මහින්දට ඉල්ලන්න පුළුවන් - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා
කලින් කලට ලාංකික දේශපාලන සංවාදයට එක්වන විවිධ මාතෘකා අතර ඉදිරි ජනපතිවරණය පිළිබඳ සංවාදය මේ දිනවල උණුසුම් තේමාවක් වී පවතී. එහි නවතම තත්ත්වය වන්නේ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුව මීට පෙර ජනපති ධුරය දෙවරක් දැරෑවන්ට ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත් වියහැකි ද යන විවාදයයි.
මෙම කරුණ පිළිබඳව නීති විශාරදයන් අතර ප්‍රධාන මත දෙකක් පවතින බව පෙනෙන්නට තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද නීතිමය පැහැදිලි කිරීමක් අධිකරණයකින් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින බව ප්‍රකාශ වී තිබේ. මහජනයා අතර ද මේ පිළිබඳ කතිකාවක් නිර්මාණය වී තිබේ.
මෙම නීතිමය තත්ත්වය පිළිබඳ පුළුල් විද්වත් සංවාදයකට ඉඩහසර වෙන්කරන්නට අපි තීරණය කළෙමු. ඒ අනුව හිටපු ජනපතිවරුන්ටත් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් විය හැකියි මතය ඉදිරිපත් කරන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාගේ මතයට මේ සතියේ දී ඉඩකඩ වෙන්කරමු. මේ ලිපිය සංවාදයට විවෘතය.
මේ දිනවල රටේ දේශපාලන ක්ෂේත්‍රයේ විවාදයට බදුන්ව ඇති විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධ කරුණ පුළුල් සමාජ අවධානය දිනුවකි. මෙයට අදාළ නීති ප්‍රශ්නය මතු වූයේ 2015 වසරේ සම්මත කරගන්නා ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ පනවා ඇති විධිවිධානයකි. එහි සඳහන් වන්නේ දෙවරක් මෙරට ජනාධිපති ධුරය දැරූවකුට නැවත ජනපති තරගයට ඉදිරිපත් විය නොහැකි බවයි. මේ සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන ඉතා සංකීර්ණය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වගන්තිවලින් පමණක් ඒ ගැන හරි අර්ථකථනයක් සපයා ගැනීම අපහසුය.
දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ දෙවරක් මෙරට ජනපති ධූරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාට නැවත ජනපතිවරණයට ඉදිරිපත් විය හැකිද යන කාරණයයි. යටකී ලෙස මෙයට නීතිමය පිළිතුරක් සොයාගැනීමේ දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ කතා කිරීමට පෙර අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිව්වැනි වගන්තිය ගැන අවධානය දැක්විය යුතුවෙමු. එහි සඳහන් වන්නේ රටේ විධායක බලය ජනාධිපතිවරයා විසින් දරන බවයි. ඉන් පසු ව්‍යවස්ථාවේ 30 වැනි වගන්තියේ ජනාධිපති ධුරය ගැන කරුණු සඳහන්ය. ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය සහ ධුරය දරන්නා යනු නීතිමය සංකල්ප දෙකකි. 1978 වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ නීති විශාරද කමිටුවේ ප්‍රධානියා වූ මහාචාර්ය ඒ.ජේ. විල්සන් මෙහි වචන සහ සංකල්ප උපයෝගී කරගෙන ඇත්තේ ඉතා සියුම් තේරුම් දනවන ආකාරයට බව සිහි කටයුතුය.
1978 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය සය අවුරුද්දක් බව සඳහන්ය. එම ව්‍යවස්ථාවේ 31.2 වගන්තියට අනුව යම් තැනැත්තෙක් ජනාධිපති ධුරයට දෙවරකට වැඩි වාරගණනක් පත්කර නොගත යුතු බව කියවේ. එහෙත් වර්ෂ 2010 සැප්තැම්බර් මස සම්මත කරගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය මගින් යම් තැනැත්තකු දෙවරකට වඩා වැඩි වාර ගණනක් ජනපති ධුරය දැරිය නොහැකි බවට වූ වගන්තිය ඉවත් කරනු ලැබීය. 1978 ව්‍යවස්ථාවේ 92 ඇ වගන්තියේ ද මෙයට සමාන කරුණක් සඳහන්ව තිබිණි. එම වගන්තිය ද 18 වැනි සංශෝධනයෙන් ඉවත් කරනු ලැබීය. ඒවා ඉවත් කිරීම සිදුකරන විට ධුරය දැරූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් තනතුරට පත්ව සිටි නිසා ඔහු නැවත ජනපතිවරණයක් තරග කිරීමට නුසුදුස්සකු වී ඇතැයි ඇතැම් නීති විශාරදයෝ තර්ක කළහ. එහෙත් මහින්ද රාජපක්ෂ සිය දෙවැනි ධුරකාලය සඳහා දිවුරුම් දී තිබුණේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසුව බැවින් ඔහු එකී නුසුදුසුකමට යටත් නොවන බව එදා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් මගින් ප්‍රකාශයට පත්කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැඩිමනත් සඳහන් වූයේ මහින්ද රාජපක්ෂ මහතා දෙවැනිවර ධුරයේ දිවුරුම් දුන්නේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව බවයි. එම නීතිමය පදනම නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තුන්වැනි වරටද ජනපති ධුරය දැරීම සඳහා ජනපතිවරණයට ඉදිරිපත් විම පිණිස අභිලාෂය ප්‍රකාශ කළ හැකිවිය. ඔහුට නීතිමය වශයෙන් නුසුදුසුකමක් තිබුණේ නම් එලෙස අභිලාෂය ප්‍රකාශ කළ නොහැක. අද අප සාකච්ඡා කරන ධුර කාලය පිළිබඳ ප්‍රශ්නයේ නීතිමය පදනම වැටෙන්නේ එතැනිණි.
