
මේ දිනවල දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජය තුළ අවධාරණයට ලක්වූ ප්‍රධාන කරුණක් වන්නේ පළාත් සභා මැතිවරණයයි. ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද මේ පිළිබඳ විශාල වශයෙන් අවධානයක් යොමුකර ඇති බවද අපට මේ දිනවල දැකගත හැකිය. මූලික වශයෙන් මහ මැතිවරණයත්, ජනාධිපතිවරණයත් පැවැත්වීමට පෙර තම තමන්ගේ දේශපාලන ජනප්‍රියතාව සහ ශක්තිය උරගා බැලීමේ උරගලක් සහ ප්‍රධානතම මූලෝපායක් වශයෙන් පළාත් සභා මැතිවරණය යොදාගන්නා බව ප්‍රකට රහසකි. අවතැන් වූ පක්ෂයට මේ මැතිවරණය වැදගත් වී ඇත්තේ තමන් ඉදිරියට ගෙන යන සංවර්ධන වැඩසටහන්හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරවීම වෙනුවෙන් දේශපාලන බලය ලබාගැනීම සඳහා පළාත් සභාවල බලය රඳවා ගැනීම අවශ්‍ය බැවිනි.
මධයම රජයට මෙන්ම පළාත් පාලන ආයතනවලට බලතල රාශියක් පැවරී තිබේ. ඒ අතර විරුද්ධ පක්ෂය පළාත් සභාවල බලය ලබාගැනීම මගින් රජයට විරැද්ධ ජනමතයක් නිර්මාණය කරගැනිමට ඇති හැකියාව වර්ධනය කරගැනීම සඳහා කටයුතු කරයි. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් රජය මෙන්ම විපක්ෂයද අවධානයෙන් පසුවන්නේ එහෙයිනි.
මේ වනවිට පළාත් සභා තුනක නිල කාලය අවසන්ව වසරකට ආසන්න කාලයක් පමණ ගතවී ඇත. එනම් සබරගමු පළාත් සභාව 2017.09.26, නැගෙනහිර පළාත් සභාව 2017.09.30, උතුරුමැද පළාත් සභාව 2017.10.01 ලෙසින් නිල කාලය අවසන්ව ඇත. මෙම වසරේ 2018.10.08 වන දින මධ්‍යම පළාත් සභාව. 2018.10.01 වයඹ පළාත් සභාව, 2018.10.24 උතුරු පළාත් සභාව ලෙසට තවත් පළාත් තුනක කාලය අවසන් වීමට නියමිතව ඇත. නමුත් තවමත් පළාත් සභා ඡන්දයකට සූදානම් වන බවක් පෙනෙන්නට නැත.
පළාත් සභා මැතිවරණය කඩින් කඩ නොපවත්වා එකට පැවැත්වීමට ආණ්ඩුව සද්භාවයෙන් කටයුතු කරනවා නම් කරන්නට තිබුණේ සියලු පළාත් සභා ඔක්තෝබර් මාසයේ විසුරැවා හැර මැතිවරණයකට යාමය. එසේත් නැතිනම් ප්‍රථමයෙන් අවසන් වන සහ අවසානයට අවසන් වන දින දෙකට මැද දිනයක් නිශ්චිතව නියම කිරීමය. නමුත් එසේ නොකරන මේ ආණ්ඩුව මේ අර අඳින්නේ 2019 තෙක් මැතිවරණය කල් ඇදීමට බව පැහැදිලිය.
එමෙන්ම පැරණි ක්‍රමයට ඡන්දය පවත්වන ලෙසට ඉල්ලූ බොහෝ පක්ෂද අද නැවතත් මනාප ක්‍රමයට මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටී. කල් යන මෙම පළාත් සභා මැතිවරණය ගැන ජනතාව දරන මතය අපි විමසුවෙමු.
