
දැනට ක්‍රියාත්මකව ඇතැයි පවසන ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ විවිධ පාර්ශවවලින් එල්ලවෙන චෝදනා හමුවේ ඒ සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර ඇත. මෙහි සභාපතිවරයා වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා වන අතර මෙම කමිටුවට විශේෂඥයන් හයදෙනෙක් ඇතුළත් වෙති. මෙහි වාර්තාව මාස දෙකක් තුළ ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ මඟින් ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන විශේෂ අවධානය යොමු කළ යුතු අතර යෝජිත නව වෙළෙඳ ප්‍රතිපත්තියේ ප්‍රායෝගික බලපෑම් හා භාවිතයන් ද ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මගපෙන්වීම් සඳහා වූ නිර්දේශ ද මෙතුළින් ලබා ගැනීමට අපේක්ෂිත බව පැවසේ. එසේම මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ විවිධ සේවා සපයන අංශ කෙරෙහි මෙන්ම රටේ සමාජයීය හා ආර්ථික තත්ත්වය සහ ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි වන බලපෑමද අධ්‍යයනය කිරීම් සිදුවේ. දැනටමත් ක්‍රියාත්මක වී ඇති මෙම කොමිසමට විවිධ පාර්ශවවල අදහස් ඉදිරිපත් කළ හැකිය.
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට එරෙහි විවිධ සංවිධාන සහ පුද්ගලයන් දැනටමත් නඩු හයක් පවරා ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට මේ වනවිට සැලසුම් කර තිබේ. එසේම ඔවුන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා පත්කළ කොමිසමේ වාර්තාව ලැබෙනතුරු ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වන ලෙසයි. කෙසේ වුවද මෙම ගිවිසුම රහසේ අත්සන් කර ඇති අතර එය ජනගත කළ නොහැකි නිසා ඒ පිළිබඳ කතා කිරීම අඳුරේ අතපත ගෑමක් බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය. ඒ නිසා බොහෝ විද්වත්හු සිංගප්පූරු ගිවිසුම පිළිබඳ කතා කිරීමෙන් වැළකී සිටින බව ලියුම්කරු සමඟ පැවසූහ.
ද්වීපාර්ශික ගිවිසුම් පිළිබඳ කතා කරනවිට එහි අතීතය 2003 වසර දක්වා දිවයයි. “සීපා” ගිවිසුම හෙවත් විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුම අනුව ඉන්දු ලංකා ගිවිසුම මඟින් විවෘත කර තිබූ භාණ්ඩ හුවමාරුව සේවා දක්වා පුළුල් කිරීමට අපේක්ෂා කළේය. මෙයින් ඉන්දියානු ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ එල්ල වූ විරෝධතා නිසා එය අතරමග නැවතුණු අතර පසුව ආණ්ඩුව සීපා ගිවිසුම “එට්කා” හෙවත් ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ලෙසට වෙනස් කළේය. මෙහිදීද ඉන්දියාව සමඟ සාකච්ඡා වට හතක් පවත්වා තිබියදී එය ක්‍රියාත්මක කළ නොහැකි විය.
ඊළඟට අද කරළියට පැමිණ ඇති සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මෙම ප්‍රතික්ෂේප වූ ගිවිසුම්වලටත් වඩා දරුණු ලෙස වෙනස් නමකින් ගෙන ඒමේ උත්සාහයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ලෝක වෙළෙඳ සංවිධානය ද්වීපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට රටවල්වලට බල කරන අතර “ගැටි” හා “ගැටිස්” වැනි වෙළෙඳ සම්මුති ලෝක වෙළෙඳ සංවිධාන හඳුන්වා දී තිබේ. වෙළෙඳපොළ නිදහස්කරණයට ලක්කිරීම මෙම සංවිධානයේ බලපෑම මත සිදුවන අතර මෙම සිංගප්පූරු ගිවිසුම ද එහි ප්‍රතිඵලයක් බවට සැක ඇතිව තිබේ. මෙම ගිවිසුමේ ප්‍රධානම දෝෂයක් වන්නේ බලපවත්වන කාල සීමාවක් සඳහන් නොකිරීමය. එනිසා හදිසියේ අවලංගු කළහොත් වන්දි ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවෙනු ඇතැයි කියති.
