2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

1. ආණ්ඩුවට කෝච්චියක්වත් දුවාගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියනවා. ඒක දැන් කැබිනට් එකෙත් ප්‍රශ්නයක් වෙලා. ආණ්ඩුවට මේක විසඳගන්න හැකියාවක් නැද්ද?

2. අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කෙරෙනවා. මේ විදිහට යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්ද?

3. අද දේශපාලනයේ ඉන්න බහුතරයක් දූෂිතයි කියලා ජනාධිපතිවරයා පොළොන්නරුවේදී කරපු ප්‍රකාශය ගැන මොකද කියන්නේ?

4. පළාත් සභා මැතිවරණය කල් දමමින් ජනහමු පවත්වමින් මේ ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ ජනාධිපතිවරණයටද?

 

ඕවා වෘත්තීය සමිති වැඩ නොවේ ත්‍රස්තවාදී වැඩයි
ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල එක්සත් ජාතික පක්ෂය

1. ඇත්තටම කෝච්චි ධාවනය හදිසියේම අත්හිටුවලා කරපු ස්ට්‍රයික් එක මහජන නියෝජිතයෙක් විදිහට මම හෙළා දකිනවා. මොකද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට මේ රජයෙන් නිදහස ලබා දීලා තියන ඔවුන් ඒවාගෙන් ඇයුතු ප්‍රයෝජන ගන්නවා. මේක මේ වෘත්තීය සමිති ක්‍රියාවක් නෙවෙයි. ත්‍රස්තවාදී ලෝකේ කොහෙවත් මෙවැනි වෘත්තීය සමිති කරලා නැහැ. ඒ නිසා අපි කියනවා මේක ඉතා අසාධාරණ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්.

2. කැබිනට් මණ්ඩලය තුළ අද විවිධ මත තියනවා. මොකද මේ යහපාලන ආණ්ඩුව කියන්නේ විවිධ පක්ෂ ගණනාවක් එකතුවෙන් ගෙනයන ආණ්ඩුවක්. කැබිනට් මණ්ඩලයත් මේකෙන් හැදිලා තියෙන්නේ මේ එකතුවෙන්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි වෙන්නේ. ඒක තවදුරටත් ඉදිරියට ගැනීමට සාකච්ඡා කරගැනීමක් නැතුව එහෙම යෝජනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සියල්ල සලකලා බලලා තමයි තීන්දු ගන්නේ.

3. ඇත්තටම එතුමාට රටේ ජනතාව ජනවරමක් දීලා තියනවා. එහෙම දූෂිත අය ඉන්නවනම් එතුමාට තියනවා බලය එහෙම දූෂිත උදවියට දඬුවම් දෙන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒක තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒක තරාතිරම නොබලා ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන්න ඕන.

4. පළාත් සභා තුනක තමයි කාලය අවසන් වෙලා තියෙන්නේ. එතකොට මේ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පනතක් තියෙනවා සම්මත කරන්න. ඒක කරනකම් තමයි මේ ඉන්නේ. යම් යම් පක්ෂ තමයි ඔය විදිහට චෝදනා කරන්නේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ ආපු ප්‍රශ්න ගණනාවක් නිසා තව පක්ෂ ගණනාවක් තියනවා පරණ මැතිවරණ ක්‍රමයට ගන්න ඕන කියලා. ඒකත් එක්ක තමයි මේ ප්‍රමාදය තියෙන්නේ. මොකද කොමිසමට මැතිවරණයකට යන්න බැහැ පාර්ලිමේන්තුවට මේක විසඳලා දෙනකම්. මම දන්න විදිහට සැප්තැම්බර් වෙද්දී තවත් පළාත් සභා තුනක කාලය ඉවර වෙනවා. ඊට කලින් මේ ගැටලුව විසඳගත්ත වහාම අපි සූදානම් මේ දෙසැම්බර් වෙද්දී පළාත් සභා මැතිවරණයට යන්න.

බර කරත්තයක්වත් දුවාගන්න බැරි ආණ්ඩුවක් මේක
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා (ඒකාබද්ධ විපක්ෂය)

1. ඇත්තටම ආණ්ඩුවට කෝච්චියක් තියා බර කරත්තයක්වත් දුවාගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ මේ වෙනකොට. ඒ වගේම දැන් ප්‍රදර්ශනය වන්නේ ආණ්ඩුව තුළ තියන නොහැකියාව. මේ නිසා තමයි රටේ ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. රටේ නිදහසෙන් පස්සේ කිසිම ආණ්ඩුවක් මේ ආණ්ඩුව මුහුණ දුන් තරම් අර්බුදවලට මුහුණ දීලා නැහැ. මේකෙන් පෙන්නේ නායකත්වයේ තිබෙන දුර්වලතාවය.

2. ඕනම ආණ්ඩුවක අමාත්‍යවරුන් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා හැටියට ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් ජනාධිපතිවරයාට තියනවා. නමුත් මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ අමාත්‍ය මණ්ඩලය දෙකට බෙදිලා කටයුතු කිරීමේ තත්ත්වයක් තුළ සමහර කැබිනට් පත්‍රිකා ප්‍රතික්ෂේප වීමේ තත්ත්වයක් ඇතිවීමයි. මේකෙන් අපට පේන දේ තමයි මේ ආණ්ඩුවේ සාමූහිකත්වය කඩා වැටිලා තියනවා කියන එක.

3. එතුමා එහෙම කියලා තියනවනම් කියන්න ඇත්තේ එතුමාගේ යටතේ ඉන්න අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර අය දිහා නිරීක්ෂණය කරලා වෙන්න ඇති. ඒ වගේම එතුමාගේ රජයේ දෙවැනියා හැටියට ඉන්න අගමැතිතුමා, මුදල් ඇමැතිතුමා, එජාපයේ හිටපු මහ ලේකම්තුමා, සභාපතිතුමා ඇතුළු සමස්ත ආණ්ඩුවේ බොහෝ දෙනකුට එල්ල වෙලා තියනවා මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනා. ගැලවී යා නොහැකි ආකාරයට ඒ සියලු දෙනා ඒකට බැඳිලා ඉන්නවා. ජනාධිපතිතුමා මේ විදිහට තමන්ගේ ආණ්ඩුවේ හොරු ඉන්නවා කියලා තමයි මේ කියන්න ඇත්තේ.

4. ඇත්තටම ආණ්ඩුව මුහුණ දීලා තියන සමාජ, දේශපාලන, ආර්ථික අර්බුද හමුවේ මැතිවරණ කල් දමනවා විනා වෙනත් විකල්පයක් රජයට නැති තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ ජනතාව ඒ කෝපය පෙන්නුම් කරලා තිබුණා. මේ වෙනකොට රටේ දේශපාලනය කණ්ඩායම් දෙකකට බෙදිලා තියනවා. ආණ්ඩු විරෝධි තත්ත්වයක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවේ අවසානය බව පෙනී යන නිසා ආණ්ඩුව එයට විකල්පයක් ලෙස මැතිවරණ කල් දැමීමේ උත්සාහයක නිරත වෙනවා.

ලොකුම ප්‍රශ්නෙ දැන් ආණ්ඩුව මොකක්ද කියන එකයි
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

 

1. ආණ්ඩුවට උවමනාවක් තියෙනවද කියලා අහන්නේ ආණ්ඩුවක් තියෙනවද දැන් ඒ වගේ දෙයක් ක්‍රියාත්මක කරන්න? අපට තියෙන ප්‍රශ්නය තමයි දැන් ආණ්ඩුවක් තියනවද කියන එක ඇමැති එකක් කියනවා, නියෝජ්‍ය ඇමැති එකක් කියනවා, මුදල් ඇමති තව එකක් කියනවා, අගමැති තව එකක් කියනවා, ජනාධිපති ඒකට විරුද්ධ දෙයක් කියනවා. එතකොට ආණ්ඩුව කියන්නේ මොකද්ද. දැන් මේ පරිපාලන යාන්ත්‍රණයටත් රටේ ජනතාවටත් තියන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුව කියන්නේ මොකද්ද කියලා.

2. යහ වෙන්න හරි වහ වෙන්න හරි ආණ්ඩුවක් තියෙන්න එපැයි දැන්. යහත් නෑ වහත් නෑ දැන් ආණ්ඩුවත් නෑ. ඇත්තටම දැන් ආණ්ඩුවක් නෑ. දැන් මේ ආණ්ඩුව හැදෙන කොට කිව්වේ යූ. එන්. පී. එකයි ශ්‍රී ලංකා එකයි දෙපැත්තට වෙලා ඉන්න එකෙන් තමයි මේ රටේ ප්‍රශ්න විසඳන්න බැරි කියලා. මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වුණොත් ජාතික වැඩපිළිවෙළක් හදන්න පුළුවන් මාස 60කින් අලුත් රටක් හදන්න පුළුවන් කියලනේ කිව්වේ. දැන් ඒක ජනතාවට මතක නෑනේ.

3. ඒක ඉතින් එතුමාගෙන්ම ඉස්සරහට ගියාම බලාගන්න පුළුවන්. එතුමාගෙන් අහගන්න පුළුවන් අනිත් අය කවුද කියලා. ඔය දූෂිතයි කියන වචනයේ අර්ථ නිරෑපණය මොකද්ද? මෙතන තියෙන ප්‍රශ්නය තමයි දේශපාලකයෝ දූෂිතයි කියලා ජනාධිපති කියන කොට ජනතාව මොකද කියන්නේ? දැන් ජනාධිපතිවරයාම එහෙම කියද්දී ජනතාව අහන්න තියෙන්නේ ඔගොල්ලන් මොකද කරන්නේ කියලයි.

