2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

පරණ ඩයල්

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 430

රිදී නැන්දා කියන්නේ රෙදි නැන්දටයි. රෙදිවල වැඩ කරන හින්දා එයාට රෙදි නැන්දා කියලා කිව්වා. පස්සෙන්පහු කතාවෙ පහසුවට රෙදි නැන්දා රිදී නැන්දා වුණා. අද කොහොම වුණත් එදා ගමේ හැම කෙනකුටම අවශ්‍යම කෙනෙක් වුණේ රිදී නැන්දයි. එයා ගැමියාගේ සාමාන්‍ය ජීවිතයට විතරක් නෙවෙයි මඟුල්, ඉලව් ගෙවල්වලටත් නැතුවම බැරි කෙනෙක් වුණා. මල්වර මඟුල් ගෙවල්වලට එයාගෙන් වෙච්ච සේවය විශාලයි.

රිදී නැන්දාගේ පිරිමි කෙනා තමයි ‘හේනෙ මාමා’. හේනෙ මාමත් රිදී නැන්දත් එකතු වෙලා තමා ගමේ අයට සේවය කෙරුවේ. ඒත් රිදී නැන්දගෙන් වෙච්ච උදව් උපකාර විශාලයි. ගැමියාගේ දුකේදි මෙන්ම සැපේදිත් මේ දෙදෙනා ඕනෑ වුණා.

රිදී නැන්දා සුමානෙකට පාරක් විතර ගමේ ගෙවල්වල ඇවිදලා කිළිටි ඇඳුම් අරගෙන එනවා. එහෙම අරගෙන ආපු ඇඳුම් හොඳට හෝදලා වේලලා පොල් කටු ඉස්තිරික්කෙන් මැදලා ගෙවල්වලට ආපහු ගෙනත් දෙනවා. එහෙම ගේන රෙදි කොටස් දෙකකට බෙදනවා. වැඩියෙන් සුදු කරන්න අමාරු, කිළිටි, කහට පැල්ලම් තියෙන රෙදි වෙල්ල හැලියේ තම්බලා කහට අරිනවා. වෙල්ල හැලිය කියලා කියන්නේ රෙදි තම්බන්න පාවිච්චි කරන විශාල මැටි වළඳක්. මේකට රෙදි දාලා පැයක් විතර දර දාලා තම්බලා තමයි පිරිසිදු කරන්නේ. ඒක ටිකක් අමාරු වැඩක්.

අනිකුත් සාමාන්‍ය රෙදි ගමේ වැවට හරි ගඟට හරි අරං ගිහිල්ලා ගලේ ගහලා හෝදනවා. රෙදි ගහන්න ඒ තැන්වල විශාල ගල් පතුරක් තියෙනවා. රෙදි පිරිසිදු කරන්නේ බෝල සබන්වලින්. මේ සබන් බෝලයක් ශත පහයි. එහෙම නැතිනම් වෙල්ලාහැ සබන් කියලා සබන් කුට්ටි තියෙනවා. මේවා ගාලා තමයි රෙදි පිරිසිදු කරන්නේ. මෙහෙම හෝදපු රෙදි වෙල් එළියේ බඳින දිග රෙදි වැල්වල වනලා වේලනවා. ඒ කාලේ වෙල්වල මෙහෙම රෙදි වැල් බැඳලා තියෙනවා දකින්න පුළුවන්. එතනින් ගමන් කරන ඈයෝ මේ රෙදි වැල් යටින් රිංගලා නම් යන්නෙ නැහැ. වැල් මඟහැරලා යන්න පරිස්සම් වෙනවා.

මට මතකයි අපි පුංචි කාලේ ඉස්කෝලෙ අඳින කොට කලිසම්, කමිස හෝදන්න රිදී නැන්දට දෙනවා. එහෙම රෙදි නැන්දට දෙන්නෙ දෙතුන් මුරයක් ගෙදර සෝදලා ඇතිවෙච්ච අඳුරු පාට නැති කරන්නයි. රෙදි නැන්දා හෝදලා දෙන ඇඳුම් සුදෝ සුදුයි. කලිසම් හෝදලා ඒවට කැඳ දාන්නෙ හොඳට රැළි හිටින්න මදින්න පුළුවන් වෙන්නයි. කැඳ දාලා රෙදි මැද්දම ඒවා පොල් කට්ට වගේ ගොරෝසුවට හිටිනවා.

