
පසුගියදා අමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්ත අධිකරණයක් දුන් නඩු තීන්දුවකින් ලෝකයම දෙදරුම් කෑ අතර මෙරට පරිසරවේදීහුද අමන්දානන්දයට පත් වූහ. එම නඩු තීන්දුව ලබාදුන්නේ ග්ලයිෆොසේට් අඩංගු වල්නාශක රසායනික පිළිකා හටගැනීමට හේතුවන බව පදනම් කරගනිමිනි. ලියුෆෝමා රෝගයට භාජනය වූ පුද්ගලයෙක් වූ ඩ්වේන් ජොන්සන් පාසලක තණතිල්ල සකස් කළ අයෙකි. ඔහු එම තණ වගාවලට නිතර ග්ලයිෆොසේට් භාවිත කර ඇත.
මාරාන්තික පිළිකා රෝගයට ගොදුරු වූ පසු ඩ්වේන් ග්ලයිෆොසේට් ලෝකය පුරා නිපදවන මොන්සෙන්ටෝ කෘෂිරසායන සමාගමට එරෙහිව නඩුවක් පැවැරුවේය. දීර්ඝ නඩු විභාගයකින් පසු තීන්දුව ප්‍රකාශයට පත්වන්නේ ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 289ක (රුපියල් කෝටි 4600 ක්) වන්දියක් ගෙවන ලෙස සමාගමට නියෝග කරමිනි. එම නඩුව විභාග කළ කැලිෆෝනියා ප්‍රාන්ත ජූරි සභාව ප්‍රකාශ කර ඇත්තේ සමාගමේ සමහර නිෂ්පාදනවල ග්ලයිෆොසේට් අනතුරුදායක මට්ටමක පවතින බව එම සමාගම දැන සිටියත් ඔවුන් ඒ අවදානම ගැන පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට අපොහොසත් වී ඇති බවයි. ග්ලයිෆොසේට් පිළිකා සඳහා හේතුවී ඇති බව පදනම් කරගනිමින් නඩු තීන්දුවක් දුන් ලොව පළමු අවස්ථාව එයයි. කෙසේ වුවත් සමාගම එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බව පවසයි.
ශ්‍රී ලංකාවේ අපට ද මෙම නඩුව වැදගත් වන්නේ මෙරට කෘෂිකාර්මික වකුගඩු රෝගයට මෙම රසායනිකය ඍජු සම්බන්ධයක් ඇති බව ප්‍රකාශවීම නිසාය. අමෙරිකාවේ ග්ලයිෆොසේට්වලට එරෙහිව නඩු තීන්දු ප්‍රකාශ වන විට අප රටේ එයට පනවා තිබූ තහනමද පසුගිය කාලයේ ඉවත් කෙරිණි.
ග්ලයිෆොසේට් විරෝධී සටනේ මුල සිටම සිටි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ඒ ගැන අප සමඟ පැවසුවේ මෙසේය.
“අපේ පර්යේෂණවලින් අපි කලින්ම කිව්වා ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශවල වකුගඩු රෝගයට මේ රසායනිකය හේතුවෙනවා කියලා. ඒකට තර්ක විතර්ක ගණනාවක් ආවා. අමෙරිකාවේ රෝගියා පෙළෙන ආකාරයේම රෝගවලින් පෙළෙන අයද යම් ප්‍රමාණයක් අපේ කෘෂිකාර්මික ප්‍රදේශවල ඉන්නවා. ඒ හා සමාන රෝගීන්ට අධිකරණමය ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් තමන්ව රෝගීවීමට ග්ලයිෆොසේට් හේතුවූ බව පදනම් කරගනිමින්. ලංකාවේත් ඒ බහුජාතික සමාගමේ ඍජු නියෝජිතයෙක් ඉන්නවා. ලංකාවට ග්ලයිෆොසේට් එව්වේ මෙහෙ නියෝජිතයන් හරහා.”
ඒ අනුව ලංකාවේ පිළිකා හා වකුගඩු රෝගයෙන් මියගිය එක් අයකු වෙනුවෙන් රුපියල් කෝටි දහය බැගින් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බව මහාචාර්ය චන්න පැවසුවේය.

“ලංකාවේ මේ වන විට ග්ලයිෆොසේට් හේතුකොටගෙන පුද්ගලයන් 25000 ක් පමණ මියගිහින්. මේ පිළිබඳව අපි දිගින් දිගටම පර් යේෂණ කරමින් වකුගඩු හා පිළිකා සඳහා මෙම රෝගය බලපාන බව ඔප්පු කළා.
අපි නීතිඥයන් සමඟ සාකච්ඡා කර තිබෙන්නේ. ඔවුන් පවසන්නේ මෙහි නීතිමය තර්කයක් පවතින බව හා නඩුව ජයග්‍රහණය කළ හැකි බවයි. අමෙරිකාවේදී ඉහළම මට්ටමේ නීතිඥ කණ්ඩායමක් පාවිච්චි කළත් සමාගමට නඩුව දිනාගැනීමට බැරිවුණේ ඊට එරෙහිව ප්‍රබල සාධක පවතින හින්දයි. ඒ සමාගම පිහිටි රටේම අධිකරණයකින් එහෙම තීන්දුවක් දුන්නා නම් මේ රටේ ඒක බැරිවේවි කියලා මම හිතන්නෙ නැහැ. අපි ප්‍රමාදයක් නොකරම මේ කටයුත්ත පටන්ගන්නයි යන්නේ. මුලින්ම පිළිකා රෝගීන් සම්බන්ධයෙන්. දෙවනුව වකුගඩු රෝගීන් සම්බන්ධයෙන්ද ඒ හා සමඟම ක්‍රියාමාර්ගයක් ගැනීමටයි, යන්නේ.”