4. ආණ්ඩුව සූදානම් වෙනවා නෙවෙයි මේ පක්ෂ සූදානම් වෙනවා. ආණ්ඩුව සූදානම් වෙනවනම් ඔවුන් කරන්න ඕන රටේ සංවර්ධන කටයුතු කරන එකෙන්. දැන් මේ පක්ෂ සූදානම් වෙනවා. ආණ්ඩුවේ සල්ලි පාවිච්චි කරලා.

ජනතාව එකතු වෙලා මේ ආණ්ඩුව ළඟදීම පන්නනවා
ජාතික නිදහස් පෙරමුණ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර

1. මේක විතරක් නෙවෙයි. මේ රටේ තියන අනිත් කිසිම ප්‍රශ්නයකට ආණ්ඩුව ළඟ විසඳුමකුත් නැහැ. සැලසුමකුත් නෑ. දැන් මේ සිද්ධියෙන් ජනතාවට සිදුවූ පීඩාව හැමෝම දක්කා. කෝ ප්‍රවාහන ඇමැති නිදිද? මේවා දකින්නේ නැද්ද? ඉතිහාසයේ කවරදාකවත් මිනිස්සු මේ විදිහට හැසිරුණේ නැහැ. ඒ නිසා මේක උත්තර නැති පාලන ක්‍රමයක්. ජනතාව විසින් මේ ආණ්ඩුව පන්නන දවස වැඩි ඈතක නෙවෙයි.

2. මේ විදිහට ආණ්ඩුව පවත්වාගෙන යන්න පැහැදිලිවම බැහැ. රටේ කිසිම කාරණාවකට උත්තරයක් නැතුව යන ගමනකදී ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ කැබිනට් එක උත්සාහ දරන්නේ මන්ත්‍රීවරැන්ට වරප්‍රසාද දීලා මේක කරන්න. ඒක උචිත තත්ත්වයක් නෙවෙයි. දැන් රටේ තියෙන්නේ වැඩ බැරි ආණ්ඩුවක්. ඒ නිසා යහ පාලනයට විරුද්ධව සියලු දේශපාලන බලවේග පෙරට ආ යුතුයි. ඒ නිසා මේ පරගැති පාලනය නිමවා ආණ්ඩුවක් ඉක්මනට පිහිටවීමට අපි කටයුතු කරන්න ඕන.
3. පොදුවේ මේ රටේ මිනිස්සු ජනාධිපතිවරයාගේ ඉඳන් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ ඉන්න කිසි කෙනෙක් ගැන විශ්වාසයක් ඇති කරගෙන නැහැ. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා එක එක අවස්ථාවන්වල කරන කථා එක්ක මේ රටේ ජනතාවගේ දේශපාලනය ගැන තිබුණු විශ්වාසය බිඳිලා තියෙන්නේ. පාලකයන්, නායකයන් අධාර්මික වෙන කල ඒ රාජ්‍යයත් අධාර්මික වෙනවා. මේවා නොදැන ලෝකේ ඕන තැනක රාජ්‍යයකට පැවතිය නොහැකියි. මේ වෙනකොට ලංකාවටත් වෙලා තියෙන්නේ ඒක.

4. ජනාධිපතිවරණය ආවත් පළාත් සභා මැතිවරණය ආවත් මේ ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. පළාත් සභා මැතිවරණය තවම නැහැ. නීතියට පිටින් ඒක කල් දාගෙන ඉන්නේ. මේ ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යයට පයින් ගහලා. ඒ නිසා මේ සියලු දේට විරුද්ධව අපි සැප්තැම්බර් 05 කොළඹට එනවා. මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලලා අපි එන්නේ ගෙදර යන්න බලාගෙන නෙවෙයි නගරේ පදිංචි වෙලා හරි මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන සටන් පාඨයක් එක්ක.

 

මේවා ඔක්කොම විපක්ෂයේ බොරු චෝදනා
කඳුරට ජනතා පෙරමුණ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අරවින්ද් කුමාර්

1. උවමනාවක් නැත්තේ නෑ. උවමනාවක් අනිවාර්යයෙන්ම තියනවා. ඒකට තමයි මේ ආණ්ඩුව සෑම අවස්ථාවකදීම පිළිතුරු දෙන්නේ. අද මේ තියෙන්නේ යහපාලන ආණ්ඩුවක්. ඒකෙන් හැමෝම අයුතු ප්‍රයෝජන ගන්නවා. අද තියන මේ ස්වාධීනත්වය කලින් තිබුණේ නෑනේ. ඉස්සර මෙහෙම වැඩ වර්ජන කරන්න බැහැ. ඒ වෘත්තිය සමිති නායකයන්ගේ ගෙවල්වලට මල්වඩම් තියලා යන්නේ. නමුත් අද ඒ තත්ත්වය නැහැ. මොවුන් යහපාලනයෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.

