2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ලෝකෙම රස බැලූ නුවරඑළියේ ග්‍රෑන්ඩ් ස්ට්‍රෝබෙරි පීසා එක

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

පසුගියදා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය නිපද වූ අපූරු අතුරුපසක් ලෝක ප්‍රසිද්ධියට පත්විය. එය නුවරඑළියට ආවේණික වූ පළතුරක් වන ස්ට්‍රෝබෙරිවලින් සැකසුණු ස්ට්‍රෝබෙරි පීසාවකි. මෙය ලෝකයේ නිපදවූ විශාලතම ස්ට්‍රෝබෙරි පිසාව ලෙස හැඳින්වෙයි.

අගෝස්තු මස 17 වැනිදා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයට හරි අපූරු දිනයක් විය. දෙස්විදෙස් සංචාරකයන් හයදාහකට අධික පිරිසක් විසින් රසවිඳි මෙම ස්ට්‍රෝබෙරි පීසාව සෑදීමේදී ප්‍රධාන වගකීම ගනු ලැබුවේ ප්‍රධාන සූපවේදී ප්‍රියන්ත වීරසිංහය.

“මේ අවුරුද්දේ අප්‍රේල් මාසේදී නුවරඑළියේ අර්තාපල් උත්සවයක් පැවැත් වූවා. එහිදී අප හෝටලය විශාලතම අල කේක් එක සැදුවා. ඒ කාලේදීම තමයි මේ ස්ට්‍රෝබෙරි සම්බන්ධව අපිට අදහසක් ආවේ. ලංකාවේ ස්ට්‍රෝබෙරිවලට ජනප්‍රිය නගරය වන්නේ නුවරඑළියයි. ඒ නිසා අපේ සාමාන්‍යාධිකාරි රිසාන් රසීම් මහතා තමයි යෝජනා කළේ “ස්ට්‍රෝබෙරි පීසා” එකක් නිෂ්පාදනය කරමු කියලා...” ඒ අනුව තමයි මේ ස්ට්‍රෝබෙරි පීසා එක නිපදවන්න ග්‍රෑන්ඩ් හෝටලය තීරණය කළේ...”යැයි නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ විධායක සූපවේදී ප්‍රියන්ත වීරසිංහ දේශයට පැවසීය.

ඒ අනුව සූපවේදී ප්‍රියන්ත වීරසිංහට තවත් සූපවේදීන් පිරිසක් එකතු වූහ. ඒ අතර නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ ජ්‍යෙෂ්ඨ අංශයේ විධායක සූපවේදී විරාජ් ජයරත්න ප්‍රමුඛ විය. මෙම ස්ට්‍රෝබෙරි පීසාව නිපදවීමට ඔවුන් ඇතුළුව තවත් සූපවේදීන් සියයකගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවී සිටියහ. එය අඩි විසිපහක විශ්කම්භයකින් සහ අඩි හයක උසකින් යුක්ත ස්ට්‍රෝබෙරි පීසාවකි. අගෝස්තු මස 16 වැනිදා වැඩ ඇරුඹූ පීසාව සැකසීමට සියලුදෙනා එදින උදෑසන සිට ක්‍රියාත්මක වූහ. මේ සඳහා මිශ්‍රණය සැකසීමට මැෂින් හතරක් භාවිතා කර ඇත.

“මෙම ස්ට්‍රෝබෙරි පීසාවට අවශ්‍ය කරන යට තට්ටුව සෑදීම සඳහා පාන් පිටි කිලෝ හාරසිය පනහක් අපි යොදාගත්තා. එයට ස්ට්‍රෝබෙරි ක්‍රීම් කිලෝ එකසිය විස්සක්ද විපින් ක්‍රීම් ලීටර් එකසිය විස්සක් ද අපි යොදා ගත්තා. එසේ සකස්කළ ස්ට්‍රෝබෙරි පීසාවට තවත් වෙනම අලුත්ම ස්ට්‍රෝබෙරි කිලෝ සීයක් ද එකතු කළා.” යැයි ජ්‍යෙෂ්ඨ අංශයේ විධායක සූපවේදී විරාජ් ජයරත්න දේශයට පැවසීය.

මෙම ස්ට්‍රෝබෙරි පීසාව නිපදවීමෙන් පසුව සම්පූර්ණ බර ප්‍රමාණය වූයේ කිලෝ එක්දාස් හාරසීයකි. මේ අනුව නිෂ්පාදනය වූ ස්ට්‍රෝබෙරි පීසාව අගෝස්තු මස දාහත් වැනි දින නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලේ දී ප්‍රදර්ශනය කරනු ලැබීය. මෙම පීසාව දින ගණනාවක් තියා ගැනීමට නොහැකි නිසා එදිනම හෝටලේ සේවක, සේවිකාවන්, හෝටලේ ආරාධිත අමුත්තන් අසල්වැසි හෝටල් ඇතුළුව එදිනට නුවරඑළිය සංචාරයට පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් හයදහසක පිරිසකට එහි රස බැලීමට අවස්ථාව උදාවිය. එදින නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය අමුත්තන්ගෙන් පිරී තිබුණි. පැයක් ඇතුළත මෙම ස්ට්‍රෝබෙරි පීසාව භුක්ති විඳ අවසන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ නුවරඑළියේ පමණක් වැවෙනා මෙම ස්ට්‍රෝබෙරි වගාවට දෙස් විදෙස් සංචාරකයෝ බොහෝ කැමැත්තක් දක්වති. එවැනි අලුත්ම ස්ට්‍රෝබෙරිවලින් මෙවැනි නිර්මාණාත්මක පීසාවක් නිෂ්පාදනය කිරීමට ලැබීම නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය ලත් ජයග්‍රහණයකි. ඒ වෙනුවෙන් හෝටලයේ සූපවේදීන් මෙන්ම සියලුම කාර්ය මණ්ඩලයේම විශාල සහයෝගයක් සූපවේදී ප්‍රියන්ත හා සූපවේදී විරාජ් ඇතුළු කණ්ඩායමට ලැබිණි.

මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙම නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය නුවරඑළියටම ආවේණික වූ අර්තාපල්වලින් විශාලතම අර්තාපල් කේක් එකක් නිෂ්පාදනය කළේය. ස්ට්‍රෝබෙරි පීසාවලින් පසුව දෙසැම්බර් මාසයේදී නුවරඑළිය පැවැත්වීමට තීරණය කර ඇති “තේ උත්සවයට”නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය ලෝකයේ විශාලතම තේ කෝප්පයේ රස විඳීමට සූදානම්ව සිටී.

දිශානි ජයමාලි කරුණාරත්න