2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ඉතාලියේ හිඟාකන ලංකාවේ හිඟන්නෝ

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 586

ඉතාලි යන්නේ යසඉසුරු සොයාය. ඉසුරු සොයා ඉතාලි ගොස් දුක් මහන්සි වී හරි හම්බකරගෙන ජීවිතය ගොඩදා ගත් අය ඕනෑ තරම්ය. දුගී දුප්පත්කමේ අගාධයේ වැටී පුංචි පැල්පත්වල ජීවත් වූ අය පවා ඉතාලියට ගොස් රැකියා කර යළි අපේ රටට පැමිණ මහා මන්දිර සාදා දරු පවුල පිටින් සුඛෝපභෝගී ජීවිත ගත කරති. 

ඉතාලියට ගොස් ජීවිතය ගොඩදාගත් අය සේම තිබුණ දේත් නැතිකර ගෙන ඒ රටේ තැන් තැන්වල හිඟා කන ශ්‍රී ලාංකිකයෝ සැලකිය යුතු පිරිසක් ද සිටිති. ඒ අයට ඉතාලියේ සිඟා කෑමට සිදු වී ඇත්තේ වෙන මොනාවත් නිසා නොව අධික ලෙස බීමට ඇබ්බැහි වීම නිසාය. යස ඉසුරු සොයා ඉතාලියට ගොස් බේබදුකම නිසා රැකියා අහිමිව නන්නත්තාර වී මව් බිමට ඒමටවත් වත්කමක් පවා නොහැකිව හිඟමන් යදින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගැන මේ තොරතුරු අප දැන ගත්තේ ද එරට සිටින අපේම රට වැසියන් පිරිසකගෙන්මය. සමහරුන්ගේ මෙරට සිටින ඥාතීන් ඔවුන්ව ආපසු ගෙන්වා ගැනීමට උත්සාහ කළත් ඔවුන් යළි ඒමට මැලිකමක් දක්වන බව දැනගැනීමට ඇත. ඒ මොකවත් නිසා නොව ඇඟ පත මහන්සි නොකර හිඟා කා හොඳ මුදලක් සොයාගෙන ඒවා ද බීමට වියදම් කරන්න පුළුවන්කම තිබෙන නිසාය.

අනුන්ගේ දුකේදී පිහිට වන සංවේදී හදවත් ඇති ඉතාලියේ සිටින ශ‍්‍රී ලාංකිකයන් මේ ශ‍්‍රී ලාංකික යාචකයන්ට නොමසුරුව අතමිට දිග හැර මුදල් ලබා දෙන්නේ ඔවුන් කෙරෙහි උපන් අනුකම්පාවෙනි.

ශ‍්‍රී ලාංකික බේබදු යාචකයන්ගේ කතා කිහිපයක් මෙතැන් සිට පෙළගස්වන්නේ දේශයේ පාඨකයන් වෙනුවෙනි.

ඉතාලියේ ප‍්‍රසිද්ධ නගරවල සුපිරි වෙළද සංකීර්ණ සහ සුපිරි අවන්හල් ඉදිරිපිට මෙම ශ‍්‍රී ලාංකිකයන් හිඟා කමින් සිටින අයුරු දක්නට ලැබෙන බව එරට රැකියාවල නිරතව සිටින ශ‍්‍රී ලාංකිකයෝ පිරිසක් පැවසූහ. ලංකාවේ සිටින සැමියා දැඩි ලෙස රෝගාතුර වී සිටින නිසා ඔහුට සැත්කමක් කිරීමට ලක්‍ෂ ගණනක් වැයවන බව කියා අනුන්ට අතපාන කාන්තාවන් ද බිරිඳ දැඩි ලෙස රෝගාතුරව සිටින බව අනුන්ට අතපාන අය ද ඉතාලියේ සිටින බව එම ශ‍්‍රී ලංකිකයෝ කීහ. ඒ අය බොරුවට එහෙම කියා ඉතාලියේ රැකියා කරන ශ‍්‍රී ලාංකිකයන් රවටා මුදල් සොයා ගන්නා බවත් මෙයත් හිඟා කෑමක් බවත් මේ තොරතුරු හෙළි කළ එම ශ‍්‍රී ලංකිකයෝ පවසති. ලංකාවේ තියෙන නිවස හා ඉඩම උගස් කර ඉතාලියේ රැකියා සොයා පැමිණ අවසානයේ බිමට ඇබ්බැහි වී එරටේ හිඟා කන අය ගැන ද දැනගන්නට ඇති බව කතෝලික ධර්මය ගැන වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට ගොස් පැමිණ සිටින කතෝලික පියතුමෙක් පැවසූහ.

යාචක වෘත්තියේ නියැලී සිටින ශ්‍රී ලාංකිකයන් අතර අමතර ක්‍රියාවක් කරන අතරවාරයේ අමතර ආදායමක් ඉපැයීමේ අරමුණින් වැරහැලි ඇඳගෙන යාචක වෘත්තියේ නිරත වන අය සිටින බව දැනගැනීමට ඇති බව ශ්‍රී ලාංකික යාචකයන් ගැන තොරතුරු හෙළි කළ එරට රැකියා කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැවසූහ.

