2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ඉතිං මීට පස්සේ සරත් මධූ අප අතර නැත

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 484

සරත් බැද්දගේ නමින් බලංගොඩ නගරයේ උපත ලද ඔහු හත් දෙනකුගෙන් යුතු පවුලේ තුන්වැනි දරුවා විය. ව්‍යාපාරිකයකු වූ සරත්ගේ පියා ගැමියෙක් විය. උප්පැන්න සහතිකයේ සරත් බැද්දගේ ලෙසින් නම යොදුණද කලාවට පිවිසීමත් සමඟම ඔහු (බලංගොඩ සරත් මධූ) ලෙසින් නම් ලැබීය. එතැන් සිට ඔහු කාගෙත් (සරත් මධූ) විය.

එකල බලංගොඩ නගරයේ බොහෝ පාසල් මිෂනාරියට අයත් විය. මේ නිසාම ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ගැමියන්ගේ ගෙවල්වලට ගොස් පාසල් යන වයසේ සිටි දරුවන්ව පන්සලට ගෙන්වා පන්සල් බණ මඩුවේ පුංචි පාසලක් ආරම්භ කළහ. ඒ බුද්ධ ජයන්ති බෞද්ධ පාසලේ මුල්ම පාසල් ශිෂ්‍යයකු ලෙසින් සරත් මධූ ඇතුළත් විය. ඒ අනුව සරත් මධූගේ මුල්ම පාසල වූයේ බලංගොඩ බුද්ධ ජයන්ති පාසලය. ඉන්පසුව ඔහු බලංගොඩ මහ විද්‍යාලයෙන් ඉගෙනුම ලැබීය. ඔහු ඉතා දක්ෂ ශිෂ්‍යයෙක් විය. විද්‍යා විෂයට මෙන්ම චිත්‍ර කලාවට ද ඔහු එතරම් දස්කම් පෑවේය. හරි අපූරුවට චිත්‍ර ඇඳීමේ හැකියාවක් ළමා කාලේ පටන්ම ඔහු තුළ පැවැතිණි. මේ නිසාම ශිෂ්‍යත්වයක් ලැබූ සරත් මධූ බලංගොඩ විද්‍යාලයට (ආයුබෝවන්) කියා දෙහිවල මධ්‍ය මහ විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට වරම් ලැබීය.

පාසලේ චිත්‍ර පන්තිය සරත්ගේ ජීවිතය වෙනස් කරලීමට සමත් විය. දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ එවක සිටි චිත්‍ර ගුරුතුමිය සරත්ගේ හැකියාවන් අපූරුවට හඳුනාගත්තාය. එකල දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ අනෙකුත් චිත්‍ර ශිල්පය හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද සරත්ට මේ චිත්‍ර කලාවට උදවු කළෝය. සරත්ට චිත්‍ර ඇඳීමට මෙන්ම මූර්ති ඇඹීමේ හැකියාවක් ද තිබුණි. පාසලේ විදුහල්පති මෙන්ම සිනමාවේ රජා වූ ගාමිණී ෆොන්සේකාව ද සරත් ඉතා අලංකාරව මැටියෙන් ඇඹූ හැටි අදද ඔහුලේ සමකාලීන මිතුරන්ට හොඳින් මතකය. චිත්‍ර පන්තියේදී මැටි පදම් කරමින් සරත්ට උදවු වූයේ මධ්‍ය මහ විද්‍යාලයේ චිත්‍ර කලාව හැදෑරු ඔහුගේ මිතුරු මිතුරියන් පිරිසයි.

1967 වසරේදී සරත් මධූට හරි අපූරු අවස්ථාවක් උදාවිය. ඒ (ශ්‍රී ලංකාදීප) පුවත්පතට ධර්ම ශ්‍රී කල්දේරා ලියූ (රාජ උදහස) නම් කතාවට චිත්‍ර ඇඳීමට අවස්ථාවක් උදාවීමය. එය සරත් මධූගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් විය. ඔහුගේ ප්‍රසිද්ධ චිත්‍ර කලාවේ ආරම්භය එය විය.