කල්දාන තරමට ආණ්ඩුව එපාවෙනවා
දයා සහබන්දු - මාතර
“ඇත්තටම ඡන්දය තියන එක කොහොම වුණත් ජනතාවට දැන් මේ ආණ්ඩුව එපා වෙලා ඉන්නේ. ජනතාවට දරාගන්න බැරි විදියට බඩුමිල අහස උසට ඉහළ ගිහින් තියෙනවා. ඡන්දය අපේ අයිතියක්. යහපාලනය කියලා ආපු මේ ආණ්ඩුව පොරොන්දු ඉටුකරන පාටක් නැහැ. මොවුන්ට ඕනවෙලා ඇති ඡන්දයකට යන්න. නමුත් ඔවුන්ට ඒ ඡන්දය පරාදවෙයි කියලා සාධාරණ සැකයක් තියෙනවා. ප්‍රාදේශීය සභා ඡන්දයට වුණ දේ වෙයි කියලා බයක් ඇති. ඒක නිසා තමයි මොවුන් මේ විදියට ඡන්ද කල් දාන්නේ. තව කතාකරන්න දෙයක් නෑ ජනතාව මේ පාර ඡන්දයේදී පාඩමක් උගන්වයි අනිවාර්යයෙන්ම.”
අපට කිසිම වැඩක් කරගන්න බෑ
හැටන් - ආනන්ද
“දැන් අපේ පළාතේ පළාත් සභා විසුරුවලා අවුරුද්දක් වෙන්න එනවා. මේක අපිට හරි ප්‍රශ්නයක්. මොකද පළාත් සභාවලින් පාලනය කරන ආයතනවලට ගියාම බොහොම ලොකු අමාරුවක තමයි අපි වැටෙන්නේ. අපි දෙමළ අය ඒ වගේ වෙලාවට අපි අසරණ වෙනවා. පළාත් සභා ඡන්දය දැන්ම තියයි කියලා අපිට විශ්වාසයක් නැහැ කොහොමත්. මොකද දැන් ආණ්ඩුව දුන්න පොරොන්දු එයාලට ඉෂ්ඨ කරන්න බැහැ කියලා ඔවුන් දැනගෙන ඉන්නේ. මට හිතෙන විදියට මේ ආණ්ඩුව ජනාධිපතිවරණය වෙනකම් ඡන්දය තියන එකක් නැහැ. ඒක නිසා මේ ආණ්ඩුව මේ විදියට ඡන්දය කල් දැම්මොත් ජනතාවගෙන් හොඳ උත්තරයක් හම්බ වෙයි. දැන් එයාලා කියන්නේ ආයේ මනාප ක්‍රමයට මැතිවරණය තියන්න ඕන නිසා ඡන්දය ඉල්ලනවා කියලනේ. ඒ වුණාට අපිට මොන මොන විදියකට හරි ඡන්දය ඉක්මනට තියන්න. අපි වැඩක් කරගන්න ගියාම ඒක කරගන්න බැහැ මේ ඡන්දය තියන්න පරක්කු නිසා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඉක්මනට ඡන්දය තියන්න කියලා.”
ලෝකේ කිසිම රටක් මෙහෙම කරන්නේ නැහැ
රසික - කළුතර
“මේ ආණ්ඩුව මේ පළාත් සභා ඡන්දය කල් දාන්නේ උවමනාවෙන්මයි. මොකද ආණ්ඩුව දන්නවා මැතිවරණය මේ වෙලාවේ පැවැත්වුවොත් ඒක එයාලට අවාසියි කියලා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය කල්දාන්න එපා කියලා. ලෝකේ මම හිතන්නේ එකම රට වෙන්නැති මේ විදියට ඡන්ද කල්දාන. ජනතාවට දැන් මේ ආණ්ඩුව එපාවෙලා ඉන්නේ. කරන්නම් කියපු එකම එක දෙයක්වත් හරියට මේ ආණ්ඩුව කළේ නැහැ. ඒ නිසා ජනතාව මේ ආණ්ඩුව ගැන කලකිරීමෙන් ඉන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවට කියනවා පුළුවන් නම් ඉක්මනටම ඡන්දය තියන්න. මිනිසුන්ගේ ඡන්ද අයිතිය උදුරාගන්න එපා කියලා.”
ජනතාවගේ අයිතිය ආණ්ඩුව පාගා දමලා
රාජරත්න - වැල්ලවත්ත
“ඡන්දය කල් යන එකට නම් අපි කොහොමටවත් කැමැති නැහැ. කවුරු පාලන බලයේ හිටියත් ජනතාවට ඒ අය එපා නම් එහෙම කියන්න තියෙන හොඳම අයිතිය තමයි ඡන්දය කියන්නේ. ඒ නිසා අපි කියන්නේ ජනතාවට ඔවුන්ගේ ඒ අයිතිය ලබාදෙන්න වෙන මොනවත් ඕන නැහැ. හැකි ඉක්මනට ඡන්දය තියන්න. එහෙම නැති වුණොත් විශාල ජනතා විරෝධයක් මතුවෙයි ඉදිරියේදී. ඒ තරම් ජනතාවට දැන් මේ ආණ්ඩුව එපාවෙලා ඉන්නේ.”
