2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

සිනමාවටත් වැටෙන බදු තොප්පිය

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

නව බදු පනත හේතුවෙන් දේශීය සිනමා කර්මාන්තය මෙන්ම මුළුමහත් දේශීය කලාවටම අහිතකර තත්ත්වයක් උදාවී ඇති බව නිදහස් කලා සන්ධානය ප්‍රකාශ කරයි. මේ සම්බන්ධව ඇතිවී තිබෙන බරපතළ තත්ත්වය හේතුවෙන් කලාකරුවන් විශාල පිරිසක් එක්ව පසුගියදා දිනෙක මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමියන් වෙත සංදේශයක්ද බාරදුන්හ.

නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ සම්මත වුණ දේශීය කලාවට අහිතකරම ලෙස බලපාන පනත ලෙස 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත හඳුන්වා දිය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

“මෙම අලුත් බදු පනතින් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතින් අපිට ලබාදුන් සියලුම සහන ඉවත් කරලා දාලා තියෙනවා. ඊට අමතරව තවත් විවිධාකාරයේ අලුත් බදු පනත් ඇතුළත් කරලා තියෙනවා. මේ හරහා සම්පූර්ණයෙන් සංස්කෘතිකමය සෝදාපාළුවක්, විනාශයක් තමයි ඇතිවෙන්නේ.

වර්තමානයේදී මේ මොහොත වනවිට ටෙලිනාට්‍ය කර්මාන්තය විශාල භයානක තත්ත්වයකට තමයි පත්ව තියෙන්නේ. අද එක රාත්‍රියකට මේ රටේ බොහෝ පිරිසක් රූපවාහිනිය නරඹනවා. නරඹන දෙයින් මේ රටේ මිනිසුන්ට ලැබෙන්නේ මොනවාද කියන කාරණාව පිළිබඳව අපි සැලකිලිමත් විය යුතු වෙනවා. අද බොහෝවිට ඇතැම් පාලකයින් රසිකත්වයෙන් පිරිපුන් මිනිසුන් බිහි නොවනවාට වැඩි කැමැත්තක් දක්වනවා. එවිට රට පාලනය කරන්න ලේසියි. ඒ නිසා අද මේ මොහොත වනවිට මේ කලාව භයානක, අක්‍රීය තත්ත්වයකට පත්වෙලා තියෙනවා...” යැයි නිදහස් කලා සන්ධානයේ සභාපති සුදත් රෝහණ දේශයට අදහස් දැක්වීය.

වර්තමානයේ බොහෝ ටෙලිනාට්‍ය තුළින් සමාජයට ලබාදෙන්නේ ඉතා වැරදි ආකල්පයන්ය. දරුවන් යනු සැමවිටම අනුකරණයට උත්සාහ කරනා පිරිසකි. ඔවුන් තමන් දකින චරිත ක්‍රියාත්මක කරනා ආකාරයන් පිළිබඳව තම මනසට එක්කර ගැනීමට උත්සාහ ගනී. එයින් භයානක අනිසි ප්‍රතිඵල ඇතිවිය හැකිය. එකල ටෙලිනාට්‍යයක් නිර්මාණය කරද්දී එයට හොඳට නිමකළ පිටපතක් තිබුණි. හොඳ සංකල්පයක් තිබුණි. අධ්‍යක්ෂ, නළු නිළි පාර්ශ්වය ඒ නිර්මාණය පිළිබඳව රූගත කිරීම් කිරීමට පළමුව සාකච්ඡා කෙරුණි. ඒ පිළිබඳව සැවොම හොඳ දැනුවත්වීමක් තිබුණි.

නමුත් අද ඒ සියල්ලම හෑල්ලුවට ලක්වී තිබේ. අද බෙහෝ විට ඇත්තේ ටෙලිනාට්‍ය නමින් හඳුන්වන වෙනත් කාර්යයන්ය. එවැනි තත්ත්වයට ටෙලිනාට්‍යය කර්මාන්තය පත්වන්නට විවිධ හේතූන් බලපෑවේය.

එකල ටෙලිනාට්‍යයක එක කොටසක් වෙනුවෙන් හොඳ ගෙවීමක් අධ්‍යක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමට ලැබුණි.

