2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

කීඩෑවන්ට දන් දුන් පොළොන්නරුවේ කුඹුරු

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

පොළොන්නරුවේ මහ ගොවි ජනපද සියල්ලකම පාහේ ගොවීහු මෙවර යල කන්නයේ වෙනදාට වැඩි කුඹුරු ප්‍රමාණයක වී වගා කළහ. මොරගහකන්දෙන් නිකුත් වූ දියවරට පින්පෙත් අනුමෝදන් කරවමිනි, ඒ. එහෙත් ඒ සොම්නස ගොවි සිත් තුළ වැඩි දවසක් රැඳෙන්නට ඉඩක් ලැබුණේ නැත. සෑම යායකම පාහේ ශීඝ්‍රයෙන් පැතිර යන දුඹුරු පැළ කීඩෑවාගේ හානියයි. තවත් තැනෙක පුරුක් පණුවාගේ හානියට ගොදුරු වී වැනසෙන වී වගාවකි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන පරිදි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර ලක්ෂයක පමණ වී වගාව මේ වන විට කෘමි හානිවලට ගොදුරු වී අවසන්ය.

පොළොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර්.පී. උපාලි මහතා ප්‍රකාශ කළේ දුඹුරු පැළ කීඩෑවාගේ හානිය විශාල වශයෙන් තිබෙන බවයි. පුරුක් පණුවාගේ හානියද දක්නට තිබෙන බව ඒ මහතා කීය.

ණය තුරුස් වී කළ වගාව මේ අන්දමට වසංගත රෝගවලට ගොදුරුවීමෙන් තමන් කබලෙන් ලිපට වැටුණු බව ගොවි ජනතාව කියා සිටිති. ගොවිබිම් අබියස සිට සුසුම් හෙළන ඔවුන්ගේ කඳුළු කතාවේ දිගහැරුමයි මේ.

පොළොන්නරුව ගිරිතලේ මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් කඩවලවැව යටතේ වී වගා කරන ඩී.එම්. පාලිත මහතා - “පහුගිය කන්න ගණනාවක්ම වතුර හිඟය බලපෑවා. ඒ නිසා මුළු කුඹුරු ප්‍රමාණයම වගා කරන්න බැරිවුණා. නමුත් මේ යල කන්නයේ ඒ විදියෙ වතුර හිඟයක් ඇතිවුණේ නෑ. අවශ්‍ය තරම් වතුර ලැබුණා. ඒ නිසා මුළු කුඹුරු ප්‍රමාණයම වගා කරන්න හැකියාව ලැබුණා. නමුත් මේ වෙනකොට යාය පුරාවටම දුඹුරු පැළ කීඩෑ හානියයි පුරුක් පණුවාගේ හානියයි දෙකම තියෙනවා. මගේ කුඹුරත් ඒකට ගොදුරුවෙලා.”

තඹල වැව යටතේ වී වගා කරන වයි.එල්. චන්ද්‍රරත්න මහතා - “බොහෝ වෙලාවට යල කන්නයට දුඹුරු පැළ කීඩෑවාගේ හානිය අඩුයි. නමුත් මෙදා යලේ පුදුම විදියට කීඩෑ හානිය තිබෙනවා. ඒ වගේමයි පුරුක් පණුවාගේ හානිය. මේ දෙකම තරගෙට අපේ ගොවිතැනට වින කරනවා. අපි ණය තුරුස්වෙලා ගොවිතැන් කරන්නේ. මේ විදියට විනාශ වුණොත් ණය ගෙවාගන්නත් බැරුව අපි කබලෙන් ලිපට වැටෙනවා.”

තඹල වැව යටතේ වී වගා කරන පැරණි ගොවියකු වන ආර්.ඊ.එම්. අබේරත්න බණ්ඩාර මහතා - “මෑත කාලෙක අපි දැකලා නෑ මේ තරම් දරුණු කීඩෑ හානියක්. සාමාන්‍යයෙන් මාස් කන්නයේදී තමයි මේ වගේ කෘමිහානි වැඩිපුරම ඇතිවෙන්නේ. නමුත් මෙදා යලේ මේ තත්ත්වය අපි බලාපොරොත්තු නොවුණු මහා විනාශයක්. ඒ නිසා මේ හානිවලට රජය වන්දි මුදලක් හෝ අපිට ලබාදිය යුතුයි. ගොවීන් විශාල පිරිසක් අමාරුවේ වැටිලා ඉන්නේ.”