2. ජනාධිපතිවරයා ඇමැතිවරුන් ගේන හැම කැබිනට් පත්‍රිකාවක්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කරන්න බැරි ජනතාවට යහපතක් වෙන්නේ නැති දෙයක් තියනවානම් පමණක් ප්‍රතික්ෂේප කරනවා. මේවා විපක්ෂයේ පාර්ශවයන් විසින් කරන චෝදනා. නමුත් ඒවා කිසිදු සත්‍යයක් නැති ප්‍රකාශ.

3. රටේ නායකයා හැටියට දූෂිත දේශපාලකයන් ගැන තීරණයක් ගන්න එතුමාට අයිතියක් තියනවා. මමත් ඒ ස්ථාවරයේ තමයි ඉන්නේ.

4. නැහැ එහෙම නැහැ. දැන් තීන්දුවක් අරගෙනනේ තියෙන්නේ. පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ වුණානේ. ජනවාරි මාසයේ 05 වැනිදා පළාත් සභා මැතිවරණය තියනවා කියලා. මම හිතන්නේ නැහැ දැන්ම ආණ්ඩුව ජනාධිපතිවරණයට ප්‍රචාරණ කටයුතු අරඹයි කියලා.

 

ස්ට්‍රයික් පිටුපස්සේ දේශපාලන තල්ලු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් දේශපාලන මණ්ඩල සභික එම්. එච්. එම්. සල්මාන්

1. මේ වර්ජනය ඇතිවෙලා තියෙන්නෙත්, ඒකට මූලික හේතුව වෙලා තියෙන්නෙත් වැටුප් ප්‍රශ්නයක් මුල්කරගෙන. මම හිතන්නේ වර්ජකයන්ට තිබුණා බලධාරීන් සමඟ තව වතාවක් කතාබහ කරලා බලන්න. ඒ වගේම දුම්රිය සේවකයන් කිසිම දැනුම්දීමකින් තොරව මේ විදිහට වර්ජනවලට යන්නේ මොකද කියලත් අපි හොයලා බලන්න ඕන. බොහෝවිට මෙය වෘත්තිය අයිතිවාසිකම් ප්‍රශ්නයට වඩා එහා ගිය දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කෙරෙන වැඩක් වෙන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ.

2. ඇත්තටම දැන් යහපාලන ආණ්ඩුව අවුරුදු තුනහමාරක් ගිහිල්ලා තියනවා. ඒ වගේම මේ වෙනකොට ප්‍රධාන පාර්ශව ඇතුළෙත් ප්‍රශ්න ගොඩනැගිලා තියනවා. කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්න පෙර ඒ අයගේ කමිටුවක් මඟින් සලකා බලලා එකඟත්වයකට ඇවිත් ඉදිරිපත් කරනවානම් වඩා හොඳයි. නැත්නම් මහජනතාවට යන පණිවිඩේ එච්චර හොඳ පණිවිඩයක් නෙවෙයි.

3. මම හිතන්නේ ජනාධිපතිතුමා විටින්විට මේ සම්බන්ධව මත පළ කරනවා. ඒ වගේම ජනාධිපතිවරයා මීට පෙර කිව්වා වඩාත්ම දූෂිත රාජ්‍ය නිලධාරීන් කියලා. නමුත් මේ සෑම දූෂිත ක්‍රියාවකටම අවසානයේ වන්දි ගෙවන්න වෙන්නේ දේශපාලකයා. ඒ නිසා මේක දේශපාලකයන්ට විතරක් නෙවෙයි අදාළ. පොදුවේ ගත්තම සෑම ක්ෂේත්‍රයකම දූෂිතයන් ඉන්නවා.

4. පළාත් සභා ඡන්දය පිළිබඳ මේ අය දැනට සාකච්ඡා කරගෙන යනවා. ඒක ඉක්මනින් තියයි. කොහොම වුණත් ලබන වසරේ ජනවාරි මාසයෙන් එහා පළාත් සභා මැතිවරණය කල් දාන්නත් බැහැ. ලබන අවුරුද්දේ අප්‍රේල්වලින් පස්සේ ජනාධිපතිවරයාට ඕනනම් නැවත ඉල්ලන්න පුළුවන්. ජනතා වරමක් අවුරුදු හතරක් සම්පූර්ණ වෙනවා එතකොට. ඒ නිසා මට මේ අවස්ථාවේ ඒ ගැන මතයක් කියන්න අමාරුයි.

►හසිත් අංජන