“මම 1993 වසරේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කෙටිකතාවලින් කොටස් දාසයකින් යුත් නාට්‍ය මාලාවක් කළා. ඒ කාලේ එම එක කොටසක් එක් වෙළෙඳ දැන්වීම් ආයතනයක් එක්ලක්ෂ හැත්තෑපන් දහසකට ගත්තා. අපි ඒ කාලේ තාක්ෂණික අංශයේ ශිල්පියෙකුට රුපියල් හතළිස් පහක් එක කොටසකට දුන්නා. ඒ කාලේ ඒක හොඳටම ප්‍රමාණවත්. ඒ කාලේ ප්ලේන්ටියක් සත පහළොවයි. ඒ බිව්ව ප්ලේන්ටියට සාපේක්ෂව මිල ඉහළ නොගිය එකම භාණ්ඩය “ටෙලිනාට්‍යය මිල” විදිහට හඳුන්වන්න පුළුවන්. ප්‍රවාහන, නළු නිළි, ගෙවීම්, කෑමබීම, ඉඳුම් හිටුම් මේ හැම දෙයක්ම ඉහළ යද්දී ටෙලිනාට්‍ය මිල පමණක් පහළ වැටිලා. ඉතින් කොහොමද මෙහෙම වෙන්නේ.... මේ නිසා අද නිෂ්පාදකවරු මේ ටෙලිනාට්‍යයට තමන්ගේ මුදල යටකරන්න කැමැති නැහැ.” යැයි සුදත් රෝහණ තවදුරටත් පැවසීය.
 එකල නිර්මාණය අනුව එක කොටසක් රූගත කිරීමට දින හතරක් පහක් වැය විය. ඒ තරමටම ඔවුහු නිර්මාණය වෙනුවෙන් මහන්සියක් ගත්හ. නමුත් අද වනවිට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. වර්තමානයේදී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු කාලය සහ මුදල අතර විශාල තරගයක නිරතව සිටිති. නළු නිළියන්ට ඊළඟ කොටස වෙනුවෙන් ඇඳුමක් ඇඳීමට පවා ඇතැම් සහය අධ්‍යක්ෂකවරුන්ට කාලයක් නැත. දිවා ආහාරයට ඇතැම් නිර්මාණවලදී ලැබෙන්නේ ඉතා අඩු කාලයකි. මේ නිසා අද ඇතැම්වි කලාකරුවා “කුලීකරුවකු” තත්ත්වයට පත්වී තිබේ. අද ඇතැම් නළු නිළියෝ වැඩමුරවලට යන තත්ත්වයට පත්ව සිටිති. උදේ කාලය එක් ටෙලිනාට්‍යයකටත් දහවල් කාලය තවත් ටෙලිනාට්‍යයකටත් වශයෙන් ඔවුහු දින ලබාදෙති.

අද නිමකළ පිටපතක් බොහෝ ටෙලිනාට්‍යවල නැත. තිර පිටපත් රචකයා එදිනට දර්ශන තලයේ සිටිනා නළු නිළියන් ගැන සිතා ඒ අනුව එදිනට පිටපත ලියනා තත්ත්වයට පත්ව සිටිති. එකල එක කොටසක් වෙනුවෙන් දින දෙක තුනක් ගත්තද වර්තමානයේදී බොහෝ ටෙලිනාට්‍යවල එක දිනකට කොටස් දෙකක්වත් රූගත කිරීම් කිරීමට බොහෝ අධ්‍යක්ෂකවරු උත්සාහ ගනිති. අද ටෙලිනාට්‍ය කලාව බිඳ වැටීමට මෙයද ප්‍රධාන හේතුවක් වේ.

මෙවැනි අයහපත් වටපිටාවක් තුළින් ටෙලිනාට්‍ය සහ සියලුම කලා ගැටලුවලට මුහුණ දෙන විට මෙම අධික බදු පනතක් ලබාදීමෙන් සිදුවන්නේ නිර්මාණකරුවන්ගේ බඩට ගැසීමකි. නිෂ්පාදන ක්‍රියාවලියේදී පමණක් අවස්ථා කිහිපයකදීම බදු පනතට යටත් වේ. නිෂ්පාදනයේ ලාභයෙන් ගැනීමෙන් එහි වරදක් නැත. නමුත් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරද්දී 14%ක් බදු පනතට යටත් වේ. මෙම අලුත් බදු පනත මගින් තවත් අසාර්ථක ටෙලිනාට්‍ය නිර්මාණයට අඩිතාලම වැටී තිබේ.

“අලුත් බදු වැටීමත් සමඟ නිෂ්පාදකවරුන් තමන්ගේ වැය මුදලින් මේ මුදල අඩු කරගන්නේ කොහොමද කියලයි බලන්නේ. ඒ නිසා ඔහු තම නිර්මාණවලට රඟපෑමේ හැකියාව පසෙකට දමා අඩුමුදලට රඟපාන්න කැමැති නළු නිළියන් පිරිසක් එකතු කරගන්නට උත්සාහ ගන්නවා. දවසකට කොටස් දෙකක් කිරීම වෙනුවට දවසකට කොටස් තුනක්වත් කරන්නට උත්සාහ ගන්නවා. දවසකට තුන් වතාවක් තේ ලබා දුන්නේ නම් ඒ වෙනුවට දවසකට දෙවරක් තේ පමණක් දීමට උත්සාහ ගන්නවා. මේ විදිහට සියලු දේ ඔහු සීමා කරන්නට උත්සාහ ගන්නවා...” යැයි සුදත් රෝහණ පැවසීය.

