2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

අගමැතිත් කතා කළ මාලගමුවගේ මරණ තර්ජන සුලමුල

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 256

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට කැලණිය ප්‍රදේශයේදී ප්‍රසිද්ධ දේශපාලනඥයකුගෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි යන්න පසුගිය දිනවල පැතිරුණු කතාවකි. තොරතුර වාර්තා වීමත් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ උපදෙසින් මාලගමුව මහතාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

ජාත්‍යන්තර තරග ජයගනිමින් ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූරයෙක් වශයෙන් රටට කීර්තිය අත්කර දෙන ඩිලන්ත මාලගමුවට දකුණේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු මාර්ගයෙන් මරණ තර්ජන එල්ල කර ඇති බවත් ඒ පසුපස කැලණිය ප්‍රදේශයෙන් දේශපාලනයට පිවිස බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයකු සිටින බවටත් සඳහන් කළ ලිපියක් ඩිලන්ත මාලගමුව මහතා විසින් පොලිස් මූලස්ථානයේ පොලිස්පති සහන මැදිරිය වෙත යොමුකර තිබුණි. එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ කැලණිය එ.ජා.ප සංවිධායක බෙවන් පෙරේරා නැමැති ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ වුවමනාවට පාතාල සාමාජිකයා ලවා තමාට මරණීය තර්ජනය සිදු කළ බවය.

ඩිලන්ත මාලගමුව මහතා විසින් අදාළ ලිපිය පොලිස්පති සහන මැදිරියට යොමුකර තිබුණේ පසුගිය ජූලි 4 වැනිදාය. ලිපියට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා වහාම පසුදිනයේ එනම් 5 දා සිදුවීම පිළිබඳ විමර්ශනය බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කරනු ලැබීය. මෙම පරීක්ෂණ කටයුතු බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ පෑලියගොඩ පොලීසියේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරනු ලබන්නේ අදාළ තර්ජන සිදුවීමට අදාළ කටයුතු කැලණිය ප්‍රදේශයේදී සිදුවීමත් ඊට සබඳතා දක්වන අය එම ප්‍රදේශයේ බවට අනාවරණය වීමත් නිසාය.

සිද්ධිය පිළිබඳ ඉක්මන් වාර්තාවක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මඟින් පොලිස්පතිවරයා වෙත යොමු කෙරුණු අතර, එහිදී පැමිණිලි පාර්ශවයේ ඩිලන්ත මාලගමුව මහතාගෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය ද දක්වනු ලැබ තිබිණ.

ඒ අනුව ඩිලන්ත මාලගමුව මහතා පදිංචිව සිටින බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසට පොලිස් නිවේදන කීපයක් යොමු කළද ඊට ප්‍රතිචාරයක් නොවීය. පසුව දුරකථනයට ඇමතුමක් ලබාගන්නට කළ උත්සාහය වැළකී තිබුණේ එය ක්‍රියා විරහිත කර තැබීම නිසාය. අනතුරුව පොලිස් නිලධාරීන් අදාළ නිවෙස වෙත ගොස් සොයා බැලීමේදී නිවස ඉබි යතුරු දමා කිසිවෙක් එහි නොමැති බව හෙළි කරගෙන තිබුණි. වැඩිදුරටත් අනාවරණය වී තිබුණේ ඩිලන්ත මාලගමුව මහතා ඒවනවිට විදේශගතව සිටින බවය.

මේ ආකාරයට ක්‍රියාත්මක වූ පොලීසිය පරීක්ෂණ කටයුතු බස්නාහිර පළාත උතුර බාර ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරීවරයාට යොමු කරන ලදුව ඔහුගේ මැදිහත්වීම හා දැනුම්දීම මත මාසයකට පමණ පසුව ඩිලන්ත මාලගමුව මහතා මෙරටට පැමිණ සිටියේය. ඒ අනුව මාලගමුව මහතා තමාට පවතින මරණ තර්ජනය පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා පෑලියගොඩ පොලිස්ථානය වෙත ගොස් තිබුණේ පසුගිය 15 වැනි බදාදා පෙරවරැවේය. එහිදී සිද්ධියට අදාළ කරුණු රැසක් අනාවරණය කරන්නට ඒ මහතා කටයුතු කර තිබේ.

