2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

1. 19 වැනි සංශෝධනය අභියෝගයට ලක්කරමින් ඒකාබද්ධ විපක්ෂය දැන් කියනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා. නමුත් එහෙම බැහැ කියලා ආණ්ඩුවේ නායකයන් කියනවා. ඇත්තටම මොකක්ද මේ සිදුවීම?

2. යහපාලන රජයට අගෝස්තු 17 වැනිදාට වසර තුනක් පිරුණා. ආණ්ඩුව මේක හඳුන්වනවා හුස්මගත්ත වසර තුනක් කියලා. ඇත්තටම මේ වසර තුනේ ජනතාවට හුස්මගන්න පුළුවන් වුණාද? නැත්නම් හුස්ම හිරවුණාද?

3. විශේෂ මහාධිකරණයක් පිහිටුවලා ඒකෙ නඩු විභාග කටයුතු ආරම්භ වෙනවා. මෙවැනි විශේෂ මහාධිකරණයක් අවශ්‍යද? තියෙන අධිකරණ පද්ධතිය මගින් මේ නඩු විසඳීම කරන්න බැරිද?

4. පසුගිය දවසක උතුරේ මහ ඇමැතිවරයා කියලා තිබුණා පොලිස් බලතල පළාත් සභාවට ලැබුණොත් තම පළාතේ තියෙන ප්‍රචණ්ඩකාරී වැඩ නවත්වන්න පුළුවන් කියලා. ඒක කරන්න පුළුවන් දෙයක්ද?

මේ තරම් නිදහසේ හුස්ම ගත්ත කාලයක් මීට කලින් තිබුණද?
සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක

1. ඇත්තටම මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට කියවල නැති පිරිසක් විසින් ඉදිරිපත් කරන තර්කයක්. මේක බොහොම පැහැදිලිව මේ රටේ විද්වතුන් සහ සියලු පිළිගත් පාර්ශ්වයන් මේ ගැන ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක ජනතාවක් ඉන්නවා. ඉතින් එකම පුද්ගලයෙක්ට දෙපාරකට වඩා බලයේ ඉන්න සුදුසු නැති නිසා තමයි ජනතාව මේ ජනවරම දුන්නෙ. ඕක කරන්න ගිහින් තමයි හිටපු ජනාධිපතිවරයාට ගෙදර යන්න වුණේ. ඇත්තටම දියුණු රටවල මේ වගේ නැහැ. විවිධ නායකයන්ට අවස්ථාව දෙනවා. මේක මේ බල තණ්හාව එක්ක එන රෝගයක්.

2. අනිවාර්යයෙන් ජනතාවට හුස්මගන්න පුළුවන් වුණා. ඒක බොහොම පැහැදිලියි. මාධ්‍යවේදීන්ට, සංචාරකයන්ට, ක්‍රීඩකයන්ට නිදහසේ ඉන්න පුළුවන් වාතාවරණයක් උදාවුණා. සුදු වෑන් සංස්කෘතිය නැතිවුණා. ඒ වගේම ලෝකය පිළිගත්තා මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා. මේ වගේ හුඟක් දේවල් වෙනස් වුණා. ජනතාවට ඇත්තටම නිදහසේ හුස්මගන්න පුළුවන් වුණේ මේ යහපාලනය යටතේ.

3. මට මේ ගැන කියලා සුපිරිම් කෝට් එකේ නඩුවකුත් තියෙනවා. ඒක හැමෝම දන්න දෙයක්. මම හිතනවා අපිට අවශ්‍ය වෙන්නෙ මේ අධිකරණය, පොලීසිය, ව්‍යවස්ථාදායකය, විධායකය පිරිසුදු කරගෙන හොඳ ගමනක් යන්න. පහුගිය කාලයේ මැතිවරණ වේදිකාවලදී අපි පොරොන්දුවක් දුන්නා හොරු අල්ලනවා කියලා. ජනතාව ලක්ෂ 62 ක් අපිට ඡන්දය දුන්නෙ මේක බලාපොරොත්තුවෙන්. ඒ නිසා මේ විශේෂ අධිකරණ පද්ධතිය මගින් මේක සිදුවේවි. මෙය පළිගැනීමේ චේතනාවෙන් කරපු එකක් කියලා ඇතැමුන් චෝදනා කළත් මේක සැබැවින්ම අපි ලබාදුන් ජනතා පොරොන්දු ඉටුකිරීමක් කියලා කියන්න පුළුවන්.

