
යහපාලනය යන යෙදුම ගැඹුරු දේශපාලන අරුතක් ප්‍රකට කරයි. එහෙත් ඇතැම්විට අද මේ යෙදුම සරල සිල්ලර ආකාරයෙන්ද භාවිතා කරනු දක්නට ලැබේ. විද්වත් සභාවල හා දේශපාලන වේදිකාවල හොඳට නරකට පට්ට ගසන යහපාලනය යන යෙදුමේ සැබෑ අරුත කුමක්ද යන්න බොහෝ දෙනා කල්පනා නොකරන කරුණකි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ සහ මහ මැතිවරණ සමයේ මේ රටේ ඇතැම් උගත් බුද්ධිමත් ඉහළ පෙළේ දේශපාලනඥයෝ “යහපාලනය” නම් සංකල්පය විවිධ ලෙස අර්ථ දැක්වූහ. තවත් සමහරු මෙයට විවිධාකාර නම් පටබැන්දාහ. කිසිවෙකුත් මෙහි නියමාර්ථය පෙන්වාදීමට උත්සුක වූයේ නැත. හුදෙක් එය දේශපාලන අර්ථ දැක්වීම් පමණක්ම විය. වත්මන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද 2015 වයරේ නව ආණ්ඩුවක් පිහිටවූයේ මෙම “යහපාලනය” නැමති සංකල්පය මූලික කරගෙනය.
මෙය අපට නුහුරු නුපුරුදු වුවද, මෙය පුද්ගල මතවාදයක් හෝ ඉබේ පහළ වූවක් නොව රටවල් ගණනක් අනුගමනය කරන සංකල්පයකි.
කෘෂිකර්ම, මහාමාර්ග, වරාය, ධීවර යන අමාත්‍යංශ ඇතුළු මෙරට රාජ්‍ය ආයතන ගණනාවක ඇතුළු පරිපාලන සේවයේ බොහෝ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා මෙම “යහපාලන” සංකල්පය මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියෙකි. ඔහු දේශය පුවත්පතෙහි අපත් සමඟ මෙම “යහපාලනය” නැමති සංකල්පය මෙරටට හඳන්වා දුන් ආකාරය පිළිබඳ සිය අත්දැකීම් මෙලෙසින් පැහැදිලි කළේය.
රාජ්‍ය සේවයේ අත්දැකීම්:
1970 ක්‍රමසම්පාදන අමාත්‍යංශයට එක්වීමෙන් තමයි මම රාජ්‍ය සේවයට පිවිසුණේ. 1973 වසර වෙනකොට කොළඹ ඉඳලා මාරුවීමක් ලබලා මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රම සම්පාදන ඒකකයට අනුයුක්ත වෙලා සේවය අරඹනවා. එහිදී තරුණ තරුණියන්ට රැකියා සැපයීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ වගේම මොණරාගල දිස්ත්‍රික්කයේ උක් වගාව ආරම්භ කිරීමටත් මූලිකත්වය ගෙන කටයුතු සිදු කිරීමට පියවර ගත්තා. 79,80 වගේ කාලය වනවිට ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව විශාල වැඩකොටසක් ඉටුකළා. ඒ වගේම ග්‍රාමීය ජනතාවගේ සුබ සිද්ධිය නගා සිටුවන්න විශාල ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කළා. පසුකාලයකදී ඒවා විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව ඒ හඳුන්වා දුන් ව්‍යාපෘති වෙනස් වෙලා ජනසවිය සමෘද්ධිය වගේ ව්‍යාපෘතීන් බවට පත්වුණා.