මිලානෝ නගරයේ වියාපෙරවියොන් ප‍්‍රදේශයට කාලයක සිට යාචක වෘත්තියේ නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් මීට වසර 02 කට පමණ ඉහතදී හදිසි අනතුරකට ලක්වී මිය ගොස් ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. ඉතාලියෙන් ලැබුණු එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේ මෙම කාන්තාව ද බීමත්කමට තදින්ම ඇබ්බැහි වී ඉන්න හිටින්න තැනක් නොමැතිව කොහේ හෝ තැනක වැටී රාත්‍රිය ගත කළ තැනැත්තියක් යැයි කීයාය.

විවාහක රූමත් කාන්තාවක් සිය සැමියා සහ දරුවන් ද සමඟ ඉතාලියේ රැකියාවක් කරමින් සිටියදී ඇයටත් වඩා වයසින් අඩු අවිවාහක තරුණයකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. පසුව මේ රූමත් කාන්තාව සැමියා සහ දරුවන් ද අතහැර දමා ඔහුත් එක්ක ගොස් පවුල් කෑමට පටන්ගෙන ඇති අතර පසුව දෙදෙනාම බීමට ඇබ්බැහි වී තිබේ. බීමත්කම නිසා මේ දෙදෙනාට රැකියාව අහිමිව ගොස් අවසානයේ දෙදෙනාම අනුන්ට අතපෑමට පටන්ගෙන ඇත. මේ කතාව ද අපි සමඟ කිව්වේ ඉතාලියේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකික තරුණයෙකි.

අනුන්ට අත පා ජීවත් වන අයට ඉතාලියේ සිටින ශ‍්‍රී ලාංකිකයන් හඳුන්වන වචනයක් වන්නේ යාචක වලට වැටුණු එවුන් කියාය. යාචකවලට වැටුණු ශ‍්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් ඉතාලියේ සිටින බව අප කළ සොයා බැලීම්වලදී දැන ගැනීමට හැකිවිය.

“මුහුදු මාර්ග ඔස්සේ ධීවර යාත‍්‍රාවලින් හොරෙන් ඉතාලියට ගිය හලාවත පැත්තේ කොල්ලෙක් හොඳට හරි හම්බ කළා. ඒ කොල්ලා බඳින්න හිටිය කෙල්ලට වියදමට සල්ලි යහමින් එව්වා. කෙල්ලට උගන්වන්න වියදම් කළා. ඒ කෙල්ල උසස් අධ්‍යාපනය ලබා ලොකු රස්සාවක් කරන්න පටන් ගත්තා. ඉතාලියේ හිටිය ඒ කෙල්ලගේ පෙම්වතා සුපිරි ගෙයක් එහෙම හැදුවා. ලංකාවට ඇවිත් අර කෙල්ලව බඳින්න තමා හිටියේ. කෙල්ල ලංකාවේ ඉන්න කොල්ලෙක් එක්ක යාළු වෙලා ඒ කොල්ලව කසාද බැන්දා. යාළු වෙලා බඳින්න හිටිය කෙල්ල වෙනත් කොල්ලෙක් බැන්ද බව දැනගත්ත කොල්ලා බීමට ඇබ්බැහි වුණා. ඒ නිසාම අන්තිමේදී කාලයක් කර කර හිටිය රස්සාවත් නැති වුණා. කාමර කුලිය ගෙවාගන්න බැරිව පාරට බහින්න වුණා. ඊට පස්සේ මේ කොල්ලා හිඟා කන්න පටන් ගත්තා. එයාගේ හොඳම යහළුවෝ කට්ටියක් එකතු වෙලා සල්ලි එකතු කරලා ටිකට් එකක් අරන්දීලා ලංකාවට එව්වා.” අපිත් එක්ක මේ කතාව කිව්වේ ඉතාලියේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකිකයෙකි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගම්මානයක පදිංචි උපාධිධාරී තරුණයෙක් රැකියාවක් නොමැතිව සිටියදී ඉතාලියේ රැකියාවක් සොයාගෙන පැමිණ ඇත්තේ ලක්‍ෂ 20 ක පමණ මුදලක් ඉතාලි රැකියා සොයා දෙන අයකුට ලබා දීමෙන්ය. ඔහු මේ මුදල සොයාගෙන ඇත්තේ මව සහ පියා පදිංචිව සිටි මහ ගෙදර උකස් කිරීමෙනි. ඉතාලියේ හොඳින් රැකියාව කරගෙන ගිය මේ උපාධිධාරී තරුණයා මිතුරන් පිරිසක් නිසා බීමට ඇබ්බැහි වී ඇත. ඒ බීමත්කම නිසාම එතෙක් කාලයක් කරගෙන ගිය රස්සාව අහිමි වී අවසානයේ මේ උපාධිධාරී තරැණයා ද යාචක වෘත්තියට පිවිස ඇත.

