2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

කාන්තා රැඳවියන් හිරගෙදර වහලෙට නැග්ගද? නැග්ගුවද?

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

වැලිකඩ මහ උළුගෙදර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කෝන්ද්‍රස්ථානය මෙන්ම, දුරකථන හුවමාරු මධ්‍යස්ථානය බවට රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කර වැඩිදිනක් නැත. සිරගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ජාත්‍යන්තර මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගණනාවකටම චෝදනා එල්ල වී තිබුණේද මේ අතරය. ඔවුන්ට මරණ දඬුවම දියයුතු බවට ජනාධිපතිවරයා තද තීන්දුවක් ගත් අතර ඒ පිළිබඳ කතාබහ තවමත් අවසන් වී නැත.

බන්ධනාගාර තුළ සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු බුරුතු පිටින් එළියට එන්නට වූයේ, බුද්ධි අංශය විසුරැවා හැරීමට ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය ගත් තීරණයකට අනුවය. බන්ධනාගාරයේ ලොකු පුටු සෙලවෙන්නට ගත්තේද මේ අතරය. ඇමැතිනියගේ නියෝගය මත බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු 12 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමටත්, අලුතෙන් බලධාරීන් පත්වන්නටත්, වැඩි දිනක් ගතවූයේ නැත.

වැලිකඩ මහ උළුගෙදර මහ පුටුවට ආවේ මහර බන්ධනාගාර අධිකාරි ටී.ඒ. උඩුවර මහතාය. නීති විරෝධී ජාවාරම් කිසිවක් සිදු නොවන බන්ධනාගාරය මහර බවට තිබූ මතය ඊට ප්‍රබල ලෙස බලපාන්නට ඇත. ඉහළ බලධාරීන්ගේ ආශීර්වාදයෙන් වැලිකඩ කාන්තා අංශය කලක් පාලනය කළ ලොකු නෝනාද බදුල්ලට මාරුකර යැවුණේ ඇසිපිය හෙලන්නටත් පෙරය. වැලිකඩ කාන්තා අංශය යනු වැලිකඩ මහ උළුගෙදරට අයත් තවත් කොටසක්ය. කාන්තා රැඳවියන්ගේ ප්‍රධාන නවාතැන බඳු මෙය අමුතුම තැනක්ය.

වනාතමුල්ල සීවලී පටුමග දෙසට මායිම්ව පිහිටි මෙම නිවහන අවට එදා හුදකලාව පැවතියද සමස්ත ප්‍රදේශය නාගරිකකරණයට නතුවීමත් සමඟම මේ වනවිට එහි ආරක්ෂාවටද ප්‍රබල තර්ජනයක් එල්ල වී ඇති බවද සඳහන්ය. 

අද මෙතැන කුඩු මැඩම්ලාගේ සිහින පාරාදීසයක් බඳුය. එය පාලනය වන්නේද ගණන්කාර අක්කලාගේ බලයෙනි. මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ කාන්තා බන්ධනාගාර 9කට අධිකය. 

2017 අවසන් බන්ධනාගාර වාර්තාවට අනුව විවිධ චෝදනා මත මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා සිටින කාන්තා රැඳවියන් සංඛ්‍යාව 895ක් වන අතර එයිනුත් වැලිකඩට පැමිණ ඇති සංඛ්‍යාව 531කි. එම වසර ඇතුළත රිමාන්ඩ් භාරයට පත්ව ඇති සංඛ්‍යාව පමණක් 5926කට ආසන්නය.

මෙම සිරගත කාන්තාවන් අතරින් මත්ද්‍රව්‍ය චෝදනා මත සිටින්නන් සංඛ්‍යාව 145ක් බව එම වාර්තා අනාවරණය කර ඇත. සිර දඬුවම් විඳින කාන්තාවන්ගෙන් මරණ දඬුවම නියම වූ කාන්තාවන් 4ක්ද ඊට එරෙහිව අභියාචනා මත කාන්තාවන් 36ක්ද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින කාන්තාවන් 20ක්ද, ඊට එරෙහිව අභියාචනා මත කාන්තාවන් 16ක්ද සිටින බව ඇසුවොත් ඔබ පුදුම වනු ඇත. මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ලැයිස්තුවේ මුලින්ම සිටින්නේද කාන්තාවක් බව දැන් රටම දන්නා කරුණකි.