මෙම අධිකරණය ක්‍රියාමාර්ග සඳහා ග්ලයිෆොසේට් හේතුවෙන් පිළිකා හා වකුගඩු රෝගයෙන් මියගිය පුද්ගලයන්ගේ දරුවන්ද ගොවි සංවිධානද දැනට රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින පිරිස්ද එකතු වී සිටිති.
පෙනෙන ආකාරයට ග්ලයිෆොසේට් පිළිකාවලට හේතුකාරක විය හැකි බවට පිළිකා පිළිබඳ පර්යේෂණ කරන ජාත්‍යන්තර ඒජන්සිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා ඒජන්සියද අනතුරු අඟවා තිබුණේ 2015 දීය. රට තුළින්ම මතුවන විරෝධතා නිසා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පහක් සඳහා (අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්කයේ කොටස්) මෙම කෘෂිරසායනිකය තහනම් කළේ 2014 දෙසැම්බර්වලදීය. වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමට ප්‍රථම ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වකුගඩු රෝගයට හේතුවන බවට හෙළිදරව් වූ කෘෂිරසායනික ගෙන්වීම හා බෙදාහැරීම වහාම තහනම් කරන බව සඳහන් කර තිබුණි. එම ප්‍රතිපත්ති ප්‍රකාශන මත පදනම් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2015 මැයි 27 දින කැබිනට් අනුමැතිය ලැබුණි. එම අනුමැතිය පදනම් කරගෙන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් 2015 ඔක්තෝබර් 23 දින සක්‍රීය ග්ලයිෆොසේට් රසායනිකය සඳහා ලබාදී තිබූ සියලුම පළිබෝධනාශක බලපත්‍ර අහෝසි කෙරිණි. ඊට ප්‍රථම 2015 ජූනි 11 දින ලංකාවට මෙම රසායනිකය අඩංගු වල්නාශක ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණි.
එහෙත් ආණ්ඩුවේ ඡන්ද පොරොන්දුවක් මෙන්ම ජනතාවගේ සෞඛ්‍යයද බිල්ලට දමා යළිත් ග්ලයිෆොසේට් කරළියට පැමිණියේ මෙම ඓතිහාසික නඩු තීන්දුව දීමට සති කිහිපයකට කලිනි. එය එක් අතකින් ලංකාවේ තුප්පහි දේශපාලනයේ නිරුවත මොනවට කියාපාන සිද්ධියකි. “ග්ලයිෆොසේට් තහනම ඉවත් කළ එක තමයි මේ ආණ්ඩුව ගත්ත අදූරදර්ශීම තීරණය. ලෝකයේ රටවල් ඒක තහනම් කරගෙන යද්දී තහනම් කර තිබූ තීරණයක් ආපහු හැරවීම අඥාන ගෝත්‍රික තීරණයක්. අප්‍රිකාවේ ගෝත්‍රික යැයි කියන රටවල්වල පවා මේක තහනම් කරගෙන යනවා. අධ්‍යාපනයක් නැති තමන්ගේ ඔඩොක්කුවට වැටෙන කීයක් හරි ගැන බලා ඉන්න කැබිනට් ඇමැතිවරු ඉන්න රටක ඕක පුදුමයක් නොවෙයි.” මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් අප සමඟ කීවේය.
1950 දී සොයාගත් ග්ලයිෆොසේට් දෙවැනි පරම්පරාවේ වල්නාශකයක් ලෙස සැලකේ. පළල් පත්‍ර ශාක සහ තෘණ කුලයේ ශාක යන සියලු වල්පැළෑටි නැසීමට එය යොදාගැනේ. අප රටේ වී වගාවට මෙන්ම තේ හා රබර් ඉඩම්වල යටිවගාවේ වැවෙන වල්පැළ මර්දනයටද ග්ලයිෆොසේට් පාවිච්චියට වගාකරුවෝ ඇබ්බැහි වී සිටිති. මේ වන විට ග්ලයිෆොසේට් භාවිතය නිසා ලෝකයම දොඩවන්නට පටන්ගෙන ඇත. එය මුලින්ම වාර්තා වූයේ ශ්‍රී ලංකාවත් ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලිනි. අමෙරිකාවේ කෘෂිකාර්මික කටයුතුවලට භාවිත කරමින් තිබූ ග්ලයිෆොසේට් ගෙවතුවලට යොදාගැනීමට පෙළඹවීමේ ප්‍රචාරණ වැඩසටහනක් දියත් කෙරිණි. ඒ අනුව 2007 වන විට එරට බහුලවම භාවිත කරන වල්නාශකය වූයේ ග්ලයිෆොසේට්ය. මේ නිසා අමෙරිකාවේ මෙම රසායනිකය නිසා පිළිකා ඇතුළු රෝගවලට ගොදුරු වී බොහෝ දෙනෙක් මියගියහ. ඔවුන්ගේ ඥාතීන් මොන්සෙන්ටෝ සමාගමට එරෙහිව නඩු පවරා ඇත්තේ ව්‍යාජ වෙළෙඳ දැන්වීම් පළකර ජනතාව මුලාකළ බව කියමිනි. මේ වන විට අමෙරිකාවේ අධිකරණවල මොන්සෙන්ටෝ සමාගමට එරෙහි නඩු 1000කට වැඩි ප්‍රමාණයක් විභාගවෙමින් තිබේ.
අප රටේ ක්‍රියාත්මක වූ ග්ලයිෆොසේට් තහනම වසර තුනකින් පසු ඉවත් කරගැනීමට තිරයේ පිටුපස චරිත කිහිපයක් වෙහෙස වූහ. ආචාර්ය, මහාචාර්යවරු, කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් ඒ අතර සිටින බව ආරංචිය.
►කුසුම්සිරි විජයවර්ධන