
ගිනිකාෂ්ඨක අව්වට කර වෙමින් වැස්සට වේලෙමින් මහ පොළොව සමග පොර බදිමින් රටට වී ටික එළවළු ටික ඇතුළු කෘෂි භෝග සපයන ගොවියා අද වනවිට අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටී. ගෙවුණු වසර කිහිපය තුළදී මේ තරමට ගොවියා අසරණ කළ යුගයක් මේ ඉතිහාසයේ නැති තරම්ය. අනාදිමත් කාලයක සිට රාජ රාජ මහාමාත්‍යාදීන්ද ගොවිතැනට ලබා දී තිබුණේ විශේෂිත වූ තැනකි. ප්‍රමුඛස්ථානයකි. එහෙත් අද වනවිට දිනෙන් දින රටවටින් අසන්නට ලැබෙන්නේ ගොවියාගේ අඳෝනාය.
කොළඹ මැණිං වෙළඳපොළට යන ගොවියා සේම දඹුල්ල ආර්ථිකයට එළවළු ටික අරගෙන ගොවියාද සැමදා අත පිසදමාගෙන ගෙදර යන්නේ අතරමැදියන්ට හා මුදලාලිලාට සිය අස්වැන්න සොච්චම් මුදලකට විකිණීමෙන් පසුවය. දුක් විඳ අස්වැන්න ලබාගන්නා ගොවියා සැමදා එකතැනය. අක්කරේ සිට අක්කර දහයක් වගා කළ ගොවියාත් සැමදා ජීවත් වන්නේ කටු මැටි පැලේමය. ගොවියාගේ නිවාස සිහිනය සැමදා එකතැනය. එහෙත් ගොවියාගේ කෙසෙල් ටික ඇතුළු කෘෂිභෝග ලබාගන්නා අතරමැදියන් හා වෙළෙන්දන් සේම තැරුව්කරුවෝද අහස උසට මාලිගා තනති. ඉන් පැහැදිලි වන්නේ ගොවියාගෙන් සොච්චම් මුදලකට ලබාගන්නා බෝග ගොවියාගෙන් ලබාගන්නවාටත් වඩා දෙතුන් ගුණයක් වෙළෙන්ඳා හා අතරමැදියා අතරේ බෙදී යන බවයි. පැහැදිලිවම ගොවියාට අද වනවිට අත්ව ඇත්තේ දරුණුම අපල කාලයකි. මෙහි ප්‍රතිපලය නම් දිනෙන් දින ගොවියා ගොවිකමට සමුදීමය.
හේන් ගොවිතැන නිසා එදා ගම්වල තල, මුං, මෙනේරි, රටකජු, බඩ ඉරිඟු, කුරක්කන්, කවුපිවලින් අටුකොටු පිරී තිබුණි. ඒ නිසා ගොවියාට කිසිදා කුසගින්නේ සිටීමට සිදු නොවීය. තුන්වේලටම බත් කෑමටද සිදු නොවීය. එපමණක් නොව මෙම බෝග වර්ග පිටරටවලින් මෙරටට මහා පරිමාණයෙන් ගෙන්වීමටද සිදු නොවීය. එහෙත් අද වනවිට මේ සියලුම භෝග රටින් ගෙන්වීමට රජයට සිදුව තිබේ. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ හේන් ගොවිතැනින් ගොවියා ඉවත්වීම හා බලහත්කාරයෙන් ගොවියා හේන් ගොවිතැනනින් ඉවත් කිරීමය.
හම්බන්තොට සූරියවැව ඇතුළු අවට ප්‍රදේශවල ජීවත් වෙන්නේ පාරම්පරික ගොවි පවුල්ය. සියයට අනූවක් පමණම අයගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ හේන් හා වී ගොවිතැනයි. මෙයිනුත් වැඩි පිරිසක් අද වනවිට ගොඩ භෝග වගාවන්ට හා වී ගොවිතැනට සමුදී ඒ වෙනුවට කෙසෙල් වගාවට හුරුව සිටිති. එහෙත් අද වනවිට මෙම කෙසෙල් ගොවීන්ගෙන් භාගෙටත් වඩා වැඩි ප්‍රමාණයක් කෙසෙල් ගොවිතැනටද සමුදී හමාරය. ඒ ගොවිකම සඳහා සිදුවන දැඩි අසාධාරණකම් හා අඩු පහසුකම් නිසාවෙනි.