ජාත්‍යන්තර මෝටර් රථ ධාවකයකු වශයෙන් ප්‍රකට ඩිලන්ත මාලගමුව මහතා මීට වසර 15කට පමණ ඉහතදී 2003 වර්ෂයේදී නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි අක්කර 965ක තේ වත්තක් බදු පදනම මත ලබාගෙන ඇත. අනතුරුව වසර ගණනාවක් පුරා එය තමා යටතේ පවත්වාගෙන යමින් සිටියදී 2016 වර්ෂයේදී කැලණිය ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයකු වන බෙවන් පෙරේරා නැමැත්තා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකව සිටියදී රාජ්‍ය බලය යොදා ගනිමින් එම ඉඩමේ බදු ඔප්පුව අවලංගු කිරීමටත් එමඟින් අයිතිය ඔහු වෙත පවරාගන්නටත් කටයුතු කර තිබුණි. ඒ එම ඉඩම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත්ව තිබියදීය. මේ සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව මහතා එවකට පොලීසියේ පැමිණිල්ලක් සටහන් තබා තිබුණේ සිදුවන අසාධාරණයට එරෙහිව සහ ආරක්ෂාව වෙනුවෙන්ය.

පසුගිය 15 වැනිදා පොලීසියට ලබාදුන් ප්‍රකාශය අනුව හෙළිවී ඇත්තේ මාලගමුව මහතාට මරණ තර්ජනය එල්ල කර ඇත්තේ දකුණේ පාතාලයේ ක්‍රියාකාරිකයෙක් වන කොස්ගොඩ  තාරක නැමැත්තා බවය.

කොස්ගොඩ තාරක මීට මාස කීපයකට ඉහතදී මාතර නගරයේ සිදු කළ රන් බඩු අලෙවිසල කොල්ලයට සම්බන්ධව සිටියදී අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ පසුවන්නෙකි. ඔහුට මෙකී කොන්ත්‍රාත්තුව පෙර කී බෙවන් පෙරේරා විසින් ලබා දී ඇති බවද හෙළි වී තිබේ. කොස්ගොඩ තාරක අත්අඩංගුවට පත්වන විටදී ඔහු සන්තකයේ තිබූ (මිනි උෂී) වර්ගයේ ගිනි අවිය බෙවන් පෙරේරා විසින් ලබාදී තිබූ බවට ද හෙළි වී ඇත. කොස්ගොඩ තාරක ඇතුළු පාතාල සාමාජිකයන් ලවා ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ ප්‍රධාන හේතුව පෙර සඳහන් කළ නාවලපිටිය තේ වත්ත සම්බන්ධයෙන් ඇතිව තිබූ විරසකයයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් විමසීමේදී ඩිලන්ත මාලගමුව මහතා පවසා සිටියේ අදාළ කාරණය පිළිබඳව තමාගෙන් පොලීසිය දීර්ඝ ලෙස සාකච්ඡා කර කරුණු සටහන් කරගත් බවය. එහිදී තමුන් දන්නා සියලු තොරතුරු පොලීසියට ඉදිරිපත් කළ බවත් පොලීසිය ඒ පිළිබඳව විමර්ශනය සිදු කරන බව දැන්වූ බවත් පැවසීය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සිය ජීවිතයට එල්ල වී ඇති මරණ තර්ජනය පිළිබඳව ජනාධිපතිවරයා හමුවී කරුණු දැන්වීමට ද අපේක්ෂාවෙන් සිටින බවය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය කීර්තිමත් මෝටර් රථ ධාවකයෙක් වශයෙන් නමක් දිනා සිටින ඩිලන්ත මාලගමුව එරෙහි මරණ තර්ජනය පිළිබඳව පොලීසිය පියවර ගනිමින් සිටින අතර ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් බුද්ධි අංශ යොදා ඇති බවද වාර්තා වේ.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර