
සිතූ සිතූ සැප සම්පත් ඔබට ළඟාකර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මෙන්න ඔබටත් ඒ අනගි අවස්ථාව 078 ••••••• කතාකර අදම වෙන්කරවා ගන්න. නොඑසේනම් පැමිණ වෙන්කර ගන්න. ඉක්මන් කරන්නන්ට විශේෂ මිල අඩු කිරීම්...
මීට මාස තුනකට පමණ පෙර අන්තර්ජාලයේ සහ මෙරට පුවත්පත් කිහිපයක පළකර තිබූ මෙම දැන්වීම දුටු සැණින් මේ පිළිබඳ ලියුම්කරුට සොයාබැලීමට සිත්වූයේ නිතැතිණි.
මෙම දැන්වීම පළකර තිබූ දිනම ඉහත් කී දුරකථන අංකයට ඇමතුමක් ලබාගත්තේ ඒ සමඟය. ලියුම්කරු ගන්නා සෑමවිටම අංකය කාර්යබහුල විය. කෙසේ වෙතත් සිය උත්සාහය අත්නොහැරි ලියුම්කරු නැවත පසුදින එම දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත් අතර එවිට එම දුරකතනය නාද විය.
ලියුම්කරු: වාලම්පූරියක් ගන්න පුළුවන් කියලා පත්තරේ දැන්වීමක් දාලා තිබුණා. ඒ ගැන දැනගන්න කතාකළේ.
දුරකථන ක්‍රියාකරු: ඔව් හැබැයි දැනට නම් අපේ ළඟ නැහැ. තව දවස් දෙකකින් විතර කථා කරලා බලන්න. එහෙම නැත්තම් ඇවිල්ලා හම්බවෙලා කතා කරල ගන්නත් පුළුවන්.
ඒ වුණාට මේවා විකුණන්න තහනම් නේද?
අපි ලීගල් විදියට තමයි විකුණන්නේ. ඔයාට ඕනම නම් කතා කරල බලන්න පස්සේ.
නැවතත් දින දෙකකට පමණ පසුව ලියුම්කරු ඔවුන්ගේ දුරකතනයට ඇමතුමක් ගත් අතර ඒ වනවිට එය ක්‍රියා විරහිත කර තිබිණි. ඉන්පසුව දින ගණනාවක් මුළුල්ලේ එයට ඇමතුම් ලබාගත්තද එම අංකයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. මාස තුනකට පමණ පෙර සිදුවූ පළමු සිදුවීම එලෙසින් අවසන් විය.
නැවතත් මාස තුනකට පමණ පසුව අන්තර්ජාලයේ වෙනම නමකින් එම දැන්වීම දමා තිබෙනු ලියුම්කරැට දැකගත හැකි වූ අතර පුදුමයකට මෙන්ම එදිනද සඳහන් වූයේ පෙර කී දුරකථන අංකයමය. ලියුම්කරු එම දැන්වීම මීට පෙර දුටු බවක් හෝ පෙර දිනයක කථා කළ බවක් නොඅඟවා ඔහු හා කථාබස් කළේය. ලියුම්කරුට ඔහු හමුවීමට වෙලාවක්, දිනයක් හා ස්ථානයක් ලැබිණි.
නියමකරගත් වෙලාව පරිදි ඔහු දැනුම් දුන් ස්ථානයට ගිය ලියුම්කරු තමන් පෙර දුටු දැන්වීම ගැන විමසා ලියුම්කරු හඳුන්වා දීමෙන් අනතුරුව කථාව ඇරුඹුණි.
තමන් කවුරුන්ද හඳුන්වාදීමෙන් අනතුරුව ඔහු මෙම සිදුවීම ගැන විස්තර කීමට අකමැති විය. එහෙත් සිය නම ගම හෙළි නොකිරීමේ පොරොන්දුව මත ඔහු ලියුම්කරැ සමඟ වාලම්පූරි කථවේ අටුවාටීකා දිග හැරියේය.
මොකක්ද මේ වාලම්පූරි බිස්නස් එක...?
ඒක මෙහෙමයි ඇත්තටම මේ වාලම්පූරි නෙවෙයි. එහෙම කියලා තමයි මේ ලයින් එක ගහන්නේ.
ඒ කිව්වේ?
