2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට දෙන ලක්ෂ දෙකේ ෂේප් දීමනාව

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්තී‍්‍ර ධූර ලැබූ වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන් පනස් පස් දෙනකුට මාසයකට රුපියල් ලක්ෂ දෙක බැගින් ප‍්‍රවාහන දීමනාවක් ගෙවන බව නොබෝදා අනාවරණය විය. එයට වහා පිළිතුරැ දී ඇති අතර එය පනස් පස් දෙනකුට වඩා අඩු අතර අලුතින් දිවුරුම් දුන් රාජ්‍ය ඇමැතිවරැන් හට එය නොගෙවන බව අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනය කළේය. ගණන එකක් දෙකක් වෙනස් විය හැකිය. නිසි ප‍්‍රතිපත්තියකින් තොරව මහජන මුදල් වැයකර මන්ත‍්‍රීවරැ නඩත්තු කිරීම ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමක්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට එයින් ලැබෙන යහපත කුමක්ද?

ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ උසස් මහත්වරු අතර නීති රීතිවලට එපිටින් අනුගමන කළ ප‍්‍රතිපත්ති තිබුණි. ඒවා උසස් ගුණාංග වශයෙන් ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වූ බව නිසැකය. මහජනතාවගේ මුදල් පෞද්ගලික සැප විහරණයට භාවිත කරන්නට කිසිසේත් කැමැති නොවූ විශිෂ්ට පාලකයෝ මෙරට විසූහ. අද එය සම්පූර්ණයෙන්ම ආපසු හැරවී තිබේ. ධනය ඉපැයීම එකම අරමුණ කරගෙන ඇත. පොදු ජනතාවට ඉසිලිය නොහැකි තරමට බදු පනවන ආණ්ඩුව ඒවායෙන් මැති ඇමැතිවරු නඩත්තු කරන්නට පෙළැඹී සිටී. රට බරපතළ ණය අර්බුදයක ගිලී සිටින අතර එයින් මිදෙන තෙක් රටට සහ ජනතාවට සහනයක් දිය නොහැකි බව පුන පුනා ප‍්‍රකාශ කරන පාලකයෝ තමන්ගේ පැත්තට යහමින් බෙදාගැනීම බරපතළ ලජ්ජා සහගත කි‍්‍රයාවකි. 

ජනාධිපති, අගමැති, කතානායක හා මැති ඇමැතිවරු වෙනුවෙන් වැටුප් තල නියම කර තිබේ. ගෙවන අතිරේක දීමනා නිශ්චිතව සඳහන් කර ඇත. අනවශ්‍ය මැදිහත්වීම් හෙයින් මහා භාණ්ඩාගාරයේ ඇස්තමේන්තුවලට සිදුවන හානිය වළක්වාගැනීම එහි අරමුණය. අනෙක සමාජ ස්ථායීභාවයයි. නිශ්චිත සේවාවලට හිමි වේතනයක් තිබේ. හදිසියේ එය වෙනස් කිරීමේ දී රට තුළ පවතින අධිකාරී බලය අභියෝගයට ලක්වෙයි. මන්ත‍්‍රීවරු රුපියල් ලක්ෂ හතරක වැටුප් ලබන අතරවාරයේ ජනාධිපති වශයෙන් තමන්ට ලැබෙන වැටුප රුපියල් අනූහත් දහසක් පමණක් බව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන්ට හෝ සෙසු සාමාන්‍ය සේවකයන්ට මන්ත්‍රීවරැ මෙකී අනිසි ආදායම් උපයාගැනීමේ අභිලාශය යටපත් කරනු නොහැකි වන විට විශාල වෛරයක් ඇතිවෙයි. එය ඉතාමත් භයානක තත්ත්වයකි.

2016 ජූනි 21 වැනි දින කැබිනට් මණ්ඩලයට ගෙන එන යෝජනාව අනුමත කිරීමෙන් පසු අධීක්ෂණ මන්තී‍්‍රවරුන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවීම ආරම්භ කර තිබේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන ලද අතර එය මෙරට පොදු ජනතාව තුළ සෑහෙන බලාපොරොත්තු ඇතිකරන ලද අවස්ථාවකි. නිදහස ලැබීමෙන් පසු පැවැති ආණ්ඩුවල ක‍්‍රියාකාරීත්වය, පාර්ලිමේන්තුවේ පැවැත්ම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග වේගයෙන් පිරිහෙමින් තිබුණු වකවානුවක ප‍්‍රධාන බලවේග දෙක එකතුවීමෙන් යම් සාධනීය වෙනසක් අපේක්ෂා කළේය. රට තුළ දැවෙන ප‍්‍රශ්න ගණනාවකට පොදු විසඳුම් ලබා දී ජන ජීවිතය සාක්ෂාත් කරනු ඇතැයි ජනතාව සිතා සිටියේය. නමුත් ආර්ථික සහ සමාජ වැඩපිළිවෙළ අකර්මණ්‍ය වී තිබේ. ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇත. ජනතාව පැවැති ජීවන තත්ත්වයෙන් පහළට වැටී තිබේ. 2017 වසරේ ආර්ථික සංවර්ධනය සියයට 3.1කට සීමාවීම එය මැනවින් පෙන්වන අවස්ථාවකි. වසර දහසයකට පසු අවම සංවර්ධන වේගයයි. 2018 වසරේ දී සංවර්ධන වේගය සියයට හතරක් විය හැකි බව ශ‍්‍රී ලංකා මහ බැංකුව දැනට ප‍්‍රකාශ කර තිබේ. ආණ්ඩුවේ සැලසුම් ගැන අනෙක් විග‍්‍රහ අවශ්‍ය නැත.

අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට වැඩිපුර ගෙවීම, මැති ඇමැතිවරුන්ට විශාල වරප‍්‍රසාද පැනවීම, වේගයෙන් සංවර්ධන තීරණ ගැනීමට ඉවහල් වන බව ආණ්ඩුවේ ප‍්‍රධානීන් පෙන්වා දී තිබේ. වැඩිපුර සේවය කර රට ගොඩනැගීම ඉක්මන් කිරීම අරමුණු කරගෙන තව තවත් දීමනා අවශ්‍ය බව එහි අදහස විය හැකිය. නමුත් මෙම දීමනා හා වැටුප් ලබන මැති ඇමැතිවරැ රටට කරන්නේ මොනවාද? ජනතාවට කරන සේවය කුමක්ද? මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට පැමිණීමේ දී ගෙවන දීමනාව රුපියල් පන්සියයක සිට දෙදහස් පන්සියය දක්වා වැඩිකිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තුවට එන එහි පොත අත්සන් කරන මැති ඇමැතිවරැ සභාවේ නැත. ඝනපූර්ණය රහිත බැවින් පාර්ලිමේන්තුව කල් තබන ලද අවස්ථා සෑහෙන ප‍්‍රමාණයකි. මෑතක දී ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන ලද කල්තැබීමේ විවාදයක දී විවාද කරන්නට අවශ්‍ය ප‍්‍රමාණය තබා යෝජනාව ඉදිරිපත් කළ මන්ත‍්‍රීවරයා හෝ සභාවේ සිටියේ නැත. ප‍්‍රශ්න විමසන අවස්ථාවේ මැති ඇමැතිවරැ සභාවේ නැත. ජනතාව සිය නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන්නේ එහිදී සිදුවන වාද විවාදවලින් සාරවත් ප‍්‍රතිපත්ති සකස් කර රට ගොඩනගන අරමුණ ඇතිවය. වැටුපට අමතරව දීමනාවක් ද ගෙවා හෝ පාර්ලිමේන්තුවේ නොමැති ජනතා නියෝජිතයකුගෙන් රටට ඇති ප‍්‍රතිඵලය කුමක්ද?

අධීක්ෂණ මන්ත්‍රී ධූර පිරිනමා තෝරාගත් කණ්ඩායමකට රුපියල් ලක්ෂ දෙක බැගින් ධන වරප‍්‍රසාද පිරිනමන්නේ එයට අමතරවය. මෙකී අධික්ෂණ මන්ත්‍රීවරු කරන සේවාව ගැන වගකීම උසුලන කෙනෙක් නැත. අමාත්‍යාංශයක බලතල අනුව නියෝජ්‍ය ඇමැතිවරයාට පවා නොහොඳ නෝක්කඩු ඇති රටක නොදන්නා අධීක්ෂණ මන්ත්‍රීවරයකුට කළ හැකි විශාල පරිවර්තනයක් නැත. මෙය හුදෙක් තම පක්ෂයේ කණ්ඩායම ආරක්ෂා කරගැනීමේ පියවරක් පමණකි. ඇමැති හෝ නියෝජ්‍ය ඇමැතිවරයාට වඩා ප‍්‍රවාහන දීමනාවක් ගෙවන විට ඒවා අහිමි බලතල සහිත ඇමැතිවරු සතුටු කරන්නේ කෙසේද? ඇමැතිවරැ හෝ නියෝජ්‍ය ඇමැතිවරැ මෙකී රුපියල් ලක්ෂ දෙකක දීමනාව ගැන ප‍්‍රශ්න නොකරන්නේ නම් ඔවුන්ට එයට වඩා වරප‍්‍රසාද අමාත්‍යාංශවලින් ලැබෙන බව සැකයක් නැත. අනෙක් අතට මෙම දීමනාව උපයාගනිමින් ඉන්නා මන්ත්‍රීවරු නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමැතිකමක් ලද වහා අහිමිවීම නොතකන්නේ ඉහළ තනතුරුවලින් එයට වඩා වරප‍්‍රසාද ඇති හෙයින් විය හැකිය. මෙම මූලික කාරණාවලින් අනාවරණය කරන අශෝභන තත්ත්වය ශ‍්‍රී ලංකාවේ මැති ඇමැතිවරුන්ගේ ප‍්‍රතිරූපය විනාශ කරයි. එම මන්තී‍්‍රවරුන් නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ ස්වභාවය ප‍්‍රශ්න කිරීමකට ලක් කරයි.

