
බල්ලා කැටුව යන කාන්තාව රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් ලොවට තිළිණ කළ මාහැඟි කෙටිකතාවකි. එපරිද්දෙන් ඉකුත් මස 27 වෙනිදා කුවේට් ජාතික යුවළක්ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත බල්ලෙකු රැගෙන විත්, එහි රාජකාරි සිදු කරමින් සිටි රේගු නිලධාරීන් සමග ගැටුමක්ද ඇති කරගෙන තිබුණි.
මෙම සිදුවීමත් සමඟ රට පුරා ජනතා අවධානය ශ්‍රී ලංකාවට සතුන් ගෙන එන්නේ කෙසේද , එහිදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් මොනවාද , එහිදී මුලින්ම සිදු කළ යුත්තේ කුමක්ද? යනාදී කරුණු පිළිබඳව රටේ ජනතාව තුළ ඇති කුතුහලය ඉහළ ගොස් ඇති අන්දම ආයතනවලට මෙම දින කීපය පුරා ලැබෙන දුරකථන ඇමතුම්වල වැඩිවීම අනාවරණය කරන බව ජනමාධ්‍ය වෙතද වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාවට විවිධ රටවලින් සතුන් ගෙන ඒමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් රාශියක් තිබේ. ඒවා සියල්ල 1992 සත්ව රෝග පනතේ අංක 59 වගන්තියෙන් විග්රහ කොට දක්වා තිබේ.
මෙම කටයුත්ත සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පූර්ණ බලැති ආයතනය වන්නේ සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි. එහි ප්‍රධාන කාර්යාලය මහනුවර, පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර, කොළඹ ප්‍රධාන සත්ත්ව නීරෝධායන මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබයි. මීට අමතරව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ, පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත තුළ මෙම දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල පවත්වාගෙන යන අතර, ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන එනු ලබන සතුන් අධීක්ෂණය සඳහා රඳවා තබන විශේෂ කාර්යාල පරිශ්‍රයක්, ගුවන් තොටුපොළ පරිශ්‍රයේත් නයිකන්ද ප්‍රදේශයේද පවත්වාගෙන යමින් සිටී,
ශ්‍රී ලංකාවට යම් සත්ත්ව විශේෂයක් විදේශයකින් ගෙන්වීමට අදහස් කරන්නේ නම් මුලින්ම මහනුවර පේරාදෙණිය සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය, දුරකථන 081-2388462 ඔස්සේ අමතමින් අවශ්‍ය විස්තර ලබා ගත යුතුවේ. එසේ නොමැති නම් www.daphgov.lk වෙබ් අඩවියට පිවිස අවශ්‍ය විස්තර සොයා ගත යුතු වේ.
එම වෙබ් අඩවිය තුළ අවශ්‍ය විස්තර, උපදෙස්, මග පෙන්වීම්, ගෙන්වීමට අදහස් කරන විවිධ සතුන්ට අදාළ වෛද්‍ය වාර්තා පිළිබඳ විස්තර, එම සතුන් ආනයනය මෙන්ම අපනයනයට අදාළ නීතිමය විධිවිධානයන්, විවිධ ආකෘති පත්‍ර, මෙම දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සහ ඒවා ලබාගත හැකි ස්ථාන ආදිය පිළිබඳව සවිස්තරාත්මක කරුණු එහි තිබේ.
ඒවා අධ්‍යනය කිරීමෙන් පසු තමන් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අදහස් කරන සතුන් සඳහා, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙතින් අවසර ලබාගෙන, එය ආනයනය - අපනයනය පාලකවරයා වෙත ඉදිරිපත් කර, ඔහුගෙනුත් අවසර ලබා ගත යුතු වේ. මේ ආකාරයට විවිධ සත්ත්ව වර්ග, ශාක වර්ග සහ විවිධ සත්ව නිෂ්පාදනයයන් ආනයනය කෙරේ.
මෙහිදී සත්ව නිෂ්පාදන ඝනයට විවිධ සතුන්ගේ සම් වර්ග, සත්ව කොටස් මෙන්ම සත්ව ආහාර වර්ග ද පෙන්වා දිය හැකිය.
ඉන්පසු ආනයනය කිරීමට අදහස් කරන සතුන් පිළිබඳව, එම රටේ පිළිගත් වෛද්‍ය ආයතනවලින් ලබාගත් එම සතුන්ට වැළඳිය හැකි රෝග පිළිබඳව අනාවරණය කෙරෙන රැධිර සාම්පල පිළිබඳව වාර්තා, ඊ - මේල් හෝ ෆැක්ස් මගින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත යොමු කළ යුතු වේ.
මෙම වෛද්‍ය වාර්තා රටකින් රටකට වෙනස් වේ.
උදාහරණයක් ලෙස ඇතැම් යුරෝපා රටවල් මේ වනවිට ජලභීතිකා රෝගය එම රටවලින් තුරන් කොට දමා තිබේ. ශ්‍රී ලංකාවට බල්ලන්, කිරිහරක්, එළුවන්, අශ්වයන්, විවිධ කුරැළු විශේෂ බළලුන් මෙන්ම කුකුළු පැටවුන් ද ගෙන්වනු ලබයි. සතුන්ගෙන් සතුන්ටත් , සතුන්ගෙන් මිනිසුන්ටත් බෝවන විවිධ රෝග තිබේ. ඒවා පිළිබඳව ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය මගින්ද වරින්වර නිවේදනය කරනු ලබයි.
ඒ අනුව මෙසේ ආනයනය කරනු ලබන සතුන්ගෙන් ශ්‍රී ලංකාවාසී ජනතාවත් ,එහි වෙසෙන සත්ත්ව ප්රජාවත් ආරක්ෂා කිරීම සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළෙහි මූලික අරමුණයි.
