2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

පඩම් මහත්තයා

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

එදා ගමේ ඉස්කෝලෙ ඉගැන්නිලි කටයුතු පරීක්ෂා කරන්න ආණ්ඩුවෙන් ආපු නිලධාරියා පාඩම් මහත්තයයි. මෙයාට “ඉස්කූල් ඉනිස්පැට්ටර්” කියලත් කියනවා. ඉස්කෝලෙ ලොකු මහත්තයා විතරක් නෙමෙයි ගුරු මණ්ඩලයත් ළමයිනුත් මෙයාට හරිම බයයි. පාඩම් මහත්තයා හිටි අඩියේ ඉස්කෝලෙට කඩං පැන්නේ නැහැ. එයා එන දවස කල් තියලා ලොකු ඉස්කෝල මහත්තයට මහ කන්තෝරුවෙන් දැනුම් දෙනවා. මේ ආරංචිය ලැබුණට පස්සෙ මුළු ඉස්කෝලෙම කඩිගුලක් වගේ ඇවිස්සෙනවා.

ලොකු ඉස්කෝලෙ මහත්තයා ඉක්මනටම දෙමාපියන්ගෙ රැස්වීමක් පවත්තලා මේ ගැන දෙමාපියො දැනුවත් කරනවා. ළමයි පාඩම් කටයුතුවලට යොමු කිරිල්ල වගේම කොණ්ඩ නියපොතු කපලා හොඳට දත් මැදලා මූණ හෝදලා එදාට උදෙන්ම ඉස්කෝලෙ එවන්න ඕනෑ වග කියා දෙනවා. එච්චරක් නෙමෙයි පුළුවන් නම් හොඳ ඇඳුමක් මහලා දෙන්ඩ කියලත් කියනවා. අලුතින් ඇඳුම් මහන්ඩ වත්කමක් නැති අයට තියෙන හොඳම ඇඳුම හෝදලා පොල්කටු ඉස්තිරික්කෙන් හරි උණුවතුර බෝතලයෙන් හරි මැදලා අන්දලා එවන්ඩ කියලයි කියා දෙන්නේ.

ඒ වගේම ගුරුවරුන්ටද තමන් උගන්වන පංතිවල ළමයින්ගෙ ඉගෙනීම ගැන හොයලා බලන්ඩ උපදෙස් දෙනවා. පාඩම් පොත හොඳට ශබ්ද නගලා කියන්ඩ පුළුවන්ද, හරියට කවි කටපාඩමෙන් තාලෙට කියන්ඩ පුළුවන්ද, ඒ වගේම චක්කරේ දෙවරක් ඉඳලා දොළොස්වරක් වෙනතුරු කඩපාඩම් කරලා තියාගන්ඩ ඕනෑ බවත් කියනවා. නම්පොත්, ලොග් පොත් හරියට ලියලා තියන්ඩ කියලා උපදෙස් දෙන ගමන් ලොකු ඉස්කෝල මහත්තයත් ඒවා පරීක්ෂා කරලා බලලා අඩුපාඩු හදනවා. ඒ වගේම ගුරැ මණ්ඩලේ පැමිණීම සටහන් පොත හරියට අත්සන් කරලා තියෙනවද කියලත් හොයලා බලනවා.

පාඩම් මහත්තයා එන්න සතියකට දෙකකට ඉස්සර මුළු ඉස්කෝලෙම බිත්තිවල සමර ගාලා වහළෙ කැඩිච්ච තැන් හදනවා. ලොකු ඉස්කෝල මහත්තයගෙ කාමරෙත් අලුත්වැඩියා කරනවා. ඉස්කෝලෙ ළඟ කැළෑව සුද්ද කරලා, ඉස්කෝලෙට එන පාරෙ වළ ගොඩැලිත් පුරෝලා දානවා. මේ වැඩවලට දෙමාපියො ඇරුණම ලොකු ඉස්කෝල මහත්තයාට හිතවත් ගමේ කිහිප දෙනෙකුම යොදා ගන්නවා. ඉස්කෝලෙට ඇතුළු වෙන තැන කෙහෙල් කොටං, හබරලා කොළ, ගොප් අතුවලින් තොරණක් ගහලා “සාදරයෙන් පිළිගනිමු” කියලා ලියනවා. ඒ වගේම පාඩම් මහත්තයට සංග්‍රහ කරන්න තේ මේසයට ඕනෑ කරන කෝලිකුට්ටු කෙහෙල් කං, කැවුම්, කිරිබත්, කොකිස්, ආස්මී, පැණි වළලු, අග්ගලා වගේ කැවිළි පෙවිළි දෙමාපියො ගෙනල්ලා දෙනවා. මේ හැම වැඩකටම සල්ලි බාගෙන් වගේම මහන්සිවෙලා උදව් කරන්නෙ ගමේ ඈයො තමයි.

