රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමේදී ප්‍රධාන සටන් පාඨයක් වූයේ රෑට නිදහසේ දුරකතන ඇමතුමක්වත් ලබාගත නොහැකි තැනට රජය කටයුතු කර ඇති බව කියාය. ඊට උදාහරණ පෙන්වමින් පොදු අපේක්ෂකයා වූ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු කතාබහ කරන දේ දැනගැනීම සඳහා දුරකතන ටැප් කර රහසිගතව අසා සිටින බවය. එය ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සිදුකරන විශාල බලපෑමක් බවද ඔහු කීය. මේ නිසා බලයට ආ සැණින් ටෙලිෆෝන් ටැප් යන්ත්‍ර ඉවත් කරන බවද ඔහු වේදිකාවල හඬ නගා කීවේය.
කෙසේ වෙතත් රටේ බහුතරයක් දෙනා දුරකතන ටැප් කිරීමේ ක්‍රමවේදය දැනගත්තේ එදා ඒ පොදු අපේක්ෂකයා කී කතා හරහාය. ඒවා බොරු නොවන බවටද සනාථ වූයේ ඔහු රජයේ අමාත්‍යවරයකුව සිටි නිසාය. කෙසේ වෙතත් ඔහු බලයට ආ සැණින් ඒ සියල්ල ඉවත් කළේය.
එහෙත් පසුගිය දවසක නැවතත් මේ කතාව පොලිස් මූලස්ථානයෙන් ඇසෙන්නට පටන් ගත්තේය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර පැතිර ගිය කතාව වූයේ එක්තරා පොලීසියේම කණ්ඩායමක් විසින් තමන්ගේ දුරකතන ඇමතුම් අසා සිටින බවය. එම කණ්ඩායම රහස් ඒකකයක් ලෙස නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි එක්තරා සුවිසල් නිවාසයක ක්‍රියාත්මක වන බවත් තමන්ගේම නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් එය පාලනය කරන බවත් පොලිස් ලොක්කෝ එහිදී කතා වූහ.
කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳව අපි සොයා බැලීමක් සිදුකළෙමු. එහිදී අනාවරණය වූයේ මෙම දුරකතනවලට රහසිගතව සවන්දීමේ උපකරණය ලබාදී ඇත්තේ ජපන් රජයෙන් බවය. එය ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ මෙරටට ලැබී ඇත. එම උපකරණ ලබා දී ඇත්තේ ත්‍රස්ත මෙහෙයුම් සහාය සඳහාය. මෙම ටැප් කිරීමේ යන්ත්‍රය ජංගම රථයක් ලෙස ලබා දී ඇති අතර එම රථයේ සිට කිලෝමීටර් 10 ක් ඇතුළත සිදුවන දුරකතන සංවාදවලට සවන්දිය හැකි බව මේ පිළිබඳව තොරතුරු දත් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම උපකරණයට අමතර ගුවන් තොටුපොළේ ආරක්ෂාව වෙනුවෙන් දියරමය පුපුරණ ද්‍රව්‍ය සොයාගන්නා උපකරණ කිහිපයක්ද ලබා දී ඇත. එම උපකරණ සමඟ මේ ටැප් යන්ත්‍රයද ලබා දී තිබේ.
කෙසේ වෙතත් මෙය ලබාදීමට පැමිණි අවස්ථාවේ ජපන් නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසූ කාරණාවක් නිසා, ඔවුන් කෝපාවිෂ්ඨ වී එම යන්ත්‍රය වෙනත් රටකට දීමට සූදානම් වී තිබේ. එහෙත් එය නැවත සාකච්ඡා සිදුකර මෙරටට ලබාගෙන ඇත. එසේ ලබාගෙන එම යන්ත්‍රය නියෝජ්‍ය පොලිස්පතිවරයකු භාරයට පත් කර ඇත.