කෙසෙල් ගොවියා පත්ව සිටින ඉරණම පිළිබඳව වලව වම්ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ. මහින්ද මහතා මෙසේ කියයි.
මේ පැතිවල ඉස්සර වැඩි වශයෙන් වගා කළේ ගොඩ බෝගයි. ඒ කියන්නේ හේන් ගොවිතැන තමයි මෙහේ ප්‍රධාන ජිවනෝපාය වුණේ. කුරක්කන්, තල, මෙනේරි, කවුපි, මුං ඇට, බඩඉරිඟු ආදිය තමයි බහුල ලෙසම වගා කළේ. නමුත් විවිධ හේතූන් නිසාවෙන් කාලයත් සමග එම බෝග වගා කිරීම ගොවියාගෙන් ඈත් වුණා. පාරම්පරික ගොවිකම අද නැත්තටම නැතිවෙලා ඉවරයි. අද තියෙන හැම බෝගයක්ම පිටරටවලින් ගේන බීජ වර්ග. මේ නිසාවෙන්ම කාලයත් එක්ක එම බෝග සඳහා වෙළෙඳපොලේ නිසි මිලක් ලැබුණේ නෑ. හේන් ගොවිතැනට වගේම වී ගොවිතැනටත් ඒක වුණා. එහි අතුරු ප්‍රථිපලයක් ලෙස ගොවියා කෙසෙල් වගේ වගාවට පෙළඹුණා. නමුත් අද එයත් පාඩු ලබන තැනට ඇවිත් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ගොවියා හා වෙළෙන්දා අතර පවතින දුරස් භාවය.
දහදුක් විඳලා ගොවිතැන් කරලා මහන්සියෙන් ලබාගන්න අස්වැන්න විකුණගන්න පොළට අරගෙන ආවම පොළ සංවිධායකයන්ගේ විවිධ අඩත්තේට්ටම්වලට ගොවියා මුහුණ දෙන්න ඕනේ. ඒ මදිවට කෙසෙල් ටික ගන්න එන වෙළෙන්දාත් ඒක තුට්ටු දෙකට ඉල්ලන්නේ. ඒ අතරට තැරැව්කායන්ගේ හිංසාවලටත් ගොවියා ලක් වෙනවා. පොළට ගේන බඩු ටික විකුණගන්න වෙන්නේ අතරමැදියන් හරහා. ගොවියා ගේන කෙසෙල් ටික මිලදී ගන්නේ අතරමැදියා. අතරමැදියා තමයි පොළේ බඩුවල ගාණ තීරණය කරන්නේ. ගොවියාගෙන් ගන්න කෙසෙල් ටික වෙළෙන්දාට දෙන්නේ අතරමැදියා. ඉතින් අද වනවිට ගොවියත් පුරුදුවෙලා ඉන්නේ අතරමැදියා හරහා තමන්ට ඕන කෙසෙල් ප්‍රමාණ ලබා ගන්න. මේ නිසා නිතරම පොහොසත් වෙන්නේ අතරමැදියා හා වෙළෙන්දා විතරයි. ගොවියාට හැමදාම දුක විතරයි. මේක කොච්චර අසාධාරණද බලන්නකෝ.
කෙසෙල් ගොවියගෙන් රුපියල් තිහට හතළිහට ගෙනියන ඇඹුල් කෙසෙල් කිලෝ එකක් වෙළෙන්දා විකුණන්නේ ඊට වඩා තුන් හතර ගුණයකට විතර. කෙසෙල් හදන මිනිහට වඩා ලාභ ලබන්නේ අතරමැදියා හා වෙළෙන්දායි විතරයි. මෙහෙම යනකොට අපිටත් සිද්ධ වෙලා තිනේනේ එක්කෝ ගොවිතැන අතහැර දමලා මුදලාලි වැඩේ කරන්න. නැත්නම් ගොවිතැනට සමුදීලා කුලී වැඩ කරන්නයි. පාලකයෝ මේවා දැනගෙන හිටියට මේවට උත්තර දෙන්නේ නෑ. විසඳුම් දෙන්නේ නෑ. ඉස්සර මේ පැතිවල හිටියේ සියයට අනූවක් විතර ගොවියෝ.මොනවම හරි වගා කරන පිරිසක් හිටිය මේ පැත්තේ අද සියයට පනහක් විතරම ගොවිතැන අතහැරලා ගිහින්. අපිටත් අද සිද්ධ වෙලා තියෙන්නේ අනිත් පිරිස වගේ ගොවිතැන අතහැරලා දමලා ගිහින් කොහේ හරි කුලී වැඩක් කරගෙන ජීවත් වෙන්නයි.

