
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ප්‍රථම ස්වතන්ත්‍ර නාට්‍ය නිෂ්පාදනය වූයේ ‘බහින කලාව හෙවත් සංස්කෘතික කොමසාරිස්’ (1951) නාට්‍යයයි. හෙතෙම 1952 වර්ෂයේදී ‘පබාවතී’ නාට්‍ය නිෂ්පාදනය කරමින් දේශීය නාට්‍ය සම්ප්‍රදායක් බිහිකිරීමේ ප්‍රථම අත්හදාබැලීම සිදුකළේය. සංස්කෘත රංග ශෛලිය, ස්වාභාවික රංග ශෛලිය පමණක් නොව මෙරට නාඩගම් ශෛලියද එහි අපූර්ව ලෙස සංකලනය කොට තිබිණි.
අප මේ සූදානම් වන්නේ මහැදුරු සරච්චන්ද්‍රයන් හෝ ඔහුගේ නාට්‍ය කලාව සම්බන්ධයෙන් සටහනක් තැබීමට නොව මේ නාට්‍ය ද්විත්වයටම දායකත්වය සැපයූ අපූර්ව වූත්, මහා ප්‍රාඥයකු වූත් එහෙත් අප්‍රකට චරිතයක් ගැන කතා කිරීමටය.
‘බහින කලාව හෙවත් සංස්කෘතික කොමසාරිස්’ නාට්‍ය කෘතියේ නාට්‍යයට දායකත්වය සැපයූවන්ගේ නම් වැලේ ‘වේදිකා සැරසිලි හා නළුවන් පුහුණු කිරීම කරන ලද්දේ හර්බට් කෙනමන් පියතුමා’ වශයෙන් සඳහනක් වෙයි.
කවුද මේ හර්බට් කෙනමන්. හෙතෙම බර්ගර් ජාතික ශ්‍රී ලාංකිකයෙකි. උපතින්ම කිතුණුවෙකි. නාට්‍ය ශිල්පියකු බව යට තැබූ සටහන් සාක්ෂි දෙයි. ඊට අමතරව ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳව ප්‍රාමාණික දැනුමකින් හෙබි හෙතෙම ඒ විෂයයන් සම්බන්ධයෙන් ගවේෂණ, පර්යේෂණ සිදුකොට ශ්‍රී ලංකාවේ අප්‍රකට පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව ලෝකයට අනාවරණය කළ ලේඛකයෙකි. පුවත්පත් කලාවේදියෙකි.
හර්බට් කෙනමන් මහතා මාතර උපත ලබා කොළඹ ජීවත් වූ අයකු වුවත් ඔහු වඩාත් ප්‍රියකොට ඇත්තේ ගැමි පරිසරයේ ජීවත් වීමටය. එනිසාම ඔහු බොහෝ කලක් ගල්ගමුව, ඇහැටුවැව, ගල්කඩවල ප්‍රදේශයේ ජීවත්ව සිට ඇත. ගල්කඩවල වැව් ඉස්මත්තේ දැකුම්කලු බිම් කඩක පැරැණි ගෘහනිර්මාණ කලාව අනුව ඉදිකරගත් සොල්දොරයක් සහිත නිවසක හේ කල්ගත කර ඇත. හර්බට් කෙනමන් මහතාගේ අවසන් සුසුම් පොද වාතලයට මුසුවී ඇත්තේද, ඒ නිවසේදීම වන අතර ඔහුගේ සිරුර මිහිදන් කොට ඇත්තේද ඒ ගෙවත්තේමය.
ගම්මුන් ‘සුදු මහත්තයාගේ බංගලාව’ නමින් හඳුන්වන ඒ නිවස හා එහි අද වෙසෙන්නන් සොයා ගියේ මේ “සුදු මහත්තයා” පිළිබඳව හා ඔහුගේ ජීවන කතාවේ වැඩිමනත් කරුණු සොයා බැලීමේ අටියෙනි.
මේ එහිදී අපට හමුවූ පාසල් ගුරුවරයකු ලෙස සේවය කොට දැනට විශ්‍රාම ලැබ සිටින මෙන්ම කලක් හර්බට් කෙනමන් මහතා සමඟ ඇසුරේ සිටි අයි.එම්.පී.බී. ගල්කඩවල මහතා කී කතාවයි.

“හර්බට් කෙනමන් මහත්තයා මුලින්ම ඇහැටුවැවට ඇවිත් තියෙන්නේ 1963 අවුරුද්දේ විතර. ඒ ඇවිත් ඇහැටුවැව සංචාරක බංගලාවේ නතරවෙලා ඉඳලා තියෙනවා. මං ඒ කාලේ පුංචි ළමයෙක්. කෙනමන් මහත්තයත්, එයාගේ නෝනත් දෙන්නම ගුරුවරුන් ලෙස තමයි වැඩ කරලා තියෙන්නේ. ඊට පස්සේ ගුරු වෘත්තියෙන් ඉවත් වී ලංකාවේ විවිධ පළාත්වල ඇවිදිමින් ඓතිහාසික ස්ථාන පිළිබඳව තොරතුරු එක්රැස්කර ඒවා ගැන ලිපි ලියන්න පටන් අරන් තියෙනවා. ඒ සංචාරක ගමන්වලදී තමයි මෙහාට ඇවිත් එදා මෙහේ තිබුණ සංචාරක බංගලාවේ නතරවෙලා මෙහේ පැරණි ස්ථාන ගැන තොරතුරු හෙව්වේ.