2015 වසරේ ජනාධිපතිවරණය මැතිවරණ කොමසාරිස්වරයා විසින් කැඳවන ලද්දේ ජනපති රාජපක්ෂ විසින් ජනපතිවරණ සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීම නීතිමය වශයෙන් පිළිගත් නිසාය. 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය සම්බන්ධව කිසිවකු විරෝධතා ඉදිරිපත් කළේ ද නැත. කෙසේ හෝ මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයෙන් පරාජයට පත්විය. අනතුරුව බිහිවූ වත්මන් රජය 2015 මැයි මස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කළේය. එහිදී සිදුවූයේ ජනාධිපති ධුරය දෙවරක් දැරූ අයකුට එම ධුරය නැවත වරක් දැරිය නොහැකි බවට විධිවිධාන පැනවීමය.
එම විධිවිධානය ව්‍යවස්ථාවේ සටහන් කර ඇති ආකාරය මේ. සියලු අර්බුදවලට මුලයි. පැවැති ධුරයට අදාළ වගන්ති ඉවත්කොට පස් වසරක් සිය ධුරය දරණ ජනාධිපති තනතුරක් නිර්මාණය කිරීමත් සමඟ නෛතික වශයෙන් සිදුවූයේ නව ජනාධිපති ධූරයක් ස්ථාපිත වීමයි. මෙය නව තනතුරක් බවට පත්වූයේ කලින් පැවති ජනපති ධුරයේ බලතල බෙහෙවින් අඩුකොට තිබීම නිසාය. ඇමතිවරැන් පත්කිරීම, ඇමැතිවරුන් ඉවත් කිරීම, අගමැති ඉවත්කිරීම ආදී කාරණා සම්බන්ධව 19 වැනි සංශෝධනයේ ප්‍රබල වෙනස්කම් ඇතුළත් විය. කලින් ව්‍යවස්ථාවේ පැවති වගන්ති ඉවත් කළ බව සඳහන් කිරීමත් සමඟ බලතල අඩුකොට ධුර කාලය වසර පහකට සීමා කළ නව ජනාධිපති ධුරයක් බිහිකර ඇත. තවදුරටත් පැහැදිලි කළහොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඍජුවම සඳහන් වන්නේ ව්‍යවස්ථාවට අලුත් අනු ව්‍යවස්ථාවක් ඇතුළත් කොට ජනාධිපති ධුර කාලය සීමා කළ බවයි. ඒ බැවින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනම ගෙන කියවා බැලීමේ දී අප ඉදිරිපත් කරන තර්කය සනාථ වේ. ව්‍යවස්ථාවේ වගන්ති සියල්ල එකතුකොට සංගෘහිත කරන ලද ව්‍යවස්ථා පිටපතේ 19 වැනි සංශෝධනයේ තිබෙන යෙදුම් ඒ ආකාරයෙන්ම සඳහන් නොවේ. එය මෙම නීතිය අර්ථකතනයේ දී ඉතා වැදගත් කරුණකි.