4. උතුරේ විග්නේෂ්වරන් මහ ඇමැතිතුමා විවිධ අවස්ථාවල මයික් එකක් ඉස්සරහට ගියාම විවිධ ප්‍රකාශ කරනවා. ඒක ඒ තරම් ගණන් ගත යුතු දෙයක් නෙවෙයි. මේ සමහර දේශපාලකයන් දිස්ත්‍රික්ක 25ට කතා 25ක් හදලා තියෙනවා. පළාත් 09ට කතා 09ක් හදලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඒ ජනතාව තෘප්තිමත් කරලා ඡන්ද ලබාගන්න තමයි මොවුන් මේ දේවල් කියන්නෙ.

පෙබරවාරි 10 ඡන්දෙදි හුස්ම හිරවෙච්ච තරම පෙනුණා
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල (ඒකාබද්ධ විපක්ෂය)

1. මම දකින විදියට මේ ප්‍රශ්නය ගැන ඇයි කලබල වෙන්නෙ. මේ අය දැන් මහින්ද රාජපක්ෂ හොරෙක්, කල් පැනලා, ඇවිදගන්න බෑ, තරහ යනවා, කතා කරන්න බෑ, එහෙම කියනවනෙ. ඇයි මෙච්චර බය එතුමා එනවට. ඇයි එහෙම දඟලන්නෙ මෙතුමා ජනාධිපතිවරණයට එනවට.

2. යහපාලනයට අවුරුදු තුන නෙවෙයි අවුරුදු තුනයි මාස 08 යි. 2015 ජනවාරි 09 තමයි මේක පටන් ගත්තෙ. ඔවුන් මේක අමතක කරනවා ඒ මාස තුන ඇතුළත මේ යහපාලන නඩය කරපු වංචා, දූෂණ වහගන්න. ඒකයි මොවුන් අවුරුදු 03 යි කියලා කියන්නෙ. ඒ වගේම මේ රටේ ජනතාවට කා යටතේද හුස්මගන්න පුළුවන් කියලා මෙම වසරේ පෙබරවාරි 10 වැනිදා තීරණය කළා. අවුරුද්දක්වත් නැති පක්ෂයක් තමයි මේ විදිහට ජයග්‍රහණය කළේ. ඒ නිසා හුස්මගත්ත ආකාරය ගැන අපිට පැහැදිලියි.

3. 2015 වසරේ අපිට එරෙහිව විශාල මඩ ප්‍රහාරයක් ගෙනිච්චනෙ හොරු කියලා. එතකොට මේ සම්බන්ධව ඉදිරි කටයුතු කරන්න තමයි මොවුන් මේ විශේෂ අධිකරණයක් පිහිටෙව්වේ. ඔය විශේෂ අධිකරණයක් කියලනෙ දැන් කියන්නෙ. මට මතක ආකාරයට එවැනි විශේෂ අධිකරණයක කතා කරලා තියෙන්නෙ නඩු 09 යි. එහෙම අධිකරණවල නඩු අහන්නෙ මරණීය දඬුවම දෙන එක ස්ථිරයි නම් ඒ නිසා මම විශ්වාස කරනවා මේක ඔවුන්ගේ යටි අරමුණු ඉටුකරගන්න කරපු එකක් කියලා.

