
ලෝකයේ පත්තරයක ලොකුම ගජබින්නය පළවූයේ මේ වගේ අගෝස්තු මාසයක 25 වැනිදාකය. ඒ මෙයට අවුරුදු 183කට පෙරදීය. එදා ඔය කියන දිනය අඟහරුවාදා දවසකි. කඩිගුලක් ඇවිස්සුණාක් බඳුව මිනිස්සු පොරකකා දහඅතේ දුවනා නිව්යෝර්ක් නුවර කාර්යබහුල උදෑසනකි. ටොප් හැට් ටයි කෝට් හැඳ පැළඳී නැඩ අමෙරිකානුවන් අතරේ තෙරපි තෙරපී ළඟකදී කලඑළි බැස්ස පුංචි පත්තර කොල්ලෝ පුවත්පතක් ලෙලවමින් කෑ මොර ගෑසූහ. “ලොකුම විද්‍යාඥයාගේ අලුත්ම හොයාගැනීම බලන්න! ලොකුම දුරදක්නයෙන් හොයාගත්තු අමුතුම දේ බලන්න!! පිස්සු හැදෙන සඳ; කතාව බලන්න!!! ගන්න අලුත්ම NEWYORK SUN පත්තරේ!, උණු උණූ විස්තරේ කියවන්න !!!.” ඔළුව හැරුණු අතේ දුවමින් උන්න බරසාර උදවියත් මේ අඬහැරේ කණ වැටුණහම ඇබින්දක් නැවතිලා පත්තරයකුත් කිහිල්ලෙ ගන්නාගෙන දුවන්න ගත්තා. එදා පත්තරේ කියවපු උදවිය ඊළඟ දවසේ උදෙන්ම බලා උන්නෙ පත්තර කොල්ලෝ කලඑළි බහිනකම්.
මුල්ම දවසේ අනුන්ගෙ පත්තර කියවලා කුලප්පු වුණ උදවියත් දෙවෙනි දවසේ තමන්ටම කියා පත්තරයක් ගන්න පොරකෑවා. මේ නිසා පත්තර මැසිමට දවස පුරාම නිවාඩුවක් ලැබුණේ නෑ. එදා 1835 අවුරුද්දෙ අගෝස්තු 25 අඟහරුවාදා උදෙන්ම THE NEWYORK SUN පත්තරේ අතඇරිය ගජබින්නය; අන්තිමේ දවස් හයක් පුරා එක දිගට දිග හැරුණු මහා ගජබින්නාලංකාරයක් වෙලයි නතර වුණේ. මේ අලකලංචියට මුල් වුණේ පඩි මදි නිසා හොඳටම අකම්පාල වෙලා හිටි නිර්මාණශීලි පත්තරකාරයෙක් බවයි පස්සෙන් පහු එළිදරව් වෙන්නෙ. අතේ රෝල් කලාව හැටියට අද පත්තර බාසාවෙන් හැඳින්වෙන අපබ්‍රංස කලාවට මුල් අඩිතාලම දැම්මේ. එදා ඔහු ලියූ මේ ආන්දෝලනාත්මක අමුතු කතාවයි.