ඇතැම් නීතිඥයන් කියන්නේ ව්‍යවස්ථාවේ යමක් සඳහන් වූ විට එය ගලේ කෙටූ අකුරක් මෙන් ස්ථිරසාර බවයි. එහෙත් මෙම කාරණයේදී අතීතයට මෙම නීතිය බලපාන බවට විශේෂ විධිවිධානයක් ඇතුළත් කර නොමැති බැවින් එකී තර්කය බිඳ වැටේ. එනිසා 19 වැනි සංශෝධනයෙන් ඇති කරනු ලැබූ ජනාධිපති ධුරය නව තනතුරක් බව පැහැදිලිය. 19 වැනි සංශෝධනයේ විශේෂයෙන් සඳහන් වන වගන්තියක් ද වේ. එයින් කියවෙන්නේ මේ සඳහන් විධිවිධාන පනත ක්‍රියාත්මක වන දිනයේ සිට බලපත්වන බවය. ඒ අනුව මෙය අතීතයට බලපවත්වන නීතියක් නොවන බව දැනගත යුතුය. මෙය නිත්‍ය වශයෙන් සඳහන් වන නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට එය අර්ථකථනය කිරීම ඉතාමත් පහසු කරුණකි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන බලපවත්වන්නේ අලුත් ජනාධිපති ධුරයකට බව ඒ සම්බන්ධ අර්ථ නිරූපණය සපයන ඕනෑම විද්වත් පාර්ශ්වයකට වටහා ගැනීම පහසුය. දේශපාලන වශයෙන් විශේෂයෙන් යමක් සඳහන් කළහොත් කිව හැක්කේ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ චන්ද්‍රිකා සහ මහින්ද නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම වැළැක්වීම යැයි කෙනකුට තර්ක කළහැක. ඒ ආකාරයට පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන රටේ නීති සකස් කිරීම සහමුලින්ම නෛතික මූලධර්ම උල්ලංඝනය කිරීමක් බව 1962 බ්‍රිතාන්‍ය රාජාධිකරණය තීන්දු කර ඇත. එම තීන්දුව ලැබුණේ 1962 රාජවිරෝධී කුමන්ක්‍රණ නඩුවේ තීන්දුවට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනය වෙනුවෙනි. එහි සඳහන් වූයේ පුද්ගලයන් කේන්ද්‍ර ගතකරගෙන නීති පැනවීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව වරදක් කර ඇති බවයි. එවැනි දේ තවදුරටත් සිදුවිය යුතු නැත.
දැන් මෙම ප්‍රශ්නය විසඳාගත යුතු ආකාරය පිළිබඳ විමසා බලමු. ප්‍රශ්නයට තුඩු දී ඇත්තේ ජනපති ධුරයට තරග කිරීම පිළිබඳ සුදුසුකමක් හා නුසුදුසුකමක් පිළිබඳ කරුණයි. මෙය දිසා අධිකරණයේ නඩුවක් ආකාරයෙන් හෝ වෙනත් නඩුවක් ආකාරයෙන් ඉහළ අධිකරණයට ගෙනයාමට නීතිමය පදනමක් නැත. මෙහිදී පවසන නීතිමය සිද්ධාන්ත අනුව ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරණ ආඥා පනතයි. ඇතැම් අය දිසා අධිකරණයේද මෙම ප්‍රශ්නය නිරාකරණය කළහැකි යැයි කීවද ඊට බලපාන නඩු නිමිත්තක් නැත. නඩු නිමිත්තක් නිර්මාණය වන්නේ වරදක් සිදුවූ පසු හෝ වරදක් සිදුවෙමින් පවතින විටදීය. නඩුව පවරන්නේ කාට විරුද්ධව ද යන්න පැනනගින තවත් ප්‍රශ්නයකි. හේතුවක් ප්‍රත්‍යයක් නිමිත්තක් වගඋත්තරකරුවෙක් නොමැති නඩු භාරගන්නේ කුමන අධිකරණයක් විසින් ද යන්න ඊළඟ ප්‍රශ්නයයි. නීතිපතිට එරෙහිව හෝ මෙම කරුණ ගැන නඩු පැවරිය නොහැක.
යම් කිසිවකුට මේ ප්‍රශ්නය සම්බන්ධව ක්‍රියාකළ හැක්කේ 1981 ජනාධිපතිවරණ ආඥා පනත අනුව පමණි. එම පනත අනුව ජනාධිපතිවරණයකට නාමයෝජනා කැඳවූ විට ඊට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයකුම දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය. ඉතා සරල දිවුරුම් ප්‍රකාශයක් වන මෙහි සඳහන් කළයුත්තේ ජනපතිවරණ පනතේ දක්වා ඇති කිසිදු නුසුදුසුකමකට තමන් යටත් නොවන බවයි. එසේ සඳහන් කොට නාම යෝජනා ලබාදුන් පසු මැතිවරණ කොමිසමේ ප්‍රධානියාට එම නාමයෝජනාව ප්‍රතික්ෂේප කළ නොහැක. නාමයෝජනා පත්‍රයේ බැලූ බැල්මට පෙනෙන්නට වරදක් ඇත්නම් පමණක් එය ප්‍රතික්ෂේප කළහැක. ඒ ගැන මැතිවරණ කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට නීතිමය අවසරයක් ද නැත. යමෙක් නීති විරෝධී ලෙස ජනපති ධුරයට පත්වූහොත් ඒ ගැන අගතියට පත් පාර්ශවයට ගතහැකි එකම පියවර වන්නේ ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත්කොට සහන ලබාගැනීම පමණි. ජනපති ධුර කාලය පිළිබඳ ඉදිරිපත් වී ඇති මෙම ප්‍රශ්නය විසඳාගත හැකි එකම ක්‍රමය එයයි. කවුරුන් කෙලෙස කොපමණ තර්ක කළත් නීතිමය සිද්ධාන්ත අනුව වෙනත් කිසිවක් කළ නොහැක.
(සංවාදයට විවෘතයි)
►සටහන - චමිඳු නිසල්ද සිල්වා