4. පොලිස් බලතල විතරක් නෙවෙයිනෙ, 2009 අපි ත්‍රස්තවාදය අවසන් කළාට පස්සෙ අපි මතක් කළොත් අපේ පාලන කාලයේ කැටපෝලයක්වත් උඩ යන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. හැබැයි 2015 මේ රජය බලයට පත්වුණාට පස්සෙ නැවත ත්‍රස්තවාදයට හුස්මගන්න පුළුවන් වෙලා තියෙනවා. අන්න එතනදී කියන්න පුළුවන් අර පෙර අහපු දෙයට උත්තරයක් එක්කම මේ අවුරුදු තුනේ නිදහස් ලෙස හුස්මගත්තෙ පාතාලය, කුඩු ජාවාරම සහ යම් යම් ලෙස නැගීසිටින්න උත්සාහ දරන ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම්. එහෙම නැතුව ජනතාවට නෙවෙයි. 

ආණ්ඩුවේ ජාවාරම්කාරයෝ නම් හොඳට හුස්මගත්තා
ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර

1. 19 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නීති ක්ෂේත්‍රයේ විවාදයක් මතුවී තිබෙනවා. නීතිඥයන් කණ්ඩායමක් කියනවා මේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අදාළ වෙන්නෙ සම්මත වූ දිනයෙන් පසුවයි. එසේ පසුව වීම නිසා හිටපු ජනාධිපතිවරුන්ට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් තියෙනවා කියලා. තවත් අය කියනවා එය අතීතයට බලපානවා. ඒ නිසා සියලු ජනාධිපතිවරැන්ට ඒ නීතිය පොදුයි කියලා. එහෙම මත දෙකක් තිබෙන නිසා තමයි ඒකාබද්ධ විපක්ෂය කියන්නෙ නැවත වරක් ජනාධිපතිවරණයට හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන තීන්දුවත් එක්ක තමයි අපි මේ ගැන බලන්නෙ. අපි එය සුබවාදීව බලාගෙන ඉන්නවා.

2. ආණ්ඩුවේ ජාවාරම්කාරී බලවේගවලට නම් මේ වසර තුන හුස්මගන්න පුළුවන් වසර තුනක් බවට පත්වුණා. නමුත් මේ රටේ පොදු ජනයාට මේ වසර තුන ආණ්ඩුව හුස්ම හිරකරපු තත්ත්වයක් තමයි තිබ්බේ. පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව මේ ආණ්ඩුවෙන් සියලු දේ වැඩිවෙලා තියෙනවා. ආර්ථික වර්ධන වේගය දැන් කඩාවැටිලා. රටේ ණය බර වැඩිවෙලා. නමුත් එදා මහින්ද රාජපක්ෂ යුගයේ ණය ගත්තෙ රට සංවර්ධනය කරන්න. ඒක ජනතාව ඒ දිනවල සියැසින් දැකගත්තා. මේ අවුරුදු තුනේ කිසිවක් අලුතින් දෙයක් කරලා නැහැ.

3. මේ රටේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය විය යුතුයි. කොහොමත් මොවුන් වැරදි කළ සියලු දෙනාට දඬුවම් දෙන්න මෙම විශේෂ අධිකරණය පිහිටවූවා නම් සතුටුයි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බොරු චෝදනා ඉදිරිපත් කරලා මේ මගින් දඬුවම් ලබාදෙන්න හැදුවා නම් අපි ඒකට විරුද්ධයි.

4. උතුරේ මහ ඇමැතිවරයාගේ ක්‍රියාකාරකම් අනුව අපිට පේනවා ඔහු මේ රට අරන් යන්න හදන්නෙ කොතැනටද කියලා. ඒ වගේම වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවුරුදු 30ක් යුද්ධ කරලා දිනාගන්න බැරිවුණු ඊළම ව්‍යවස්ථාවෙන් ගෙනෙන්න තමයි මේ හදන්නෙ. ඒ වගේම මේ කතාවෙන් පෙනෙන්නෙ මොකක්ද? උතුරේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය නිර්මාණය කරලා තියෙනවා පොලිස් බලතල ගන්න. අපිට ඒක පේන්නෙ එහෙමයි. නැත්නම් උතුරේ මහ ඇමැතිවරයාට පුළුවන්නෙ ආරක්ෂක අංශ එක්ක එකතුවෙලා එහෙම තත්ත්වයක් තියෙනවා නම් පාලනය කරන්න. ඒකට පොලිස් බලතල ඕන නැහැනෙ.

