
බදුලු කඳු වළල්ලම දෝංකාර නංවමින් අධි බලැති බෝම්බයක් පිපිරී ගියේ ඉකුත් ඉරිදා අලුයම 1.43 ටය. එම බෝම්බයට පිපිරුණේ බදුල්ල මුතියංගණ රාජමහා විහාරස්ථානයට නුදුරු කොකෝවත්ත මාර්ගයේය. රථවාහන අමතර කොටස් අළෙවි වෙළෙඳසල් දෙකක් මේ ගින්නෙන් විනාශ වූ අතර එක් වෙළෙඳසලක හිමිකරු වූ මුතු තන්තිරිලාගේ සුමීර හේමන්ත කුරේ (46) මහතා එම පිපිරීමට ගොදුරුව ජීවිතක්ෂයට පත්විය.
පිපිරීම සිදුවන විට, විනාශ වූ වෙළෙදසල් දෙකට පිටුපසින් එකම බිත්තියකින් වෙන්වූ කැපිටල් සිටි හෝටලයේ ජාතික ඉදිකිරීම් සංගමයේ ඌව ශාඛාවේ මහා සභා රැස්වීම අවසන් වී සාදය පැවැත්වෙමින් තිබුණි. ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුලු ආරාධිතයන්ද ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ඌව පළාතේ ව්‍යාපාරිකයන් සිය දෙනකු පමණද ඊට සහභාගි වී සිටියහ. ඔවුන්ගේ ජීවිත බේරී ඇත්තේද අනූනමයෙනි. පිපිරුමෙන් ගොඩනැගිල්ල හෙල්ලුම් කද්දී ඔවුන් එළියට පැන බලන විට කොකෝවත්ත පාරේ වෙළෙඳසල් පෙළේ මහා ගින්නක් ඇතිවෙන අයුරු දැක තිබේ. මහ ඇමතිවරයා නියෝජ්‍ය නගාරාධිපතිවරයා සහ තවත් කීපදෙනෙක් එම ස්ථානයට දිව ආහ. මහ ඇමතිවරයා වහාම පොලිසියට හා බදුල්ල මහ නගර සභාවට දුරකථනයෙන් අමතා ඔවුන් වහාම ගෙන්වාගත් නිසා ගින්න අනෙක් වෙළෙඳසල්වලට යාමට නොදී පාලනය කිරීමට හැකිවිය.
බදුල්ල නගරයේ ගින්නක් ඇති වූ ස්ථානයකට කෙටිම කාලයකින් ගිනි නිවන ඒකකය ළඟාවීමට හැකිවූ අවස්ථාව මෙය බවත් එනිසා අනෙක් වෙළෙඳසල් සියල්ල බේරාගැනීමට හැකිවූ බවත් ගිනි නිවන ඒකකය පවසයි. බුර බුරා නගින ගිනිදැල් අතරට වැදී ඔවුන් මේ ගින්න නිවීම දියත් කළේ විස්මිත මෙහෙයුමකි. ඒ සඳහා ජල ලීටර් හතළිස් දාහක් යොදාගත් බවද ගිනි නිවන ඒකකය පවසන්නේය.
ඒ ගින්න නිවී ගියත් මේ බෝම්බ පිපිරීම සැකයේ වාසිය මත ජාතිවාදි ගැටුමක් ඇවිලීමට තිබු ඉඩකඩ අහුරාලීමට කඩිනමින් විමර්ශන සිදුකළ පොලීසිය සමත්විය. ඒ පිපිරීම සිදුවූ ස්ථානය ආසන්නයේ වෙනත් වෙළෙඳසල් දෙකක ආරක්ෂක කැමරා දෙකක සටහන්ව තිබූ දර්ශන උපයෝගි කර ගනිමිනි. මරණයට පත්වු ව්‍යාපාරිකයාගේ ජීවිතයේ අවසන් විනාඩි කිහිපයත් බෝම්බය පුපුරා යන ආකාරයත් එම ආරක්ෂක කැමරාවල රූගත වී තිබිණ. එහි දර්ශන අනුව ඔහු යතුරු පැදියකින් පැමිණ අලුයම 1.29ට සිය වෙළෙඳසල ඉදිරියේ යතුරුපැදිය නතර කර වෙළෙඳසලට ගොස් තිබේ.
ඊට විනාඩි 11කට පසු (1.40ට) වෙළෙඳසලේ සිට ඔහු යළි යතුරු පැදිය වෙත එන අයුරුත් යතුරුපැදිය අල්ලා යළිත් වෙළෙඳසල දෙසට යන අයුරුත් එහි සටහන්ව ඇත. 1.42ට යළි යතුරුපැදිය ළඟට පැමිණ යතුරුපැදිය අල්ලා යළිත් වෙළෙඳසල දෙසට යන්නේය. ඊට විනාඩියකට පසු (1.43) යතුරුපැදිය ළඟට පැමිණ එහි ඉඳගෙන යතුරුපැදිය පණ ගැන්වීමට උත්සාහ කර යළිත් බැස වෙළෙඳසලට දෙසට යන අයුරුත් ඊට තත්පර 39 කට පසු (ඔහු මහා පිපිරීමට ගොදුරුවන අයුරුත් ආරක්ෂක කැමරා දර්ශන වලින් අනාවරණය වී තිබේ.
එපමණක් නොව පිපිරීමත් සමඟම ඔහු ඈතට විසිවී ගොස් මහ පාරේ වැටෙන අයුරුත් වෙළෙඳසලෙන් කඩාවැටුණු සුන්බුන් හා ගිනි ජාලවකට මැදිවන අයුරුත් කීපදෙනෙක් පැමිණ ඔහු බේරාගෙන රෝහලට ගෙනයන අයුරුත් එම දර්ශවලට ඇතුළත්ව තිබිණ.
කෙසේ නමුත් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර සුළු වේලාවකින් ඔහු මියගියේය. මෙම පිපිරීමෙන් ඉදිරිපස වෙළෙඳසල් කිහිපයක වීදුරුවලට දොර තහඩුවලට හා නාමපුවරුවලට හානිකර සිදුවිය. එපමණක් නොව වෙළෙඳසල් හිමියෙක් තම වෙළෙඳසල ඉදිරියේ ගාල් කර තිබූ වෑන්රථයකටද හානි සිදුව තිබිණ. මරණකරු දෙදරු පියෙකි. ඔහු ත්‍රිරෝද රථයෙන් ජීවනෝපාය අරඹා පසුව වෑන්රියක් මිලට ගෙන පාසල් සේවයක් පවත්වා තිබේ. ඉන්පසු මේ වෙළෙඳසල කුලියට ලබාගෙන රථවාහන අමතර කොටස් අළෙවිය අරඹා තිබේ.

මේ වසරේ ජුනි 23 වැනිදා ඔහු තම වෙළෙඳසල සීමාසහිත සමූපාකාර රක්ෂණ සමාගමේ රුපියල් ලක්ෂ 62කට රක්ෂණය කර තිබියදී මෙම සිදුවීම සිදුව ඇති බව විමර්ශනවලදි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය. ඔහු රථවාහන අමතර කොටස් අලෙවියට අමතරව දේපළ උගසට ගෙන පොලියට ණය දී ඇති බවත් අනතුරට පත්වෙන අවස්ථාවේ ඔහු පැමිණ සිටි යතුරු පැදියද වේවැස්සවත්තේ පුද්ගලයකුගෙන් උගසට සින්න වූවක් බවත් පොලිස් විමර්ශනවලදි අනාවරණය වී තිබේ.
පිපිරීම සමඟ ඇති වූ මහා ගින්න නිසා මරණකරුගේ වෙළෙඳසල පමණක් නොවී යාබදව පිහිටි තවත් රථවාහන අමතර කොටස් අලෙවි සලක කඩකාමර 5ක් රුපියල් කෝටියක පමණ භාණ්ඩ සමඟ ගිනිබත් විය. මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලද්දේ බදුල්ල දිසා විනිසුරු තාරක ජිනදාස මහතා විසිනි. ඔහුගේ නියෝගය මත මෘත දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අකිල රත්නායක මහතා විසිනි.
ඔහු විවෘත තීන්දුවක් ලබාදෙමින් මෘත දේහයේ කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යැවීමට තීරණය කළේය. හිස් කබලේ අස්ථි කැඩීයාමක් දෙපාවල දරුණු පිළිස්සුම් තුවාල හා සිරුර පුරා කැපුම් තුවාල තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබේ. රජයේ රස පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ආර්. ප්‍රනාන්දු මහතා ස්ථානයීය පරීක්ෂණය සිදුකර රස පරීක්ෂණය සඳහා අවශ්‍ය සාම්පල් මෙම ස්ථානයෙන් ලබාගෙන ගියේය. පිපිරීමේ විද්‍යාත්මක තීරණය ලැබෙන්නේ රස පරික්ෂක වාර්තාවය අනුවය.
බදුල්ල මහ නගර සභාවේ විශිෂ්ට ගිනි නිවීමේ මෙහෙයුම නිසා අවට වෙළෙඳසල් ගණනාවක් බේරා ගැනීමට හැකිවීමත් ආරක්ෂක කැමරා නිසා මෙම සිද්ධියේ සැකයේ වාසිය වෙනතට යොමුකර ජාතිවාදී හැඟුම් ඇවිස්සීමේ අවස්ථාව ඇහිරීයාමත් මෙම සිද්ධියේ සුවිශේෂි සිදුවීම්ය.
ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර හා බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, බදුල්ල සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.පී.කේ. ගාල්ලගේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරික් රෝහිත, උප පොලිස් පරීක්ෂක මංගල ජයතිලක, කොස්තාපල්වරුන් වන (25941) රෝහණ, (83109) රත්නායක, (54128) ගුණරත්න, (76150) වික්‍රමසිංහ, (74154) ලංකා (53176) උපාලි යන යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
♦ සටහන හා ජායාරුප: බදුල්ලේ පාලිත ආරියවංශ