ඔය කියන සිද්ධියට මුල්වන කාලේ අමෙරිකාව වගේම මුළු ලෝකෙම හිටියේ ආර්ථිකව වළපල්ලට වැටිලායි. මේ නිසාම “පාන්” කියාගන්න බැරිව උන්න මිනිස්සුන්ට පැන්ස 6ක් දීලා පත්තරයක් ගන්නවා කියන එකත් මහමෙරක් වෙලයි තිබුණෙ. ඉතින් කාලයේ තාලයට හැඩ ගැසෙන්න ඕනෑ කියා අලුත් විදියට හිතපු පත්තර මුදලාලි කෙනෙක් නිසා එතෙක් කාලෙකට දකින්නට තිබූ පත්තරවලත් මුහුණුවර මුලුමනින්ම වෙනස් වුණා. ඔහු, බෙන්ජමින් ඩේ. මහප්‍රාණ පත්තර කෙරුවාවෙන් නට්ටං වෙලා අලුත් බිස්නස් අයිඩියා එකක් ගැන හිතට එනතුරු තොරොම්බල් කඩ පිරුණු ජනාකීර්ණ වීදි දිගේ ඉබාගාතේ යද්දී ඒ වනවිට 23න් හැවිරිදිව හිටි බෙන්ජමින් දැක්කා කඩසාප්පු ඇතුලේ බඩුවල මිල වගේ හය හත් ගුණයක් අඩුවට පදික වේදිකාවේ බඩු විකුණන හැටි. ඒ මදිවාට මිනිස්සු ඒවා ගත්තෙ පොරකකා. එකම වෙනස නිකම් පෙනුමට තියන ලොකු ඇසුරුම් පෙට්ටි, වෙළඳ නාමගහපු ලේබල් වගේ පුරාජේරු නැති එක විතරයි. තමන්ට කියා මුද්‍රණාලයකුත් තිබුණ නිසා මේ වැඩේ දුටු බෙන්ජමින් කල්පනා කළා මිනිස්සුන්ගේ අතේ මිටේ ඇති ගාණට වැඩි විච්චූරණ නැති ලාබ පත්තරයක් දෙන්න. ඒ වගේම මිනිස්සු පේමන්ට් වෙළෙන්දෝ හොයාන යන්නෙ එතැන හිතේ හැටියට කදේ වැටිලා රටේ තොටේ වගතුග එහෙමත් දැනගන්න පුළුවන් නිසා බව බෙන්ජමින්ට වැටහුණා. ඒ කියන්නෙ ගොසිප් නැත්නම් ඕපාදූප රහට මිනිස්සු වහ වැටෙන බව ඔහු තේරුම් ගත්තා. මේ බිස්නස් අයිඩියා අනුව මුලින් 1833 අවුරුද්දෙ බෙන්ජමින් අලුත්ම මාදිලියක පත්තරයක් එළියට දැම්මා. ඒ තමා THE NEWYORK SUN, යුගයේ පෙරළිකාර පත්තරය! ඒ පත්තරෙත් එක්ක සතේකට මිල කරපු අපේ බාසාවෙන් කීවොත් තුට්ටුවට ගිය පත්තර මෝස්තරය එළියට ආවා. ඇත්තටම ඒ කාලේ අනෙක් පත්තර සත හයට මිල වෙද්දී මේ අලුත් පත්තරේ මිල වුණේ සතයයි. නැතිනම් පැන්ස එකයි. “පෙනී ප්‍රෙස්” නැතිනම් “පෙනී පේපර්ස්”කියලා ලෝක පත්තර ඉතිහාසේ හඳුන්වා දෙන අමුතු පත්තර ඇරුඹුණේ ඔය රැල්ලත් සමගයි.

මේ පෙරැළියත් එක්කම උණු කැවුම් වගේ අලෙවි වෙන, මිනිස්සු ඉල්ලන දේ ලබාදෙන, අදත් අපි ලොකුවට කතා කරන අතේ රෝල් කලාවත් බිහිවුණා. අමෙරිකාවට ඒ ළඟදි සංක්‍රමණය වුණ අයටත්, ඒ වගෙම පහළ මධ්‍යම පන්තියට අයිති ලොකු උගත්කමක් නැති පිරිසටත්, ඒ වෙනකොට වෙළඳපලේ තිබුණ සම්භාව්‍ය බරසාර ලිපිවලට මුල් තැන දීපු මහප්‍රාණ පත්තර කියෝලා හෙම්බත්ව හිටි උදවියටත් තමන් අතේ ඉතිරි වෙන සතේ දීලා රටේ තොටේ ඕපාදූප එසැණින් දැනගන්න උදව්වෙන පත්තර කලාවක් තමා මේ. ඉතාමත් සරල භාෂාවක් යොදාගෙන මිනිස්සුන්ගෙ කුතුහලය උපරිමයට අවුස්සන අන්දමේ මනඃකල්පිත ෆැන්ටසීමය වාර්තා රසකර ඉදිරිපත් කරන මේ පත්තර පුදුම අලෙවියක් පෙන්නුම් කළා පමණක් නොවේ අබිං කෑවා වගේ මිනිස්සුන්ට නැතිවම බැරි එදිනෙදා මිලදී ගැනීමක් බවටත් පත්වුණා. ඒ අන්දමට එතෙක් මෙතෙක් පත්තරයක ගිය ලොකුම බොරුව පලකළ THE NEWYORK SUN පත්තරෙන් බෙජමින්ඩේ හිතපු විදිහටම අලෙවියේ පෙරළියක් වුණා.