එවිට නිර්මාණයක ගුණාත්මකභාවය පමණක් නොව කලාකරුවන්ගේ මූලික අයිතිවාසිකම්ද උල්ලංඝනය වේ. මේ බදු ක්‍රමය නිසා හරසුන් බොල් නිර්මාණ බිහිවීමෙන් සිදුවන්නේ රටේ රසික රසිකාවියන් කලාවෙන් ඈත්වීමය. මෙම අධික බදු බර හේතුවෙන් මාසයකට රුපියල් පනස්දහසකට වැඩි මුදලක් ගන්නා කලාකරුවන්ට කලාකාරියන්ටද 5% ගණනේ කැපීමට තීරණය කර ඇත. ඇතැම් නළු නිළියෝ එක වසරකට එක නිර්මාණයකට පමණක් දායක වෙති. මේ තත්ත්වය නළු නිළියන්ට කාර්මික ශිල්පීන්ට පමණක් නොව තේ හදන පුද්ගලයාට පවා බලපායි. උදේ පාන්දර තුනට පමණ අවදිව පහුවදා පාන්දර එක දෙක වනතුරු අවදිව සිටීමට සිදුවන රූගත කිරීමකදී පළමුව අවදිවන, අවසානයේදී නින්දට යන දුක්ඛිත ජීවිතයක් ගතකරන එවැනි පුද්ගලයන්ගෙන්ද බදු අය කිරීම කොයිතරම් නම් අසාධාරණදැයි ඔවුහු ප්‍රශ්න කරති. කලාකරුවන්ට වෙන්වුණු අර්ථසාධක නැත. විශ්‍රාම වැටුප් නැත. ඔවුන් ජීවිතේ අවසාන කාලයේදී ගෙවන්නේ මේ තමන්ට හැකි කාලයේදී හරි හම්බකර ඉතිරි කරගත් මුදලිනි. ඇතැම් එවැනි කලාකරුවන්ගේ කලාකාරියන්ගේ ජීවිතය වටා යැපෙන පිරිසක්ද සිටිති. ඔවුන්ට කළයුතු වගකීම් සහ යුතුකම්ද ඇත.

“කලාකරුවන් විදිහට මේ ක්‍රමවේදය වහාම නැවැත්විය යුතුයි කියලයි අපි කියන්නේ. 2006 අංක දහය දරන බදු පනතින් මේ සියලු සහන අපිට තිබුණා. ඒ සහන අපිට ලබලා දෙන්න. එදා යම් නිර්මාණයක් නිෂ්පාදනය කරලා පාඩු ලැබුවා නම් ඔහුගේ වෙනත් ව්‍යාපාරයකින් මෙම පාඩුව අවම කරගන්න ආදායම් බදු සහනයක් ලබලා දුන්නා. මේ නිසා නිෂ්පාදකවරුන් බය නැතිව නිර්මාණ නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වුණා. හොඳ චිත්‍රපට නිර්මාණය වුණා. සිනමා කර්මාන්ත ශාලාවලට සියලු උපකරණ ලබාගන්න පහසුකම් දුන්නා. සිනමා ශාලා අලුතින් ඉදිකරන්න ණය පහසුකම් දුන්නා. මේ සහන සියල්ලම නැතිකළා පමණක් නොව අලුතින් දරාගන්න බැරි බදු පනත් එකතු කරලා තියෙනවා. මේ හරහා රට ඉතාමත් කාලකන්නි ගමනක් වෙතට තල්ලු කරනවා. නිර්මාණකරුවන් උදාසීන කරලා මේ රටෙන් සදහටම ඈත් කරන්න උත්සාහ දැරීමක් විදිහටයි අපි මේක දකින්නේ.” යැයි නිදහස් කලා සන්ධානයේ සභාපති සුදත් රෝහණ දේශයට පැවසීය.

මෙම නව බදු පනත් පිළිබඳ කලා ක්ෂේත්‍රයේ නියුතු සියල්ලන් දැනුවත් කිරීම සඳහා “බදු දඩයමට එරෙහි කලාකරුවෝ සීරුවෙන් සිටිත්” යන මැයෙන් ලබන 15 වැනි බදාදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදි සවස 3.00ට සම්මන්ත්‍රණයක් සංවිධානය කර ඇත.

►දිශානි ජයමාලි කරුණාරත්න