සිංගප්පූරු ගිවිසුම කොළේ වහලා ගැසූ නීති විරෝධි ගිවිසුමක් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියයි. මෙම ගිවිසුම කිසිදු මන්ත්‍රීවරයකුට ලබා දී නැති අතර සියලලන්ටම හොරෙන් අත්සන් කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙම ගිවිසුම අනුව භාණ්ඩ 4000කට අධික ප්‍රමාණයක් තීරුබදු රහිතව සිංගප්පූරුවට රැගෙන යාමට හැකි බවද ඔහු කියයි.
“මේ පිළිබඳ අධ්‍යයනය කිරීමට ජනාධිපතිවරයා කමිටුවක් පත් කිරීම සුබදායකයි. මෙම වාර්තාව මාස දෙකක් තුළ ලැබෙන්නට කටයුතු කළ යුතු බවටද උපදෙස් දී තිබෙනවා. මෙමඟින් රට සාගරය, ජලය, ගහකොළ, සතා සීපාවා, පුරාවස්තු වගේ රටේ සෑම සම්පතක්ම සිංගප්පූරුවට පවරා දී තිබෙනවා. සිංගප්පූරුවේ අපද්‍රව්‍ය අපේ රටේ තැන්පත් කරන්න ඉඩ ලබා දීලා තිබෙනවා. මේ වගේ භයානක පාවාදීමක් 1815 උඩරට ගිවිසුම තුළින්වත් සිදුවූයේ නැහැ. මෙයින් ඉපදෙන්න ඉන්න දරුවන් ද සිංගප්පූරුවට විකුණලා තියෙනවා. උපනූපන් පරම්පරාවට මෙයින් කරන්නේ ජාතික අපරාධයක්. ධීවර ආඥා පනත යටතේ ඇති සීමා බන්ධන උල්ලංඝනය කරලා මසුන් පවා පිටරට යවන්න ඉඩ ලැබිලා තියෙනවා. රටේ ජෛව විවිධත්වයට මේ ගිවිසුමෙන් සිදුවන අයහපත විශාලයි. අපේ පුරාවස්තු පවා පිටරටවලට යැවිය හැකියි.
එජාපයට මෙහෙම බලයක් ලැබිලා මේ විදිහට කටයුතු කරනවානම් සම්පූර්ණ බලයක් ලැබුණොත් මුළු රටම විකුණාවි. මේ ගිවිසුමෙන් අපේ රටේ පස්, වැලි ඇතුළු ඛනිජ සම්පත් සියල්ල අපට අහිමි වීමේ අවදානමක් ඇති වෙලා.
මේ වනවිට ද මෙම ගිවිසුම ක්‍රියාත්මකයි. රේගු අධ්‍යක්ෂකට තීරු බදු රහිතව භාණ්ඩ සිංගප්පූරුවට නිදහස් කරන්නට මේ වනවිට ද අවසර දීලා. මේ ගිවිසුම ක්‍රියාත්මක වුණොත් රටේ කිසි දෙයක් ඉතුරු වෙන එකක් නැහැ. ඉතිහාසයේ ලොකුම පාවාදීම මෙයින් සිදුව තිබෙනවා. එය කිසිදා යළිත් ආපස්සට හරවන්න ලැබෙන්නේ නැහැ.”
බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙම ගිවිසුම යටතේ දෙරට අතර ගහ කොළ, වැලි, පස්, සතුන් ඇතුළු සියලු භාණ්ඩ හුවමාරුවීමට පටන්ගත් විට ශ්‍රී ලංකාව මුඩු බිමක් බවට පත්වන අතර වෙනත් රටවල කුණු කසළ මෙරටට ගෙනැවිත් දමන නිසා අපේ රට ජාත්‍යන්තර කුණු ගොඩක් බවට පත්වෙන බවයි.
“මෙම ගිවිසුමෙන් සංයෝජිත වර්ගීකරණ 3539ක ආනයන තීරු බදු ඉවත් කරලා තියෙනවා. එසේම සිංගප්පූරුවෙන් බදු රහිතව රත්රන් ආනයනය කරන්නට ඉඩ දීලා තිබෙන බවද දැනගත්තා. ලංකාවේ දැන් පටන් අරන් තියෙන විශාලතම ජාවාරමක් තමා රත්රන්. 2017 වසරේදී ලංකා ඉතිහාසයේ වැඩිම රත්රන් ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. එය අමෙරිකානු ඩොලර් මිලියන 650ක්. 2018 පළමු කාර්තුව තුළ පමණක් ඩොලර් මිලියන 437ක රත්රන් ආනයනය කර තිබෙනවා. සිංගප්පූරුවට බදු ඉවත් කර සහන දෙනවිට මෙම ආනයනය කරන රත්රන් ප්‍රමාණය තවත් වැඩිවෙයි.
