2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

1. කැබිනට් එකට නොදන්වා ජනාධිපතිවරයා යම් යම් තීන්දු තීරණ ගන්නවා. දුම්රිය වර්ජනය විසඳීමට පොරොන්දු දීම, සිංගප්පූරු ගිවිසුමට කොමිසමක් දැමීම මේ වගේ දේවල්වලින්  කිහිපයක්. මේ විදියට කොහොමද ආණ්ඩුව ඉදිරියට යන්නෙ?

2. විපක්ෂ නායක ධූරය ඒකාබද්ධයට ලබාගන්න ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වෙන්න හදනවා. ශ්‍රීලනිප මහ ලේකම්වරයා කියනවා පුළුවන්නම් කරලා පෙන්වන්න කියලා. මේ ගැන මොකද කියන්නෙ?

3. පළාත් සභා ඡන්ද පැවැත්වීම සම්බන්ධව ප්‍රධාන පක්ෂ අතර දැඩි මතගැටුමක් ඇතිවෙලා තියෙනවා. මෙහෙම මතගැටුමක් ඇතිකිරීම ඡන්දය කල්දැමීමට ආණ්ඩුව ගහන ගැටයක්ද?

4. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සමාලෝචනය කිරීම සඳහා රාජ්‍ය සේවා වැටුප් කොමිසමක් පත් කරන බව ආණ්ඩුව කියනවා. මේකෙන් වැඩක් වෙයිද?

රටේ වගේම ආණ්ඩුව ඇතුළෙත් අද නිදහස උපරිමයි
එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

1. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා තමයි විධායකය. එනිසා එතුමාට විධායක බලතල තියෙනවා. එහිදී ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයෙත් ප්‍රධානියා. නමුත් මේ යහපාලන ආණ්ඩුව ස්ථාපිත කළාට පස්සෙ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය එදාට වඩා අද වැඩිවෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ රටේ හැමදේකටම පිළිතුරු ලබාදීලා තියෙන්නෙ. ජනාධිපතිවරයා සමහර අවස්ථාවලදී ජනතාවගේ පැත්තෙ ඉඳන් මේ වගේ තීන්දු ගන්නවා. මේ ආණ්ඩුවේ වෙන කිසි ප්‍රශ්නයක් නැහැ.

2. අපි කියන්නෙත් එච්චරයි. පුළුවන් තරම් ස්වාධීන වෙන්න. මේ අය ශ්‍රීලනිප වේදිකාවේ ඉඳලා ඡන්දය ඉල්ලලා දැන් ඒ අයට පේනවා රැල්ල යන්න හදන්නෙ වෙනත් පැත්තකට. ඒ නිසා ඒ අය එක එක පක්ෂ හැදුවොත් පාර්ලිමේන්තුව විහිලුවක් බවට පත්වෙනවා. ඒ නිසා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඡන්ද ඉල්ලපු පක්ෂයකට විපක්ෂ නායකකම දෙනවා ඇරෙන්න වෙනත් පක්ෂයකින් ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව තුළ වෙන පක්ෂ හදලා තනතුරු ඉල්ලීම සාදාචාරාත්මක නැහැ.

3. නැහැ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට පැහැදිලිව කියන්නෙ මොනයම් හෝ ආකාරයට හරි මේ මැතිවරණය කියන්නට අවශ්‍යයයි කියලා. මොන ක්‍රමයට වුණත් අපි මැතිවරණය පැවැත්විය යුතුයි. ආණ්ඩුවක් හැටියට ඒක අපේ වගකීමක්. ජනතාවගේ අයිතියක්. ඒ නිසා අග්‍රාමාත්‍යතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයට මේ පිළිබඳව සාකච්ඡා කරන්න කියලා. මුළු රටේම ඡන්දය තියෙනවා නම් ජනවාරි මාසයෙත් නැත්නම් දෙසැම්බර්වලත් පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.

4. අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයන් ඉන්නවා මිලියන 1.2ට වැඩි සංඛ්‍යාවක්. ඔවුන්ගේ වැටුප් වර්ධක හා ඔවුන්ට ලැබෙන අනිකුත් ප්‍රතිපාදන එක්ක කල්පනා කරලා බලද්දි ඔවුන්ට වැටුප ලැබිය යුතු ආකාරය පිළිබඳ මේ වගේ දෙයක් කළ යුතුයි. නැත්නම් වෙන්නෙ මේ රටේ රාජ්‍ය සේවකයෝ තමන්ට හිතුණ හිතුණ වෙලාවට වර්ජනය කරන එකයි. මේ ආණ්ඩුව තමයි හැම රාජ්‍ය සේවකයකුටම ලොකුම දේ කළේ. රුපියල් දස දහසකින් පඩි වැඩිකරන එක.

දැන් අපි ඉන්නේ රාජ්‍ය බලය ලබාගන්නා සටනේ
ඒකාබද්ධ විපක්ෂය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි

1. මේ ආණ්ඩුව ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් මත හදාගත් ආණ්ඩුවක් නෙවෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක තරහවුණු දේශපාලකයන් රාජ්‍ය නොවන සංවිධාන එකතුවෙලා හදාගත් ආණ්ඩුවක්. ඒ නිසා ඔවුන්ට කිසි දැක්මක් ප්‍රතිපත්තියක් නෑ. ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමැති මණ්ඩලය, මන්ත්‍රීවරු අතර කිසිදු සම්බන්ධතාවයක් නෑ. පරස්පරතා විතරයි තියෙන්නෙ.

2. මේ වෙනකොට මේ ආණ්ඩුවට එරෙහිව විශාල ජනමතයක් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා මේ රටේ පොදු මහජනතාවගේ විපක්ෂය ඒකාබද්ධ විපක්ෂය කියලා රටේ ජනතාව දැන් පිළිගෙන ඉවරයි. ඒ වගේම මේ විපක්ෂ නායකකම අපි ඉල්ලන්නෙ රටේ තනි පුද්ගලයකුගේ අවශ්‍යතාවය හිතලා නෙවෙයි. මේ රටේ යහපත උදෙසා සහ එය අපේ අයිතියක් නිසා. ඒ නිසා මේ විපක්ෂ නායකකම ලබාගන්නට වඩා මේ රටේ රාජ්‍ය බලය ලබාගන්න සටන තමයි දැන් අපි අලුතින් ආරම්භ කරලා තියෙන්නෙ.

3. මේ ඡන්දය කල්දැමීම සඳහා කරන දෙයක් බව බොහොම පැහැදිලියි. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදීලා තියෙද්දි විශේෂයෙන්ම මීට පෙරත් චන්ද්‍රිකා ආණ්ඩුව යටතෙත් ඡන්ද කල්දාද්දි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා පළාත් සභා ඡන්ද කල්දාන්න බැහැ කියලා. නමුත් එහෙම තත්ත්වයක් තුළ මේ ආණ්ඩුව කරන්නෙත් ඒක. ඇත්තටම මේ ආණ්ඩුව මැතිවරණවලට බයයි. මේ ආණ්ඩුව ජනතාවගෙන් වඩාත් ප්‍රතික්ෂේප වෙනවා මේ නිසා.

4. ආණ්ඩුව රටේ ආර්ථිකයට දරන්න බැරි බොරු පොරොන්දු දීලා තමයි බලයට පත්වුණේ. විශේෂයෙන්ම පහුගිය ජනාධිපතිවරණයේදි මොවුන් රජයේ සේවකයන්ට රැපියල් දස දහසකින් පඩි වැඩිකරනවා කියලා පොරොන්දුවක් ලබාදුන්නා. එහෙම කළේ ඔවුන්ට මේ ඡන්දය ලබාගන්න ඕන නිසා. ඒ පොරොන්දු නිසා පඹගාලේ මේ වන විට මොවුන් පැටලී තියෙනවා. ඉතින් මේ ආණ්ඩුවට සිද්ධවෙලා තියෙන්නෙ දැන් ඉදිරි කාලයේදි වැඩවර්ජන රැල්ලකට මුහුණදීම පමණයි.