ජනතා ඡන්දයෙන් බලයට පත්වන මැති ඇමැතිවරැ බදු රහිත බලපත‍්‍රයෙන් මිල දී ගන්නා වාහනය ප‍්‍රසිද්ධියේ විකුණයි. අලුතින් පත්වන ඇමැතිවරු අමාත්‍යාංශවලට අලුත්ම වාහන මිල දී ගෙන ඒවා ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ පරිහරණයට බාරදෙයි. අමාත්‍ය කාර්ය මණ්ඩලයට වාහන සපයන අතර නොඑසේ නම් දීමනා හා ඉන්ධන ලබාදෙයි. නමුත් මෙම කිසිවකු ඡන්දයෙන් පසු ජනතාව අතර නැත. මැති ඇමැති හා නිලධාරීන්ට නිල දුරකතන හිමිය. අන්තර්ජාල පහසුකම ලැබේ. පරිගණක හා කාර්යාල උපකරණ පමණක් නොව කාර්යාල නඩත්තුවට ද රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවයි. නමුත් සාමාන්‍ය ජනතාවට මෙම මැති ඇමැතිවරුන් සම්බන්ධ කරගත නොහැකිය. ජනතාවගේ මුදලින් බිල් ගෙවන දුරකතනයට ජනතාවගෙන් ලැබෙන ඇමැතුම බාරගැනීම සඳහා නිසි නිලධාරියකු පත් කරන්නට මෙරට කිසිම පාර්ලිමේන්තු නියෝජිතයකු සමත් වී නැත. ජනතා අවශ්‍යතා සපුරන විනිවිද පෙනෙන පාලනය ගැන වෙනත් කරුණු හුවාදැක්වීම අවශ්‍ය නැත.

නිල වශයෙන් වැටුප් හා දීමනා උපයාගන්නා මැති ඇමැතිවරු නිල නොවන වශයෙන් උපයන ආදායම අසීමිතය. දූෂණ වංචා ගැන තොරතුරු නිතිපතා එළිදරව් වෙමින් තිබේ. ඉතාම සුළු පිරිසක් හැරෙන්නට සියලුම දෙනා අනිසි ධනෝපායන මාර්ග පාදාගෙන තිබේ. මේවායෙන් පොහොසත් වූ තරම අනාවරණය කරගන්නට ආදායම් බදු දෙපාර්තමේන්තුව පවා අසමත්ය. මැති ඇමැතිවරැ තම වත්කම් වාර්ෂිකව හෙළිදරව් කළ යුතු නමුත් එසේ කරන්නේ නැත. එවැනි අවස්ථාවලදී අධිකරණයෙන් පැනවෙන දඩය රුපියල් දහසකි. මෙවැනි ක‍්‍රමයකින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ලැබෙන වටිනාකම කුමක්ද?

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු මුහුණදුන් ස්වභාවික විපත් හා වළක්වාගත හැකිව තිබුණු සිද්ධි ගණනාවකි. නියඟය, ගංවතුර, නායයාම්, මීතොටමුල්ල කුණු කන්ද, අවිස්සාවේල්ල කඳවුරේ පුපුරා යාම ඒ අතර ප‍්‍රධාන ඒවාය. විපතට පත් ජනී ජනයා සෑහෙන ප‍්‍රමාණයක් තවමත් අතෘප්තියෙන්ය. දෙවතාවක් ගංවතුරට යට වූ කැලණි ගඟ දෙපස ජීවත්වන වැසියන්ගෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ වැසියන්ට වන්දි ගෙවන අතරවාරයේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනතාවට තවමත් වන්දියක් නැත. නායයාම්වලින් විපත් වූ පිරිසට ඉඩම් හා නිවාස බෙදා දෙන තෙක් මැති ඇමැතිවරුන්ට අලුත් වාහන මිල දී ගැනීමට වාහන බලපත‍්‍ර නිකුත් නොකරන බව වත්මන් ආණ්ඩුව කියා සිටියේය. තවමත් දුක් විඳිමින් අනුන්ගේ නිවාසවල ජීවත්වන සෑහෙන පිරිසක් රජයෙන් සහන අපේක්ෂා කරති. අඩුම තරමින් රජයේ සේවා වේගයෙන් ජනතාව අතරට ගෙන යා යුතු හෙයින් අතිරේක ප‍්‍රවාහන දීමනාවක් වශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ලබාගන්නා මන්ත්‍රීවරු ගමින් ගමට ගොස් ජනතාව හමුවිය යුතුය. පාලකයන් වෙත දුක වාර්තා කර යහපත සැලසීම ඔවුන්ගේ වගකීමකි. 

 ගාමිණී සරත් ගොඩකන්ද