2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

තේ දල්ලේ මිල කඩා වැටේ

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 208

මේ කතාව ලංකාවේ තේ ගැනය. එහෙත් මෙය කියවූ විට මෙරට තේ කර්මාන්තය පිළිබඳ හිතේ කහටක් ඇතිවිය හැකිය. තේ දලු මිල අඩුවීම ඇතුළු තවත් ගැටලු කිහිපයකට මේ දිනවල ලාංකික තේ කර්මාන්තය මුහුණ පා සිටී. මේ තොරතුරු අපට අනාවරණය වූයේ දැනට මාස දෙක තුනකට පමණ පෙර රුපියල් සීයක පමණ අගයක පැවති තේ දලු කිලෝවක මිල රුපියල් අසූවට ආසන්න අගයකට පහළ බැසීමට හේතු සොයා යාමේදීය.

තේ කර්මාන්තය මුහුණ දී සිටින ප්‍රධානම ගැටලුවක් වන්නේ දලුවල ගුණාත්මක බව එන්න එන්නම අඩුවීමය. නොමේරූ නොතැලුණු දලු ගුණාත්මක බවින් ඉහළ වෙයි. ඒ නමුත් මේ මොහොත වනවිට රට තුළ එම ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පහළ බසිමින් ඇත. එයද තේ දලු මිල පහළ බැසීමට හේතුවකි. කොළඹ තේ වෙන්දේසියට එන තේවල මිල අඩු වී ඇති බවට නිර්මාණය වී ඇති මතයට හේතුව වී ඇත්තේ දලුවල ගුණාත්මකභාවය අඩුවීම පිළිබඳ ගැටලුවයි. නිශ්පාදනයේදී හා ප්‍රවාහනයේදී දලුවල ගුණාත්මක බව අඩුවන බවට වන සම්මත මතයට එහා ගිය බරපතළ කාරණාවක් මේ පිටුපස තිබේ.

සුද්දා හඳුන්වා දුන් ලාංකීය තේ කර්මාන්තයට වසර එකසිය පනහක් පමණ වන අතර කුඩා තේ වතු කර්මාන්තයට වසර පනහක් පමණ වෙයි. මේ ගැටලුව මතු වන්නේ කුඩා තේ වතු කර්මාන්තය තුළයි. කුඩා තේ වතු ක්ෂේත්‍රයේ ඉඩම්වල අස්වැන්න අද වනවිට අඩුවී තිබේ. දැනට බොහෝ ඉඩම්වල පවතින්නේ මුල් වගාව නොව දෙවන වගාවයි. ඒ හේතුවෙන් උඩරට හා මැදරට ප්‍රදේශවල අස්වැන්න අඩු වී ඇති අතර යම් පමණක අස්වැන්නක් තිබෙන්නේ පහතරට ප්‍රදේශයේය. වසර තුන හතරකට පෙර අක්කරයකට කිලෝ හයසීයත්, අටසීයත් අතර පැවති අස්වනු අද වනවිට කිලෝ තුන්සීයත්, තුන්සිය පනහත් අතර ප්‍රමාණයකට පහළ බැස ඇති බව පැවසේ. මෙලෙස අස්වනු අඩුවීම හරහා කර්මාන්තශාලා අතර තේ දලු මිලදී ගැනීම සඳහා තරගයක් නිර්මාණය වී තිබේ. මෙම තරගය හේතුවෙන් බාල තත්ත්වයේ දලු මිලදී ගැනීමට වුවද කර්මාන්තශාලා හිමියෝ පෙළඹෙති. 

තමන්ගේ දලු සඳහා නියත ගැනුම්කරුවන් සිටින බව දන්නා කුඩා තේ වතු හිමියන් අස්වැන්න අඩුවීමෙන් ද අපහසුතාවයට පත්වී සිටින බැවින් පෙර මසකට හත් වතාවක් පමණ සිදු කළ අස්වනු නෙළීම මසකට දින තුනකට දෙකකට සීමා කර තිබේ. අස්වනු නෙළීමට අධික පිරිවැයක් දැරීමට සිදුවීම මෙයට තවත් හේතුවකි. එහෙත් අවසානයේ මෝරපු දලු නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලාවලට ලැබෙයි.

තේ දලු මිල අඩුවීම හා කුඩා තේ වතු හිමියන් අපහසුතාවයට පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ කොමසාරිස් ඊ.ඒ.ජේ.කේ. එදිරිසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු. ඒ මහතාට අනුව මෙය තාවකාලික තත්ත්වයකි. පසුගිය කාලය තුළ තේ දලු මිල දිගින් දිගටම ඉහළ ගිය බව ඔහු සිහිපත් කරයි. නිෂ්පාදනය සීයට හැටකට වඩා නොමේරූ නොතැලුණු දලු තිබිය යුතු බවත් දලු ගුණාත්වය පහළ යාම මෙම ගැටලුවට හේතු වී ඇති බව ඒ මහතා ද පවසයි. තවද ගොවියා සුරක්ෂිත කිරීම සඳහා වැඩි කාර්යභාරයක් ඉටුකර ඇති කර්මාන්තයක් ලෙස තේ කර්මාන්තය කොමසාරිස්වරයා හඳුන්වයි. ඊට හේතුව වන්නේ තේ වෙන්දේසියේ අලෙවිවන මිලෙන් සියයට හැට අටක් (68%) ගොවියාට ලැබිය යුතුය යන නිර්දේශයන් තේ මණ්ඩලය ලබා දී තිබීමයි. මේ මොහොතේ තේ කර්මාන්තය මුහුණ දී සිටින ප්‍රබල ගැටලුවක් බව එදිරිසිංහ මහතා අනාවරණය කරයි. ඒ ඉරාන අර්බුදය.