ඔය කාලයේ අපේ අප්පච්චි සමඟ කෙනමන් මහත්තයා මිත්‍රත්වයක් ඇතිකරගෙන තිබෙනවා. ඒ නිසා පුංචි අපිත් ඒ කාලයේම මහත්තයා හඳුනනවා. ඒ දෙන්නට දරුවෝ හිටියේ නෑ. ඒ නිසාම අපට හරි ආදරයක් දැක්වූවා. අපේ ලොකු අයියාගෙ නම අයි.එම්. ඩිංගිරි බණ්ඩා. දැන් එයා මියගිහින්. අයියත් එක්ක කිට්ටු ඇසුරක් ඒ කාලයේ සිටම තිබුණා. අයියට නැවක රස්සාවක් අරන් දුන්නේ කෙනමන් මහත්තයා.
කෙනමන් මහත්තයයි, ඒ නෝනයි දෙන්නම සංචාරක බංගලාවේ අවුරුදු පහක් විතර නතරවෙලා හිටියා. ඒ කාලයේ තමයි හත්ථිකුච්ඡි විහාරය සොයාගෙන ඒක ප්‍රසිද්ධ වෙන්ඩ ගත්තේ. කෙනමන් මහත්තයා මුල් කාලයේ මෙහේ ඉද්දි හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන, සහකාර පුරාවිද්‍යා කොමසාරිස් රෝලන්ඩ් සිල්වා, චාල්ස් අබේසේකර, ගොඩකුඹුර වාගේ වියතුන් මහත්තයාව හමුවෙන්ඩ ආවා. පණිභාරත, චිත්‍රසේන, වජිරා වාගේ කලා ශිල්පීනුත් ආවා. ගියා. මේ අවට ගම්වල සැඟවී සිටි පැරණි නැටුම් ශිල්පීන් ඉස්සරහට ගන්ඩ පණිභාරත මහත්තයා උත්සාහ කළා.”
ගල්ගමුව හා තදාශ්‍රිත ප්‍රදේශවල පිහිටි ඓතිහාසික ස්ථාන පිළිබඳවත්, ප්‍රදේශයේ පැවති බලිතොවිල් ආදී ශාන්තිකර්ම, පූජාවිධි, හේන් වගාව, වී වගාව, කමත ආදී විෂයන්ද, වන්නියේ සිරිත් විරිත් ගැනද කරුණු රැස්කරමින් ලිපි සම්පාදනය කොට ඒවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළවන දෙස් විදෙස් සඟරා, පුවත්පත් ආදියට සපයමින් වසර පහක් පමණ ඇහැටුවැව තානායමේ ගතකර ඇති හර්බට් කෙනමන් මහතා සිය බිරියද සමඟ මහනුවර, නිලඹේ ප්‍රදේශයට අනතුරුව ගොස් තිබේ. එහෙත් ඇහැටුවැවේදී හඳුනාගත් අයි.එම්. ඩිංගිරි බණ්ඩා මහතා සමඟ තිබූ මිත්‍රත්වය හා සම්බන්ධය දිගටම පවත්වාගෙන ගොස් තිබේ. මහනුවර වාසය කරද්දී කෙනමන් මහතාගේ බිරිය මියගොස් තිබේ.
“කෙනමන් මහත්තයාගේ නෝනා මියගියාට පස්සේ එතුමා නැවත ඇහැටුවැවට ආවා. ඒ ඇවිත් අපේ අයියාට කීවා ‘පුතා මං මෙහේ මැරෙනකම් ඉන්න කැමතියි’ කියලා. ඔය වෙනකොට අයියා ගෙයක් හදන්න බඩු භාණ්ඩ ලෑස්ති කරගෙනයි හිටියේ. කෙනමන් මහත්තයාට ඒ නිවසේ සැලැස්ම සකස් කළා. පැරැණි නිවාසවල හැඩයට තමයි ඉදිකළේ. ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පයේ ලක්ෂණත් මේ නිවසේ තියෙනවා. සොල්දොරයක් සහිතව තමයි නිවස ඉදිකළේ. මෙහේ පැරැණි ගෙදරක තිබුණ දොර උළුවස්සක් සොයාගෙන ඒක අලුත්වැඩියා කරලා ප්‍රධාන දොරට ගත්තා. නිවස හදාගෙන කෙනමන් මහත්තයා ඒකෙ පදිංචි වුණා. වැඩට කොල්ලෙකුත් අරගත්තා. ඔය කාලය වන විට මං සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගත්තේ. මාත් ඇවිත් ඒ නිවසේ නතරවෙලා ඉස්කෝලේ ගියා.”යි අයි.එම්.පී.බී. ගල්කඩවල මහතා කීය.