දැනට සිරදඬුවම් ලබන කාන්තාවන් අතරින් කිසිදිනෙකත් පාසල් නොගිය 162ක්ද, 5 ශ්‍රේණිය දක්වා උගත් 347ක්ද, 5 සමත් 187ක්ද 8 සමත් 101ක්ද අපොස සා.පෙළ සමත් 84ක්ද, උසස් පෙළ සමත් 13ක්ද, උපාධිධාරිනියක්ද වන බව වැඩිදෙනෙකු දන්නේ නැත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාරගතව සිටින සංඛ්‍යාව 10535කි. කාන්තා අංශයේ 60%ක් මත්කුඩු චෝදනාවන්ට ලක්වූවෝ වෙති. රිමාන්ඩ් භාරයේ පසුවන සියයට 30ක්ම අයාලයේ යෑමේ චෝදනාවටද සෙසු කාන්තාවන් වෙනත් වැරදිවලටද සිරගතව සිටින බව හෙළිවී ඇත. පසුගිය කාලය තුළ කාන්තා අංශය මත්ද්‍රව්‍ය ජාවාරම, ජංගම දුරකතන භාවිතය අතින් මුල් තැන ගෙන තිබූ බවටද චෝදනා එල්ල විය. එම අංශය භාරව සිටින ප්‍රධාන ජේලර්වරියටද ඒ පිළිබඳව චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවන බවද නිලධාරීහු සඳහන් කරති. ඒත්, සියල්ල උඩුයටිකුරු කරමින් බන්ධනාගාර පද්ධතිය තුළ හදිසියේ සිදුවූ වෙනසින් කාන්තා අංශයද හෙල්ලී ගියේ, සියලු දූෂිත ක්‍රියාකාරකම්වලටද තිත තබමිනි. ඒ වැලිකඩ නව අධිකාරිවරයා පොල්ල අතට ගැනීමත් සමඟය.

කාන්තා අංශයටද යම් යම් සීමා තහංචි පැනවිණි. වැටලීම් දෙගුණ තෙගුණ විණි. සිරකුටි, කල්ලි කණ්ඩායම් වෙනස් විණි. වනාතමුල්ල පැත්තෙන් පාර්සල් වැටීම නතරවිණි. රැගෙන එන කෑමවර්ග සීමාවිණි. සියල්ලෙන්ම කෝපයට පත්වූයේ, කුඩු අක්කලා හා නංගිලා පිරිසය. නව අධිකාරිවරයාට එරෙහිව ගතයුතු පියවර සාකච්ඡා කෙරිණි. වහලයට නැග උද්ඝෝෂණය කරන්නට තීරණය වූයේ ඒ සමගිනි.

ඉකුත් 13දා අලුයම සිරවාට්ටුවෙන් පිටතට ආ ඔවුහු කණ්ඩායම් සැදී ගස් දිගේ ගොස් එක්ස් වයි වාට්ටු ගොඩනැගිල්ලේ වහල මතට නැග ගත්හ. 40කට ආසන්න සංඛ්‍යාවක් ඊට එක්වීමද විශේෂත්වයකි. අපේ අම්මා අපට දියව් ඔවුහු කෑගැසූහ.
ඔවුන්ගේ එකම ඉල්ලීම එය වුවද ඊට පිටින් ආරෝපණය කර තිබුණේ තම මූලික අවශ්‍යතා ඉටුකරදෙන ලෙසය. නඩු කටයුතු ඉක්මන් කරන ලෙසය. කාන්තා අංශයේ සිටි දීර්ඝකාලීන සිරදඬුවම් ලැබූ කාන්තාවන් 200කට ආසන්න පිරිසක් වැලිකඩින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට යැවීම සිදු කෙරුණේ මේ අතරය. 600ක නේවාසික පිරිස 300ට බැස්සේ ඒ නිසාය.

හිස්වූ එක්ස් වයි සිරවාට්ටුවලට රිමාන්ඩ් සැකකාරියන් යෙදවීම ඉකුත් 11දා සිදුකෙරුණේද ඔවුන්ගේ දැඩි විරෝධතාවය මධ්‍යයේය.

එහිදී නෝනලා සහ සැකකාරියන් අතර ගැටුම්ද ඇතිවූ බවට වාර්තා පළවිය. මේ සියල්ල අතර උද්ඝෝෂණ විරෝධතා රුල්ලද වර්ධනය වූ අතර, කාන්තා අංශ ඉතිහාසයේ ප්‍රථමවරට &කුඩු අක්කලා* සමඟ නංගිලා විසි තිස් ගණනක් මාරැවෙන් මාරුවට වහල මතට නැගුණේ අසල තිබූ ගස් දිගේය. ඊට එරෙහි පිරිස් අතර ඇතිවූ ගැටුමකින් ඒ රාත්‍රියේම සිවුදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමටද සිදුවිය.

උද්ඝෝෂණය ඉකුත් 14 වැනිදා රාත්‍රී අවසන් කරනවිට පැය 40කට ආසන්න කාලයක් අඛණ්ඩව වහල මත නැගි ඔවුහු උද්ඝෝෂණයේ යෙදුණේ ඇමැතිවරියටද අභියෝග කරමිනි. කුඩු අක්කලා සමඟ කුඩු නංගිලා වරින්වර වහලය මතට නැගී එක් රැයක්ම පහන් කර තිබුණේ කුඩු මතින් බවටද කතා පැතිර යමින් තිබුණි. කුඩු මැඩම්ලා යට ඉඳන් ඊට සහාය පළකරමින් සිටියහ. වනාතෙන් කෑම පාර්සල් වැටෙන්නට ගත්තේද මේ අතරය.