සරත් මධූගේ මුල්ම රැකියාව වූයේ ගුරු වෘත්තියයි. ඔහු විද්‍යා ගුරුවරයෙක් ලෙසින් මුල්ම පත්වීම ලැබුවේ බලංගොඩ සාරිපුත්ත විද්‍යාලයටයි. ඉන්පසුව ගල්ගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ද ඔහු විද්‍යා ගුරුවරයෙක් ලෙසින් සේවය කළේය. මේ අවදියේදී ඔහු පුවත්පත් කිහිපයකට චිත්‍ර ඇන්දේය. ඒ බොහෝ චිත්‍ර ඉතා ජනප්‍රිය විය. ඔහුගේ චිත්‍ර වටා බොහෝ රසික පිරිසක් ඒකරාශී වූහ. සතුට චිත්‍ර කතා පත්‍රයේ (නිව්රෝ) නම් චිත්‍ර කතාව හරහා ඔහු රසික ප්‍රසාදය ඉහළින්ම දිනා ගත් චිත්‍ර ශිල්පියෙක් බවට පත්විය.

1976 වසරේදී (සිත්තර) චිත්‍ර කතා පත්තරය ආරම්භ වීමත් සමඟම සරත් මධූ ඉතා කාර්යබහුල චිත්‍ර ශිල්පියෙක් බවට පත්විය. (සිත්තර) චිත්‍ර කතා පුවත්පතට ඔහු ඇඳි (ඉතින් ඊට පස්සේ) චිත්‍ර කතාව බොහෝ රසික ජනතාවගේ ආදරය දිනාගත් ප්‍රේමණීය චිත්‍ර කතාවක් වීය. එම චිත්‍ර කතාවේ සිටි දේදුණු සහ කැළුම්ට ඇඳි චිත්‍ර හරි අපූරු සිත්තමක් විය. එකල බොහෝ ජනප්‍රිය වූ දේදුණු කැළුම් ආදර කතාව ඔස්සේ දේදුණු කැළුම් යුගයක් ද බිහිවිය. ඒ අනුව එකල බිහිවූ ඇතැම් දරුවන්ට පවා දේදුණු - කැළුම් යැයි නම් තැබිණි. මේ අනුව හැත්තෑ දශකයේ බිහිවූ දේදුණුලා කැළුම්ලා අදත් අප අතරේ ඕනෑ තරම් සිටිති. සරත් මධූ අතින් ඇඳුණු කැළුම්ගේ බොකුටු ගැසුණු අපූරුවට පීරුණ කොණ්ඩ මෝස්තරය එකල තරුණයන්ගේ ප්‍රියතම කොණ්ඩ මෝස්තරය ද විය. බොහෝ තරුණයෝ සැලුන්වලට ගොස් (කැළුම් විදිහට කොණ්ඩය හදන්න) කියමින් ඒ පිළිවෙළට එකල කොණ්ඩය සකස් කරගත්හ. (ඉතින් ඊට පස්සේ) චිත්‍ර කතාව ඔස්සේ සරත් මධූ අතිශය ජනප්‍රිය චරිතයක් වූයේ ඒ ආකාරයටය. 

සරත් මධූට තමන්ගේ (දේදුණු) මුණගැසෙන්නේ ඒ අතරය. ඒ ඔහුගේ බිරිඳ කාන්තිය. ගුරු වෘත්තියේ නියැලෙන කාලයේදී විද්‍යා ගුරුවරයකු වුවද සරත් චිත්‍ර කලාවද පාසල් දරුවන්ට කියා දුන්නේය. ගල්ගමුව මහ විද්‍යාලයේ සරත් චිත්‍ර විෂය උගන්වද්දී කාන්ති සංගීත විෂය ඉගෙනගත්තාය. එවකට කාන්ති එම පාසලේ ශිෂ්‍යාවකි. පාසලේදී ගුරුවරයකු ලෙසින් සරත් කාන්ති දැක තිබුණ ද කිසිම දාක ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කර නොතිබුණි. නමුත් පාසල් ජීවිතෙන් වසර අටකට පසුව සරත් මධූට කොළඹදී නැවතත් කාන්තිව මුණගැසුණේය. සංසාරගත බැඳීමකට මෙන් ඒ මුණගැසීමෙන් සරත් මධූ පෙම්වතෙක් විය. ඔහුගේ ජීවිතය වඩාත් ශක්තිමත් විය. චිත්‍ර කලාවේ තිබුණ කාර්යබහුලකම නිසාම සරත් මධූ ගුරු වෘත්තියෙන් සමුගෙන පූර්ණකාලීනව චිත්‍ර කලාවටම එක් විය. පසුව සරත් මධූ සහ කාන්ති විවාහ විය.