ගෙදරටම ඇවිල්ලා එකතු කරගෙන එන රෙදි හෝදලා, මැදලා දෙනවට රිදී නැන්දා කිසිම මුදලක් ඉල්ලන්නෙ නැහැ. ඒ වුණාට ගෙදර අය දුන්නු මුදල් එපයි කියන්නෙ නැතුව කම්බාය පොටේ ගැට ගහගන්නවා. දැන් කාලේ ‘ලොන්ඩ්‍රි’ වල වගේ කිලෝ ගාණට රිදී නැන්දා අය කළේ නැති හින්දා ගමේ අයට පිහිටක් වුණා.

රිදී නැන්දා සිංහල අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා සුමානෙ ගමේ හැම ගෙදරකටම ගියා. එහෙම ගියේ අවුරුදු වියදම් ඉල්ලන්නයි. හැම ගෙදරකින්ම වාගේ තියෙන තියෙන හැටියට රෙදි නැන්දට සල්ලි කීයක්හරි මිට මෙලෙව්වෙ යමක් කන්න බොන්න දුන්නට පස්සෙයි. සමහර අය කාසි විතරක් නෙමෙයි හාල්, පොල්, තුනපහ, කරෝල වගේ කෑම පොට්ටනියකුත් දෙනවා. සමහර වෙලාවට තාන් චීත්ත රෙද්දක්, කම්බායක් වගේ ඇඳුමක් දෙන්නත් අමතක කරන්නෙ නැහැ.

ගමේ මඟුල් ගෙයක් වුණත් රෙදි නැන්දගෙයි හේනෙ මාමගෙයි සේවය අවශ්‍යම වෙනවා. මඟුල් ගෙදර පුටුවලට පිරුවට රෙදි එලන්න, ඉහළට උඩුවියන් බඳින්න රෙදි ගෙනාවේ මේ දෙන්නා තමයි. ඉස්සර ගෙවල්වල සීලිං තිබුණෙ නැති හින්දා වහලෙ ඉහළට උඩුවියන් බඳිනවා. ඒවගේම මනමාලයා ගෙට ගොඩවෙන කොට පාවඩය එළන්නෙත් රෙදි නැන්දයි. ඒ පාවඩය උඩින් එන මනමාලයා රුපියල් දෙකේ, පහේ කොළයක් පාවඩයට දානවා. ඒ සල්ලි රිදී නැන්දට අයිතියි.

ඒ වගේම අලුතෙන් කැන්දගෙන ආපු මනමාලිගේ පිරිසිදුකම ඔප්පු කිරිල්ලටත් රිදී නැන්දා මැදිහත් වෙනවා. මඟුල් දා රෑ ඇඳට එළන සුදු රෙද්ද සපයන්නෙ රිදී නැන්දයි. ඒවගේම පහුවෙනිදා උදේ පාන්දර ඔක්කොටම ඉස්සරවෙලා කාමරේට රිංගලා නෑදෑයන්ට රෙදි කෑල්ල පෙන්නලා මනමාලිගේ කන්‍යාභාවය ඔප්පු කිරිල්ලේ වගකීම පැවරුණෙත් රිදී නැන්දටයි.

ඒවගේම කොටහළු මඟුල් ගෙවල්වල පාන්දර දැරිවිව නාවන්න එන්නෙත් රිදී නැන්දයි. කිරි ගහ මුල හදපු කඩතුරාව ඇතුළට ඇය අරන් ගිහිල්ලා නැකැත් වෙලාවට වතුර කලේ වත්කරලා ඒක ගලේ ගහලා බිඳිල්ලත් කළේ රෙදි නැන්දයි. මේවගේ කාරණා හින්දා ඒ කාලේ රිදී නැන්දා ගැමියන්ට නැතිවම බැරි චරිතයක් වුණා.

යසවර්ධන