ඔහු පවසන්නේ මෙම ගිවිසුමට අදාළව භාණ්ඩ වර්ග 4000කට කිට්ටු ප්‍රමාණයක් තීරු බද්දෙන් නිදහස් කරලා හොර රහසේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර මෙම ගැසට් පත පිළිබඳ තමා පාර්ලිමේන්තු පුස්තකාලයෙන් හා රාජය් මුද්‍රණාලයෙන් විමසා සිටියත් සොයාගත නොහැකි වූ බවයි. එහෙත් පාර්ලිමේන්තු ලිපිගොනුවේ සඳහන්ව ඇති ජූලි 21දා මන්ත්‍රීවරුන්ට නොගොස් කෙසේ සම්මත කළාද යන්න ගැටලුසහගත බව ඔහු කීවේය.
රටේම ඉමහත් ආන්දෝලනයකට පත්ව ඇති සිංගප්පූරු ගිවිසුම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන ප්‍රධානතම කරුණ වන්නේ ගිවිසුම රටට අහිතකර වන්නේ නම් එයින් ඉවත්විය හැකි බවට වගන්තියක් ගිවිසුමේ ඇති බවය. ඒ නිසා මෙය ක්‍රියාත්මකව තිබියදී යම් ලෙසකින් අපට අහිතකර බව අනාවරණය වුවහොත් ඒකපාර්ෂවීයව එයින් අයින් වීමට අපට හැකි බව ඔහු අවධාරණය කරයි.
“වෘත්තීයවේදීන් තර්ක කරනවා මෙය රටට අහිතකරයි, එය අත්සන් කිරීම නිසා රට විනාශයට යනවා කියලා. ඒ නිසා එයට එරෙහිව වැඩවර්ජන කරන්න කියලා ඒ අය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කියනවා 1815දී මහා බ්‍රිතාන්‍යය සමඟ අපේ රට මුළුමනින්ම මහා බ්‍රිතාන්‍යයට පවරා දුන්නා කියලා. එහෙත් එවැනි කිසිවක් මෙයින් සිදුවන්නේ නැහැ.
සංවර්ධනයට අවශ්‍ය සෘජු විදේශ ආයෝජන මෙම ගිවිසුම හරහා ලබා ගැනීමටයි අපි බලාපොරොත්තු වන්නේ. එසේම ගිවිසුම අනුව විදේශවල ශ්‍රමිකයන්ට අපේ රටේ සේවය කරන්න අවස්ථාව ලැබෙන බවට චෝදනා කරනවා. එහෙත් එහෙම තුන්වැනි පාර්ශවයක් කිසිවිටෙකත් මේ ගිවිසුම හරහා අපේ රටට එන්න බැහැ. එහෙම නම් එන්න පුළුවන් කාටද යන්න ප්‍රශ්නයක්. මේ ගැන අසත්‍ය තොරතුරු රට පුරා පැතිරෙමින් යනවා. එහෙත් කිවයුතු වන්නේ ගිවිසුම හරහා මෙරටට පැමිණිය හැකිවන්නේ මෙරට ආයෝජනය කරන සිංගප්පූරු සමාගම්වල සේවයට තෝරාගත් විශේෂඥයන්ට විතරක් බවයි. ඒත් එසේ පැමිණ සේවය තෝරාගත් විශේෂඥයන්ට විතරක් බවයි. ඒත් එසේ පැමිණ සේවය කළ හැකි වන්නේ වසර දෙකක කාලයක් පමණයි. එසේම අපේ රටේ සමාගමක් සිංගප්පූරුවේ ආයෝජනයක් කරනවානම් අපේ රටේ අයට සිංගප්පූරුවට ගොස් රැකියා කරන්න අවස්ථාව ලැබෙනවා. එය අදටත් සිදුවෙනවා. මේ ගිවිසුම නිසා එය විධිමත් වෙනවා.