“කෙනමන් මහතා දිනචර්යාව ගතකළේ කොහොමද?” මම ගල්කඩවල මහතාගෙන් ඇසුවෙමි.
“කෙනමන් මහත්තයා නැඟිටින්නේ උදේ දහයට විතර. ඒ නැඟිටලා මූණ කට හෝදාගන්නවා. ඒ කාලේ විදුලිය, නළ ජලය මෙහේ තිබුණේ නෑනේ. ඒත් කෙනමන් මහත්තයා නාන කාමරයක් හදාගෙනයි හිටියේ. අර සේවකයා වැවෙන් වතුර ගෙනත් බැරලයකට පුරවලා තියෙනවා. කොමන්ඩ් වැසිකිළියකුත් තිබුණා. ඒකටත් වතුර ගන්න සිස්ටම් එකක් හදලා තිබුණා. මූණ කට හෝදාගෙන කෝපි කෝප්ප දෙකක්ම බොනවා. ඊට පස්සේ පොත් කියවනවා. කාමරයක් පිරෙන්න පොත් තිබුණා. ඒවා ක්‍රමානුකූලව රාක්කවල අසුරා තිබුණා. විවිධ විෂයන් ගැන ලියවුණු පොත් ඒ පුස්තකාලයේ තිබුණා. හැම පොතක්ම ඉංග්‍රීසියෙන් ලියලා තිබුණේ. පොත් කියවලා ඊළඟට කරන්නේ ලියන්න ගන්න එක. හවස තුන - හතර වෙනකම් එකදිගටම ලියනවා. හැබැයි ලියනකොට සිගරට් හරියට බොනවා. ‘ෆොරේසස්’ කියන සිගරට් වර්ගය තමයි බීවේ.
උදේට - දවල්ට කෑම ගැන අවශ්‍යතාවක් නෑ. රෑට එයාම කෑම හදාගන්නවා. බටහිර කෑම තමයි වැඩිපුර කන්නේ. ඊට අමතරව ඉඳිආප්ප, හාල්පිටිවලින් හදන පිට්ටු, බත් කන්න ආසයි. කෙනමන් මහත්තයා භූමිතෙල්වලින් ක්‍රියා කරන ශීතකරණයකුත් ගෙනත් තිබුණා. ඊට අමතර ‘බයි ඇලඩින් ලාම්පුව’ කියලා පැට්‍රල් මැක්ස් එකක් තිබුණා. ඒකෙ මැන්ටලය දෙකොණින්ම ගැටගහන්න ඕන. පැන්සල් උල්කරන්න කුඩා මැෂින්, යතුරු ලියන යන්ත්‍ර, රෙදි මදින්න භූමිතෙල් ඉස්තිරික්ක, ඔය ආදිය තිබුණා.

කෝපි, බටර්, හැම්බේකන්, සිගරට්, ටයිප් කඩදාසි, ඖෂධ වර්ග, මේ හැමදෙයක්ම ගෙන්න ගන්නෙ කොළඹ කාගිල්ස් එකෙන්. කොළඹ කොටුවේ තිබුණා ‘ටයිම්ස් බිල්ඩිම’ කියලා එකක්. ඒකෙ ‘ස්ටුඩියෝ ටයිම්ස්’ කියන ආයතනයේ අධිපති තමයි නිහාල් ප්‍රනාන්දු මහත්තයා. ඒ මහත්තයාට කියලා තමයි බඩු අරන් තියවන්නෙ. මාවත් ඒ බඩු ගේන්න යවලා තියෙනවා. කෝච්චියෙන් ගිහින් නිහාල් ප්‍රනාන්දු මහත්තයා අරන් තියෙන බඩු අරන් කෝච්චියේම ගල්ගමුවට එනවා.”
“මහත්තයාගේ යාළු මිත්‍රයොත් මේ නිවසට ආවා ගියාද?” මම ගල්කඩවල මහතාගෙන් ඇසුවෙමි.
“අපොයි ඔව්. ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස් එතුමාගේ හොඳ යාළුවෝ. ලෙස්ටර් මහත්තයාගේ ‘දෑස නිසා’ චිත්‍රපටය කළෙත් මෙහෙනේ. ඒ දෙන්නයි, රවීන්ද්‍ර රන්දෙණියයි මාස දෙකක් විතර මෙහේ නැවතිලා හිටියා. ‘දෑස නිසා’ චිත්‍රපටයට ඕනෑ වූ මැටි ගහපු ගේ හැදුවෙත් අපේ අප්පච්චි. ගල්කඩවල වැව්පිටියේ තමයි ඒ ගේ හැදුවේ. නාකොළගනේ, පන්සල, එරියාව වැව පාමුල පන්සල හා ඒ අවට පරිසරය තමයි දර්ශන තලවලට ගත්තේ. ඒ කාලේ මේ ප්‍රදේශ හරිම දුෂ්කරයි. පහසුකම් නෑ. කොළඹින්ම ජෙනරේටරයක් ගෙනත් තිබුණා.
ලබන සතියට
►ගල්ගමුව - නිහාල් ජයවීර