ඒ අනුව කිරි බී වැඩෙන ක්ෂීරපායි සතුන්ට වැළඳෙන ජලභීතිකා රෝගය පිළිබඳව මුලින්ම වැඩි අවධානයක් යොමු කරනු ලබයි. විශේෂයෙන්ම මෙරටට ගෙන්වනු ලබන බල්ලන් මගින් ව්‍යාප්ත විය හැකි පරපෝෂිත රෝග ගණනාවක් පිළිබඳව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව නිරෝධායන වැඩසටහන අවධානය යොමු කර තිබේ.
එයින් පළමු වැන්න ලීස්මානියෝසිස් රෝගයයි. මෙම රෝගය කීප අවස්ථාවකදීම ආනයනය කරන ලද සතුන් මගින් මෙරටට පැමිණ , විශේෂයෙන් අනුරාධපුර ප්‍රදේශයේ කුඩා දරැවන් අතර පැතිරී තිබුණි. හෝහපුටුවන් වැනි කුඩා මැස්සන් විශේෂයක් මගින් ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබූ මෙම රෝගය මගින් කුඩා දරැවන්ට සිරැර පුරා තුවාල, පණු රෝග මෙන්ම ඇතැම් දරුවන්ට වකුගඩු ආසාදන ද ඇති වී තිබුණි .
මෙම රෝගවලට පිළියමක් ලෙස එම රෝගී දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අතරතුරම, රෝගී වෛරස ගෙන ආ සතුන් ආපසු නැවත ප්‍රතිඅපනයනය කිරීමට යොමු කර තිබුණි.
දෙවැනි ප්‍රධානතම අවධානය යොමු කෙරෙන රෝගය වන්නේ ඩයිලෝපයිලේරියා ඉමිටිස් රෝගයයි. මෙම රෝගය අප රටේ දක්නට නොමැති වුවත් , ලෝකයේ අනෙකුත් බොහෝ රටවල තිබෙන බහුල රෝගී තත්ත්වයකි. මෙම රෝගය මදුරුවන් මගින් ව්‍යාප්ත වෙමින් කුඩා දරුවන් අතර පැතිරී යයි.
තුන්වැනි විශේෂිත අවධානයට ලක්වන රෝගී තත්ත්වය වන්නේ බැබීසියෝසිස් නැමති රෝගයයි. මෙය බල්ලන්ගෙන් බල්ලන්ට බෝවෙමින් පැතිර යයි. මීට අමතරව ලයින් ඩිසීස් නැමති බල්ලන්ට පමණක් බෝවන තවත් රෝගයක් පිළිබඳව ද අතිරේක වශයෙන් අවධානය යොමු කෙරේ.
ඉන්පසුව අවසරලත් සතුන් ගුවන් මගින් ගෙන එනු ලබන අතර, ඒ සඳහා ගුවන් යානා තුළද විශේෂ පහසුකම් සහිත ස්ථාන සකස් කර තිබේ. කටුනායක ගුවන් තොටුපොළට මෙම සතුන් පැමිණි පසු, සත්ත්ව නිරෝධායන නිලධාරීන් රැඳී සිටින කාර්යාලයක් පැමිණීමේ පර්යන්තයේ තිබේ. එහි රැඳී සිටින නිලධාරීන්, ගෙන එනු ලැබූ සතුන් සමඟ එම සතුන්ගේ සැබෑ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර බලා, සත්ත්ව නිරෝධායන ආයතනයේ නයිකන්ද ප්‍රදේශයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් වෙත යොමු කරයි. ඔවුන් එසේ ගෙන එනු ලැබූ සතුන් දින 30 ක කාලයක් රඳවා තබා ගනිමින් අධීක්ෂණ, පරීක්ෂණ සහ නිරීක්ෂණයන් සිදු කරනු ලබයි. ඒ අතර සතුන් පිළිබඳ වෛද්‍ය වාර්තා පරිගණක සහ අන්තර්ජාලය ඇසුරෙන් පරීක්ෂා කිරීමකටද ලක් කරයි. එහිදී ව්‍යාජ සහතික තිබුණහොත් ඒවා අනාවරණය වේ.
යම් යම් සහතිකවල අඩුපාඩු ඇත්නම් එම පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වියදමින් සිදු කරනු ලබන අතර, ඇතැම් වෛද්‍ය වාර්තා ලබා ගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත යොමුකරන අවස්ථාද තිබේ. එහෙත් බල්ලන් වැනි සතුන් දින 03 ක් පමණ මෙම මධ්‍යස්ථානයේ පරීක්ෂණවලට ලක්කර, එම සතුන්ගේ හිමිකරැවන්ට ඔවුන්ගේ අධීක්ෂණය යටතේ දින 30ක කාලයක් සුපරීක්ෂාකාරීව සිටින ලෙස දන්වා, යම් විශේෂත්වයක් ඇති වුවහොත් වහාම සත්ව නිරෝධායන ආයතන වෛද්‍යවරුන්ට දැන්වීමේ පොරොන්දුව මත ලබාදෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් විදේශයන් වෙත ද ඉතාම සීමිතව සත්ව අපනයනයන් සිදු වේ. ඒ අතර මුල් තැනට පත් වී ඇත්තේ සුරතල් මසුන් අපනයනයයි. මෙම සතුන් යුරෝපීය රටවල් වෙත යොමු කෙරේ. මීට අමතරව කුකුළු පැටව්, විවිධ කුරැලු විශේෂද ඉතා සීමිතව අපනයනය කෙරේ.
කටුනායක ටී.කේ.ජී. කපිල