
පාර්ලිමේන්තුව මගින් සම්මාන කෙරුණු ජාතික විගණන පනත මෙම අගෝස්තු මස 01 දා සිට බලාත්මක විය. ඒ නිසා නව විගණන පනතට අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ විගණන කටයුතුවල යෙදීමට විගණකාධිපතිවරයාට බලය ලැබී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 153 සහ 154 යන වගන්ති ප්‍රකාරව විගණකාධිපතිට විගණනය පිළිබඳ බලතල හිමිව තිබුණ ද විගණන ක්‍රමවේදය පිළිබඳ බලතල සහිත විගණන පනතක් නොතිබීම නිසා මෙතෙක් විගණකාධිපතිට හිමිව තිබූ බලය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් නොතිබිණි. එහෙත් නව විගණන පනත මගින් යම් පමණකට හෝ බලතල ලැබීම සතුටට කරුණක් බව රාජ්‍ය මූල්‍ය විශේෂඥයෝ පවසති.
විගණන පනත පසුගිය සතියේ සම්මත වුවද එහි අතීතය 1983 වසරට යයි. එවකට කෝප් කමිටුවේ හිටපු සභාපති ඩබ්ලිව්.පී.බී. දිසානායක රාජ්‍ය ආයතන 171ක මූල්‍ය හැසිරීම පිළිබඳ පරීක්ෂා කර රජයට නිර්දේශ හතරක් ඉදිරිපත් කරයි. ඒවයේ ප්‍රධාන නිර්දේශය වන්නේ විගණන පනතක් ඇතිකර විගණකාධිපතිගේ බලතල ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමයි. ඒ අනුව 1983 වසරේදීම විගණන පනතක් කෙටුම්පත් කිරීම ආරම්භ කළත් එය අතරමග නවතින තත්ත්වයක් ඇතිවිය. අනතුරුව රටේ මූල්‍ය ශක්‍යතාව පිළිබඳ ලෝක බැංකුව සිදුකළ ශක්‍යතා අධ්‍යයනයක් අනුව වහාම ශක්තිමත් විගණන පනතක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2003 වසරේදී යළිත් වරක් විගණන පනතක් කෙටුම්පත් කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගන්නා අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර 2015 වසර දක්වාම ප්‍රමාද විය.
යහපාලන ආණ්ඩුව බලයට පත්වී මුලින්ම ඉදිරිපත් කෙරුණු දින 100 වැඩපිළිවෙළට අනුව 2015 පෙබරවාරි 19දා නව විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දින දමා තිබිණි. එහෙත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පසු එය ඒ මේ අත ගමන් කරමින් අවසානයේදී අගමැති ලේකම්වරයා ළඟ හිරවී තිබිණ. විවිධ බලපෑම් නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද වූ මෙම පනත බොහෝ උත්සහයකින් පසු පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමත කරගන්නට හැකිවීම යම් පමණකට හෝ සෑහීමකට පත්වීමට හැකි කරුණක් බව වැඩි දෙනාගේ මතය වේ.
පනත සම්මත වීමෙන් පසු කොමිසමේ සාමාජිකයන් දිවුරුම් දීම පමාවීම නිසා විගණන කොමිසමේ වැඩ ආරම්භ කිරීමේ සුළු ප්‍රමාදයක් තිබුණ ද පසුගියදා කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු කොමිසම සක්‍රීය විය. වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ මසකට රුපියල් ලක්ෂ 22 බැගින් නිස්කාරණයේ වැය කරමින් නාමිකව පැවැති අල්ලස් කොමිසම මේ වනවිට වැඩට බැස තිබේ.
කෝප් කමිටු සභාපති හා ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සම්මත වූ පනත පිළිබඳ එතරම් සෑහීමකට පත්වී නොමැති අතර ඔහු පවසන්නේ මෙම පනත මුලින් කෙටුම්පත් කළ පනතට වඩා දුර්වල එකක් බවට පත්ව ඇති නිසා බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබාගැනීම උගහට බවය. ඔහු පෙන්වා දෙන්නේ විගණන කොමිසම රාජ්‍ය නිලධාරියකුට යම් අධිභාරයක් පැනවුවහොත් එය අයකර ගැනීමේ ක්‍රියාවලියට විගණකාධිපතිට මැදිහත් වීමට බලයක් නොමැති බවයි. එම බලය යළිත් වරක් එම නිලධාරියා සේවය කරන අමාත්‍යංශයේ ලේකම්වරයාට ලැබී ඇති අතර ඔහු ඒ පිළිබඳ විධිමත් පියවර ගනියයි සිතිය නොහැකි බවද මන්ත්‍රීවරයා කියයි. එසේම පනත මගින් අභ්‍යන්තර විගණනයක් කිරීමට විගණකාධිපතිට තිබූ බලයද උදුරාගෙන ඇති අතර පනතේ කිසිදු තැනක දේශපාලනඥයන් කරන වැරදි සොයාබැලීම පිළිබඳ වගන්ති ඇතුළත් නොවීම ප්‍රධාන අඩුපාඩුවක් බවද ඔහු කියයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති:
“මෙයට පෙර අපේ රටේ විගණන පනතක් තිබුණේ නැහැ. ඒ නිසා මෙම පනතේ යම් යම් අඩුපාඩු තිබුණත් මේ තත්ත්වයෙන් පටන් ගැනීම හොඳයි. අපි ඒ දෙස සුබවාදීව බැලිය යුතුයි. මෙය සීයයට සීයයක් අංගසම්පූර්ණ නොවුණත් අන්ධකාරයේ සිටිනවාට වැඩිය එක පහනක් හෝ දැල්වීම හොඳ නිසා අප දැනට මෙයින් සෑහීමකට පත්වී ඉදිරියේදී අවශ්‍ය වෙනස් කිරීම් කළ යුතු වෙනවා.