ළඟ ඉන්න කට්ටිය රඳවාගන්න ගහන පට්ටපල් බොරුවක්
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත

1. ඔය කතාව පට්ටපල් බොරුවක්. ඔය ජාතියේ බොරු ගොඩක් මහින්ද මහත්තයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය කියන කල්ලිය පසුගිය කාලයේ පැතිරෙව්වා. එහෙම පතුරවමින් ඔවුන් ජනතාවට බලාපොරොත්තු දුන්නා. පොහොය ගැන කියලා ආණ්ඩු පෙරළනවා කිව්වා. පළාත් පාලන මැතිවරණයේ මහින්ද මහත්තයා අගමැති කරනවා කිව්වා. ඔය ආකාරයට ඒ අය ළඟ ඉන්න බලවේග රඳවාගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන යම් යම් බලාපොරොත්තු දෙනවා. 19 සංශෝධනය ගෙනාවා වාර 2කට ජනාධිපතිවරයෙක්ව සීමාකරන්න. ඒ නිසා කිසිම ව්‍යවස්ථාමය ඉඩක් නෑ 19 සංශෝධනයෙන් රිංගලා යන්න.

2. අවුරුදු 20කට අධික කාලයක් විපක්ෂයේ ලැගලා 2015 ජනවාරි 09 ව්‍යවස්ථාවට පරිබාහිරව අගමැතිවරයෙක් බවට පත්වෙලා බැඳුම්කර වංචාව හෙළිනොවුණු නිසා 2015 අගෝස්තු 17 නැවතත් අගමැති වෙලා ඒ අය යන්තම් හුස්මක් ගත්තා. නමුත් මේ රටේ ජනතාව හුස්ම හිරවීමේ වේගය මේ ආණ්ඩුව බලයට පත්වෙලා ගතවුණු අවුරුදු තුනේදී ඉහළ ගිහින් තියෙනවා.

3. විශේෂ අධිකරණ පිහිටුවලා කාර්යය වේගවත් කරනවට අපි එකඟයි. මොකද? අපේ රටේ නඩු පෝලිම ගත්තම මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නෙ. නමුත් පොදුවේ ගත්තම අධිකරණ පද්ධතියේ මේ කල්පමාවීම රටට හානිකරයි. ඊළඟට මේ දේශපාලකයෝ සහ ඉහළ නිලධාරීන් පදනම් කරගත් මහජන දේපළ මහජන ධනය තමන්ගේ තනතුරට නිලයට මුවාවෙලා කොල්ලකාපුවා මේ රටේ ඉහවහ ගිහිල්ලා. ඒවා සම්බන්ධව පක්ෂ භේදයක් නැතුව වේගවත්ව දඬුවම් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ආයතන පද්ධතිය ප්‍රතිසංස්කරණය කළාට කමක් නැහැ.

4. ලංකාව පුරා මේ වෙනකොට විශේෂයෙන් මතුකළ යුතු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් නැහැ. ඒ නිසා උතුරේ මහ ඇමැතිවරයාගේ අර්ථ දැක්වීමම බොරුවක්. හැබැයි අපිට පෙනෙනවා හොරකම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, සමාජ විරෝධී ක්‍රියාවන්වල වර්ධනයක් තියෙනවා. ඒවා සඳහා ක්‍රියාත්මක වෙන්න රටේ ආරක්ෂක අංශවලට මහජනයාට පුළුවන්. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්න බැරි දේශපාලකයන්ගේ සහ ඉහළ නිලධාරීන්ගේ රැකවරණය මේවාට තියෙන නිසා.