ඇතුළේ ගැටුමෙන් ආණ්ඩුව පුපුරලා
ජනතා විමුක්ති පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස 

1. දැන් තවමත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා. සෑම අඟහරුවාදාකම උදෑසන කැබිනට් මණ්ඩලය රැස්වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය රුස්කරලා කැඳවලා සාකච්ඡා කරලා ඇයි පොදු තීන්දු ගන්න බැරි කියන ප්‍රශ්නය අපිටත් තියෙනවා. ජනාධිපතිතුමා බොහෝ වෙලාවට හැසිරෙන්නේ මේ රටේ අමාත්‍ය මණ්ඩලය නියෝජනය නොකරන කෙනෙක් විදියට. ආණ්ඩුව ඇතුළෙ අර්බුද තියෙනවා. අපි ඒක දන්නවා. නමුත් මෙයින් පෙන්නුම් කරන්නෙ රටේ බරපතළ අස්ථාවරභාවයක් තියෙනවා කියන එක.

2. ඒ අයට පුළුවන් ස්වාධීන මන්ත්‍රීවරු බවට පත්වෙන්න. හැබැයි ස්වාධීන මන්ත්‍රීවරු 70 ක් ස්වාධීන කණ්ඩායමක් හැටියට ඉල්ලා සිටියත් ඔවුන්ට විපක්ෂ නායකකම ලැබෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂ නායකකම හම්බවෙන්නෙ විපක්ෂයේ ඉන්න වැඩිම ආසන ගණනක් තියෙන නායකයාට. මන්ත්‍රීවරු ස්වාධීන වුණා කියලා විපක්ෂ නායකකම ගන්න බැහැ. එහෙම නම් ඉතින් දැන් ඒක කරන්න බැහැ. ඒ වගේ විහිලුකාරී සම්ප්‍රදායක් ලෝකයට හඳුන්වලා දෙන්න පාර්ලිමේන්තුව සූදානම් නැහැ කියලා අපි හිතනවා. ඔවුන්ට විපක්ෂ නායකකම ඕන නම් කරන්න තියෙන්නෙ එකම එක දෙයයි. ආණ්ඩුවේ ඉන්න සන්ධානයේ ඇමැතිවරු 26 දෙනා ඇමැතිකම් දාලා ඇවිල්ලා විපක්ෂයේ වාඩිවෙන එක විතරයි.

3. එක පැත්තකින් ආණ්ඩුවට වුවමනාවක් තියෙනවා විශේෂයෙන්ම ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයට වුවමනාවක් තියෙනවා ඡන්ද කල් දාගන්න. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව වගේ සුළු පක්ෂ හැසිරෙන්නෙ සම්පූර්ණ ජනමතය අමතක කරලා. ජනතාව පහුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නෙ මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. මේ පැරැණි මැතිවරණ ක්‍රමයේ ගැටලු තියෙනවා. නමුත් ඒවා විසඳගන්න පුළුවන්. දැන් සීමානිර්ණය කටයුතු කරලා තියෙන්නෙ. පළාත් සභා ඡන්දය පැවැත්වීමට කටයුතු කරන්න පුළුවන්. මේ තිබෙන්නෙ ජනතාවගේ මතය නොසලකා තමන්ගෙ බලකාමය වෙනුවෙන් හැසිරෙන පක්ෂවල නිරුවත්භාවය.