ගිරිතලේ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ශාන්ත ගුණසේකර මහතා “ගිරිතලේ ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 12000 ක් විතර මේ කන්නයේ වගා කරලා තිබෙනවා. දැන් ගොයමට වයස මාස 02 ක් විතර වෙනවා. සමහර කුඹුරු පීදෙමින් තිබෙනවා. තවත් සමහර ඒවා පීදෙන්න ආසන්න බණ්ඩි ගොයම. මේ හැම මට්ටමේ වගාවකම කීඩෑ හානියත්, පුරුක් පණුවාගේ හානියත් තිබෙනවා. කෘෂිකර්ම උපදේශක මහත්වරුන් සමඟ අපි සෑම යායකම ගොවීන් දැනුම්වත් කරනවා. තමන්ගෙ වගාවන් හොඳින් සුපරීක්ෂාකාරීව ඉන්න කියලා. කෘමිනාශක තිබෙන කුඹුරුවලට කෘෂිකර්ම උපදේශක මහත්වරුන්ගේ උපදෙස් අනුව කෘෂි රසායන යොදන්න කියලා අපි ජනතාවට උපදෙස් දෙනවා.”
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය යටතේ මෙවර යල වී වගාකර තිබෙන කුඹුරු ප්‍රමාණය අක්කර තිස්දහස (30,000) ඉක්මවයි. එහිද පීදෙන සහ කිරිවදින ගොයම විශාල වශයෙන් මේ වසංගත රෝගවලට ගොදුරු වී තිබෙන බව ගොවීහු අප සමඟ කියා සිටියහ.

ගල්තඹරාව, ලක්ෂඋයන, ආර්.බී. 2 ඇළ, ආර්.බී. 4 ඇළ, ආර්.බී. 5 ඇළ, සේවාගම පලුගස්දමන විජයබාහුපුර, සිංහපුර, වීරපුර, තඹාල සුංගාවිල ආදී මේ සෑම යායකම පාහේ දුඹුරු පැළ කීඩෑවාගේ හානිය සහ පුරුක් පණුවාගේ හානිය තිබේ. එමෙන්ම මේ බොහොමයක් කුඹුරු පීදෙන, කිරිවදින ගොයම්ය. ඇතැම් ඒවා පීදෙන්නට ඔන්න මෙන්න කියා තිබෙන බණ්ඩි ගොයම්ය. වගාව කුමන මට්ටමේ පැවැතියද හානිය එකලෙසම බැව් ගොවීහු අප සමඟ කීහ.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය යටතේ වී වගාව සිදුකරන වීරපුර යායට අප යනවිට කෘෂිකර්ම නිලධාරීහුද එහි වී වගාව පරීක්ෂා කරමින් සිටියහ.

ආර්.ඩබ්ලිව්.ඩී. විජේසිරි මහතා - “මගේ කුඹුරේ මුලින්ම ගොයම කහපාට වෙලා කොළ අග මැරෙන්න පටන් ගත්තා. කොටසේ කෘෂිකර්ම උපදේශක මහත්තයා ඇවිල්ලා පරීක්ෂා කරලා බැලුවා. එතකොට තමයි දැනගන්න ලැබුණේ මේ පුරුක් පණුවාගේ හානිය කියලා. ඒකට පිළියම් යොදලා තරමක් දුරට පාලනය කරගෙන ඉන්නකොට තමයි දැන් දුඹුරු පැළ කීඩෑවාගේ හානිය. ඉතින් මේ මොන හානිය ඇවිල්ල හරි අපේ ගොවිතැන තමයි විනාශ වෙන්නේ.”

වීරපුර යායේ ගෙවිලියක වන ජයන්තා වීරසිංහ මහත්මිය - “මම කුඹුරු අක්කර 05 ක් මේ වතාවේ වගා කළා. මුළු වගාවම පුරුක් පණු හානියටයි, දුඹුරු පැළ කීඩෑ හානියටයි ගොදුරුවෙලා. අස්වැන්න ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. පීදෙන ගොයමට තමයි හානිවෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ වගා හානි වෙනුවෙන් රජය මගින් වන්දි මුදලක් ලබාදිය යුතුයි. ගොවිතැන හැර අපිට වෙනත් ජීවත් වෙන්න මාර්ගයක් නෑ.” යැයි ඇය කීවාය.

එම්.සී.එම්. නිසාර් මහතා - “අපි දැනට අවුරුදු 25 – 30ක ඉඳලා කුඹුරු ගොවිතැන් තමයි කරන්නේ. මෙච්චර කාලෙකට අපි දැක්කේ නෑ පුරැක් පණුවාගේ හානිය මේ විදියට කුඹුරුවල තියෙනවා. ඒ වගේම තමයි කීඩෑ හානිය. කෘෂිකර්ම නිලධාරී මහත්තුරුන්ගේ උපදෙස්වලට අනුව අපි කෘමිනාශක යොදලා තිබෙනවා. නමුත් හානිය හරිම විශාලයි. ඒ නිසා අපිට වගා හානි වෙනුවෙන් වන්දි අවශ්‍යයි. රජයට ඒ ගැන කියා සිටිනවා.