ඒ කියන්නේ මෙහෙමනේ ලොක්කා... අපි ඔය ෆේස් බුක් එකේ පේජ් එකක් හදලා පත්තරේක පොඩි ඇඩ් එකක් දානවා වාලම්පූරි තියනවා කියලා. වාලම්පූරි ගැන දන්න මිනිස්සු වගේම නොදන්න මිනිස්සුත් අපිට ඕනතරම් කතා කරනවා හැබැයි ඒ වාලම්පූරි ගැන දන්න උන් නෙවෙයි අපේ ටාගට් එක. ඒ ගැන නොදන්න උන්.
ඒ කිව්වේ?
වාලම්පූරි ගැන නොදන්න අය කථා කරද්දි අපිට තේරෙනවා. ඒ අය හිතන්නේ මේක හම්බ වුණු ගමන් සිතූ පැතූ දේවල් හම්බවෙනවා. මීට වඩා හොඳට කල් ගෙවන්න පුළුවන් කියලා. ඒ මිනිස්සුන්ගේ විශ්වාසෙ දිනාගන්න ඕන නිසා අපි කථා කරන්න නම්බර් එකකුත් දෙනවා. අපි දන්න කෙනෙක්ගේ. කොහොමත් වෙන කෙනෙක් දෙයක් කියද්දි අපේ මිනිස්සු මහ ඉහළින් පිළිගන්නවනේ. අන්න එතන තමයි අපි ටැකල් කරන්නේ. මුලින් එන එකකින් ඇඩ්වාන්ස් රැපියල් 2000ක් ගන්නවා. දිනයක් දීලා කොහොමත් කවුරැ වුණත් 2000 කට පොලීසි යන්නේ නැහැනේ ලොක්කා.
ඒ වුණාට මේ නම්බර් එකම ආයේ දැම්මම මාට්ටු වෙන්නේ නැද්ද?
එහෙම මාට්ටු වෙනව නම් මේක කරන්න බැහැ මල්ලි. ඒකට හොඳ ගේමක් ගහන්න දැනගෙන ඉන්න ඕන. ග්‍රවුන්ඩ් එකේ හැටියට තමයි අපි ගේම ගහන්නේ. අනික අපි ගහන ගේමේ ටර්න්ද පාස්ද බෝලේ වැටෙන්නේ කොහොමද කියලා අපි දන්නවා.
ඒ වුණාට මිනිස්සු රවට්ටල සල්ලි ගන්න එක හරි නැහැ නේද?
ඔය කොයි කවුරු කරන්නෙත් ඒක තමයි මල්ලි. අද සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලි. ඉන්න කාලේ සැපට කලා බීලා ඉන්න ඕන. අපිට හෙණ ගහනව නම් අපිට කලින් හෙණ ගහන්න ඕන උන් කී දෙනෙක් ඉන්නවද ලොක්කා. මේක අපේ බිස්නස් එක.
ඒ වුණාට ඒ මිනිස්සු අමාරුවෙන් සල්ලි හම්බ කරන්නේ?
වෙන්නැති මිනිස්සු මිත්‍යා පස්සේ දුවලා සාත්තර අහන්න දේවාල ගානේ යන්න කවදාවත් නොදැකපු දෙයියන්ට සල්ලි දෙනව නම් අපිට දුන්නට පව් නෑනේ ලොක්කා. ඒක තමයි මගේ තියරිය. අපේ මිනිස්සුන්ට දියුණුවෙනවා හෙට සල්ලි හම්බවෙලා කෝටිපතියෙක් වෙනවා කියලා කිව්වොත් ඕනම දෙයක් කරයි මල්ලි.... රුපියල් දෙදාහයිනේ පාඩු වෙන්නේ.
සැබෑ වෙස්සන්තරලා මෙන්ම දේවදත්තලාද සේරිවාණිජ මෙන්ම කච්චපුට වැනි බොහේ දෙනාද මේ සමාජයේ සිටිනා බව මිනිසුන්ට අමුතුවෙන් කිව යුතු නැත. නමුත් ජනතාව හැමදාමත් මෙවැනි මිනිසුන්ට අහුවන්නේ ඔවුන්ගේ සටකපටකම් නිසාවෙනි.
ගැටකපන්නන්ගෙන් සොර සතුරන්ගෙන් ඔබේ මුදල් පසුම්බිය ආරක්ෂා කරගන්න යනුවෙන් බෝඩ් ලෑලි ගසා තිබුණද මෙවැන්නන්ගෙන් ආරක්ෂා විය යුතු ආකාරය ගැන කිසිම තැනක සඳහනක් නැත. ජනතාව වඩාත් පරිස්සම් විය යුත්තේ මොවුන්ගෙනි. ඒ සඳහා තම ආරක්ෂාව සපයා ගැනීම තමන් සතු වගකීමකි.
හසිත් අංජන