
සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැති එක්දින තරගය අවසානයේදී ක්‍රීඩා ලෝලීහු ඒ අවට විසිරී තිබූ සියලු කැළිකසළ එක් තැනකට ගොඩ ගසා මුළු ක්‍රීඩාංගනයම පිරිසුදු කළහ.
රුසියාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුර ජපාන ක්‍රීඩා ලෝලීන් එක් පාපන්දු තරගයක් අවසානයේදී මෙසේ මුළු ක්‍රීඩාංගනයම ශුද්ධ පවිත්‍ර කර ලොවටම ආදර්ශයක් ලබා දුන්නේ මෑතකදීය. එම තරගයෙන් ජපානයට හිමිවූයේ අන්ත පරාජයකි. නමුත් පරාජය හමුවේ නොසැලී මුහුණදීමේ ශක්තිය එදා මෙන්ම අදද ජපන් ජාතිකයින් තුළ පවතී.
ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටිය ක්‍රීඩාලෝලීන් විසින් පිරිසිදු කිරීමට පළමුව මෙම ආදර්ශමත් ක්‍රියාවලිය සිදුකරන ලද්දේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදීය. ඒ පසුගිය අගෝස්තු පස්වෙනි දින තිබූ සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අතර පැවැත්වූ එක්දින ක්‍රිකට් තරගයේදීය. එම තරගයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමිවූයේ පරාජයකි. තමුන් ක්‍රීඩා තරගය දැකබලා ගන්නට පැමිණි ක්‍රීඩා ලෝලීන් අතරේ සිටි කිහිපදෙනෙක් ජපනුන්ගේ ආදර්ශය මුළු මහත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ටම ගෙන දීමට සමත්වූහ.
ඒ වනවිටත් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තැන තැන විශාල කසළ ප්‍රමාණයක් එක්රුස්ව තිබුණි. ක්‍රීඩාලෝලීන් කෑමට ගෙනා ආහාරවල ඇසුරුම්, හිස් ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කෝප්ප තැන තැන දිස්වුණි. තරගය අවසානයේදී පරාජයෙන් හිතට දැනුණු දුකත් සමඟ නිවාසවලට යන්නට ඇතැමුන් උත්සාහ දරද්දී ක්‍රීඩාවට මෙන්ම පරිසරයට ආදරය කරන හිත් ඇති මිනිසුන්ගේ දෙඇස මේ ක්‍රීඩාංගණය දෙසට යොමුවිය.
එදා මුලින්ම ක්‍රීඩාංගණය පිරිසිදු කරන්න පටන් ගත්තේ ගෑනු ළමයි පිරිසක්. අපි හිතන විදිහට ඒ දරුවෝ විශ්වවිද්‍යාලයක වගේ දරැවන් පිරිසක්. කොහොමටත් මුලින්ම මේ වැඩේ පටන් ගත්තේ හතර පස් දෙනෙකුගෙනුයි. ඊට පස්සේ මේ අය කරන වැඩේ දැකලා ළඟ පාත පොඩි ළමයි ටිකකුත්, පිරිමි ළමයි ටිකකුත් එකතු වුණා. කොහොම හරි මුළු ක්‍රීඩාංගණයේම විසි දෙනෙක් විතර තැන තැන මේ විදිහට කැළිකසළ එකතු කරමින් මේ ආදර්ශමත් ක්‍රියාවට එකතු වුණා. ඒ හැමෝම මේ වැඩේට උර දුන්නේ හරිම සතුටින්. කවුරුවත් කාටවත් බල කළේවත් නැහැ. ඉතින් අවසානයේදී මුළු ක්‍රීඩාංගනයම පැය එකහමාරකින් විතර ඒ අය එකතුවෙලා පිරිසිදු කරලා අවසන් කළා. අවුරැදු දොළහ දහතුන වයසේ පොඩි දරුවන් කිහිප දෙනෙකුත් මේකට එකතුවුණා. ඇත්තම වෙනදාට මේ වැඩේට වෙනම පිරිසක් අපිට යොදවන්න සිද්ධ වෙනවා. නමුත් මෙවැනි ක්‍රීඩාවට ආදරය කරන, මේ පරිසරයට ආදරය කරන ක්‍රිකට් ලෝලීන් පිරිසක් මේ කරපු දේ මුළු රටටම ආදර්ශයක්. ඒ නිසා ඒ කළ කාර්යය අගයලා අපි ඔවුන්ව අගේ කිරීමක්ද කළා. ඒ යෝජනාව අපිට ඉදිරිපත් කළේ මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ ප්‍රධාන ලේකම් ජානක පතිරණ මහතායි. යැයි පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
මෙම ආදර්ශමත් ක්‍රියාවත් සමඟ මෙම ක්‍රීඩා ලෝලීන්ට ඉතා අගනා ත්‍යාගයක්ද හිමිවුණි. මුදල් හෝ ත්‍යාග ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙය සිදුනොකළද ඔවුන්ව අගය කිරීමටද නිලධාරීහු අමතක නොකළහ. ඒ අනුව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වූ දෙවන එක්දින තරගය (අගෝස්තු 8) නැරඹීමට ඔවුන්ට නොමිලේ ටිකට් පතක් හිමිවුණි. එදිනද පෙර තරග දිනයේදීම මෙන් මුළු ක්‍රීඩාංගණයම තරගය අවසන් වීමෙන් පසුව සුද්ධ පවිත්‍ර විණි. ඒ සඳහා පළමු දිනයටත් වඩා පිරිසක් මුළු ක්‍රීඩාංගණය තුළම එකතු වී සිටියහ.