නැව්වල රැකියාව කරමින් සිට ඇති අයෙක් පසුකාලයක ඉතාලියේ රැකියාවකට පැමිණ සිටියදී බීමට ඇබ්බැහි වීම නිසා ඔහුට ද රැකියාව අහිමිව යාම නිසා අවසානයේ ඔහුට ද සිදුවී ඇත්තේ හිඟා කෑමටය. ඉතාලියේ හිගාකන බව දැනගත් ඔහුගේ පවුලේ උදවිය පසුව ඔහුව ලංකාවට ගෙන්වාගෙන ඇත.

වසර 15 ක පමණ කාලයකට ඉහතදී ඉතාලියේ රැකියාවක් සඳහා ගොස් උපයාගත් ධනසම්හාරයෙන් ඉඩමක් මිලදීගෙන සුපිරි දෙමහල් නිවසක් ශ්‍රී ලංකවේ ඉදිකරගෙන ඇති දැනට මැදිවිය පසුකර සිටින අයකු ද යන එන මං නොමැති අයකු ලෙස පෙනී සිටිමින් යාචක වෘත්තියේ නිරතව සිටින බව එරටේ රැකියාවක නිරත සිටින ශ්‍රී ලාංකිකයෙක් පැවසීය.

රත්නපුරයේ ධනවත් මැණික් ව්‍යාපාරිකයකුගේ දියණියක් විවාහ කරගෙන සිටියදී ඉතාලියේ රැකියාවක් සොයා පැමිණ බීමත්කම නිසාම එම රැකියාව අහිමිව ගොස් යළි මවු රටට නොගොස් යාචක වෘත්තියේ නිරතව සිටින අයකු ගැන ද අපට තොරතුරු හෙළි කළේ එරට සිටින ශ්‍රී ලාංකිකයෙකි.

ඉතාලියේ කරෙයිපුර් ප‍්‍රදේශයේ පිහිටි සුපර් මාර්කට් එකක් අසල  එහි එන ශ්‍රී ලාංකිකයන්ට අතපා කීයක් හරි ඉල්ලා ගන්නා ශ්‍රී ලාංකික යාචකයන් 10 දෙනෙක් පමණ නිතර සිටින බවද අපට දැන ගැනීමට ලැබී ඇත. මීට අමතරව මිලානෝ නගරයේ සාරාමියා ස්ටිල්මියෝ පාරේ ද ශ්‍රී ලාංකික යාචකයන් කිහිපදෙනකු නිතර ගැවසෙන බව ඉතාලියෙන් ලැබෙන ආරංචි මාර්ග කියයි.

දේව ධර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයක් ලැබීමට වසර 5 ක පමණ කාලයක් ඉතාලියට ගොස් සිටි වර්තමානයේ මාරවිල මූදුකටුව පාතිමා දේවස්ථානයේ මීසම පාලක අශෝක් පෙරේරා පියතුමාගෙන් එරටේ යාචක වෘත්තියේ නිරතව සිටින ශ‍්‍රී ලාංකිකයන් ගැන තොරතුරු විමසා සිටියෙමු. මේ අශෝක් පෙරේරා පියතුමා ශ‍්‍රී ලාංකික යාචකයන් ගැන කී කතාවයි.

“ඉතාලියේ රැකියාවලට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් විවිධ හේතුන් නිසා යාචක වෘත්තියේ නිරතව සිටිනවා. කතානියාවල එක් ශ්‍රී ලාංකික තරුණයකු තදින්ම බීමට ඇබ්බැහි වී යාචක වෘත්තියේ නිරතව සිටියදී මිය ගියා. ශ්‍රී ලාංකිකයන් පිරිසක් විතරක් නොවේ කාම්බෝජය, ඉතියෝපියාව සහ යුගොස්ලොවියාව වගේ රටවල්වලින් ඉතාලියට පැමිණ සිටින අය පවා යාචක වෘත්තියේ නිරතව සිටිනවා. සුපිරි හොටෙල් හා සාප්පු සංකීර්ණ අසල විතරක් නොවේ කතෝලික පල්ලි අවට පවා ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් පිරිසක් යාචක වෘත්තයෙහි නිරතව සිටිනවා. මේ සියලු දෙනා ඉතාම අපිරිසිදුයි. වැරහිලි ඇඳගෙන තමා ඉන්නේ. ජාත්‍යන්තර කතෝලික සංවිධානයක් වන කරිටාස් ආයතනය මේ සෑම දෙනකුටම කන්න බොන්න දෙනවා. කිලිටි වී ගිය ඇඳුම් පැලඳුම් පවා සෝදා දී නහවනවා. කරිටාස් ආයතනය සේවා පහසුකම් රැසක්ම ලබාදෙනවා” යැයි ද අශෝක් පෙරේරා පියතුමා වැඩිදුරටත් කීය.

ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉතාලියට ගොස් යාචක වෘත්තියේ නිරතව සිටියදී ධනවත් රටක් වන චීනයේ සිට මෙරටට පැමිණ යාචක වෘත්තියේ නිරතව සිටි චීන ජාතිකයන් හා චීන කතුන් ගණනාවක්ම පසුගිය කාලයේ වරින් වර කොළඹ සහ මහනුවර ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබිණි.

♦ ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය