පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වර්ධන යෝජනාව විශාල ආන්දෝලනයක් ඇති කළේය. ජනාධිපතිවරයා එම යෝජනාව නතර කරන ලද අතර සත පහක්වත් වැඩි කරන්නට ඉඩ නොදෙන බව කියා සිටියේය. එයින් නතර නොවූ ජනාධිපතිවරයා තමන්ගේ මාසික වැටුප රුපියල් අනූ හත් දහසක වැටුපක් වන විට මන්ත්‍රීවරු රුපියල් ලක්ෂ හතරක් පමණ ලබන බව අනාවරණය කළේය. එයට කලින් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා භාණ්ඩාගාරයේ තත්ත්වය ගැන අවධානය යොමු කරමින් මෙම වැටුප් වැඩි කිරීමේ යෝජනාව ගැන අසතුට පළ කළ අතර කවුරු යෝජනා සම්මත කරගත්ත ද තමන් ළඟට පැමිණිය යුතු බව කියා සිටියේය. එහි යටි අදහස භාණ්ඩාගාරය ඒ වෙනුවෙන් මුදල් අනුමත කළ යුතු බවය. වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී නැති බව අගමැතිවරයාගේ ප‍්‍රකාශය විය.
ශ‍්‍රී ලංකාවේ ජනතාවට එදිනෙදා දැවෙන ප‍්‍රශ්න සෑහෙන ප‍්‍රමාණයක් තිබේ. ශිෂ්‍යත්ව විභාගයට මෙරට ඇති සූදානම නොබෝදා දැක ගත හැකි විය. එය මෙරට ජනී ජනයාගේ පැවැත්ම සම්බන්ධ ප‍්‍රබල සංකේතයකි. අවස්ථාව අහිමි සමාජය සිය දරුවන්ට හොඳ පාසලක් ලබා ගැනීමේ අරමුණින් දරුවෝ හෙම්බත් කළහ. දෙවියන්ට යාතිකා කළ අතර පිරිත් පැන් බෙදා දීම, පිරිත් කරන ලද පෑන් බෙදීම සමාජ ව්‍යාපාරයක් බවට පත් විය. අධ්‍යාපනය එපමණ දුෂ්කරය. දරුවන්ට පාසල් පැමිණීම, දෙමාපියන් රැකී රක්ෂාවලට යනාදී වශයෙන් ප‍්‍රවාහනය ඉතාම අපහසුවෙන් කරන දෙයකි. සෞඛ්‍ය පහසුකම් ගැන කතා කිරීම ශෝචනීයය. වර්ජන, බෙහෙත් හිඟය, පහසුකම් රහිත බව පොදු කාරණා වී තිබේ. ජීවන වියදම අහස උසට නැග ඇත. එළවළුවක් දෙකක් මිල දී ගැනීම පහසු නැත. වැසියන්ට සැනසෙන මඟක් නැති බව පැහැදිලිය. ජනතාවට අති විශාල බලාපොරොත්තු දී බලයට එන දේශපාලනඥයෝ තමන්ට රිසි පරිදි අධි සුඛෝපභෝගීත්වයක පසුවෙති. රටේ ජනතාව වෛරයෙන් නැගී ඉදිරියට පැමිණීම වැළැක්වීම සඳහා දිනපතා එකිනෙකට වෙනස් මාතෘකා මාධ්‍යයෙහි මතු කරමින් සිටිති. මැති ඇමැති වැටුප් සියයට දෙසිය පහළොවකට වැඩි ප‍්‍රතිශතයකින් නංවන බව ඉඟියක් දී එය ආන්දෝලනාත්මකව නැගෙන්නට ඉඩ හරී. ආණ්ඩුවේ අසාර්ථකත්වය සතියක් දෙකක් යටපත් කරගන්නට එය ප‍්‍රමාණවත් වන අතර සාමාන්‍යයෙන් සිදුවෙන පරිදි ජනාධිපතිවරයා මැදිහත්වී යෝජනාව අකුලා දැමූ බව නිවේදනය කර තිබේ. අගමැතිවරයා ද අවසානයේ දී එවැනි යෝජනාවක්වත් නැතැයි ප‍්‍රකාශ කර ඇත. මෙවැනි විකාර පැවැත්මකට ආණ්ඩුවක් අවශ්‍යද?