උපකරණය හරහා මැති ඇමැතිවරුන්ගේ, පොලිස් නිලධාරින්ගේ, මාධ්‍යවේදීන්ගේ සංවාද අසනු ලබන බව දැන ගන්නට ඇත. කෙසේ වෙතත් මෙය ජාතික ආරක්ෂාවට යැයි කීවත් එම උපකරණ හරහා පෞද්ගලික දුරකථන සංවාද පවා අසන බවත් දැනගන්නට ඇත. පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම මහතා පවසා සිටියේ ඉදිරියේදී අධිකරණ විනිසුරුවන්ගේද සංවාදවලට පවා මොවුන් සවන් දිය හැකි බවය. මෙය නීතිවිරෝධී කටයුත්තක් බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් යුද්ධය පැවති සමයේදී දුරකථන ටැප් කෙරිණි. ඒ ජාතික ආරක්ෂාව නිසාය. එයද සිදුකළේ සේනාධිනායක ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය බුද්ධි අංශය පමණි. එහෙත් මේ කරන්නේ වෙනස්ම පිරිසක් විසින් අයාලයේ යමින්ය. මේ සඳහා අප දැනුවත්ව නම් කිසිවකු අවසර දී නැත. එහෙත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියමින් පොලිසියේ පිරිසක් විසින් එම ටැප් කිරීම සිදු කෙරෙමින් තිබේ. පොලීසියෙන් දැනගන්නට ඇති ආකාරයට මේ වැඩ පිළිවෙළ පොලීසියේම, ලොකු චරිතයක් ඉදිරියේදී දේශපාලනයට පිවිසීමේ අරමුණින් තොරතුරු සොයාගැනීම සඳහා සිදුකරන වැඩසටහනකි. ඒ නිසා මැති ඇමැතිවරුන් ඔහු ගැන කතාවෙන්නේ කුමක්ද යන්න සෙවීමේ අරමුණින් සිදුකරන වැඩක් බව පොලිසියේම අය පවසති.
මීට අමතරව තවත් විශේෂ යන්ත්‍රයක්ද යුරෝපයෙන් ලැබී ඇත. ඒ මගින් ෆේස් බුක්, ඉමෝ, වයිබර් වැනි ඇප්ස් හරහා ලබාගන්නා ඇමතුම් තොරතුරු ලබාගැනීමට හැකියාවක් ඇත. එසේම ඊමේල් හැක් කිරීමේ හැකියාවද ඇත. කෙසේ වෙතත් මේ සියලු දේ අසා තොරතුරු සකස් කොට පොලීසියේ ප්‍රධානියකුට වාර්තා පිටපත් යවන බව සඳහන් වේ. මේ නිසා දැනටමත් පොලීසියේ ජ්‍යේෂ්ඨයන් මේ වැඩපිළිවෙළට තමන්ගේ අසතුට පළ කරමින් රජයේ ඉහළ අයට දැනුම් දී ඇති බව සඳහන් වේ. පොලිස් නිලධාරින් දසදෙනෙකු විසින් සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පවත්වාගෙන යන මෙම ස්ථානය වහාම විසුරුවා හරින ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා ඇතැම් පොලිස් නිලධාරින් වෙනත් අංක යොදාගෙන කතාබහ කරන්නට පටන් ගෙන ඇත. රටේ ත්‍රස්තවාදය නොමැති අවස්ථාවක දේශපාලන අරගල සොයා ගැනීමට, හෝ පෞද්ගලික තොරතුරු සෙවීමට මෙවැනි උපකරණ භාවිතා කිරීම සැබවින්ම නීති විරෝධී කටයුත්තකි. එහෙත් නීතියට යටින් මේ දෙය සිදුවන්නේය. අපට ප්‍රශ්නයක් ඇත. ඒ මේ දෙවල් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් දැනුවත්ව, සිදුවන්නේද යන්නය. එසේ නොමැති නම් මීට විරුද්ධ නොවන්නේ ඇයිද යන්න ගැටලුවකි. කතා කිරීමට, නිදහස් මත දැරීමට පූර්ණ නිදහස ලබාදෙන බවට ප්‍රතිපත්ති ප්‍රකාශනවල පිටු ගණනින් පිරෙව්වාට ඒවා පොතට පමණක් සීමා වන බවට සැකයක් පහළ වීම සාධාරණය.
විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ අවසරයකින් තොරව පවත්වාගෙන යන මෙම ස්ථානය ඔවුන්ටවත් වැටලීමට වුවමනාවක් නැත්තේ ඇයිද යන්න අපට ප්‍රශ්නයක් ඇත. මේ ආකාරයෙන් රටේ ප්‍රභූවරුන්ගේ මාධ්‍යවේදීන්ගේ දුරකථනවලට සවන්දී පොලීසියේ අය සූදානම් වන්නේ ජාතික ආරක්ෂාව රැකීමට නම් එය සැබවින්ම විහිළුවකි. කෙසේ වෙතත් පොලීසියේ ඉහළ නිලධාරින්ගේ යම් යම් හැසිරීම් රටා විහිළු සහගත වනවිට මෙවැනි දේවල් සිදුවීමද විශේෂත්වයක් නැත. එහෙත් අපට ප්‍රශ්නය වී ඇත්තේ යහපාලනය මුවාවෙන් සිදුකරන මෙවැනි ක්‍රියා ජනතාවගේ විරෝධයට ලක්වන බව රජය නොදන්නේ යන්නයි. එසේ නොවන්නේ නම් සැබවින්ම යහපාලනය හුදු වචනයක් පමණි.
►ගයාන් ගාල්ලගේ