යහපාලනයේ හඳුන්වාදීම සහ අරමුණ:
මෑත කාලයේ තමයි යහපාලනය කියන වචනය දේශපාලන වේදිකාවල කතා කිරීමට පටන් ගත්තේ. මුලින්ම මේ යහපාලනයේ යම් යම් අංගයන් තමයි ක්‍රියාත්මක වුණේ. ජනතාවට සවන්දීම, ජනතා අවශ්‍යතාවයන් තේරුම් ගැනීම, ජනතා සහභාගීත්වයට අවස්ථාව දීම වගේ යහපාලනයේ යම් අංග තමයි පළමුව ක්‍රියාත්මක කළේ. මේ යහපාලනය කියන වචනය මුලින්ම යෙදුවේ 2013 විතර. ඒකටත් හේතුවක් තිබුණා. මේ කාලය වෙනකොට පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට එහෙම යම් යම් ප්‍රශ්න තිබුණා. මේ පිළිබඳ ජනතාව දැනුවත් කරන්න අපේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ ලේකම්වරුන් ඇතුළු විවිධ රටේ පිළිගත් නිලධාරීන් සමග “යහපාලන සංසදය” නමින් සංවිධානයක් පිහිටවූවා. ඒ සංවිධානයට තමයි මුලින්ම මේ නම දුන්නේ. නමුත් මේකට අවශ්‍ය කරන කටයුතු 2010 මම අග්‍රාමාත්‍ය ලේකම් වෙලා ඉන්න අවධියේ පටන් සිදුකරගෙන ආවා.
සමාජ අභියෝග:
මෙම සංකල්පය පිළිබඳ මුල් අවධියේ ඒ තරම් ලොකු සංවාදයක් ගොඩනැගිලා තිබුණේ නැහැ. ඇත්තටම මෙම සංකල්පය මනුෂ්‍ය ශිෂ්ටාචාරය තරම් පරණ සංකල්පයක්. ලෝකයේ විවිධ රටවල ආණ්ඩු පිහිටුවීමේදී මෙම සංකල්පය භාවිතා කළේ ජනතාවට යහපත් පාලනයක් යටතේ ජීවත් වෙන්න. දැන් දකුණු ආසියාවේ මෙම සංකල්පය පිළිබඳ අපට හමුවන ප්‍රබල සාක්ෂිය තමයි දැනට අවුරුදු ගණනකට පෙර බුදුන් වහන්සේ හඳුන්වා දුන් දස රාජධර්ම පාලනය. මුල් අවදියේ එතරම් ලොකු සංවාදයක් ඇති නොවුණත් අද වනවිට මෙම “යහපාලනය” කියන සංකල්පය සමාජගත වෙලා තියෙනවා. නමුත් එය නිසි ආකාරයට අර්ථකථනය කරන බවක් පේන්න නැහැ.
ජනතා ප්‍රතිචාර:
මෙම සංකල්පය ආරම්භ කරලා ජනතාව අතරට ගෙනියන්න තරම් කාලයක් තිබුණේ නැහැ. මේක ආරම්භ කරපු මුල් අවධියේ අපේ සංවිධානය මගින් මෙම සංකල්පය පිළිබඳ නිලධාරීන්ට සම්මන්ත්‍රණ දෙකක් පැවැත්වුණා. ඒකට නම් ඉහළ ප්‍රතිචාරයක් හිමිවුණා. ඊළඟට මෙම සංකල්පය පිළිබඳව දේශපාලනඥයන්ට දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පැවැත්වීමට සූදානම් කරලා තිබුණත් එය සිදුකර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම මේ යහපාලනය කිව්වම විශේෂයෙන්ම ආණ්ඩුව පිළිබඳව තමයි ගොඩක් දෙනා බලන්නේ. ආණ්ඩුව කොහොමද කටයුතු කරන්නේ කියන එක පිළිබඳව. නමුත් ජනතාවගේ පැත්තෙනුත් යහපාලනයට විශාල වැඩකොටසක් සිද්ධ වෙන්න ඕන. ආණ්ඩුව මොනවා කළත් ජනතාව සූදානම් නැත්නම් එහි සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න බැහැ. මෑත කාලයේ මේ දශක දෙකක වගේ කාලය ගත්තොත් මේ යහපාලනය කියන එක ජාත්‍යන්තර වශයෙන් ඉතාම ජනප්‍රියත්වයට පත්වුණු සංකල්පයක්.