නියමිත දවසෙ පාඩම් මහත්තයා ඉස්කෝලෙට එන්නෙ බක්කි කරත්තයෙන්. සමහර අය කැඩිලක් රියෙනුත් එනවා. පාඩම් මහත්තයා සුදු මහත්තයෙකුගෙ ඇඳුම ඇඳලා “ටොප් හැට්” එකක් ඔලුවට දාලයි එන්නේ. එයත් එක්කම එයාගෙ කළුපාට රාජකාරි බෑග් එක ඇඟට තදකරගෙන අරගෙන එන්නෙ එයාගෙ ගෝලයා. පාඩම් මහත්තයා රියෙන් බැස්ස ගමන්ම එතැනට දුවගෙන එන ලොකු ඉස්කෝල මහත්තයා බුලත් අතක් පිළිගන්නලා දෙකට නැමිලා වැඳලා එයත් එක්ක පෙර ගමන් යනවා. ළමයිනුයි ගුරුවරුයි ඔක්කොම නැගිටලා නමස්කාර කරලා මහ හයියෙන් “ආයි බෝං” කියනවා. ලොකු ඉස්කෝල මහත්තයගෙ කාමරේට ගිහිල්ලා ලොකු ඉස්කෝල මහත්තයගෙ පුටුවෙ ඈඳි ගන්න  පාඩම් මහත්තයා කන්නඩි දෙක ගලෝලා තාන් මේස රෙද්ද උඩ තියලා විමසුමින් අවට බලනවා. මේසෙ උඩ තියලා තියෙන ලස්සන මල් පෝච්චියත් එයාට පේනවා.

හැම දෙයක්ම හරියට වෙලා තියෙනවද කියලා ඒ උකුසු ඇස්වලට යොමුවෙනවා. ඊළඟට ගලෝපු කන්නඩි කුට්ටම දා ගත්ත පාඩම් මහත්තයා ගුරුවරුන්ගේ අත්සන් පොත, ලොග් පොත හෙමත් පරීක්ෂා කරලා ලොකු ඉස්කෝල මහත්තයගෙන් ප්‍රශ්න ගණනාවක් අහල පංති පරීක්ෂාවට යනවා. හැම පංතියකටම නොගියත් තෝරගත්ත පංති දෙක තුනකට ගිහිල්ලා ගුරුවරුන්ගේ පුටුවෙ ඈඳිගෙන ළමයින්ගෙන් ප්‍රශ්න දෙක තුනක් අහනවා. පංතිය බාර ගුරුවරයා එක්කත් කතා කරනවා. ළමයි හරියට උත්තර දුන්නොත් පාඩම් මහත්තයට හරි සතුටුයි. ඒ ගුරුවරයාට ප්‍රශංසා කරලා ලොග් සටහනකුත් දාලා ඊළඟ මාසෙ ඉඳලා රුපියල් කිහිපයකින් පඩිය වැඩි කරන්න නියෝග නිකුත් කරනවා. මේ විදියට තමුන්ට වාසි ලැබෙන හින්දා ගුරුවරු පාඩම් මහත්තයට සැලකුවෙ හරියට දෙවි කෙනෙකුට වාගෙයි. ලොකු ඉස්කෝල මහත්තයට උසස්වීම් දෙන්න රෙකමං කෙරුවෙත් මෙයා.

සුදු පිරුවටයක් එළපු තේ මේසෙට ගෙනිහිං ගුරුවරු ඔක්කොමලා පාඩම් මහත්තයට පෙරැත්ත කරමින් හොඳට සංග්‍රහ කරනවා. ඊට පස්සෙ ඔක්කොටම ආයිබොං කියලා පාඩම් මහත්තයා තමුන් ආපු බක්කි කරත්තෙට නගිනවා. ලොකු මහත්තයි, ගුරුවරු කට්ටියයි වාහනේ වටේ ඉඳලා එයාට ආයිබෝං කියලා බක්කි කරත්තෙ ඉස්කෝලෙ උණ ලී ගේට්ටුව ගාවට යනතුරු පසු ගමන් කරනවා. තමන්ගෙ බක්කි කරත්තෙ එළවළු ගෝනියක් තියෙන බව පාඩම් මහත්තය දකින්නෙ ටික දුරක් ගියාට පස්සෙයි.

යසවර්ධන