දැනට බලාත්මක 2018 අංක 19 දරණ විගණන පනත අනුව අධිභාර පැනවීමට ප්‍රතිපාදන විධිමත් වී තිබෙනවා. මෙයට කලින් රාජ්‍ය සේවයේ නිලධාරින්ට විගණන විමසුම අනුව අධිභාර පැනවීමට පියවර ගන්න ඉඩ ලැබී නැහැ. මෙයට පෙර පැවැති ක්‍රමය වූයේ විගණන විමසුමක් ලැබුණු විට ආයතන සංග්‍රහය අනුව, මුදල් රෙගුලාසි හා විනය රෙගුලාසි අනුව නිලධාරියට එරෙහිව විනය පියවර ගැනීමයි. එහෙත් මෙම විගණන පනතේ 19 වගන්තිය අනුව රාජ්‍ය සේවයේ අදාළ නිලධාරීන්ට අධිභාර පනවන රජයට සිදුවූ අලාභය අයකර ගැනීමට බලය ලැබී තිබෙනවා. එම මුදල ගණනය කරනු ලබන්නේ විගණකාධිපති විසින් මෙයට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හැටියට අමාත්‍යාංශ ලේකම් තමා වගකිවයුතු වන්නේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාට විගණකාධිපති දැන්වූ පසු එයට වගකිව යුතු අයගෙන් අයකර ගැනීමේ ක්‍රමවේදය අමාත්‍යාංශ ලේකම් ආරම්භ කළයුතුයි.
මෙහිදී චූදිත නිලධාරියාට අභියාචනා කළහැකි වෙනවා. අධිභාර අභියාචනා කමිටුවට අභියාචනයක් ඉදිරිපත් කරනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වගන්තිය අනුව තමා මේ අභියාචනා කමිටුව පත්කරන්නේ. මෙම කමිටුවට අභියාචනයක් ඉදිරිපත් කළ හැක්කේ සෙසු නිලධාරින්ට පමණයි. ප්‍රධාන ගණන් ගන්නා නිලධාරියා තමා බොහෝ වියදම්වලට වගකිව යුතු වන්නේ. ඒ නිසා ප්‍රධාන ගණන් ගන්නා නිලධාරින් වන අමාත්‍යංශ ලේකම්වරුන්ට අධිභාර ලැබීමේ ප්‍රවණතාව ඉහළයි. එවැනි අවස්ථාවල විගණන කොමිසම භාණ්ඩාගාර ලේකම්ට දැනුම් දෙනවා අධිභාරය අයකර ගන්න කියලා. ඒත් එයට අභියාචනයක් කරන්න ඔහුට අවස්ථාවක් නැහැ. පහළ නිලධාරීන්ට අභියාචනවලට ඉඩ ලැබුණත් ප්‍රධාන නිලධාරියාට ඉඩ නොලැබීම විශාල අසාධාරණයක්.
දැන් ඇති විගණන ක්‍රමය සිද්ධවෙන්නේ සියලු වැඩ අවසන් වූ පසුයි. එය පසුවිපරම් ක්‍රමයක්. අප යෝජනා කරන්නේ යහපත් ප්‍රතිඵල ලබාගැනීමට නම් ව්‍යාපෘති කරගෙන යන අතරතුර විගණනය කළයුතුය යන්නයි. එවිට වරදක් සිදුවෙමින් තිබෙනවා නම් ඒවා නිවැරදි කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා එය තමා වඩාත්ම හොඳ.”
විගණන සේවා සංගමයේ සභාපති කේ.එම්.එන්. කුමාරසිංහ:
“ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල ජාතික විගණන පනත් ක්‍රියාත්මකයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සම්බන්ධවෙලා තමා විගණන ක්‍රියාවලිය බලාත්මක කරන්නේ. අපේ විගණන පනතේ කෙටුම්පත පිළිබඳ 2015 වසරේ සිට 2018 දක්වාම දිගින් දිගටම සාකච්ඡා පැවැත් වූවා.
