේ රැග් එක කොහොමද?’ කියා ඇසුවහොත් ‘අපේ කැම්පස් එකේ නම් එහෙම ලොකු රැග් එකක් නෑ’ වැනි පිළිතුරක් පිටස්තරයකුට ලැබෙනු ඇත. ඔවුන්ට එය කියා දී ඇත්තේ තම උප සංස්කෘතිය ආරක්ෂා කරගැනීම සඳහා සරසවිය තුළිනි.

නීතීඥ හර්ෂණ එම්. ද සිල්වා
ප්‍රචණ්ඩකාරී උමතු නවකවදය සරසවිය තුළ තිබේද? එයට හේතුව කුමක්ද? මේ තත්ත්වයන් පවතින්නේ නේවාසිකාගාර තුළය. නිරුවත් කිරීම්, ලිංගික පීඩාවන් තවමත් යම් ප්‍රමාණයකට සරසවි තුළ සිදුවෙමින් පවතින බව සැබෑවකි. එයට අනුව දශකයේ මුල සහ දෙදහසේ මුල තිබූ තත්ත්වයට සාපේක්ෂව අඩුය. එනමුත් සිදුවෙයි. ලක්ෂයකට ආසන්න ශිෂ්‍ය ප්‍රජාවක් තුළ අපරාධ සඳහා රුචිකත්වයක් ඇති පිරිස්, පරපීඩක කාමයෙන් පෙළෙන්නන් හා විකෘති මානසිකත්වයෙන් පෙළෙන්නන් අතළොස්සක් සිටිය හැකිය. ඔවුන් මේ බරපතළ හිංසනයන් පිටුපස සිටින පිරිසයි. උප සංස්කෘතිය තුළින් ලැබෙන රැකවරණය ඔවුන්ට ලැබීම හරහා ඔවුන්ද සිය විශ්ව සංස්කෘතික ගති ලක්ෂණ ඊළඟ පරම්පරාවට පවරමින් සිටී. එහෙත් ඊට විකල්ප ලෙස සරසවි උප සංස්කෘතිය විනාශ කිරීම කොතරම් සුදුසුද යන්න පැනයකි.
ශිෂ්‍ය දේශපාලන, නවක වදය, පාලකයන්ගේ හා පොදු සමාජයේ ප්‍රතිචාර අතර ඇති එකින් එකට බැඳුණු සබඳතා අවසාන වශයෙන් හඳුනාගත යුතුය. අන්තරයට සම්බන්ධ නොවුණු ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිකයකුව සිට මෑතකදී සරසවියට සමුදී අද නීතිඥවරයකු වී සිටින හර්ෂණ එම්. ද සිල්වා මහතාගෙන් මේ සම්බන්ධව විමසුවෙමු. ඔහුට අනුව ශිෂ්‍ය අරගල, ශිෂ්‍ය දේශපාලනය යනු ලෝක දේශපාලනය තුළ භාවිත වන ප්‍රබල අවියකි. ලෝකය තුළ ශිෂ්‍ය ව්‍යාපාර තම අයිතිය දිනාගැනීම සහ අධ්‍යයන විෂය ක්ෂේත්‍රවල වෙනස්කම් සිදුකරගැනීමට බලපෑම් කරයි. ශිෂ්‍ය දේශපාලන අන්තරය විසින් සිදුකරනු ලැබූවද එහි බලය ඔවුන් සතු වුවද ශිෂ්‍ය දේශපාලනය යනු අන්තරය නොවේ. ශිෂ්‍ය දේශපාලනය විසින් ආණ්ඩුවලට බලපෑම් කරන විට සෑම ආණ්ඩුවක්ම සිදුකරන්නේ පළමුව විවේචනය හා දෙවනුව මර්දනයයි. මෙතෙක් කල් පැවැති ආණ්ඩු විසින් සිදුකරනු ලැබූ විවේචනවල සහ ශිෂ්‍ය ව්‍යාපාර මෙහෙයවූ දේශපාලනික අරගලවල ප්‍රතිඵලයක් ලෙස පොදු මහජනතාව තුළ සරසවි සිසුවා පිළිබඳ විවේචනාත්මක ආකල්පයක් ඇතිකර තිබේ. නවක වදය ද ඉන් කොටසක් වන අතර එය සරසවි සිසුවාට සාධනීය ලෙස හා විටක හානිකර ලෙස ක්‍රියාත්මක වන බව ඔහුගේ අදහසය.
අවසාන වශයෙන් මෙසේ ලියා තබමු. නවක වදය සිදුකරන්නට එන ජ්‍යෙෂ්ඨයාගේ කනට ගසා මෙම ප්‍රශ්නය විසඳිය නොහැක. නීතිය හකුලා තබා ශිෂ්‍ය සංගම්වලට අවැසි පරිදිද මෙය විසඳිය නොහැක. සරසවි සිසුන් තුළ ද ආකල්පමය වෙනසක් සිදුවිය යුතුය. සරසවි සිසුවා පිළිබඳව පොදු ජනයාගේ ඇති ආකල්පයද වෙනස් විය යුතුය. මෙරට ප්‍රබලතම බලපෑම් කණ්ඩායමක් වන සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයට පාදක වන උප සංස්කෘතිය කුඩුපට්ටම් කිරීමෙන් උසස් අධ්‍යාපන ගැටලුවලට විසඳුම් නොලැබන බව සියල්ලෝම ප්‍රත්‍යක්ෂ කරගත යුතුව ඇත. ඒ අතර නිශ්චිතවම නවකවදය නමින් ක්‍රියාත්මක වන උමතු විකෘති ප්‍රචණ්ඩතාවය ද විශ්වවිද්‍යාල පද්ධතියෙන් මුලිනුපුටා දැමිය යුතුය.
►චමිඳු නිසල් ද සිල්වා