තවත් පැත්තක් ඇත. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධ ප‍්‍රතිපත්ති තීරණය කරන ක‍්‍රමවේදයක් තිබේ. ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන ක‍්‍රමයක් ඇත. මැති ඇමැතිවරුන්ගේ විෂය පථය සම්බන්ධ තීරණ ගැනෙන පිළිගත් සම්මත තිබේ. වත්මන් ආණ්ඩුවේ බල ව්‍යූහය එකී පැවැත්ම ව්‍යාකූල කර ඇත. බලය අත්හැර පාර්ලිමේන්තුවට බලය පවරන බව ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගත් ජනාධිපතිවරයාට මන්තී‍්‍ර වැටුප් සත පහකින් හෝ වැඩි කරන්නට ඉඩ නොදෙන බවට තීරණය කිරීමේ විධායක බලයක් තිබේද? තම පාර්ලිමේන්තු සගයන්ගේ වැටුප ලබාගැනීමට තමන් ළඟට යෝජනාව පැමිණිය යුතු යැයි මුදල් ඇමැතිවරයා කල්පනා කිරීම සුදුසුද? රජයේ විගණකාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇති පරිදි මෙරට වැටුප් හා දීමනා සම්බන්ධ සියලු ව්‍යූහ අවුල් ජාලයකි. බලය ඇති පිරිස තමන්ට රිසි පරිදි තමන්ගේ වැටුප් හා දීමනා වැඩි කරගන්නා අතර බලහත්කාරයෙන් එනම් වර්ජන කිරීමෙන් වැටුප් නංවා ගත හැකි අංශ තමන්ගේ වැටුප රිසි පරිදි වැඩි කරගෙන තිබේ.
මෙරට අග‍්‍රාණ්ඩුකාර ධූරය හොබවා පසුව ජනරජයක් බවට පත් වූ පසු ජනාධිපති පදවියට පත් විලියම් ගොපල්ලව මහතාගේ චරිතාපදානය ගුණදාස ලියනගේ විසින් රචනා කරන ලදී. අග‍්‍රාණ්ඩුකාර වකවානුවේ වැටුප රුපියල් දස දහසක් වූ අතර ජනාධිපති ධූරයට පත් වූ පසු එය රුපියල් තුන්දහසකට සීමා වූ බව ගොපල්ලව මහතා එම කෘතියට කියා ඇත. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ වැටුප රුපියල් අනූ හත් දහසක් බව දක්වා ඇත. ආරක්ෂාව, ගමන් බිමන්, කාර්යාල, නිල නිවාස, ආහාරපාන, තෑගි බෝග හුවමාරුවට අවශ්‍ය දේ ඇතුළු සෑම දෙයක්ම ජනතාවගේ වියදමෙන් පියවන විට ලැබෙන වැටුප එදිනෙදා වියදම් පියවීමට පමණක් ප‍්‍රයෝජනයට ගත හැකිය. අගමැතිවරයාගේ රුපියල් හැත්තෑ එක් දහසක වැටුප මගින් ලබා ගත හැකි ප‍්‍රයෝජනයද එපමණකි. ජනාධිපති හා අගමැති ඇතුළු මෙරට ඉහළම පුරවැසියන් තමන් උපයන වැටුපෙන් ජීවත් වෙනවා යැයි කල්පනා කරන්නේ නම් එය බරපතළ වරදකි. මැති ඇමැතිවරු ගැන කළ යුතු සඳහන ද එයට වෙනස් එකක් නොවේ.
අවුරුදු දොළහක් තුළ ජනාධිපති හා මැති ඇමැති වැටුප් වැඩි වූයේ කෙසේද?
මෙම වැටුපට එකතුවන දීමනා තිබේ. 2016 නොවැම්බර් මාසයේ 19 වැනිදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවට එන මැති ඇමැතිවරුන්ට දිනකට ගෙවන දීමනාව රුපියල් පන්සියයක සිට දෙදහස් පන්සියය දක්වා නැංවිය යුතු බවය. මැතිවරණ කොට්ඨාසයේ වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ද, කාර්යාලීය කටයුතු වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂයක් ද මාස් පතා ගෙවන අතර කොළඹ අවට නිවාස නැති මැති ඇමැතිවරුන්ට රජයෙන් නිවාස සැපයිය නොහැකිනම් ගෙවල් කුලී දීමනාවක් ද ලැබේ. අතට ලැබෙන මාසික දුරකථන දීමනාව පනස් දහසකි. තැපැල් ගාස්තුව වෙනුවෙන් අවුරුද්දකට රුපියල් තුන්ලක්ෂ හැත්තෑ පන්දහසකි. රුපියල් දහසක විනෝද දීමනාවක්, රුපියල් දස දහසක ප‍්‍රවාහන සහ පුවත් පත් මිල දී ගැනීමට මුදල් ද මාසිකව ලැබේ. පාර්ලිමේන්තුවෙන් ලැබෙන මිල අඩු ආහාර, ඖෂධ, කිසිම පාලනයක් රහිත සෞඛ්‍ය සත්කාරක සේවා සහ හදිසි අභාවයකදී මිලියන පනහක් දක්වා රක්ෂණය මිල කළ නොහැකි පහසුකම්ය.
දුර අනුව මාස් පතා ඉන්ධන ලීටර් 285 ක සිට 639 ක් දක්වා ලබා ගත හැකි අතර ගමන් අපහසුව ඇති මැති ඇමැතිවරුන්ට (විශේෂයෙන් උතුර නැගෙනහිර) ගුවන් ගමන් වෙන් කරගත හැකිය. තීරු බදු රහිත වාහනයක් වසර පහකට වතාවක් ලැබීම තවත් වරප‍්‍රසාදයකි. එවකට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා 2015 අය වැය ඉදිරිපත් කරමින් මැති ඇමැතිවරුන් ඇතුළු වරප‍්‍රසාදලාභීන් වෙනුවෙන් වාහන බදු සහනය රුපියල් බිලියන 40ක් බව අනාවරණය කළේය. වාහන බලපත‍්‍රය මුදලට විකුණන බව ප‍්‍රසිද්ධ රහසකි. වත්මන් ආණ්ඩුව බලයට පත් වන තෙක් මෙම බලපත‍්‍රයෙන් මිලදී ගන්නා වාහනය පැවරිය නොහැකි බවට නියමයක් තිබුණි. දැන් එම නීතිය නැත. එවකට මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන 2016 ඔක්තෝබර් 16 දා පැවැති පුවත්පත් සාකච්ඡාවක දී කියා සිටියේ තීරු බදු සහන බලපත‍්‍ර ලැබුණ දිනයේ සිට එය විකුණා ඇති බැවින් මැති ඇමැතිවරු බලපත‍්‍ර විකිණීම දැන් බලපාන ප‍්‍රශ්නයක් නොවන බවය. රටට අහිමි වන රුපියල් බිලියන හතළිහක බදු සහ එයට හිලව්වට පොදු ජනතාව එදිනෙදා දරන බදු බර නොසලකන මැති ඇමැතිවරුන් එම වාසිය ද විකුණා මුදල් ඉපැයීම පවතින ක‍්‍රමයේ අතිශය නරක ස්වභාවය මැනවින් පෙන්නුම් කරයි.