අපේ රටේ අයට වෙනත් රටවලට ගිහින් ග්‍රීන් කාඩ් මඟින් පුරවැසිභාවය ලබාගන්න පුළුවන්. ඒත් පිටරටවල අයට අපේ රටට ඇවිත් ග්‍රීන්කාඩ් මඟින් පුරවැසිභාවය ලබාගන්න බැහැ. එසේම විදේශ ගෘහ නිර්මාණ ශිල්පීන්ට හා ඉංජිනේරුවන්ට අපේ රටට පැමිණ සේවය කළ නොහැකියි. ඔවුන්ට කළ හැක්කේ අන්තර්ජාලය හරහා අදහස් දැක්වීම පමණයි. තවත් කියන කාරණයක් තමයි මෙරටට වෙළෙඳපොළ සියයට 80ක් ඔවුන්ට විවෘත කළවිට අපේ කර්මාන්තකරුවන්ට අසාධාරණයක් වෙනවයි කියන එක. ඒත් එහෙම විවෘත කිරීම සිදුවන්නේ අවුරුදු 15කට පස්සෙයි. නමුත් සිංගප්පූරුව ගිවිසුම ආරම්භ කරනවිටම සියයට 99ක්ම තම වෙළඳපොළ අපට විවෘත කරනවා. ඒත් අපි සියයට 20ක කාටවත් කිසිම දවසක විවෘත කරන්නේ නැහැ.
රටේ බදුවලට පහර වැදෙනවා යැයි කියන චෝදනාවද අසත්‍යයි. අපට සියයට 80ක්ම සිංගප්පූරුවෙන් එන්නේ. පෙට්‍රල්, දුම්කොළ, ස්ප්‍රීතු වගේ භාණ්ඩයි. ඒවා තියෙන්නේ නිෂේධ ලේඛනයේ. ඒ නිසා කිසිවිටෙකත් ඒවායින් බදුවලට බලපෑමක් සිදුවන්නේ නැහැ. අපි මේ ගිවිසුම හරහා උත්සාහ කරන්නේ 2025 වනවිට අපේ රට ලෝකයට එකතු කරලා ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්ත අතුකෝරල
“2018 ජනවාරිවල අත්සන් කළ මෙම සිංගප්පූරු ගිවිසුම මඟින් වෙනත් නිදහස් වෙළඳ ගිවිසුම්වට වඩා විශාල පරාසයක් ආවරණය වෙනවා. භාණ්ඩ වෙළඳපොළට පරිබාහිරව විවිධ සේවා අංශවලට වැඩියෙන් අවධානය යොමුකර තිබෙනවා. කෙසේ වුවත් මෙම ගිවිසුමෙන් වැඩි වාසි ලැබෙන්නේ ශ්‍රී ලංකාවටද සිංගප්පූරැවටද යන්න විමසා බැලීම වැදගත්. එසේම යම් අවාසියක් සිදුවේ නම් එය වාසියක් බවට පෙරළා ගත යුතුයි.
සිංගප්පූරුවෙන් අපේ ආනයනය කිරීම අනුව 7 වැනි ස්ථානයට අපේ රට පත්වී තිබෙනවා. සිංගප්පූරුව අපේ රටෙන් ආනයනය කරන භාණ්ඩ අනුව පත්ව ඇත්තේ 37 වැනි තැනටයි. සිංගප්පූරුව ආනයනය කරනවා යනු අපේ අපනයනයයි. මේ දෙරට අතර ආනයන - අපනයන පරතරය විශාලයි. වෙළෙඳ ගනුදෙනුවලදී අපට සිදුව ඇත්තේ අවාසියක්. වසරකට බිලියන 1 – 2 අතර ගනුදෙනු තමා සිදුවන්නේ. මෙවැනි පරිසරයකයි අපි මේ ගිවිසුමට එළඹී ඇත්තේ.
ආර්ථික විද්‍යාත්මකව සලකා බලනවිට වෙළෙඳ ගිවිසුමකින් අත්සන් කරන දෙරටටම වාසි අත්විය යුතුයි. එක රටකට පමණක් වාසි සිදුවීම අසාධාරණයි. සිංගප්පූරැව හොඳ වෙළෙඳපොළක් වන අතර නව නිෂ්පාදන බිහිකරන මධ්‍යස්ථානයක්. ඒ නිසා මෙවැනි රටක් සමඟ ගිවිසුම් ගැහීමේදී අපට වාසි රුසක් ඇතිකර ගත හැකියි.