 

ලොකු වංචා නඩුඉක්මනින් ඇසිය යුතුයි
මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිශාන් කාරියප්පර්

1. 19 සංශෝධනය අතීතයට බලපාන්නෙ නැහැ කියලා තර්කයක් ගෙනත් තියෙනවා. මම හිතන්නෙ ඔය තර්කයට වත්මන් ජනාධිපතිවරයත් අවශ්‍ය මතය අරගෙන ඉවරයි. ඒකෙන් වුණේ ජනතාවගේ තීරණයෙන් අවුරුදු හයකට පත් කරපු ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අවුරුදු 05කට සීමා කළා. ඒක වුණේ ජනාධිපතිතුමා පත්වුණාට පස්සෙ. මේ වෙලා තියෙන්නෙ මම හිතන්නෙ හවුල් විපක්ෂයට ජනාධිපතිවරණයට කෙනෙක් ඉදිරිපත් කරන්න තියෙන අර්බුදය නිරාකරණය කරගන්න කරන උත්සාහයක් විදියට තමයි මම දකින්නෙ. නමුත් ඕක කෙරෙන එකක් නැහැ.

2. ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ගැන දකිනකොට අනිවාර්යයෙන් හුස්මගන්න පුළුවන් වුණා. ඒ ගැන කිසි තර්කයක් නැහැ.

3. බැරිකමක් නෙවෙයි. නමුත් විශේෂ අධිකරණ පද්ධතියක අවශ්‍යතාවයක් මතුවුණේ අධිකරණ දැනටමත් හිරවෙලා තියෙන නිසා. නමුත් විශාල වංචා කරපු නඩුත් ඒ අධිකරණයට හිරවුණාම තවත් කල් ඇදෙනවා. ඉක්මනින් නඩු අවසන් වෙන්න ඕන. ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ දඬුවම් ලැබිය යුත්තන්ට ඉක්මනින් දඬුවම් ලැබිය යුතුයි කියලා. ඒ නිසා මේ විශේෂ අධිකරණ පද්ධතිය පිහිටුවීම සාධාරණයි.

4. එතුමා කරපු ප්‍රකාශ ගැන අපිට අදහසක් කියන්න අමාරුයි.

අපට ඉන්න පුළුවන් පරිසරයක් හැදුවේ යහපාලන ආණ්ඩුවයි
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉ. චාල්ස් නිර්මලනාදන්

1. මේ රටේ දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එකම පුද්ගලයකුට දෙවරකට වඩා ජනාධිපති වීමේ අවස්ථාවක් නැහැ. නමුත් මොවුන් කුමන පදනමක් යටතේ මෙවැනි ප්‍රකාශ සිදුකරනවාද යන්න අපිට නිශ්චිත ලෙසම කියන්න බැහැ. නමුත් රටේ තියෙන නීතියට ව්‍යවස්ථාවට අනුව නැවත වරක් එතුමාට බලයට එන්න බැහැ.

2. අනිවාර්යයෙන්ම රටේ ජනතාව, විශේෂයෙන්ම සුළු ජනතාවට බයක් සැකක් නැතුව හුස්මගන්න පුළුවන් විදිහේ වාතාවරණයක් උදාකළේ මේ යහපාලන රජය. පහුගිය රජය කාලේ සිදුවුණු ක්‍රියා අපිට මතකයි. ඒ නිසා යහපාලන ආණ්ඩුව තමයි ජනතාවට මේ විදියට ඉන්න පුළුවන් පරිසරයක් හදලා දුන්නෙ.

3. රටේ අධිකරණ පද්ධතියේ නඩු විශාල ලෙස ගොඩගැහිලා තියෙනවා. මේ වගේ විශේෂ අධිකරණයක් පිහිටෙව්වාම ඒ නඩු ඉක්මනින් ඉවර කරගැනීමේ අවශ්‍යතාවයක් මේ රජයට තියෙනවා. ඒ වගේම මේක යහපාලන මැතිවරණ පොරොන්දුවක්. මේකට එරෙහිව හඬනගන්නෙ ඒ වගේ වංචා දූෂණ කරපු උදවිය.

4. ඒක එතුමා එහෙම මොන පදනමක් යටතේ කිව්වද දන්නෙ නැහැ. ඒ පිළිබඳව විස්තරයක් කියන්න බැහැ.