ඡන්දෙ තියයි කියලා හිතන්න බැහැ
ආනන්ද - නාගොඩ
“මේ වෙනකම් බලයට ආපු කිසිම කෙනෙක් කොච්චර පොරොන්දු දීලා ආවත් ඒවා ඉෂ්ඨ කරන්නේ නැහැ. අවුරුදු 30ක්ම ඕක තමයි වුණේ. මම නම් කියන්නේ මේ පාලනය වෙනස් වෙන්න ඕන. ජේ.වී.පී. එකට ආණ්ඩු බලය ලබාදෙන්න ඕන. මොකද මේ දැන් රට යන තත්ත්වේ හැටියට ජේ.වී.පී. එකට විතරයි රට ගොඩගන්න පුළුවන්. අනිත් කොයි කවුරු පාලන බලයට ආවත් රට සෙතක් වෙන්නේ නෑ. ජනතාවට සෙතක් වෙන්නෙත් නෑ. ඔවුන්ටම තමයි ඔවුන් හැමදේම කරන්නේ. මේ ආණ්ඩුව බලයට ආපු හැටි අපිට මතකයිනේ. ඒ වුණාට කියපු එකම දෙයක්වත් ඉෂ්ඨ කළේ නැහැනේ. ඒ නිසා මේ පළාත් සභා ඡන්දයත් ඉක්මනට තියයි කියලා අපිට හිතන්න බැහැ. කොහොම වුණත් ඡන්දය කියන්නේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකමක්. ඒ නිසා ඉක්මනට ඡන්දය තියන්න කියලා අපි මේ ආණ්ඩුවට කියනවා.”
අපි ඕවා ගැන වැඩිය දන්නෙ නෑ
කරුණාරත්න - මොණරාගල
“අපි ගොවියෝ. ඔය ඡන්දය ගැන වැඩි දෙයක් අපි දන්නේ නෑ. ඒ වුණාට මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා කියලා අපිට දැනෙනවා. පොහොර සහනාධාරය ගොවීන්ට ණය ඔක්කොම දෙනවා කියපු නිසා තමයි අපි මේ ආණ්ඩුව බලයට ගෙනාවේ. ඒ වුණාට අපිට දැන් තේරිලා තියෙනවා මේ අයත් කරන්නේ අනිත් හැම ආණ්ඩුවක්ම කරන එක කියලා. ඒ නිසා ඒ ඒ පළාත්වල මිනිස්සුන්ට ඡන්දයක් ඕන ඇත. අපි කියන්නෙත් මේ දැන් විසිරෝපු පළාත් සභාවල හරි ඡන්දය තියන්න කියලා ඉක්මනට.”
මේ ගොල්ලෝ කිව්වේ එකක්: කරන්නේ තව එකක්
ලක්ෂ්මන් - හොරණ
“මේ ආණ්ඩුව බලයට ආවේ කොහොමද යහපත් පාලනයක් මෛත්‍රී යුගයක් දින සියයෙන් අලුත් රටක් කියලනේ. නමුත් ඒවා එකක්වත් තව වෙනකම් කරලා නැහැනේ. ඒ දවස්වල කිව්වා වෙලාවට ඡන්දය තියනවා කියලා. ඒ වුණාට දැන් අවුරුදු තුනක් ගිහිල්ලත් ඡන්දය නැහැ. ඒ ආණ්ඩුව කළේ ඡන්දය දිනයට වඩා කලින් තියන එක. මේ ආණ්ඩුව කරන්නේ ඡන්දය කල්දාන එක. මේ දෙකෙන් මොක කළත් අසරණ වෙන්නේ මේ අපි වගේ ජනතාව. පළාත් සභාවකින් ඒ පළාතේ ගම්වලට කෙරෙන වැඩ කොච්චර තියෙනවද? නමුත් ඒ ඔක්කොම ඇනහිටලා තියෙන්නේ. මේක ජනතාවගේ අයිතියක්. මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්. ඒ නිසා අපි මේ ආණ්ඩුවට බල කරලා කියනවා ජනතාවගේ ඒ ඡන්ද අයිතිය ලබාදෙන්න.”
►හසිත් අංජන
සේයාරූ I සුමුදු හේවාපතිරණ