සිංගප්පූරුව වෙනත් රටවල විද්‍යුත් තාක්ෂණය, සෝලා බලශක්තිය අධ්‍යාපන පුහුණු ආයතන ඇති කිරීම ආදී පැති ගණනාවක ආයෝජනය කරනවා. එවැනි අවස්ථා අපටත් ඇතිකර ගත හැකියි.
ඒ සඳහා රට තුළ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති සකස් කළ යුතුයි. දැනට අපේ රටේ විදේශ ආයෝජනවලින් සියයට 10යි සිංගප්පූරුව සමඟ සිදුවන්නේ. ඊළඟ වසර 10 – 15 තුළ සියයට 20 – 30ට එය වර්ධනය කරගැනීම වැදගත්. මේ වනවිට අපේ විදේශවලට යන ශ්‍රම බලකායේ සියයට දශම 5ක් වැනි සුළු ප්‍රමාණයක් තමා සිංගප්පූරුවට යන්නේ. මෙය වර්ධනය කරගත යුතුයි. සිංගප්පූරුවේ ජනගහණය හා සේවා වියුක්තිය ගැන සලකා බලන විට මෙම වෙළෙඳ ගිවිසුම යටතේ සිංගප්පූරුවේ ශ්‍රමිකයන් මේ රටට එනවා යැයි කියන කතාව පිළිගත නොහැකියි. අපේ මිලියන 21ක ජනගහණයක් තිබුණත් සිංගප්පූරු ජනගහණය මිලියන 5.6ක් පමණයි.
එසේම ලංකාව ශ්‍රම හිඟ රටක්. අපේ පුහුණු ශ්‍රමිකයන් සහ වෘත්තිකයන් අඩුයි. ඒ නිසා සිංගප්පූරු අය මෙහෙ ඇවිත් වැඩකර දැනුම බෙදාගැනීම යහපත්. එයින් අපට ප්රතිලාභ ලබාගත හැකියි. අපේ රටේ රාජ්‍ය අංශයේ වැඩකරන්න සිංහල දැනගත යුතුයි. ඒ නිසා අපේ රාජ්‍ය සේවයට සිංගප්පූරුවෙන් පැමිණෙන බව කීම බොළඳ තර්කයක්. එසේම පෞද්ගලික අංශයට සුදුසු පුහුණු වෘත්තිකයන් හිඟයි. මේ නිසා පිටරටවලින් පැමිණ අපේ පෞද්ගලික අංශයේ නිෂ්පාදනය ඉහළ නැංවීම හොඳයි.
සිංගප්පූරැව ගිවිසුම් අත්සන් කර ඇත්තේ අපේ රට සමඟ පමණක් නොවෙයි. වෙනත් ආසියාතික රටවල් 7ක් සමග ගිවිසුම් අත්සන් කරලයි තියෙන්නේ. අපේ රටට විදේශ ආයෝජකයන් නොඑන්නේ රටේ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික අංශවල දුර්වලකම් නිසයි. රටේ පවතින දුර්වලතා නිසා ජනපති, අගමැති ආරාධනා කළාට ආයෝජකයන් එන්නේ නැහැ. ඒ නිසා මෙවැනි ගිවිසුම්වලින් ආයෝජකයන් බැඳ ගැනීමට ක්‍රියාකළ යුතුයි. මා හිතන්නේ මෙම ගිවිසුමේ වරදක් නැති නමුත් එය සකස් කළ අය, කොටුම්පත් කළ අයගේ දුර්වලතා නිසා මෙලෙස ජනතාව තුළ වැරදි ආකල්ප ඇතිවීමට හේතු වී ඇති බවය.
මෙම ගිවිසුම රහසිගතව කඩිමුඩියේ අත්සන් කිරීම නිසා ජනතාව තුළ යම් කුකුසක් ඇතිවී තිබෙන බව පෙනෙනවා. එය නිවැරදි කිරීමට අප්‍රමාදව කටයුතු කළ යුතුයි. එසේම ගිවිසුම ක්‍රියාත්මක වනවිට පසු විපරම් කරලා එහි යම් වරදක් තිබේ නම් නිවැරදි කිරීමට කටයුතු කළ යුතු වෙනවා.
►යසවර්ධන රුද්‍රිගු