“ඉරානයට තේ අ‍ෙලවි කිරීමේදී පොඩි බාධාවක් ඇවිල්ලා තියෙනවා. අමෙරිකාව ඉරානයට සම්බාධක පැනවීමත් සමඟ මිල වැඩි ශ්‍රේණිවල මිල අඩුවීම හරහා නිෂ්පාදනයේ සාමාන්‍ය මිල අඩුවීම සිදුවෙනවා. ඉරානයට තේ අලෙවිකළාට මුදල් ලබාගත නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අමෙරිකාව ඩොලර් ගනුදෙනු තහනම් කිරීම හරහා. ඒක අපිට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මේ මිල අඩුවීමට එයත් එක් හේතුවක්”

තේ දලු මිල අඩුවීම පිළිබඳ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතාගෙන් ද අපි විමසීමක් කළෙමු. ඒ මහතාට අනුව රුපියල් දහයක පහළවක වෙනසක් සිදුව ඇත. විශාල වශයෙන් නොවුණත් මෙම මිල අඩුවීම කුඩා තේ වතු හිමියන්ට බලපාන බව ඒ මහතා සඳහන් කළ අතර ඉරාන අර්බුදය ද ඉදිරියේදී බලපෑ හැකි බව වැඩිදුරටත් දේවගෙදර ප්‍රකාශ කළහ.

සමස්ත ලංකා කුඩා තේ වතු සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මෙම ලිපියට පාදකවන බොහෝ කරුණු අප වෙත අනාවරණය කරනු ලබයි. ඒ මහතා අනාවරණය කළ අනාගතයේදී මෙරට තේ කර්මාන්තයට බලපෑම් කළ හැකි බරපතළ තත්ත්වයක් අප මෙලෙස සටහන් කර තබමු.

තේ දලු ගුණාත්මකභාවයෙන් අඩුවීම හරහා තාවකාලිකව නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා ග්ලූකෝස්, සීනි ආදී ද්‍රව්‍ය කර්මාන්ත ශාලා හිමියන් භාවිතා කරමින් සිටී. තේ වෙන්දේසියේදී ගුණාත්මකභාවය පිළිබඳව නැගෙන චෝදනාවට හේතුව එය වී තිබේ. 

මේ පිළිබඳව අනාවරණය කරගෙන ඇත්තේ තේ මණ්ඩලයයි. කර්මාන්තශාලා අසූවක් පරික්ෂා කරනු ලැබ ඇති අතර ඉන් පනස්තුනකම මෙය සිදුව ඇති බවට අනාවරණය වී ඇත. ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව සඳහන්ය. එහෙත් මෙවන් සිදුවීම් ජාත්‍යන්තරය තුළ ලංකා තේ අපකීර්තියට පත්වීමට හේතු කාරණාවන් වීමට ඉඩ තිබේ.

තම ජීවන උපාය ලෙස තේ කර්මාන්තයේ නිරත වන කුඩා තේ වතු හිමියන් තවත් ගැටලු කිහිපයකට මුහුණ දී සිටී. ඒ පිළිබඳ අදහස් දක්වන ගුණරත්න මහතාට අනුව ඉන් පාඩුව වන්නේ අස්වැන්න අඩුවීම හරහා නිෂ්පාදනය අඩුවීමය. ඒ හේතුවෙන් ලාභය අඩුවීමේ ගැටලුවක් නිර්මාණය වී ඇත. පොහොර මිල අධික වීමත් ලබා දෙන සහනාධාරය ප්‍රමාණවත් නොවීමත් තවත් ප්‍රබල ගැටලුවකි. ඊට අමතරව වල් නෙළීමේදී ග්ලයිෆොසේට් තහනම හරහා නිර්මාණය වූ ගැටලුව අධික පිරිවැයක් දරන්නට වීම පෙන්වා දිය හැකිය. මෙම සියලු ගැටලු සලකමින් කුඩා තේ වතු හිමියන් සුරක්ෂිත කළ යුතු අයුරු පිළිබඳ ගුණරත්න මහතා විස්තර කරයි.

“අස්වැන්න වැඩි කිරීම සඳහා පැල සිටුවීමේ වැඩසටහනක් වහ වහා රජය පාර්ශවයෙන් ක්‍රියාත්මක විය යුතුයි. අක්කරයක පැල 5000ක් තිබිය යුතු වුවත් ඒ ප්‍රමාණය දැනට නෑ. පැල සිටුවීම සඳහා දැනට දෙන රු.25ක සහනාධාරය ප්‍රමාණවත් නෑ. ඊළඟ කාරණය ගුණාත්මක පැල නොමැති වීම. ගුණාත්මක තේ තවාන් ඇතිකිරීමේ වැඩපිළිවෙළක් රජය මැදිහත් වෙලා ඇති කළ යුතුව තිබෙනවා. යහපත් කෘෂිකාර්මික පිළිවෙත්  ඇතිකිරීම සඳහා ගොවියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම වගා ආදර්ශ ඇතිකිරීමත් ඉතා වැදගත් වෙනවා.”

මේ සියල්ල සලකා බැලීමේදී අප අවසාන වශයෙන් පැවසිය යුතු එක් දෙයකි. සුද්දා අප රටෙන් බොහෝ දේ උදුරාගෙන ගිය බව සැබෑය. එහෙත් සුද්දා එන විට දිවි රැකගන්නට අපිට යමක් ඉතිරි කර ගොස් ඇත. ඒ අතරින් ලංකා තේ ප්‍රමුඛය. එහෙත් අද අප ඒ කර්මාන්තය පමණක් නොව සුද්දා ඉදිකර ගිය වටිනා බොහෝ දේ විනාශ කොට ගෙන නොවටිනා දේ රැකගෙන සිටිමු.

♦ චමිඳු නිසල් ද සිල්වා