නිල වශයෙන් වැටුප් හා දීමනා උපයා ගන්නා මැති ඇමැතිවරු නිල නොවන වශයෙන් උපයන ආදායම අසීමිතය. ඒවා අනාවරණය කරගන්නට ආදායම් බදු දෙපාර්තමේන්තුව පවා අසමත්ය. මැති ඇමැතිවරු තම වත්කම් වාර්ෂිකව හෙළිදරව් කළ යුතු නමුත් එසේ නොකරන අවස්ථාවල දී අධිකරණයෙන් පැනවෙන දඩය රුපියල් දහසකි. අයථා අන්දමින් උපයාගත් මුදල්, අල්ලස් හා දූෂණ ගැන චෝදනා රහිත මැති ඇමැතිවරු මෙරට නැත. ඇත්නම් අතලොස්සකි. මෑත කාලය තුළ ආන්දෝලනාත්මක ගනුදෙනු විශාල වශයෙන් අනාවරණය විය. සාමාන්‍ය ජනතාව පොල් ගෙඩියක් අහුලා ගැනීමත් වරදක් වන රටක දූෂණය ඉහ වහා ගොස් ඇති අතර චෝදනා එල්ලවන මැති ඇමැතිවරු ප‍්‍රතිවාදියාගේ හොරකම් පෙන්වා ඒවා විහිලුවෙන් මග හරිමින් සිටින බව ඉතාමත් පැහැදිලිය.
පාර්ලිමේන්තුව, අමාත්‍යංශ යනාදිය මැති ඇමැතිවරු නඩත්තු කරයි. ඒවා එකතුවෙන්නේ රජයේ වියදම්වලටය. දූෂිත ධනෝපායන මාර්ග හදාගෙන තිබේ. පාපැදියෙන් ඡන්දයට එන මහජන නියෝජිතයෝ අවුරුද්දක් දෙකක් ගත වන විට රට වටා ඉඩම් ඇති සුඛෝපභෝගී නිවාස හිමි සුපිරි පිරිසක් බවට පත් වෙති. එසේ තිබිය දී අලුතින් වැටුප් වැඩි කළ යුතු ඇයි යන ප‍්‍රශ්නයක් නැගේ.
සිංගප්පූරුව මැති ඇමැතිවරුන්ගේ ඉපැයීම් බරපතළ ලෙස පාලනය කළේය. සිංගප්පූරු නිර්මාතෘ ලී ක්වාන් යූ මහතා මහජන නියෝජිතයන්ට වැඩිම වැටුප් ගෙවූ අතර සොරකම වංචාව නතර කළේය. ඔහු ආදර්ශවත් විය. තමන් ලෝකයේ ඉහළම වැටුප් ලබන අගමැති බව පිළිගත් හෙතෙම දුප්පත්ම අගමැති බව ද නිර්භීතව කියා සිටියේය. ඔහුගේ ජීවිතය දකින, ඔහු හැසිරෙන අන්දම නිරීක්ෂණය කරන සිංගප්පූරු වැසියෝ ඔහුට ගරු කළහ. ලී ක්වාන් යූ දූෂණයට එරෙහිව තදින් ක‍්‍රියා කළ නායකයෙකි. රට හදන්නට දූෂණ වංචා නැත්තටම නැතිකරන පියවර ගත් අතර ඔහු බලයට පත් කාලයේදී සමාජයේ පහළ සිට ඉහළටම අල්ලස් හෝ දූෂණ දරුණුවටම බලපැවැත්වුණ බව සඳහන්ය. අත යටින් කීයක් හරි නොදුන්නොත් රෝගියා මිය ගියත් ගිලන් රථ රියැදුරා වාහනය පණ ගන්වන්නේ නැති තත්ත්වයක් පැවැතිණ. බලයට පැමිණි වහා දූෂණය නැත්තටම නැති කරන තද පාලනයක් හඳුන්වා දුන් අතර දූෂණ විමර්ශන කාර්යාංශයක් පිහිටුවන ලදි. සැක කටයුතු පුද්ගලයන් ගැන විමර්ශනය කරන්නට, බැංකු ගිණුම් පරීක්ෂා කරන්නට එයට බලය පැවරීය. බදු ගෙවූ අන්දම සොයා බලා සැක කටයුතු අයගේ පවුලේ සාමාජිකයන් සතු වත්කම් පවා සොයා බලා වැටලීම් කරන්නට එම කාර්යාංශයට බලය හිමිවිය.