බොහෝ පිරිසක් තරගය අවසානයේදී ගෙවල්වලට යන්න හදද්දී මේ පිරිස කරපු වැඩේට අගේ කිරීමක් කරන්න ඕනේ. ඒ නිසා අපේ කාර්යාලයේ වැඩකරන සේවකයෙකු ලවා අපි ඔවුන්ව අපේ කාර්යාලයට ගෙන්වූවා. ඒ අතර සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ළමයින් කිහිප දෙනෙකුත් පල්ලේකැලේ අවට ප්‍රදේශවලත්, මාවනැල්ල ප්‍රදේශයේත් පිරිසක් මේ කටයුත්තට සම්බන්ධ වෙලා තිබුණා. කොහොමත් අවසානයේදී මේ කටයුත්තට දහනව දෙනෙක් සම්බන්ධ වෙලා හිටියා. මොවුන් ඇත්තටම පරිසරයට ආදරය කරන මිනිස්සු. මුළු ක්‍රීඩාංගණය පුරාම කුණු කසළ තිබීම නිසා පිරිසිදු කරන්න හිතුණා කියලයි ඒ හැමෝම කිව්වේ. ඇත්තටම කවුරුවත් මේ අයට බලපෑමක් කරලා නැහැ. කිහිප දෙනෙක් එකතුවෙලා මේ ආදර්ශමත් කටයුත්ත කරද්දී අනිත් අයත් එයට එකතුවෙලා තියෙනවා. ඒකට උපහාරයක් ලෙස, ඔවුන් කළ ක්‍රියාව අගේ කිරීමක් ලෙස අපි ඔවුන්ට ඊළඟ තරගය නොමිලේ බලන්න ටිකට් පත් දහනමයක් ලබා දුන්නා. ඔවුන් හැමෝම එදත් ආවා. එදිනත් පෙර දිනය මෙන්ම මුළු ක්‍රීඩාංගනයම පිරිසිදු කළා. ඒ වෙනුවෙන් පළමු දිනයට වඩා බොහෝ පිරිසක් වැඩිවුණා. යැයි මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ ප්‍රධාන ලේකම් ජානක පතිරණ මහතා දේශයට පැවසීය.
මුල් දිනයේදී මුළු ක්‍රීඩාංගණයම තැන තැන විසිරී තිබූ කැළිකසළ එක් තැනකට ගොඩගසා මුළු ක්‍රීඩාංගණයම පිරිසිදු කිරීමට පැය එකහමාරක් දෙකක් අතර කාලයක් ගතවුවද දෙවැනි දිනයේදී කැළිකසළ එක්රුස් කිරීමට ගතව ඇත්තේ විනාඩි හතළිස් පහකට අඩු කාලයකි. එයට හේතුව වූයේ පළවූ දිනට වඩා මෙම ආදර්ශවත් ක්‍රියාවට දෙවැනි දින බොහෝ පිරිසක් එක්වී සිටීමය.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ඇරඹූ මෙම ආදර්ශමත් ක්‍රියාව කොළඹ දක්වාද ව්‍යාප්ත විය. පසුගියදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසාන එක්දින තරගය අවසානයේදී පැමිණ සිටි ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගනයේ තැන තැන දමා තිබූ කැළිකසළ එක තැනකට එක්රුස් කොට තිබුණි.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් තමයි මේ ආදර්ශමත් කටයුත්ත ආරම්භ වුණේ. පහුගියදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීත් මේ ආදර්ශමත් ක්‍රියාව සිදුවුණා. ක්‍රීඩාව බලන්න ආපු බොහෝ දෙනෙක් මේකට උදව් වුණා. මේක ආදර්ශමත් වැඩක්. සමහරු තරග දිනද්දී ප්‍රීතිඝෝෂා කරද්දී, සමහරු ගෙවල්වලට යන්න හදිස්සි වෙද්දී තවත් සමහරු මේ අපූරු ක්‍රියාවට උදව් කළා. යැයි කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශයට පැවසීය.
සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් ඉදිරියේ අපේ ක්‍රිකට් ලෝලීන් පිරිසක් මෙසේ ආදර්ශමත් ක්‍රියාවන් පෙන්නුම් කළහ. පරිසරයට ඇළුම් කරන, ක්‍රීඩාවට ආදරය කරන මෙවන් ක්‍රීඩා ලෝලීන් සැබැවින්ම ක්‍රීඩාවට ආදර්ශයකි. ක්‍රීඩාව මෙන්ම රටද ඉදිරියට යාමට මෙවැනි සිද්ධිවලින් ලැබෙන්නේ විශාල තල්ලුවකි.
දිශානි ජයමාලි කරුණාරත්න