වහලය උඩ නොව කොහේ නැග්ගත් බන්ධනාගාරයේ නීති විරෝධී වැඩ නවත්වනවා යැයි අධිකරණ ඇමැ තිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවේ මේ අතරය. අමාත්‍යංශ ලේකම්වරිය කීවේ &වහලයෙන් බැහැලා ආවොත් සාකච්ඡා කරන්නට සූදානම් බවය.

මේ අතර කාන්තා රුඳවියන් වහලය මතට නගින තෙක් එහි ජේලර්වරියන් කුමක් කළේද යන්න සම්බන්ධයෙන් අමාත්‍යංශය පරීක්ෂණයක්ද ආරම්භ කළේය. කාන්තා අංශයේ ඒ වනවිට ජේලර්වරියන් 6 දෙනෙකු රාජකාරියේ යොදවා සිටි බවද හෙළිවිය.
කුඩු රැජිනන් ඇතුළු විවිධ පාතාල කණ්ඩායම්වලට පවා සම්බන්ධ යකඩ ගැහැනුන්ගෙන් සමන්විත කාන්තා අංශය පාලනයට එදා යකෙකුටවත් බය නැති යකඩ නෝනලා සිටි බවද රහසක් නොවේ. එහෙත්, විවිධ චෝදනා මත ඉන් කීපදෙනෙකුම මාරුකර යැවුණු අතර, කීප දෙනෙක්ම වැඩ තහනමටද ලක්වූහ. කාන්තා අංශ ඉතිහාසයේ ඉඳහිට කාන්තාවන් විරෝධතා, උද්ඝෝෂණ දැක්වුවද, වහලයට නැග පැය ගණන් සිටි බවට වාර්තා වී නැතැයි නිලධාරීහු සඳහන් කළේ පාලනයේ පවතින දුර්වලතාවම ගෙනහැර දක්වමිනි.

කෙසේ වෙතත්, ඉකුත් 13 වැනිදා පෙරවරැවේ ආරම්භ වූ උද්ඝෝෂණයෙන් පසු 14 වැනිදා පස්වරැවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් අමාත්‍යංශයේ උපදෙස් මත කාන්තා අංශයට ගොස් විරෝධතාකරැවන් බිමට බැස්සවීම සඳහා උපක්‍රමයක් යෙදූහ.

ඒ අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන් තිදෙනෙකු බන්ධනාගාර මූලස්ථානයට කැඳවා සාකච්ඡාවකට අඩිතාලම දමමිනි. ඒ අනුව, විරෝධතාවයේ යෙදී සිටි 20 දෙනෙකු අතරින් 14 වැනිදා රාත්‍රී 7.00 පමණ වනවිට 5 දෙනකු බිමට බස්සවා වෑන් රථයක දමා බන්ධනාගාර මූලස්ථානය වෙත රැගෙන ගියේ එම උද්ඝෝෂණයද අවසන් කරමිනි. ඒ සමගම සියලුම කාන්තා රැඳවියන් වහලයෙන් බිමට බැස සිරකුටිවලට ගියහ.

සිය නඩු කටයුතු කඩිනම් කිරීම හා තමන්ට මුහුණපෑමට සිදුවී ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන්නැයි, මෙහිදී ඔවුන් 5 දෙනා අමාත්‍යංශ නිලධාරීන් හමුවේ ඉල්ලා සිටි අතර, ඒ පිළිබඳව අවධානය යොමුකරන බව නිලධාරීහු කණ්ඩායම නිල දැනුම්දීමෙන් පසු සියල්ල සමතයකට පත්විය.

ඒ සමඟම කාන්තා අංශයේ පරිපාලනය විශාල වෙනසකට ලක්කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුවෙනු ඇතැයි අමාත්‍යංශය කියයි. නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා 14 වැනිදා එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් බන්ධනාගාරය තුළ සිට සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් යම් පාලනයක් සඳහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කෙරෙන බවටද, දැනට සිදුවෙන කාන්තා රැඳවියන්ගේ උද්ඝෝෂණ ක්‍රියාවලිය එහි අතුරු ප්‍රතිඵලයක් බවද කියා සිටියේය.

මෙම කාන්තා රැඳවියන් වහලය මතට නැගී උද්ඝෝෂණයක නිරතවූයේ කුමන අරමුණක් සඳහාද යන්නත්, එය මෙහෙයවූයේ කවුරුන් විසින්ද යන්නත් ගැන දැන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 ජයන්ත සමරකෝන්