2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

මේ රටේ කවදාවත් පොලිස්පතිවරියක් බිහිවීමට ඉඩක් නෑ!

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 362

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වනවිට සිටින කාන්තා පොලිස් පරීක්ෂකවරියන්ට (IP) ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) තනතුර සඳහා අයැදුම් කිරීමට ඇබෑර්තු නැත. වසර එකසිය පනහක් පැරණි පොලිස් දෙපාර්තමේන්තුවේ ව්‍යුහගතව ඇති ස්ත්‍රී පුරුෂ භාවයේ අසාධාරණයක් හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇතැයි නිලධාරිනියෝ කියති.

පොලිස් පරීක්ෂක තනතුරට ඉදිරිපත් වීමට දෙවරක් උත්සාහ දැරුවද එම අවස්ථා දෙකේදීම එය වළක්වන ලද අතර ඒ සම්බන්ධව පොලිස් නිලධාරිනියන් හතළිහකගෙන් සමන්විත කණ්ඩායමක් මානව හිමිකම් කොමිසමට (HRCSL) පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත. ඔවුන් පෙන්වා දී ඇත්තේ ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙය සියලු දෙනාටම සමානව සැලකීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙසය.

1997 වසරේදී කාන්තාවන් 120 දෙනෙක් උප පොලිස් පරීක්ෂකවරියන් (SI) ලෙස සේවයට බඳවාගනු ලැබූහ. එම පිරිස 2003 වසරේදීත් 2006 වසරේදීත් පොලිස් පරීක්ෂකවරියන් (IP) ලෙස උසස්වීම් ලැබූහ. නමුත් එතැන් සිට වසර 12 – 15 අතර කාලයක් තිස්සේ ඔවුන්ට කිසිදු උසස්වීමක් නොලැබුණි. කාන්තාවන්ට එසේ වුවද අවම වශයෙන් වසර 08ක සේවා කාලයක් සපිරූ පිරිමි පොලිස් පරීක්ෂකවරුන්ට තම උසස්වීම් මත ඉහළට යාමේ වරප්‍රසාදය හිමි විය. 

ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර සඳහා කාන්තාවන්ට අවස්ථා නොලැබී යාම හේතුවෙන් කාන්තා පොලිස් පරීක්ෂකවරියන්ට ඊළඟට තිබෙන උසස්වීම්වලට යාමට ඇති අවස්ථාද අහිමිවී තිබේ. එය ඔවුන්ව අධෛර්යමත් කර ඇත. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු ලැබීම කුසලතා සහ හැකියාව මත පමණක් නොපවතින බවත්, ස්ත්‍රී පුරුෂ භාවයද එයට අකුල් හෙළනා කඩඉමක් වී ඇති බවත් මේ අනුව පෙනී යයි.

ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු සංඛ්‍යාව ඉහළ දැමීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම තීරණයේ අවාසියට වැඩියෙන්ම මුහුණදී ඇත්තේ කාන්තා නිලධාරීන්ය. මෙම ගැටලුව අනෙකුත් තනතුරු සඳහාද බලපා ඇත.

2016 වනතුරු 85,000කින් සමන්විත වූ පොලිස් බලකායේ කාන්තා පොලිස් අධිකාරී (SP-Grade II) තනතුර සඳහා ඇබෑර්තු වෙන්කර ඇත්තේ දෙකකි. 2016 වසර අවසන් වන විට එය හතරක් කර ඇත. සහකාර පොලිස් අධිකාරී (ASP) කාන්තා ඇබෑර්තු පහළොවක් ඇති අතර එම වසර අවසානයේදී එකකින් පමණක් වැඩි විය. පොලිස් අධිකාරිගෙන් ඉහළට කාන්තා උසස්වීම් නැති අතර මේ නිසා කිසිදාක නියෝජ්‍ය පොලිස්පති තනතුරට හෝ පොලිස්පති තනතුරට පත්වීමට කාන්තාවකට ඉඩක් ලැබෙන්නේ නැත.

2016 වසරේදී කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියෝ මෙම ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙතද ගෙන ගියහ. නමුත් පොලිස් දෙපාර්තමේන්තුව විසින් දිගටම දින ඉල්ලා සිටීමෙන් නඩුව කල් ගියේය. පොලිස් අධිකාරි තනතුරට වඩා ඉහළ තනතුරුද කාන්තාවට ලබාදෙන ලෙසින් ඔවුහු තම පෙත්සමෙන් ඉල්ලා සිටියහ. 1997 වසරේදී පොලිස් සේවයට බැඳුණු උප පොලිස් පරීක්ෂකවරියන් කණ්ඩායම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර ඔවුහු තරගකාරී විභාගවලට පෙනී සිටීමෙන් පසුව ඉහළ තනතුරැ ලැබීමට සුදුසුකම් ලැබුවෝ වෙති.

කාන්තා නිලධාරීන් පවසන්නේ පොලිස්පතිගේ පටන් තමන් කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇති බවය. සේවා පළපුරැද්ද හා සුදුසුකම මත තමන්ටද උසස්වීම් සඳහා අවස්ථාවක් තිබිය යුතු බවද ඔවුහු පෙන්වා දෙති. මෙලෙස කාන්තාවන් සඳහා විශේෂ සීමා පැනවීම මගින් නීත්‍යානුකූලව තමන්ගේ ඇති අයිතිවාසිකම් යටපත් කිරීමත්, අධෛර්යමත් කිරීමත් සිදුවන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් වන්නේ පොලිස් අධිකාරී (SP-Grade II) උසස්වීම් ලැබීමෙන් පසුව ජාතික පොලිස් කොමිසම මැදිහත් වීමෙනි. එයින් පොලිස් අධිකාරී ඇබෑර්තු ඉහළ දමන ලෙස නියෝග කරනු ලැබීය. සුදුසුකම්ලත් කාන්තා නිලධාරීන් සංඛ්‍යාව වැඩිවීම නිසා මෙය ප්‍රමාණවත් නැත.

2008 වසරේ නොවැම්බරයේදී උපාධිධාරීන් වූ කාන්තාවන් තිදෙනකු හා පිරිමින් දාහත් දෙනකු සහකාර පොලිස් අධිකාරී (ASP) තනතුර සඳහා පොලිස් සේවයට එක්වූයේ එකම ගැසට් පත්‍රය හරහාය. නමුත් මෙයින් පිරිමි නිලධාරීන්ට ඉහළට යාමට ඇති මාවත ඉතා පැහැදිලිව තිබිණි. එහෙත් කාන්තාවන්ට තරැණ වියේදීම ජ්‍යෙෂ්ඨ තනතුරු ලැබුණද පොලිස් අධිකාරී (SP) තනතුරට වඩා උසස් තනතුරකට යාමට ඔවුන්ට අවස්ථාවක් ලබාදී නැත.

2006 වසරේදී ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවක් මගින් පොලිස් සේවයට බඳවාගන්නා 15% ප්‍රතිශතයක් කාන්තාවන් විය යුතු බව පෙන්වා දුන්නද එහි තනතුරු කුමන ආකාරයේ ඒවා විය යුතුදැයි පෙන්වාදී නොමැත. මේ සම්බන්ධව කාන්තා නිලධාරිනියන් ප්‍රකාශ කර ඇත්තේ කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ අනාගතය සම්බන්ධව කිසිදු සෙවිල්ලකින් තොරව මේ තීරණ ගැනීම් සිදුකරන බවයි.

මේ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර සඳහා ඇබෑර්තු 66 ක් පවතින අතර එයින් ඇබෑර්තු 51 ක් කාන්තා පොලිස් පරීක්ෂිකාවන් සඳහා වෙන්කර ඇති බවත් නුදුරේදීම පොලිස් දෙපාර්තමේන්තුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා අයැදුම්පත් කැඳවනු ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රැවන් ගුණසේකර මාධ්‍යයට ප්‍රකාශ කළේය.

(Sunday times පුවත්පත ඇසුරෙනි)
 දිශානි ජයමාලි කරුණාරත්න