අගමැතිවරයාගේ කිට්ටු හිතවතකු මැලේසියානු ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවය කරන අතරවාරයේ දී සිදුවූ දූෂණයක් අනාවරණය වූ වහා මිතුරැකම පැත්තකට දැමූ ලී ක්වාන් යූ ඔහු අධ්‍යක්ෂක මණ්ඩලයෙන් නෙරපා දැමීය. තවත් අවස්ථාවක පරිසර රාජ්‍ය ඇමැතිවරයාට සිර දඬුවම් නියම කළේය. 1986 නොවැම්බර් මාසයේ දී එරට කැබිනට් ඇමැතිවරයකුට විරුද්ධව ලැබුණ පැමිණිල්ලක් විභාග කරන්නට දූෂණ විමර්ශන කාර්යාංශය පියවර ගත් අතර ලීක්වාන් යූ අගමැතිවරයා එයට ඉඩ දුන්නේය. එවකට ජාතික සංවර්ධන අමාත්‍යංශය භාරව සිටි එකී ඇමැතිවරයා පරීක්ෂණ කෙරෙහි තැති ගත් අතර පරීක්ෂණ අරඹන්නට කලින් හෙතෙම සිය දිවි නසා ගත්තේය. මැලේසියාවේ මහතීර් මොහොමඩ්ද එබඳු නායකයෙකි. ඔහු මෙවර අගමැති වූ විට මුලින්ම මැති ඇමැති වැටුප් අඩුකරන්නට පියවර ගත්තේය.
ජනවාරි අටවැනිදා පරිවර්තනයෙන් ශ‍්‍රී ලංකාව ඇතුළු වූයේ අලූත් යුගයකය. ජනාධිපතිවරණය සහ එයින් පසු පැවැති මහ මැතිවරණයේ දී ශ‍්‍රී ලංකාවේ දූෂණ, මහා පරිමාණ වංචා සහ මහජන මුදල් කොල්ලකෑම ඉතාම බලවත් අතර ඒවා සහමුලින්ම තුරන් කරන බවට හඬක් නැගිණි. දූෂණ වංවා මැඩලීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල මෙහෙයුමක් විය. ජනතාව බලා සිටියේ වැරදි හොයාගන්නා තුරුය. පැරණි දේ ඒ ආකාරයටම සිදුවෙයි. වත්මන් ආණ්ඩුව යටතේ මහ බැංකුවේ ගනුදෙනු ගැන දූෂණ වාර්තා වී තිබේ. ශ‍්‍රී ලංකන් මිහින් ගුවන් සමාගම් ගැන වංචා අනාවරණය වෙයි. මේවා හෙළි කරන්නේ ජනාධිපති කොමිසමකින්ය. මාධ්‍යවලින් අනාවරණයවන කරුණු ගැන මහජනතාව විමතියෙන් බලා සිටිති.
රට හදන්නට නීතිය වැදගත්ය. සමාජය තුළ සමානාත්මතාව අවශ්‍යය. වැඩ කරන ජනතාව ලබන වැටුප හා දීමනා එකතුකර එයට උපයන විට ගෙවීමේ බද්ද පසුගිය අප්‍රේල් මාසයේ සිට පැනවූ ආණ්ඩුව මැති ඇමැතිවරු ගරු සේවයක් කරන හෙයින් එයින් නිදහස් කළ යුතු බව 2018 මැයි 30 කැබිනට් මණ්ඩලයේ දී කියා සිටි ජනාධිපතිවරයා ගරු කටයුතු මැති ඇමැතිවරුන්ගේ ස්වභාවය සමාලෝචනය කළ යුතුව තිබේ. මැති ඇමැතිවරුන්ට වැඩි වැටුප් හා දීමනා නතර කිරීම පමණක් නොව ජනතාවගෙන් කොල්ලකන ධනය ගැන ද ප‍්‍රශ්න කර මෙකී දූෂිත තත්ත්වය තුරන්කරන්නට පියවර ගත යුතුය.
ගාමිණී සරත් ගොඩකන්ද