රාජ්‍ය සේවකයා අතරට ගෙනගිය අයුරු:
ඒ ඒ රජයේ ආයතනවල තියෙනවා වගකීම් සහ අරමුණු. ඉතින් ඒ අරමුණුවලට ගැලපෙන විදියට ඒවගෙන් ප්‍රතිලාභ ලබන්න එන මිනිසුන්ට ගැලපෙන ආකාරයට මෙම ආයතනවල කටයුතු සිදු කිරීම තමයි මෙම සංකල්පය මගින් රාජ්‍ය සේවයෙන් කළයුතු වන්නේ. ඒ වගේම තමයි මේ යහපාලනයේ තිබෙන තවත් ලක්ෂණයක් තමයි මේ විනිවිද භාවය. ඒ කියන්නේ මේ ආණ්ඩුව කරන දේ මිනිසුන්ට තේරුම් ගැනීමට හැකියාවක් තියෙන්න ඕන. ඇයි මෙය ක්‍රියාත්මක කළේ, හේතුව මොකද්ද යන කරුණු කාරණා ජනතාවට තේරුම් ගැනීමට හැකියාවක් තියෙන්න ඕන.
පසුගිය රජයේ අත්දැකීම්:
ඇත්තටම යම් යම් අඩුපාඩු තිබුණා. ඒක නිසා තමයි අපි මේ “යහපාලන සංසදය” පිහිටුවීමට කටයුතු කළේ. ජනතාවටත් මෙහි අවශ්‍යතාවයක් තිබුණා. නමුත් ක්‍රියාත්මක කිරීමට පොඩි ප්‍රමාදයකුත් සිදුවුණා. ඒ වගේම තමයි හිටපු ආණ්ඩුව වැඩිපුර ප්‍රවනතාවයක් දුන්නේ ආර්ථික සංවර්ධනය සහ උතුරේ ප්‍රශ්නය විසඳන්න. ඒ ප්‍රශ්න විසඳෙන කොට ඊළඟට මිනිස්සුන්ට ආපු අවශ්‍යතාවය තමයි මේ යහපාලන සංකල්පය. නමුත් රටේ තිබුණ මේ දැවෙන ප්‍රශ්න ඉවරකරලා යහපාලන සංකල්පය ක්‍රියාත්මක කරන්න කාලයක් මදිවුණා. දැන් මේ රජය බලයට ඇවිල්ලා අවුරුදු තුනහමාරක් වෙලා තියෙනවා. ඔය සංකල්පය විතරයි තියෙන්නේ. වෙන මොනවත්ම වෙලා නැහැනේ. ඇත්තටම මෙම දැන් ක්‍රියාත්මක වෙන යහපාලනයේ සිදු වූ එකම දෙය තමයි තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර ගැනීම.
යහපාලනය දැන් ක්‍රියාත්මක වන ආකාරය:
තොරතුරු පනත, රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය සහ මාධ්‍ය නිදහස. මාධ්‍ය නිදහස ගැනත් යම් යම් ගැටලු තියෙනවා. නමුත් පහරදීම් හා ඝාතනය වීම් සිදුවෙලා නැහැ. මේ තුන ඇරෙන්න මම වෙන දෙයක් දැකලා නැහැ මේ යහපාලන සංකල්පයේ. මේ යහපාලනයේ තවත් මූලික ලක්ෂණයක් තමයි කාර්යක්ෂමභාවය. නමුත් මේ ආණ්ඩුවේ තියෙන්නේ ඒක බිංදුවටත් පහළින්. මොනවත්ම සිදුවෙන්නේ නැහැ.
►හසිත් අංජන
ඡායාරූප: සමන්ත විල්තෙර