වීරපුර ගොවි සංවිධානයේ සභාපති එස්.ඒ.එම්. රහීම් මහතා - “අපේ ගොවි සංවිධාන බලප්‍රදේශයේ කුඹුරු අක්කර 6000 ක් විතර තිබෙනවා. සෑම කුඹුරකම මේ ලෙඩරෝග තිබෙනවා. කෘෂිකර්ම නිලධාරීන් පවා පිළිගන්නවා අපේ යායේ සීයට සීයක්ම හානි දරුණු විදියට තිබෙනවා කියලා. මේ හැම කෙනෙක්ම ගොවිතැන් කරලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ආණ්ඩුවෙන් වන්දියක් දෙන එක ඉතාම සාධාරණයි.”

පොළොන්නරුව පුලස්තිගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මූලස්ථාන කෘෂිකර්ම උපදේශක සංජීව ගුණතිලක මහතා - “අපේ බලප්‍රදේශයේ සෑම යායකම මේ කෘමිහානි තිබෙනවා. අපිට මුලින්ම ගොවීන්ගෙන් පැමිණිලි ලැබුණේ ගොයම් ගස්වල පත්‍ර කොටස කහපාට වෙලා මැරෙන එක සම්බන්ධවයි. අපි ඒ පිළිබඳව පරීක්ෂා කරලා බැලුවම අපිට හඳුනාගන්න ලැබුණා ඒක පුරුක් පණුවාගේ හානිය කියලා. ඒකට අවශ්‍ය ප්‍රතිකාර නියම කරලා ඒවා ලබාදීමෙන් පසුව දැන් අලුත්ම තත්ත්වය තමයි දුඹුරු පැළ කීඩෑ හානිය. අපි ගොවි ජනතාවට උපදෙස් දෙන්නේ මුලින්ම රෝගය පිළිබඳව හඳුනාගැනීම අවශ්‍යයි. කෘමිහානි සුළු වශයෙන් හෝ දකින්නට තිබෙනවා නම් ඒ පිළිබඳව වහාම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයාට අදාළ රජයේ නිලධාරීන්ට දැනුම් දෙන්න කියලා උපදෙස් දී තිබෙනවා. මූලික අවධියේදී රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තුළින් මෙය පාලනය කරගන්න පුළුවන්. නමුත් සමහර යායවල විශාල වශයෙන් පැතිරුණු තත්ත්වයන් තිබෙනවා.”

පොළොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර්.පී. උපාලි මහතා අප සමඟ කියා සිටියේ මේ දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරැවල ගොයමට වැළඳී තිබෙන දුඹුරු පැළ කීඩෑ හානිය වසංගත තත්ත්වයට පත්වී තිබෙන බවයි. මෑත ඉතිහාසයේ කවරදාකවත් මේ අන්දමට කීඩෑ හානිය සහ පුරුක් පණුවාගේ හානිය මේ දිස්ත්‍රික්කයේ වී වගාවට වැළඳී ඇති බවක් වාර්තා වී නැතැයිද හෙතෙම කීය. එම නිසා මේ වන විට දිස්ත්‍රික්කයේ සියලුම කෘෂිකර්ම උපදේශකවරුන්, ක්ෂේත්‍ර නිලධාරීන් සියලුම දෙනා සම්බන්ධ කරගෙන ගොවි ජනතාව දැනුම්වත් කරමින් මේ රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියා කරන බව කීය. මෙහිදී ගොවි ජනතාවට ලබාදෙන පණිවිඩය තම වී වගාව පිළිබඳව නිසි අවධානයකින් සහ දෛනික පරීක්ෂාවකින් පසුවන ලෙස බව කී කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා කීඩෑ උවදුර හෝ වෙනත් කෘමිහානි වගාවේ දක්නට ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතුන්ගේ උපදෙස් අනුව කෘෂි රසායන අවශ්‍ය පරිදි යෙදීමට පියවර ගන්නැයි ඉල්ලා සිටින බවද පැවැසීය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ වී වගාවට සිදුව තිබෙන ව්‍යසනය සුළුපටු නොවන්නකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණන් හිලව්වලට අනුවම කුඹුරු අක්කර ලක්ෂයක පමණ වගාව රෝග පීඩාදියට ගොදුරු වී ඇත්නම් එය බරපතළ කාරණයක් බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. අප කළ කතාබහේදී ගොවීන් බොහෝ දෙනකු කියා සිටියේ ණය තුරුස් වී කරන ලද වගාව විනාශ වීමෙන් තමන් කබලෙන් ලිපට වැටී සිටින බවය. ඒ නිසා මේ වගා හානි වෙනුවෙන් රජය වන්දි මුදලක් ලබාදිය යුතුව ඇතැයිද ඔවුහු පෙන්වා දුන්හ. මෙවැනි ආපදා අවස්ථාවකදී ගොවීන් කරන ඒ ඉල්ලීම සැබැවින්ම යුක්තිසහගත බව අපටද හැඟී ගිය කාරණයකි.

►කරුණාරත්න ගමගේ