විහාරගල පී.ඒ. තිලකරත්න ගොවි මහතා:
කෙසෙල් වගාව මට දැන් තිත්ත වෙලා තියෙන්නේ. ජීවත් වෙන්න වෙන කරන්න දෙයක් නැති නිසයි වගාව කරගෙන යන්නේ. නමුත් දැන් ඒකත් කරගෙන යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. කෙසෙල් ගොවියට වෙච්ච ලොකුම අසාධාරණය තමයි පසුගිය අවුරුදු පොළේදි වුණේ. අවුරුදු පොළට කෙසෙල් ටික කපාගෙන ආවා කීයක් හරි හොයා ගන්න කියලා. නමුත් පස්සේ හිතුණා මොකට පොළට ආවද කියලා. මම පුවාලු කැන් 50ක් අරගෙන ගියා. නමුත් මේකදී ගන්න විදියක් නැතිව පුදුම දුකක් වින්දේ. වෙළෙන්දෝ එනවා ගණන් අහනවා යනවා. අඩුවට තමයි ඉල්ලන්නේ. වෙළෙන්දෝ ඉල්ලන ඒ ගණන්වලට කෙසෙල් දුන්නොත් ඒක නිකන් දෙනවා වගෙයි. මම කෙසෙල් කැන් ටිකක් කපාගෙන පොළට ගියේ ගෙදරට මොනවා හරි ගෙනියන්න ඕන නිසයි. නමුත් හැමදාමත් ගොවියට වෙන්නේ දැඩි අසාධාරණකම් විතරමයි. පොළේ අතරමැදියා තමයි හැමදාමත් පොහොසත් වෙන්නේ. මේවා ගැන පොළ කරන අය වගේම ප්‍රාදේශීය සභාවත් හොයලා බලන්න ඕනේ. පොළ තියෙන්නේ ගොවියන්ට බඩු විකුණනන්න මිසක් තැරැව්කරුවන්ට හෝ අතරමැදියන්ට රජවෙන්න නෙමෙයි.
කෙසේ වෙතත් අප මේ ගැටලුව සම්බන්ධයෙන් සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක එරන්ද මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඒ මහතා මෙසේ පැවසීය.
පොළ තුළ තොග බඩුවලට විවිධ මිල ගණන් තීරණය වීම නිසා ගැටලු ඇති වූ අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ නිසා අපි මේ වනවිට ප්‍රාදේශීය සභාවේදීත් මේ සම්බන්ධයෙන් කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි කියලා යෝජනාවක් පවා සම්මත කරගෙන තියෙනවා. ඒ වගේම පොළ භූමියේ ඩිජිටල් මිල දර්ශකයක් සවි කිරිමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මීට අදාළව දිනපතා තොග මිල දර්ශකයක් අප වෙල ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයටත් දැන්වීමට මා කටයුතු කර තියෙනවා. ඊට අමතරව කෘෂිකර්ම කැබිනට් ඇමති මහින්ද අමරවීර මහතා දැනුවත් කිරිමටත් මා පියවර ගන්නවා. දැනට සභාවේ අපිට පුළුවන් කමක් නෑ දිනපතා තොග බඩුවල මිල තීරණය කරන්න. එහෙම වුණොත් ඒක ගොවියාට සිදුවෙන අසාධාරණයක් වෙන්න පුළුවන්. දඹුල්ලේ පුවාලු කෙසෙල් කිලෝ එකක් රුපියල් 100ට තියෙද්දි සුරියවැවේ අපි රුපියල් 70යි කිව්වොත් ඒක ගොවියට සිදුකරන අසාධාරණයක්. ඒ නිසා රටටම ගැළපෙන පරිදි මිල සුත්‍රයක අවශ්‍යතාවය තියෙනවා. කඩිනමින්ම ඒ ගැටලුවට විසඳුමක් දෙන්න පුළුවන්කමක් තියේවි.
සටහන හා සේයා රූ
සූරියවැව නුවන් ජයසේකර