4. රාජ්‍ය සේවයේ බරපතළ වැටුප් විෂමතාවයක් තියෙනවා. කිසිම ක්ෂේත්‍රයක වැටුප් පරතරය ඒ ශ්‍රේණිවල තත්ත්වය පවත්වාගෙන යාමට තිබිය යුතු නැහැ. ජනතාවට ජීවත්වීම සඳහා අවශ්‍ය අවම වැටුපක් තියෙනවා. සියලු දෙනාටම ඒ වැටුප හිමිවිය යුතුයි. එතැනින් එහාට තමයි වැටුප් වැඩිවීම් ලබාදිය යුතු වන්නේ. ඉතින් වැටුප් කොමිසමේ ගන්න තීන්දු පිළිබඳ දැන් ප්‍රශ්න පැනනැගිලා තියෙනවා. අලුතින් මෙම සමාලෝචනය කරනවා නම් හොඳයි. ඒ සඳහා කාලයක් ගතවෙනවා. අපට පෙනෙන්නෙ ආණ්ඩුව මේ වැටුප් ප්‍රශ්නයට උත්තරයක් දෙනවා වෙනුවට කල්මරන්න තමයි මේ කොමිසමක් දාන්න හදන්නෙ.

කිසිම සැලසුමක් නැතිකමින් ආණ්ඩුව එරිලා
කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර

1. ජනාධිපතිතුමාට තියෙන විධායක බලතල අනුව එහෙම යම් යම් තීරණ ගැනීමේ හැකියාවක් එතුමාට තියෙනවා. සමහර තීරණ කැබිනට් මණ්ඩලයට දාලා අනුමත කරගන්න පුළුවන්. නමුත් මට පෙනෙන හැටියට මෙතැන තියෙන ප්‍රශ්නෙ තමයි ආණ්ඩුවේ ඇතුළෙ ප්‍රතිපත්තිමය ගැටලුවක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන කාරණාව. මේ සියල්ල ගලා එන්නෙ එතැනින්. මොකද යහපාලන ආණ්ඩුව කියලා යම් මැතිවරණ ප්‍රකාශයක් සකස් කළාට ආර්ථික ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්තිවල සැලසුමක් හැදුවේ නෑ. ඒක තමයි මේකට මූලික හේතුව වන්නෙ.

2. එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ක අපි ගිවිසුමක් අත්සන් කරලා ඉලෙක්ෂන් කොමිෂනර් ගාව රෙජිස්ටර් කරලා තියෙනවා. තරග කරන්න කලින් ඒ නිසා අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න බැහැ. අපේ මන්ත්‍රීවරුන්ට පුළුවන් ස්වාධීනව කටයුතු කරන්න. අනිත් අයට ස්වාධීනව කටයුතු කරනකොට පක්ෂයේ විනයානුකූල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වෙලාවේ පුළුවන් ඒ අයව පක්ෂයෙන් අයින් කරන්න. එහෙම එකක් තියෙනවා. නමුත් තියෙන්නෙ මේ දේශපාලන ප්‍රතිපත්තිමය කරණාවක් උඩ මන්ත්‍රීවරුන්ට ඒවා නොතකා තීරණය කරන්න පුළුවන්.

3. මට නම් පෙනෙන්නෙ මේ දෙපැත්තෙන්ම හැංගිමුත්තන් කරනවා වගේ. දැන් බලන්න දැන් හැමෝම කියනවා ආයෙත් පරණ ක්‍රමයට යන්න ඕන කියලා. අඩුපාඩු තියෙනවා නම් ඒවාට සංශෝධන ගෙනෙන්න ඕන. ඒක තමයි මේ ගැටලුවට මුල්වෙලා තියෙන හේතුව. කොයි ආකාරයටවත් ඡන්දය කල්දාන එකට මමත් විරුද්ධයි.

4. නැහැ. ඒක වැටුප් කොමිෂන් සභාවක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම වැටුප් කොමිෂන් සභාවක් කොහොමද මාස දෙකෙන් රිපෝට් එකක් දෙන්නෙ. මේක විෂමතාවක් තියෙනවා. ඒකට තමයි මේක පත් කරන්න ඇත්තෙ. මොකද වැටුප් කොමිෂන් සභාවෙන් ඒවා කරන්න ගොඩක් කල් යනවා. අවුරුදු දෙකක්වත් අඩු තරමින්.