ලොකුම පත්තර බොරුව පලකරන කාලේ, ඒ කිව්වෙ 1835 අගෝස්තු වනවිට THE NEWYORK SUN අලෙවිය තිබුණෙ ඒ කාලේ හැටියට ඉහළ මට්ටමක. ඒ වෙනකොට පත්තරේට වෙළඳ දැන්වීම් අඩුවක් වුණෙත් නෑ. බෙන්ජමින් ඒ වෙනකොට වැඩි පිටපත් ගාණක් ඉක්මනින් ගහන්න පුළුවන් අලුත් පරම්පරාවට අයත් වාෂ්පයෙන් දුවන මැසිමක අයිතිකාරයෙක් වෙලා උන්නෙ. ඒ වගේම පත්තරේ අත ළඟටම ගෙනැල්ලා දෙන පත්තර කොලුගැටව් නමෝ විත්තියෙන්ම වැඩට බස්සලා තිබුණෙත් ඔහුම තමා. ඒකත් බෙජමින්ගේ අලුත් වැඩක්! නමුත් ඔහුට ඕනෑවෙලා තිබ්බා වැඩියෙන්ම අලෙවි වන පත්තරේ ගහන්න.

ඔන්න ඔයවගේ පසුබිමක උදාවූ අගොස්තු 21 සිකුරාදා THE NEWYORK SUN මුල්පිටුවේ තනි තීරුවෙ දැන්වීමක් පලවුණා.
“එඩින්බර්ග් නගරයේ සුප්‍රකට ප්‍රකාශනයක් වෙතින් අපට මේ දැන් දැනගන්නට ලැබුණ අයුරු මේ වනවිට සුබපැතුම් තුඩුවේ සිටින සර් ජෝන් හර්ෂෙල් මුළුමනින්ම තමන්ගේ වූ නව මූල ධර්මයක් අනුව තැනූ යෝධ දුරදක්නයක් මගින් අතිශය විශ්මයජනක විස්තර ඇතුළත් තාරකා විද්‍යාත්මක සොයාගැනීමක් සිදුකර තිබේ. විස්තර බලාපොරොත්තු වන්න!”
ඔන්න ඔය ආකාරයට කුතුහලය අවුස්සා කුලප්පු කරන ලද පාඨක පිරිස වෙත ඊළඟ සතියේ අඟහරුවාදා ඉදිරිපත් කරන්නෙ අර කිව්ව ප්‍රකාශනයෙන් උපුටාගත් සජිවී රටාවකින් ඉදිරිපත් කළ කතාවකූයි. මහා විද්‍යාඥ හර්ෂෙල්ගේ සහායකයෙක් ලෙස හඳුන්වාගත් ආචාර්ය ඇන්ඩ_ ග්‍රාන්ට් නමැත්තා ඉදිරිපත් කළ ලියැවිල්ලක් හැටියටයි මේ කතාපෙළ ඉදිරිපත් කරන්නෙ. ඔහු එඩින්බර්ග් සයන්ස් ජර්නල් ප්‍රකාශනයට ඉදිරිපත් කළ සවිස්තරාත්මක ලිපියක උපුටන හැටියට මේ කතාව දින 6ක් තිස්සෙ පලකරන්නෙ පත්තරේ මුල්පිටුවේ ඉහළින්ම. මේ සම්බන්ධ අපූරු අරුම පුදුම චිත්‍රසටහන් ඇතුළු පිටුවක දකින්න හැකි වුණා.
මුල් දින පත්තරේ ලිපිය ඇරැඹෙන්නෙ හර්ෂෙල් ගැන පම්පෝරියකින්. හර්ෂෙල් කළ විවිධ සොයාගැනීම් ගැන කියා ඇරෙඹන ලිපිය කියන්නෙ දැන් ඔහු ළඟදීම සිදුකළ ඇඟකිළිපොලා යන සොයාගැනීම තමන් උණු උණුවෙම THE NEWYORK SUN පාඨකයන්ට ඉදිරිපත් කරන බවයි. මහා තාරකා විද්‍යාඥයා ඒ වනවිට සැබෑවටම සිටියේ අප්‍රිකාවේ සුබපැතුම් තුඩුව බලා ගිහින් ඒ පැත්තෙ අහස් සිතියමක් හදමින්. මේ ලිපියෙන් හර්ෂෙල් සුබපැතුම් තුඩුව ආශ්‍රිතව තමන්ගේම ක්‍රමයකට අනුව අති ප්‍රබල අඩි 24ක විශ්කම්භයක් ඇති කාචයක් සහිත දුරේක්ෂයක් රහසේම තනා ඇති බවත් මෙයින් හඳ දිහා බැලූවිට සඳ මිදුලටම ආ තරම් පැහැදිලිව දකින්නට සමත් වූ බවත් ඇදහිය නොහැකි තරම් විස්මිත දේ එයින් වාර්තාවුණ බවත් කියනවා. මේ කාචයට අමතරව සඳ මත සියලු දේ හොඳින්ම ආලෝකවත් කර ළඟටම ගොස් බලන තරම් පැහැදිලි ස්වභාවික දර්ශන ලෙස කැන්වස් තිරයක් මතට ගෙනැත් පෙන්වන අලුත්ම කාචයක් ගැනත් ලියුම්කරු කියනවා. ඊළඟට මහපොළොවේ පාෂාණවලට සමාන බේසෝල්ට් පාෂාණ දුටු හැටිත් විස්තර කර තිබෙනවා.

දෙවෙනි දවසේ කතාව තවත් ආලවට්ටම් රැසක් සහිතයි. සඳ පාෂාණ අතර අඳුරු රතුපැහැයෙන් යුතු මල්ගොමු දක්නට හර්ෂෙල් ඇතුළු තම පිරිසට හැකි වූ බව විස්තර කරන ග්‍රාන්ට් එදාම සඳ මත අමුතු ජීවින් දුටු අපූරැව කියනවා. බයිසන් ගවයන්ට සමාන දුඹුරු පැහැ සතුන් රංචු අතර නිල් රතු පැහැ සිරුරැති එළු පට්ටිද බොරළු පොළොවේ දැඩි වේගයෙන් ඇදී ගිය ගෝලාකාර උභය ජීවියෙක් ගැනද කියනවා.
තුන්වැනිදා කතාව තවත් සිද්ධි බහුලයි. එදා ආචාර්ය ග්‍රාන්ට් ගස්වැල් විශේෂ 38ක ලැයිස්තුවක් ඉදිරිපත්කරනවා. ඒඅතර හදිසියේ දුටු අරුමයක් හැටියට තමන්ගෙ ළමා ළපටි කර ගසාගෙන දෙපයින් ඇවිද යන බීවර් සතුන් පිරිසක් ගැන කියවෙනවා. මේ අය අපේ ගෝත්‍රිකයන්ට වඩා පෙනුමක් තියන නිවාස තනා ඇතිබවත් සමහර නිවාස වලින් දුම් පිටවෙන අයුරු දුටු හැටිත් විස්තර කරන්නෙ සඳ මත උසස් ජීවි ප්‍රජාවක් ඇති බව සනාථ කරන්නයි. මේ අමුතු ලියවිලි පෙළේ හතරවැන්න ඉහළම ජන කැළඹීම ඇති කළ ලිපියයි. කතාවේ උත්කර්ෂවත්ම අවස්ථාවයි. දුරදක්නයට අලුත් විශාලන කාචයක් මේ දවසේ හර්ෂෙල් යොදාගන තිබේ. රතු පැහැති කඳු වළල්ලක්
පර්යේෂකයන්ට හමුවෙයි. හර්ෂෙල් මෙතැන නම් කර ඇත්තේ “රූබි කොලොසියම” හැටියටය. මේ රතු කඳු නිම්නය තුළ මිනිස් රූපාකාර පිරිසකගේ ජනපදයකි. ඔවුන්ට ඇත්තේ තඹ පැහැති දිලිසෙන කෙටි කොණ්ඩයකි. මුළු සිරුරම එබඳු ලෝමවලින් වැසී ගොසිනි. වඩාත්ම අපුරුව ඔවුන්ගේ පිටමතින් විනිවිද පෙනෙන වවුල් පියාපත් යුවලක් දැරීමය. කහ පැහැති ඔවුන්ගෙ මුහුණූ වඩාත් සමාන වූයේ ඔරං ඔටැං වඳුරන්ටය. මේ අය පියාඹමින් දියනාමින් ඇවිද යමින් කල්ලි ගැසී කතාබහේ යෙදෙමින් සිටියහ. නමුත් ඔවුන් සතුන් මෙන් ප්‍රසිද්ධියේම රැලේ වැටුණහ. මහා විද්‍යාඥ හර්ෂෙල් ඔවුන්ට විද්‍යාත්මක නමක්ද දී තිබුණි. වෙස්පර්ටිලියෝ - හෝමෝ (වවුල් ආකාර මිනිසා) හැටියටය.

පස්වැනි දිගහැරුම තවත් අපූරු සොයාගැනීමක් ගැනය. නිල් මැණික්වලින් තැනූ දොවොලක් හමුවූ අයුරුය. එහි වහලය තඹ නිමාවකි. ගිනිදැල් ජාලාවක් හැඩැති නිර්මාණයක් මුදුනෙන් විහිදී අඳුරු තඹ පැහැති ගෝලයක් ගිලගන්නා අයුරින් සකසා තිබේ.
හයවෙනි දින මහා එළිදරව්වකි. එදා වෙසපර්ටිලියෝ සඳ මිනිසුන්ගෙ වඩාත් දියුණු පිරිසක් වෙත දුරදක්නය ඉලක්ක ගතවෙයි. ඔවුන් වඩාත් උසමහතින් යුතු පැහැපත් සිරුරක් දරන්නෝය. නිල් මැණික් දේව මන්දිරය ආසන්නයේ වාසය කරන්නෝය. ආගමික පොත්වල ඉන්නා දේව දූතයන්ට සමානය. ඊළඟට එන්නෙ ශෝකාන්තයකි. සඳ ජනාවාසය නරඹා විවේකයක් ගන්නට සිතනා හර්ෂෙල් ඇතුළු පිරිස දුරදක්නය එසේම තිබියදි ටික දිනකට ඉවත්ව යයි. නැවත එද්දී එතැන ගින්නට හසුවෙලාය. දුරදක්නයේ කාච සීරුමාරු වීමෙන් හිරු ආලෝකය ලී රාමු මතට නාභි ගතවී ගින්න හටගෙන තිබේ. ඉතින් මේ සඳ කතාවේ ඉතිරි විස්තර දැනගන්නට කැමති අයට ශ්‍රීමත් හර්ෂෙල් තමන්ගේ පරීක්ෂණ වාර්තාව නිකුත් කරන තුරු බලා සිටින්නට සිදුවෙයි!.
ඉතා සීරැවට පෙළ ගස්වා ඉදිරිපත් කළ මේ හඳ ජනාවාස කතාව නොසිතූ විරූ ආන්දොලනයක් ඇති කළේය. THE NEWYORK SUN හතරවෙනි ලිපියත් සමඟ පළකලේ සිය අලෙවිය 8000 සිට එක රැයින් 19,360ක් දක්වා තුන් ගුණයකින් ඉහළ ගිය බවයි. එය නොකඩවාම ඉහළ නැංගේය. ඊළඟ පත්‍රය එනතුරු සමහරු මුද්‍රණාලය අසල පෝලිම්වල සිටියහ. ලොකු වැදගත් විද්‍යාඥයෝ පවා පත්තර කන්තෝරුවට ආවේ කතාවේ තව විස්තර ගන්නටය. තවත් අය සුබපැතුම් තුඩුව කරා නැව් නැංගේ හර්ෂෙල් හමුවී ඇත්ත නැත්ත දැනගන්නටය. ශ්‍රීමත් හර්ෂෙල් මේ කතාව මහා ගජබින්නයක් බව ප්‍රසිද්ධියේම කීවේය. වෙනෙකක් තබා ආචාර්ය ග්‍රාන්ට් කෙනෙක් ජීවිතයටම මුණගැසී නැති බව කීවේය. මේ ප්‍රකාශ මෙසේ පලවෙද්දීම අනෙක් පත්තර සඟරාද අමුතු සඳ කතාව පලකරන්නට විය. ඒ අතර මෙයට විරෝධය පෑ පිරිස මහා හඳ බොරුව හැටියට මෙය හඳුන්වා දෙමින් THE NEWYORK SUN පත්‍රයේ පතුරු අරින්නට ගත්තේය. ඊළඟට එංගලන්තයෙන් වාර්තා වූයේ මේ කතාව උපුටාගත් බව කී එඩින්බර්ග් සයන්ස් ජර්නලය මුද්‍රණය නවතා මාස ගණනක් ගතව ඇති බවය. මේ සියල්ල මැද THE NEWYORK SUN අලෙවියට හානියක් වූයේ නැත. අන්තිමේ බෙජමින් ඩේ මේ කතාව පොත් පිංචක ගසා සිලිමකට අලෙවි කරන්නට දැම්මේය. මාසයක් තුළ පිටපත් 60000ක් එයද අලෙවි විය. දැන් මේ පොත් පිංචවල් ඇත්තේ පෞරාණික ද්‍රව්‍ය එකතු කරන්නන් අතය. තාම ඉතිරිව ඇත්තෙ පිටපත් 16කි. එයින් එකක මිල ඩොලර් 2000කි. THE NEWYORK SUN මේ කතාව අතේ රෝලක් බව පිළිගත්තේ බොහෝ කලකට පසුවය. ආචාර්ය ග්‍රාන්ට් නමැත්තෙකු නොසිටී නම් මේ කතාව ලිව්වේ කවුද?

එංගලන්තයේ සමර්සෙට්වල 1800දී උපන් රිචඩ් ඇඩම්ස් ලෝක් 1831 වනවිට අමරිකාවට එන්නෙ සිය බිරියත් දියණියත් සමඟිනි. තමන්ගෙ රිපබ්ලිකන්වාදි රැඩිකල් දේශපාලනය නිසාම එංගලන්ත පත්තර දොරටු වැසී ගිය ඔහු අමෙරිකාවේ ජීවිතය සොයා එයි. තමන් කේම්බ්‍රිජ් උගතෙකු බවත් තමන්ගෙ සීයා දාර්ශනිකයකු බවත් කියනා ලෝක්ට අමෙරිකාවෙ පිළිගැනීමක් ලැබේ. නිව්යෝර්ක් පත්තරයක වැඩ අරඹන ඔහුහට බෙන්ජමින් ඩේ මුණ ගැසේ. තමන්ගේ පත්‍රයේ සිටියදීම THE NEWYORK SUN වෙත ලියන්නට එකතුවන ලෝක් හට වාසනාව උදාවේ. ඔහු ලියු නඩු වර්තාවක් දිනපතා කුඩා පොත් පිංචවල් ලෙස පලකරන අතර ඒවා දිනකට පිටපත් 10000ක් බැගින් අලෙවි වේ. මෙයින් ආකර්ශනය වූ බෙන්ජමින් ඩේ, ලෝක් හට ඒ වනවිට හරිහමන් අලෙවියක් නොතිබූ THE NEWYORK SUN කර්තෘකම බාර ගන්නට කියයි. 1835 ලොකුම පත්තර බොරුව පලවන්නෙ රිචඩ් ඇඩම්ස් ලෝක් කර්තෘකම භාරගෙන දෙමසකට පසුවය.
සඳ ජනපදය පිළිබඳ ලොකුම පත්තර බොරුව පල වූ සමයේ වොෂිංටනයේ හෝටලයක අවන්හලේ පත්තර කාරයන් දෙදෙනෙක් සැර පානයක යෙදෙමින් උන්හ. පදමට එද්දී මෙයින් එක් අයෙක් තමන්ගෙ පත්තරයේත් ගොඩ වැඩි කරගන්න හර්ෂල් ගේ සඳ ජනපද කතාව උපුටා පලකරන්නට යන බව කිවේ රහසක් කියන ලෙසිනි. ඔහු ඒ කාලේ යාන්තම් හිස ඔසොවාගන එන ජර්නල් ඔෆ් කොමර්ස් පත්තරේ ප්‍රධාන වාර්තාකරු ෆීන්ය. මේ රහස ඇසු අනෙක් පත්තරකාරයා කලබල විය. ඔහු ගත් කටටම මිතුරාට කීවේ “ඕක ගෙඩි පිටින්ම දාන්න එපා බන්, ඒක මගේ අතේ රෝලක්!” කියාය. ඒ කතාව කී පත්තරකාරයා එවකට THE NEWYORK SUN කර්තෘ රිචඩ් ඇඩම්ස් ලෝක්ය. ඒ ඇසූ ෆීන්ගේ වෙරි හිඳී ගියේය !!!
♦ සුගත් පී. කුලතුංගආරච්චි