Gnposai ආයතනය හෙවත් උත්තරීතර විගණනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය සමඟ ලොව බොහෝ රටවල් විගණන කටයුතුවලදී බද්ධ වී ක්‍රියාකරනවා. එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ මේ ආයතනය කටයුතු කරනවා.
මැක්සිකෝ හා ලීමා ප්‍රකාශනය මගින් විගණන ප්‍රතිපත්තිය ගැන කියවෙනවා. විගණන ප්‍රමිතිය නිර්මාණය කරන්නේ මෙම ප්‍රකාශන පාදක කර ගෙනයි. විගණන ප්‍රමිතියක මූලික කරුණු දහසකි. අපේ විගණන පනතේ කෙටුම්පත පරීක්ෂා කළ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාප නියෝජිතයා ඇමැති මංගල සමරවීරට 2017 වසර මැදදී ලියා දක්වනවා එම මූලික ලක්ෂණ දහයම අපේ කෙටුම්පතේ අඩංගු බව. එය ඒ අනුව සම්මත කළ යුතු බවද ඔහු පවසා තිබෙනවා. එහෙත් පසුව විටින් විට පනතට කළ ඇතැම් සංශෝධන නිසා එම මූලධර්ම ශක්තිය අඩුවී තිබෙන බව කිවයුතුයි. එසේ වුවද සමස්තයක් ලෙස සැලකූවිට එම මූලධර්මවල මූලික හරය යම් පමණකට රැඳී ඇති බව පෙනෙනවා.
කින්නියාවේ විගණන පනත තැනුවේ 2016 වසරේදියි. එම පනතේ සඳහන්ව තිබෙනවා විගණනයේදී යම් වංචාවක් අනාවරණය වුවහොත් විගණකාධිපතිට එම තොරතුරු පිළිබඳ පොලිසිය, මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය, නීතිපති වැනි ආයතනවලට ඍජුවම පැමිණිලි කර අවශ්‍ය පියවර ගැනීමට. එය ඉතා වැදගත් ප්‍රතිපාදනයක්. එහෙත් අද විගණන විමසුමක් නිකුත් වනවිට වසර දෙක තුනක් පමා වෙන නිසා එම වංචාව දූෂණය වළක්වා ගැනීම හෝ එරෙහිව පියවර ගැනීම දුෂ්කර වෙනවා. මුල් අවස්ථාවේම එය අනාවරණය කරගෙන අදාළ ආයතන මගින් කටයුතු කරන්නට ඉඩ තිබුණා නම් එය වඩා හොඳයි. අපේ මුල් කෙටුම්පත් තිබූ මෙම වගන්ති නව පනතින් ඉවත් කිරීම වැරදියි.
තවද මෙහිදී අධිභාර පිළිබඳ කටයුතු කිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්ට දී තිබෙනවා. ඇතැම් අවස්ථාවල ප්‍රධාන චූදිතයා අමාත්‍යාංශ ලේකම් විය හැකියි. වගකියන්නා ඔහු විය හැකියි. එවැනි අවස්ථාවක මුල් කෙටුම්පත් තිබූ පරිදි අධිභාර අයකර ගැනීමේ බලය විගණකාධිපතිට දීම තමා සුදුසු.”

මෙතෙක් කල් විගණකාධිපතිට නිසි ලෙස රාජකාරි කිරීමට දුෂ්කරවීමට හේතු තුනක් තිබුණි. දැන් ඒවා නැතිව තිබීම සතුටට කරුණක්.
1. පරිපාලන ස්වාධීනත්වය තිබුණේ නැහැ. සේවකයන් විගණකාධිපතිට අයිතිව තිබුණේ නැහැ. ඔවුන් අයත්ව තිබුණේ රාජ්‍ය සේවා කොමිසමටයි.
2. මූල්‍ය ස්වාධීනතාව තිබුණේ නැහැ. විගණකාධිපතිට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලිය යුතුව තිබුණි. දැන් මුදල් ඉල්ලන්නේ කථානායකගෙන්.
4. කාර්ය බද්ධ ස්වාධීනතාව තිබුණේ නැහැ. එහෙත් දැන් නිදහසේ වැඩ කිරීමට හැකියාව ලැබී තියෙනවා. මෙතෙක් කල් උපකාර්යාලවල රාජකාරිකරන විට එම කාර්යාලවලින් අවශ්‍ය පහසුකම් ඉල්ලා සිටිය යුතුයි. එහෙත් අලුත් පනතින් එය නැතිව තිබෙන අතර විගණකාධිපතිට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයයි නියමකර තිබෙනවා. මේ පනත අනුව අවශ්‍ය ලිපිගොනු හා ප්‍රකාශන ලබාදීම පැහැර හැරීම අපරාධ වරදක් ලෙස සඳහන් වෙනවා.
මේ අනුව විගණන පනත මගින් විගණන සංස්කෘතියේ යහපත් පරිවර්තනයක් සිදුව ඇතිබව පැවසිය යුතුයි.
►යසවර්ධන රුද්රිගු