ස්වාධීන වෙලා විපක්ෂ නායකකම ඉල්ලීම විහිළුවක්
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්

1. කැබිනට් මණ්ඩලයේ මොන මොන දේවල් සිදුවුණත් ඒ සෑම දෙයක්ම කරන්නෙ මේ රටේ යහපත වෙනුවෙන්. ජනාධිපතිවරයාට යම් යම් තීන්දු තීරණ ගැනීමේ බලයකුත් තියෙනවා. මොකද එතුමා රටේ විධායක ජනාධිපති නිසා. ඒ වුණාට එතුමා සාමූහිකව කතා කරලා තමයි වැඩ කරන්නෙ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ.

2. පාර්ලිමේන්තුව තුළ දැනට විපක්ෂය තමයි දෙමළ ජාතික සන්ධානය. ස්වාධීන වෙලා ඒ අයට කවදාවත් විපක්ෂ නායකකම ලබාගන්න බැහැ. ඒක විහිළුවක්.

3. මේ ඡන්දය කල් තියන එකට අපිත් විරුද්ධයි. අපිටත් ඕන මැතිවරණය ඉක්මනට පවත්වන්න. කොහොම වුණත් මේ මැතිවරණය පැවැත්වීමට තිබෙන සියලු දේ කරන්න පුළුවන් ක්‍රියාමාර්ග ආණ්ඩුව විසින් ගනියි. අනිවාර්යයෙන්ම ඡන්දය ඉක්මනට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

4. රාජ්‍ය සේවකයන් කරන සේවයට යම් වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. ඒක නිසා තමයි මේ රටේ වර්ජන රැල්ලක් ආරම්භවෙලා තියෙන්නෙ. මේක ඉවරවුණු ගමන් නැවත ඒ රාජ්‍ය සේවකයන් උද්ඝෝෂණය, වර්ජනය කරන එකක් නැහැ. රජය බලයට පත්වෙද්දී කියපු දේවල් ඉෂ්ඨ කරනවා.

 

ඡන්දෙ කල්දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්
එක්සත් සාම සන්ධානයේ මහ ලේකම් හසන් අලී

1. ආණ්ඩුව කියන්නෙ මේක යහපාලන ආණ්ඩුවක්. විවිධ පක්ෂවල එකතුවක් තමයි මේ කැබිනට් එකෙත් තියෙන්නෙ. ඒ නිසා ඒ ඒ අවස්ථාවල වෙන දේවල් ලොකුවට පෙනුණට එහෙම අර්බුදයක් නැහැ. මේ ආණ්ඩුව ඉදිරියට යයි.

2. මේ පිළිබඳ තීන්දුවක් ගන්න ඕන පාර්ලිමේන්තුවෙන්. කතානායකවරයාත් ඒ ගැන දැනුම්දීමක් කරලා තියෙනවා. මේ ගැන වැඩි විස්තරයක් දන්නෙ නැහැ.

3. ඡන්ද කල්දාන එක හොඳ නෑ. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්. ජනතාවගේ පරම අයිතියක් තමයි ඡන්දය කියන්නෙ. මේ හැමෝම කලින් කිව්වේ පැරැණි ක්‍රමයට ඡන්දය තියමු කියලා. නමුත් ඒ අය දැන් කියන්නෙ අලුත් ක්‍රමයට ඡන්දය තියමු කියලා. මේක එකපාරට කරන්න බැහැ. ඒකට අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග තියෙනවා. ඒ සියලු දේ කරගෙන ඉවරවුණාම තමයි ඡන්දය අලුත් ක්‍රමයට තියන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා තමයි මැතිවරණය මේ විදියට කල් යන්නෙ. එහෙම නැතුව වෙන ප්‍රශ්නයක් නැතුව ඇති.

4. ඒක ඉතින් අපිට කියන්න බැහැ. ඒ වුණාට ඒක හොඳයි කියලා හිතනවා. එතකොට තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳෙයි. රාජ්‍ය සේවයේ ඉන්න අයටත් ඒක හොඳයිනෙ.

►හසිත් අංජන