ඔහු අතින් ඇඳි බොහෝ චිත්‍ර කතා අතරින් නිව්රෝ, ඉටු දෙවියා, සීගෝ ඉතා ජනප්‍රිය විය. යුනිකෝ නම් වීර චරිතය හරහා ළමා මනස තුළ වීරයකු බවට පත්වීමට ද ඔහු සමත් විය. ඔහු අඳිනා සෑම චිත්‍ර කතාවකම මුල්ම රසිකාවිය වූයේ ඔහුගේ දයාබර බිරිඳ කාන්තිය. ඕනෑම චිත්‍රයක් අඳින්නට පළමුව සහ අඳිනා අතරතුර ඔහු තම බිරිඳ සමඟ ඒ පිළිබඳව කතාබහ කරයි. චිත්‍රයේ අදහස් පිළිබඳව අසන්නේ ද කාන්තිගෙනි.

සරත් මධූ දරුවන් දෙදෙනකුගේ පියෙකි. වැඩිමහල් පුතු අද රැකියාවක් කරනා අතර දියණිය කොළඹ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. සරත් මධූ දරු දෙදෙනාටම ඉතා ආදරණීය පියෙක් විය.

මින් වසරකට පෙර සරත් මධූ රෝගාතුර විය. ඔහු කිසිවිටකත් රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීමට කැමැත්තක් දැක්වූයේ නැත. දෙවරක්ම ඔහු වෛද්‍යවරුන්ට පවසා රෝහලෙන් ටිකට් කපාගෙන නිවසට පැමිණියේය. ඔහු අවසානයට ඇන්දේ ලංකාදීප පුවත්පත සමඟ නොමිලේ සෑම බදාදා දිනකම ලබාදෙන (සතුට) චිත්‍රකතා පත්‍රයටයි. එහි (සිහිනයක මල් පිපිලා) නමින් ඔහු ඇඳි චිත්‍ර කතාවට ඉතා හොඳ රසික ප්‍රතිචාරයක් ලැබුණි. ඒ හැම රූප රාමුවක්ම චිත්‍රයට නගද්දී ඔහුගේ ආදරණීය බිරිඳ ඔහු අසල සිටියාය. ඇතැම් දිනවලදී චිත්‍රය අඳින බෝඩ් ලෑල්ලට හිස තබා ඔහු ටික වේලාවක් නිසොල්මනේ සිටියේය. (සිහිනයක මල් පිපිලා) චිත්‍ර කතාව ඔහුගේ අතින් ඇඳුණු අවසන් දිනය වූයේ පසුගිය අගෝස්තු මස 16 වැනිදාය. ඒ ඔහු අතින් ඇඳි අවසන් රූප පෙළ වග කිසිවකු දැන සිටියේ නැත.

නමුත් අගෝස්තු මස 18 වැනිදා සියල්ලම අවසන් විය. වසර හැට නවයක් ආයු වැළඳූ මේ අපූරු සිත්තරා ආයේ නොඑන ගමන් යන්නට ගියේය. ඉතා සරල දිවි පෙවෙතක් ගෙවූ සරත් මධූගෙන් බිහිවූ ගෝල බාලයෝ මේ සමාජයේ ඕනෑතරම් වෙති. ඒ අතරින් ඔහුගේ බාල සොහොයුරු සිනෙත් බැද්දගේ එක් අයෙකි. කැළුම්, දේදුණු යුගයක් බිහිකරමින් අපූරු රූප මැවූ ආදරණීය සිත්තරා “ඉතිං ඊට පස්සේ” සියල්ලම අතහැර යන්නටම යන්න ගියේය. 

දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